හන්තාන සිහිනය
~~~~~පුරුදු උණුහුමෙම හිද දකින සිහිනයකි~~~~~
Sunday, January 24, 2016
Tuesday, January 5, 2016
****වළාකුලු බැම්ම **** (22-අවසාන කොටස)
"ඇයි සුලෝ පහුගිය දවස් වල ආවේ නැත්තේ?"
"වැඩ වගයක් තිබුනා රොහාන්" මන් ඒක කිව්වේ රොහාන්ගෙ ඇස් මග අරින ගමන්.
"රොහාන් මන් තීරණයක් ගත්තා.එක අතකට ඒක හරිම ආත්මාර්ථකාමි කියලා ඔයාට හිතෙයි.ඒත් රොහාන්..."
"ඒ කියන්නේ අර මිනිහා නවතින පාටක් නෑ....ඕකට මම...."රොහාන් හිටියේ හොදටම කේන්තියෙන්.ඒත් රොහාන් මොනවා කියලා කරන්නද.
"මේ අවුරුදු නමය ඒ මිනිහගේ කරදරෙත් එක්ක මට ජීවත් වෙන්න බෑ රොහාන්.ඔයා වෙනුවෙන් සාගරයක් තරම් ආදරයක් හිතේ තියන් අර මිනිහාට ඕන ඕන විදිහට ඉන්න මට බෑ රොහාන්"
"කියන්න සුලෝ ඔයා මොකද්ද හිතුවෙ?"
"මන් මහණ වෙනවා.."
දෝරේ ගලාගෙන යන්නම ආදරේ පිරුණු ඇස් දෙකක් දිහා බලාගෙන ආයේ ඒ ඇස් නොදකින දුරකට යනවා කියන්න වෙන එක මට ඇරෙන්න මේ ලෝකෙ වෙන කාටවත්ම සිද්ද වෙන්න එපා කියලා මන් ප්‍රාර්තනා කලා.ඒක ඒ තරමටම හිත රිද්දනවා.රොහාන්ට මන් කියපු දේ අදහාගන්න බැරි උනා.
"අනේ සුලෝ ඊට කලින් ඔයා සන්තෝශ්ට කතා කරලා ඉන්න."
"මන් එයාට කිව්වා රොහාන්.මන් එයාට කිව්වේ යාලුවෙක් විදිහට ගිහින් ටිකක් ඔයා එක්ක කතා කරලා එන්න කියලා.එවෙලේ හා කිව්වට එයාගේ කටහඩේ මොකද්දෝ අකමැත්තක් මට තේරුනා.ඉතින් එයා ආවේ නෑ නේද?"
"සුලෝ මේ තීරණේ..."
"මන් දන්නවා රොහාන් මේක ඔයාට දරාගන්න ගොඩාක් අමරුයි කියලා.ඒත් රත්තරන් මන් වෙන මොනා කරන්නද.ඔයා නිදහස් වෙනකන් ඒ මිනිහගේ ගෑනි විදිහට ජීවත් වෙන්නද.ඒක මන් ඔයාට කරපු ආදරේට ලොකු කැළලක් රොහාන්.මට ඕන උනේ ඔයා එනකන් මේ ආදරේ හරි පරෙස්සමට තියාගන්න.ඒත් මන් මේ තීරණේ නොගත්තොත් මේ ආදරේ පරෙස්සම් කරලා තියාගත්තත් මන් ජීවත් වෙලා ඉන්න එකක් නැති වෙයි රොහාන්."
"මන් මොනාද කියන්නෙ සුලෝ?"
රොහාන්ට කිසිම දෙයක් කියාගන්න බැරි උනා.මටත් ඊටපස්සෙ මුකුත්ම කියාගන්න බැරි උනා.ඒ නිහඩව ගෙවුනු හැම තත්පරේම මන් රොහාන්ගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.ඒත් ඒ ඇස් දකින් අන්තිම මොහොත ඒකයි කියලා මට නිකමටවත් හිතුනේ නෑ.
එදා රොහාන්ව බලලා ගෙදර යනකොට සුමනේ අයියා ඇවිත් හිටියා.එයාව දකිද්දි ආපු අප්පිරියාවත් එක්ක මන් මගේ තීරණේ වෙනස් කරන්නෙ නෑ කියලා හිතා ගත්තා. 'රොහාන් මට සමාවෙන්න.මන් මේ වෙලාවේ ඔයාට කියනවා මන් මගේ තීරණේ වෙනස කරන්නේ නෑ.පුලුවන්නම් මට සමාව දෙන්න ඔයාව තනි කරනවට.මේක දරුණු තීරනයක්නම් කමක් නෑ රොහාන් ඔයා මට වයිර කරන්න.ඒත් මන් මේ තීරණේ ගන්නවා මගේ ආදරේ වෙනුවෙන්.'මන් එහෙම හිතලා හිතින් සිය දහස් වාරයක් රොහාන්ගෙන් සමාව ඇයැදසිටියා.
"අනේ සුමනේ අයියේ මගේ ඔලුව පැලෙන්න වගේ.ගමන් මහන්සියටත් එක්ක මන් පොඩ්ඩක් නිදා ගන්නද?ඔයා හෙට එන්න"
මට ඕන උනේ සුමනේ අයියව කොහොම හරි යවාගන්න.අන්තිම දවසෙ හරි හිත සතුටින් ඉන්න.
"ඔන්න ඔහොම හිටපන්කො පොඩ්ඩියේ.ඔහොම ඉන්නවනම් මොනා කරන්න බැරිද බන් උඹටයි මටයි.හරි එහෙනම් උඹ රෙස්ට් කරපන් මන් වෙන වෙලාවක එන්නම්."
මන් සැනසුම් සුසුමක් හෙළුවා.ආයේ ඒ මූණ දකින්න නොලැබේවා කියන ප්‍රාර්ථනාව කරද්දි පුදුම සැනසිල්ලක් දැනුනේ මට.
මන් දවස් තුන හතරකට විතර ඇදුම් අරගෙන නිශානිලාගෙ අම්මලාගෙ ගෙදර ගියා.කරන්න වැඩ ගොඩාක් තිබ්බා.
මුලින්ම මන් නිශානිගෙ තාත්තගේ උදව්වෙන් අපේ ගෙදරයි කාර් එකයි විකුණුවා බයින් ඇන්ඩ් සෙලින්ග් කම්පනි එකකට.හිතපු තරම් ගානක් හම්බ උනේ නැති උනත් ලැබුනු ගානෙන් මන් සෑහුනා.තව රොහාන් මන් වෙනුවෙන් ඉතිරි කරපු සල්ලි වගෙකුත් තිබ්බ.ඒකයි ගේයි කාර් එකයි විකුණලා ගත්ත සල්ලි ඔක්කොම ලක්ෂ පනහක් විතර තිබ්බා.මන් ඒ සල්ලි ටික රොහාන්ගේ අකවුන්ට් එකට දැම්මා..රොහාන් වෙනුවෙන් මට කරන්න පුලුවන් උනේ එච්චරයි.
එදා රෑ නිශානිත් එහෙ ආවා.
"මන් හෙට ආයෙම යනවා නිශානි.සමහර විට ඔයාලව ආයෙ මුණ ගැහෙන එකක් නෑ."
"මට කියන්න කිසිම දෙයක් නෑ සූ"
"එක උදව්වක් කරන්න නිශානි මට"
"කියන්න"
"රොහාන්ව අමතක කරන්න එපා නිශානි.එයා ආයෙ ආවම අම්මලා ළගට යන එකක් නෑ.පුලුවන්ද මෙහෙ නවත්ත ගන්න?"
"ඒ ගැන ඔයා හිතන්න එපා සූ.රොහාන් කියන්නේ මගෙම අයියා කෙනෙක් වගේ.එයාට ඕන තරම් කාලයක් අපේ දිහා ඉන්න පුලුවන්"
"පින් සිද්ද වෙයි නිශානි.රොහාන්ට කියන්න පුලුවන්නම් මට සමාව දෙන්න කියලා."
"මොනාද මැට්ටියේ ඔයා මේ කියන්නේ?"
"නිශානි පෙර ආත්මෙක ඔයා මගේ සහෝදරියෙක් වෙන්න ඇති..මට ඔයාලා වෙනුවෙන් දෙන්න කිසිම දෙයක් නෑ නිශානි"
එදා රෑ අපි දෙන්නා ගොඩාක් දේවල් කතා කලා.හුගාක් ඇඩුවා.නිශානිගෙන් සහන්ගෙන් ආන්ටිගෙන් අන්කල්ගෙන් සමුගත්තා.
සියලුම බැදීම් අත ඇරලා දාන්න කලින් රොහාන් වෙනුවෙන් මගේ අතින් අන්තිම ලිපිය ලියවුනා.
ආදරණීය රොහාන්,
ආයෙම පාරක් ඔයාව බලන්න ඇවිත් ඔයාගෙ හිත රිද්දන්න මට බෑ.මන් ඔයාට ගොඩාක් දුක් දීල ඇති.මට තියෙන ආදරේ හින්දම ඔයා නෑ කිව්වට මන් ඔයාගේ ජීවිතේට ආපු එකම දුකක් කියලා මන් දන්නවා.මෙච්චර දේවල් වෙනවා කියලා දන්නවනම් මන් කවදාවත් ඔයාගේ ජීවිතේට එන්න හිතන්නෙවත් නෑ රොහාන්.ඒත් මේ දේවල් මෙහෙම උනා.අනේ මට සමාවෙන්න රත්තරන්.
එදා ඔයා බෑන්ක් එකට ආඅපු මුල්ම දවසේ මන් දිහා නොබලා මාව මග ඇරලා ගිය මොහොතේ ඉදන් ඔය මුලු හිතින්ම මට ආදරෙ කරන මේ මොහොත වෙනකන් හැම මතකයක්ම මගේ හිතේ එහෙම්මමයි.පුන්චි කාලේ ඉදන් දුක් විදපු මන් හිනාවෙන්න ගත්තෙ ඔයා හින්දා.ඔය හිතින් මට දීපු ආදරේ හින්දා.ජීවිතේට මන් ලෝබකම් කරන්න ගත්තා.හීන මාළිගා හදන්න ගත්තා.කොටින්ම කිව්වොත් මන් ජීවත් වෙන්න ගත්තා.ඒ හැමදේම ඔයා හින්දා රොහාන්.මන් ආදරෙයි මගේ මහත්තයෝ මන් ගොඩාක් ආදරෙයි.ඒත් මන් අද අසරණයි.ඔව්... ගොඩාක්.මැරෙන්න පවා හිතුනු මොහොතක ඔයාගේ ආදරෙ මතක් කරගත්තට තවත් කෙලින් හිටගන්න හයියක් නෑ මගෙ මහත්තයෝ.
ඒ හින්දා ඔයාගෙන් දුර යන්න හදන මට සමාව දෙන්න..ඒත්.,
මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න මන් ගත්ත තීරණේ හරි කියලා මන් මේක ලියන මොහොතෙත් විශ්වාස කරනවා රොහාන්.මට වෙන විසදුමක් තිබ්බේ නෑ.මැරෙන්න තරම් ප්‍රශ්න ආවත් ඔයා ඔහොම හිර කූඩුවකට වෙලා දුක් විදිද්දි මට හිත හදාගෙන මැරෙන්නවත් බෑ රොහාන්.මට ජීවත් වෙන්න ඕන උනා ඒ හින්දා.ඉතින් මන් දැන් ජීවත් වෙනවා.ඒත් රත්තරන් මට හෙටින් පස්සේ කියන්න බෑ මන් ඒ ජීවත් වෙන්නේ ඔයා වෙනුවෙන් කියලා.මොකද මන් සියලුම බැදීම් අතාරින්න හදන්නෙ.මන් හිතන් ඉන්නවට වඩා ඒක අමාරු වෙයි.ඒත් මට ඒ දේ කරන්නම වෙනවා.ලේසියෙන් මැරෙනවට වඩා දුක් විදගෙන හරි මේ බැදීම් අතෑරලා දාන එක වටිනවා කියලා මන් පැවිදි වෙන්න ඉන්න ආරාමේ ලොකු මෙහෙණින් වහන්සේ මට කිව්වා.
තව ලියන්න බෑ රොහාන් මගේ පපුව පැලෙන්න වගේ.මට අඩන්න ඕන.අපිට මේ ආත්මෙ කොහේ හරි වැරදිලා රොහාන්.ඒ වැරැද්ද එහෙම්මම තියෙන්න අරිමු අපි.නැත්තන් අපිට මේ වැරැද්ද ඊළග ආත්මෙටත් ගෙනියන්න වෙයි.ඊළග ආත්මේ මන් ඔයාගෙම වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්න මට ආසයි.ඒත් මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න ඉන්න මන් ඒ ප්‍රාර්ථනාව කරන්නේ කොහොමද?හැබැයි උපදින උපදින හැම ආත්මෙකම ඔයාට කිසිම දුකක් ඇතිවෙන්න එපා කියන ප්‍රාර්ථනාව මන් හැමදාම කරනවා.
මන් නවතිනවා රොහාන්.ඔයාගේ සුලෝ හෙට ඔයාගෙන් ගොඩාක් දුර යනවා පණටත් වඩා ඔයාට ආදරෙ කරපු හිතත් අරගෙනම.සිය දහස් වාරයක් මට සමාවෙන්න මගේ මහත්තයෝ.
ඔයාගෙම
සුලෝ....
****************
උදෑසන භාවනාවට අනික් මෙහෙණින් වහන්සේලා ලොකු මෙහෙණින් වහන්සේගේ කුටියට යනවා දැක්කේ යන්තන් විවර වෙලා තිබ්බ මගේ කුටීරයේ ජනෙල් පළු දෙක අතරින්.පුරා රැයක් ගෙවිලා.අතීතය වළදැමිය යුතුමය.යහනෙන් බැසගත් මාද පිරිසිදු වී අනෙක් මෙහෙණින් හා එක් විය යුතුවිය.
-----------------------------------නිමි.---------------------------
ප.ලි.
මගේ පෑනද හති ලමින් සිටින්නට විය.බියෙන් ගැහි ගැහි අකුරු අමුණපු මගේ පෑනද මේ සා කරදර හමුවේ ජීවිතෙන් ඇය පලා යා යුතු බව සැරෙන් සැරේ මට මතක් කරන්නට විය.නමුදු දැන් ඇගේ පණ රැක දුන්නාට මගේ පෑන මට සිය දහස් වාරයක් ස්තූති කරමින් සිටී...
Monday, January 4, 2016
****වළාකුලු බැම්ම **** (21)
එදා මන් රොහාන්ව බලන්න ගියේ නිශානිත් එක්ක.නිශානි එළියෙන් ඉද්දි මන් රොහාන්ව බලන්න ඇතුළට ගියේ සුමනේ අයිය ගැන කියනවා කියලා හිතා ගෙන.ඒත් මට රොහාන්ට ඒක කියන්න කළින් මට ඇඩුනා.ඒ මූණ දිහා බලන් වචනයක්වත් කියන්න බැරි උනා මට.එහෙම්මම මන් එළියට දුවගෙන ආවා.මාව දැකපු නිශානි කලබලෙන් වගේ මගේ ළගට ඇවිත් මාව පුටුවකින් වාඩි කරවලා රොහාන්ව බලන්න ගියා.ටික වෙලාවකට පස්සේ නිශානි ආයෙම මන් ළගට ආවා.
"සූ යන්න.මේක තවත් හන්ගන එක තේරුමක් නැති හින්දා මන් රොහාන්ට හැමදේම කිව්වා..ඔයා ගිහින් ටිකක් කතා කරලා එන්න."
මන් හෙමින් හෙමින් ගිහින් රොහාන්ට ඉස්සරහින් වාඩි වුනා.
"ඔයා කොහොමද සුලෝ මෙච්චර ප්‍රශ්නෙකට තනියම මූණ දෙන්න.අනේ මට මේකේ ඉදන් කරන්න කිසිම දෙයක් නෑනේ මගේ රත්තරන්.මන් නිසා තමයි මේ ඔක්කොම.මන් නිසා තමයි....." රොහාන් අත් දෙකෙන් එයාගෙම ඔලුවට ගහ ගෙන ගහ ගෙන ගියා.
"අනේ රොහාන් ඔහොම කතා කරන්න එපා.මේ හැමදේම මගේ වැරදි මන් ඔයාගේ ජීවිතේට ආවේ නැත්තන් මේ මුකුත් නෑ රොහාන් එහෙනම් අද ඔයා කොච්චර හොද ජීවිතයක් ගෙවනවද..මට සමා වෙන්න රොහාන්"
"දන්නවද දැන් මොන දේ වුනත් මගේ ජීවිතේ වැදගත්ම දේ තමයි ඔයා මගේ ජීවිතේට ආපු එක."
"අනේ රොහාන්"
"මේ අහන්න සුලෝ.ඔයා මෙහෙ ඉන්න එපා.ඔයා පිටරටකට යන්න.ඔයාට සන්තෝශ්ව මතකද?එයා මගේ හොදම යාලුවෙක්.පුලුවන්නම් එයාට එක දවසක් මෙහෙ එන්න කියන්න.මන් විස්තර ඔක්කොම එයාට කියලා වැඩේ හරි ගස්සලා දෙන්නම්."
"ඒත් රොහාන් අපිට සල්ලි කොහෙන්ද?එහෙ ගිහින් ජීවත් වෙන්න සල්ලි ඕන රොහාන්.මට තවත් මිනිස්සු ඉස්සරහා බාල්දු වෙන්න බෑ.ඊට වඩා සැපැයි මන් මැරිලා යනවා."
"සුලෝ අහන්න ඔය මිනිහා ඔයාට දිගටම කරදර කරන්න තියාගත්තොත් ?"
"එහෙම වුනොත් එක්කො මන් මැරෙයි නැත්තන් මගේ අතින් ඒ මිනිහා මැරෙයි"
"සුලෝ පිස්සු කතා කියන්නැතුව ඔයා සන්තෝශ්ට කතා කරන්නකො"
"මට මේ හැමදේම් අත ඇරල දාල කොහේ හරි යන්න හිතෙනවා රොහාන්"
"ඔයා කොහේ කියලා යන්නද පැටියෝ" මේ රොහාන්ගේ ආදරය.හිත හදාගෙන මැරෙන්නවත් පුලුවන්ද මෙච්චර ආදරයක් මන් වෙනුවෙන් ඉතිරි වෙලා තියෙද්දි.
සුමනේ අයියාගේ කරදර එන්න එන්නම වැඩි උනා.රොහාන්ව බලන්න යන එක මන් හිතලම අඩු කලා.ජීවිතේ වැටෙන්න පුලුවන් අඩියටම මන් ඇදගෙන වැටුනා.සුමනේ අයියා ගෙදර එනකොට මලකදක් වගේ ගිහින් ඇද උඩ මන්ම වැතිරුනා.ඒ තරමටම මට හති වැටිලා තිබ්බා.ජීවිතේ ගැන මට මහා අප්පිරියාවක් ඇති වෙලා තිබ්බා.රොහාන් හිරේට නියම වෙලා අවුරුද්දක් යද්දි සුමනේ අයියා කියන නොසණ්ඩාලයගේ හිර කූඩුවේ මාත් හිර වෙලා හිටියා.තව අවුරුදු නමයක් මම ජීවත් වෙන්නේ කොහොමද කියන එක මට තියා උඩ ඉන්න දෙයියන්ටවත් හිතා ගන්න බැරි වෙන්න ඇති.විසදුම් දෙකයි.එක්කො මන් මැරෙන්න ඕන.නැත්තන් සුමනේ අයියා මැරෙන්න ඕන.
ආයෙම දවසක සුමනේ අයියා ආවා.එදා එයා වැඩි වෙලා හිටියේ නෑ.ආපු ගමන්ම ගියා.වෙව්ල වෙව්ල තිබුන මගේ කකුල් වලට යන්තන් පණක් ආපු ගමන් මන් වාහනේ අරගෙන කෙලින්ම දෙවුරම් වෙහෙරට ආවා.ඇයි මට එහෙම හිතුනේ කියන්න මට දන්නෑ.ඒත් මන් ගියා.
බෝ මලුවෙ ඉදගෙන ඔහේ බෝ කොල වල සිලි සිලි හඩට කන් දී ගෙන හිටියා.
ටික වෙලාවක් බෝ මලුවට වෙලා ඉද්දි පන්සලේ ලොකු හාමුදුරුවො ආවාස ගෙයි ඉදලා බෝ මලුව පැත්තට වඩිනවා දැක්කා.මන් ගිහින් ලොකු හාමුදුරුවන්ට කතා කලා.මගේ ප්‍රශ්නේ ගැන නෙමේ ජීවිතේ ගැන.ප්‍රශ්න වලට මූණ දෙන්නෝන කොමද කියන හැටි ගැන.
"මට දැනෙන විදිහටනම් මේ දරුවා සෑහෙන්න ලොකු ප්‍රශ්නෙක ඉන්නවා වගේ"
"එහෙම නැහැයි කියන්න බෑ ලොකු හාමුදුරුවනේ."
"හ්ම්.....මේ සන්සාරේ අපි මැරි මැරී ඉපදෙනකන්ම අපිට ප්‍රශ්න එක පිට එක එනවා දරුවෝ.පෙර ආත්ම වල කරන ලද කුසල් අකුසල් අනුව ඒ ප්‍රශ්න අඩු වැඩි විදිහට බෙදිලා යනවා.හේතු ඵල දහම කියන්නේ අන්න ඒකයි."
"එහෙමයි ලොකු හාමුදුරුවනේ"
"පෙර ආත්ම වල අපි කොච්චර කුසල් කලාද අකුසල් කලාද කියලා අපි දන්නේ නෑ නොවෑ.මේ ආත්මේ එන ප්‍රශ්න වලින් තමා අපි ඒවා තේරුම් ගන්නෝන.ඒ හින්දා අපි කරන්න ඕන ඒ එන ප්‍රශ්න වලට හිතේ හයියෙන් මූණ දීලා මේ ආත්මේ කිසිම කෙනෙකුට කිසිම විදිහකට අවැඩක් නොකර ඉන්න අධිෂ්ටාන කරගන්න එක තමයි"
"එහෙමයි ලොකු හාමුදුරුවනේ"
මගේ ඇස් දෙකේ කදුලු පිරිලා තිබුනා.ලොකු හාමුදුරුවොත් මන් දිහා අනුකම්පා සහගත් බැල්මකින් බැලුව මන් දක්කා.
"ඔය ළමයගේ හිතේ තියෙන ප්‍රශ්නේට මන් මෙහෙම විසදුමක් දෙන්නම්."
"අනේ ඔබවහන්සේට පින් අයිති වෙයි"
"ඔය දරුවගේ හිතේ සැනසීම ඇති කරගන්න බලන්න මුලින්ම.ඒකට ටිකක් මෙහෙන් ඈත් වෙන්න.මාතලේ පැත්තේ මෙහෙණින් ආරමයක් තියෙනවා.මන් ඕන නම් ඇඩ්‍රස් එක දෙන්නම්.පුලුවන්නම් එහෙ ගිහින් දවස් දෙක තුනක් ඒ මෙහෙණින් වහන්සේලාට ඇප උපස්තාන කරගෙන ඉන්න.ඔයා හිතේ තියෙන වික්ෂිපතභාවය අඩුවෙලා යාවි.අනික ඔය දරුව භාවනාවක් කරන්න පුරුදු වෙන්න.ඒ මෙහෙණින් වහන්සේලගෙන් කමටහන් අරගන්නත් පුලුවන් වෙයි"
ලොකු හාමුදුරුවො මට අලුත් බලාපොරොත්තුවක් දුන්නා.දෙපාරක් හිතන්න ඕන උනේ නෑ.අමුතුම හුස්මකින් හිතම පුරොගෙන ඇඩ්‍රස් එකත් ඉල්ලගෙන ලොකු හාමුදුරුවන්ට වැදලා මන් ගෙදර ආවෙ ඊළග දවසේ උදෙන්ම යන්න බලාගෙන.
පහුවෙනිදා පාන්දරම මෙහෙණින් ආරමය හොයා ගෙන පිටත් උනා.යන අතර මගදි තමයි නිශානිට කෝල් කරලා කිව්වෙත්.නිශානිනම් ඒ ගැන ගොඩාක් සතුටු උනා.
ආරමයක් උනාට එහේ පන්සලක තියෙන්න ඕන හැම දේම තිබ්බා.ඒක් පුන්චි පන්සලක් වගේ තිබ්බා.මන් එහෙට යද්දි ලොකු මෙහෙණින් වහන්සේට මන් ගැන ලොකු හාමුදුරුවෝ දන්වලා තිබුනා.මෙහෙණින් වහන්සේලාගේ කුටි වලට අල්ලලාම තිබ්බ එක හිස් කුටියක් අස් පස් කරලා ගන්න කියලා මට යතුර බාර දුන්නේ ආරමේ හිටපෞ තවත් මෙහෙණින් වහන්සේ නමක්.
මෙහෙණින් වහන්සේලාට ගිලන්පස පිළිගන්වන එක, බෝ මලුව අමදින එක, මල් ආසන පිරිසිදු කරන එක,බුද්ද පුජාව පූජා කරලා ඉවර උනාම ඒව අස් පස් කරන එක වගේ පුන්චි පුන්චි වැඩ මට කරන්න නියම කෙරුනා.ඒ අතරේ ලොකු මෙහෙණින් වහන්සේගෙන් කමටහන් අරගෙන අනාපානසතිය වඩන්නත් මන් පුරුදු උනා.ඒකනම් හැබැයි හිතන තරම් ලේසි උනේ නෑ.
දවස් දෙක තුනක්ම ගෙවිලා ගියා.ඒ පරිසරය දාල එන්න බැරි අමුතු හැගීමක් මට දැනුනා.නැවත පැමිණිය යුතුයි කියලා මන් හිතාගත්ත දිනයට කලින් දවසේ ලොකු මෙහෙණින් වහන්ස මගේ මුලු කතාවම අහන් හිටියා..ඒ කතාව අවසානේ මන් තීරණයක් අරගෙනත් තිබුනා.ඒක මට හොරා මගේ හිත ගත්ත තීරණයක් විය යුතුයි.ඉතින් වරදින්න බෑ.
"මෙහෙණින් වහන්ස මන් මහණ වෙනවා"
"එහෙම හිතෙන එකත් පිනක්.ඒත් දරුවා හොදට හිතලා බලන්න.ඔයා ඒ අඩිය ඉස්සරහට ගත්තොත් ආයෙ ආපස්සට තියන්න බෑ.ඒ හින්දා හිතන්න හොදට"
"මැරෙන්න තරම් ප්‍රශ්න ආපු මට මේ තීරණය ගැන ආයෙම හිතන්න කරුණු කාරණා නෑ මෙහෙණින් වහන්ස."
"එතකොට ඔය දරුවගේ මහත්තයා මේකට කැමති වෙයිද?"
මම ටිකක් නිහඩ උනා...ඇත්තටම අන්න එතන මට හිතන්න ඕනම තැනක් කියලා මට හිතුනා.
"ඒක තම්යි දරුවා.දැන් හෙට ඔය ළමයා ආයෙම යනවනේ.ඒ ගිහින් හොදට හිතලා බලලා තීරණයක් ගන්න."
මන් පහු වෙනිදා ආයෙම ගෙදර ආවා.
-----------------------නැවතත්-----------------
Sunday, January 3, 2016
****වළාකුලු බැම්ම **** (20)
"අනේ සුමනේ අයියේ මට මගේ පාඩුවේ ඉන්න දීලා යන්න.මට ඔය මූණවත් බලන්න හිතෙන්නේ නෑ."
"උඹට බෑ පොඩ්ඩියේ මාව එහෙම ලේසියෙන් එලවලා දාන්න."
"කියන්නෙපා ආයෙම පොඩ්ඩියේ කියලා මට.මන් මගේ අයියා කෙනෙක්ට වගේ තමුන්ට සැලකුවේ.ඒ හින්දද මගේ රොහාන්ව අච්චර ලොකු කරදරේක පැටලුවේ?"
"අනේ මේ ඌට ඒවෙලාවේ මොන ලෝකෙකින් හරි සල්ලි ඕන වෙලා තිබ්බේ.මන් වෙස්සන්තරද ඌට ඕන ඕන වෙලාවට මගේ සල්ලි දෙන්න.මට කරන්න තිබ්බ උදව්ව තමයි මන් කලේ."
"චිහ්..... තමුසේ මහ පහත් මිනිහෙක් අයිසේ යනවා යන්න මෙතනින්.නැත්තන් මන් කෑගහනවා හැමෝටම ඇහෙන්න"
"උඹට එච්චර හයියක් නෑ පොඩ්ඩියේ..උඹට එච්චර හයියක් නෑ.."
සුමනේ අයියා එහෙම්මම කියාගෙන ඉදගෙන හිටපු පුටුවෙන් නැගිට්ටා.මහා කැත හිනාවක් ඒ මූණේ තිබ්බේ.
"යන...." මට කියන්න හම්බ වුනේ එච්චරයි.සුමනේ අයියා මගේ උරහිසින් අල්ලගෙන එහෙම්මම බිත්තියට හේත්තු කරගත්තා.මගේ ඇස් දෙකෙන් ගිනි පිටවෙන තරම් කේන්තියක් ආවා.මන් අත ඇරපන් කිය කිය කෑ ගැහුවා.ඒත් ඒ මිනිහාගේ යකඩ වගේ අත් පය එක්ක හරඹ කරන්න මට හයියක් නැති උනා.කදුලු හෝ ගාල මගේ ඇස් දෙකෙන් කඩාගෙන වැටෙද්දි ඒ සතාගෙ රැවුල් කොට මගේ බෙල්ලේ ගෑවෙනවා මට දැනුනා.සිහියක් පතක් නැතුව මාව එහෙම්මම ඇද ගෙන වැටුනා කියලා මට මතකයි.සිහිය එද්දි මන් හිටියේ මගේ කාමරේ.මන් එතනට ආවේ කොහොමද මොනා වුනාද කියන්න මට දැනගන්න ඕන උනත් ඒ උන දේවල් වලට මූණ දෙන්න මන් බය උනා.
'කාටද මේක කියන්නේ.රොහාන්ට?බෑ ඒ මනුස්සයා පිච්චෙයි මේක දැන ගත්තම.නිශානිට?ඔව් වෙන කවුද මට ඉන්නේ.ඒත් සුමනේ අයියා නිශානිලටත් ප්‍රශ්න ඇති කලොත්.දෙයියනේ මන් කොමද මේ දේවල් තනියම දරාගන්නේ.' මගේ හිත සිය දහස් වාරයක් අඩා වැටුනා.
ඒ සිද්දියට පස්සෙ මන් රොහාන්ව බලන්න ගිහාම මට පුදුම විදිහට ඇඩුනා.රොහාන් බයත් උනා.රොහාන්ට තේරුනා මන් ඉන්නේ ප්‍රශ්නෙක කියලත්.ඒත් මට ඒක එයාට කියන්න හිතුනෙම නෑ.
ආයෙම දවසක මන් වඩ ඉවර වෙලා ගෙදර එද්දි සුමනේ අයියා ගේ ඉස්සරහට වෙලා හිටියා.මගේ කකුල් දෙකේ ඉදලා ගැහෙන්න ගත්තා.
"තමුසේ මොන එහෙකට ආයෙම ආවේ.තව් ගන්න දේවල් ඉතිරි වෙලා තිනවද තමුසෙට.?"
"පොඩ්ඩියේ මේ අහපන්.යමන් මාත් එක්ක.අරූ මත්තෙම නැහිලා උඹට මොනාද ලැබෙන්නේ?"
"අරූ මූ කියන්න එපා එ අමගේ මහත්තයා.මැරෙනකන් හරි මන් ආදරේ කරන මගෙ අමහත්තයා."
"හරි හරි උඹේ ඔය මහත්තයා ඕකෙන් එයිද කියන්න කවුද දන්නේ?"
"මොකද්ද තමුසේ කිව්වේ?"
"උඹ පොඩ්ඩියේ මට වැඩිය සද්ද දැම්මොත් ඒකව ඇතුලේ ඉද්දිම ඉවරයක් කරන හැටි මන් දන්නවා.උඹ අන්න ඒක මතක තියාගනඉන්."
"වචනයක් කතා කරන්නෙපා අයින් වෙනවා ඔතනින්" මන් එහෙම්මම කියාගෙන ගෙදර දොර ඇරියා.සුමනේ අයියගේ මූණටම දොර වහලා දාන්නයි මට ඕන උනේ.ඒත් මට කලින් සුමනේ අයියා ඉකමන් උනා.දොර තල්ලු කරගෙනම එයා ඇතුලට ආවා.මන් ආයෙම ඒ මිනිහගේ දැලට අහු උනා.
"අනේ පින්සිද්ද වෙයි මට ඉන්න දෙන්න සුමනේ අයියේ.පුන්චි කාලේ ඉදන් එකට හිටපු මට මෙහෙම වද දෙන්න පව් කියල හිතෙන්නැද්ද මන්?"
මන් සුමනේ අයියා ළග බැගෑපත් උනා.
"ඒකතමයි උඹට කියන්නේ වරෙන් මාත් එක්ක මේකට වෙලා හූල්ල හූල්ල ඉන්නෙ නැතුව."
"කියන දේ තේරුම් ගන්නවා මිනිහෝ" මට කේන්තියි.
එදත් එයා මට කරදර කරන්න ආවා.වාසනාවකටද අවාසනාවකටද මන්දා මට අතට අහු උන පිත්තල මල් පෝච්චියකින් මන් සුමනේ අයියගේ ඔලුවට ගැහුවා.ඒත් එක්කම එයාත් මට ලොකු කම්මුල් පාරක් ගැහුවා.මාව කැරකිලා ගිහින් පුටුවක් උඩට වැටුනා.
"උඹ සුදනා වෙන්න හදන්න එපා.උබ දන ගනින් උඹට නොකිව්වට උඹේ අක්කත් මුලින්ම ගියේ මන් එක්ක තමයි බොල.ඉතින් උඹ කවුද බන් මට. මන් මේක ලේසියෙන් අත් අරින්නේ නෑ අන්න ඒක මතක තියාගනින්."
"වනචරයා" මන් එහෙම හිතද්දි ඒ මිනිහා යනවා මන් දැක්කා.
මන් එහෙම්මම නිශානිව හොයා ගෙන ගියා නිශානි වැඩ කරන තැනට.නිශානි නිවාඩුවක් දාලා මා එක්ක ආවා.මන් මුල ඉදන්ම විස්තරේ කියන්න ගත්තා.මගේ කතාව ඔහේ අහගෙන අපි ඇවිදල ඇවිදලා අන්තිමට ගන්ගාරාමේ පන්සලට ගියා හිතට ටිකක් සහනයක් ලබා ගන්න හිතලා.
"ඔයා ඔය ගෙදර ඉන්න එක බයානකයි සූ.අපේ ගෙදර එන්න.නැත්තන් අම්මලාගේ ගෙදර යන්න.අපේ ගෙදරට වඩා එහේ හොදයි.අපේ දිහා දවල්ට කවුරුත් නෑනෙ.අම්මයි තාත්තයි දැන් රිටයර් හින්දා හැම වෙලේම වගේ ගෙදරනේ."
"අනේ බෑ නිශානි ඒ මිනිහා එහෙටත් හොයන් ඒවි.ඔයාලටත් කරදර කරාවි"
"එහෙම කියලා හැමදාම ඒ මිනිහට බයේ ඉන්න පුලුවන්ද සූ.මේකට විසදුමක් තියෙන්න එපැයි."
"විසදුමක් නෑ නිශානි.මන් දවසක් කිව්වම මන් පොලීසියට කියනවා කියලා.ඒ මිනිහා අහනවා ඇයි පොලිසියට කියලා මාව කූඩුවේ දාන්නද කියලා.අනික නිශානි එයාට පුලුවන්ලු රොහන්ට කරදරයක් කරන්නත්.දවසක් මට කෙලින්ම කිව්වා.ඉතින් මන් කොහොමද ඒ මිනිහට බය නොවී ඉන්නේ."
"කොහේ හරි මේකට විසදුමක් ඇති සූ.ඔයා හිත හයිය කරගන්න මේ හැම ප්‍රශ්නෙකටම මූණ දෙන්න."
"මට හිතක් ඉතිරි වෙලා නෑ නිශානි"
"රොහාන්ට කිව්වද?'
"නෑ..රොහාන්ට කිව්වා කියලා මොනා කරන්නද නිශානි?රොහාන්ගේ හිතේ තියෙන සැනසීමත් නැති වෙයි"
"ඒත් මේක දිගටම මේ ප්‍රශ්නේ ආවොත් රොහාන්ට කියන්න වෙනවා නේද?"
"ඔව් ඒත් මන් කොහොමද කටක් ඇරලා කියන්නේ ඔයා නැති අතරේ වෙන මිනිහෙක් ඇවිත් මට කරදර කරනවා කියලා.රොහාන්ගේ පපුව පැලෙයි"
මායි නිශානියි පන්සලට වෙලා හුගාල් වෙලා හිටියා.ටික මොහොතක්ට හිතට සැනසිල්ලක් දැනුනා.බෝ කොළ වල සිලි සිලි හඩට ඔහේ ඇහුන්කන් දීගෙන හිටපු මට අලුත් හුස්මක් ගන්න පුලුවන් උනා.පන්සලට ඇතුලු වෙද්දි හිටපු මට වඩා පන්සලෙන් ආයෙම එද්දි හිටපු මන් හිතින් ගොඩාක් නිවිලා හිටියා.
මට නිශානිලාගේ ගෙදර යනවද නැද්ද කියන එක ආයෙම පාරක් හිතන්නෝන උනා.නිශානිලාගෙ ගෙදර යන්න මට හොදටම වුවමනා වුනත් මන් හින්දා එයාලත් කරදරයක් උනොත් කියන බය නිසා මන් ඒක ටික ටික කල් දැම්මා.
සුමනේ අයියාගේ කරදරේ අඩුවන පාටක් තිබ්බෙ නෑ.ඉවසලා ඉවසලා බැරිම තැන මන් හැමදේම නැති උනත් මේ ප්‍රශ්නේ ගැන යන්තන් හරි රොහාන්ට කියනව කියලා හිතුවා.
-------------------------නැවතත්----------------
Saturday, January 2, 2016
****වළාකුලු බැම්ම **** (19)
රනුක වෙනුවෙන් වැටෙන්න පුලුවන් හැම කදුලම අපේ ඇස් වලින් වැටුනා.නිශානියි සහනුයි නිශානිගේ අම්මයි තාත්තයි හැමදේම හොයලා බලලා කලේ මායි රොහානුයි හිටියේ හොද සිහියෙන් නෙමේ නිසා.
සුමනේ අයියත් ඇවිත් හිටියා.රොහාන් වෙනදට වඩා සුමනේ අයියත් එක්ක කතා කලා කියලා මන් දැක්කා.
හැමදේම ඉවර වෙලා අපේ පුන්චි ගෙදර ආයෙම අපි දෙන්නා තනි උනා.හිනා හඩක්වත් ඇහෙන්න කලින්,අම්මෙ කියලා කතා කරන්න කලින් ඒ බලාපොරොත්තු හැම එකක්ම අරගෙන අපේ පැටියා යන්න ගියා.ජීවිතේ ඔහේ ගෙවුනා.ජීවිතේට කොහොම හරි මුහුණ දිය යුතුව තිබ්බා.
එදා මායි රොහානුයි දෙන්නම බෑන්ක් එකට යන්නේ නැතිව ගෙදර නැවතුනා. ඒ නිශානිලාගේ ගෙදර ලන්ච් එකකට අපිට එන්න කියලා තිබ්බ හින්දා.
"සුලෝ බෙල් එක වැදුනා නේද?බලන්න කවුද කියලා" රොහාන් එහෙම කිව්වේ මන් ඇදගෙන ඉවරවෙලා හිටපු නිසා.මන් ඉතින් ගිහින් දොර ඇරියා.
"මිස්ටර් රොහාන් තේනුවර ඉන්නේ මෙහෙද?"
"ඔව් ඉන්ස්පෙක්ටර්..ඇයි එයාව හොයන්නේ?"
"තමුන් කවුද?"
"මන් එයාගේ වයිෆ්"
"අහ් අපි ආවේ එයාව...."
"සුලෝ කවුද?"රොහාන් එහෙම අහගෙනම ඉස්සරහට ආවා.රොහාන් පොලිසිය දැකලා ගොඩාක් කලබල උනා.
"ආ තමුන්ද රොහාන් තේනුවර?"
"ඕ...ඕ..ඔවු ඉන්ස්පෙක්ටර්"
"යමු අපිත් එක්ක.පොලීසියට ගිහින් ඉතුරු විස්තර දැන ගමු"
"රොහාන් ඇයි මේ?" පොලීසිය කියපු දේට රොහාන් එකග උනා වගේ පෙනුමක් තිබ්බා.රතු වෙච්ච ඇස් දෙකේ කදුලු පුරෝගෙන මන් දිහා ටික වෙලාවක් බල ඉදලා රොහාන්ම ගිහින් ජීප් එකට නැග්ගා.
ඇයි මේ? මොකද්ද මෙතන වෙන්නේ? මට ඔක්කොම පැටලිලා තිබ්බා.හැමදේටම මට ඉන්න නිශානිත් එක්ක මන් පොලීසියට ගියා.මන් යනකොට රොහාන් හිටියෙ හිර කූඩුවක.වට පිටේ කිසි දෙයක් ගැන බලන් නැතුව මන් කෙලින්ම රොහාන් ළගට ගියා.මාව දැක්ක ගමන් රොහාන්ට ඇඩුනා.
"ඇයි පැටියො මෙ මිනිස්සු ඔයාව මෙහෙම හිර කරන් ඉන්නේ?"
මන් එහෙම අහද්දි රොහාන් බිත්තියට හේත්තු වෙලා එහෙම්මම බිම වාඩි උනේ අඩාගෙනමයි.
"මට සමාවෙන්න සුලෝ...මට සමාවෙන්න"
මාත් එහෙම්මම බිම වාඩි උනා
"ඇයි දෙයියනේ මේ ඔයා මොකද්ද කරපු වැරැද්ද?කියන්න ඔයා මුකුත් කරලා නෑ කියලා"
"නෑ සුලෝ මන් ලොකු වැරැද්දක් කලා."
"අනේ රොහාන්...?"
"අපේ පුතාට ඇමරිකා යන්න සල්ලි ඕන උන වෙලාවේ මන් ගියේ ඔයාලගේ සුමනේ අයියා ළගට.අපිට ඕන වෙලා තිබ්බ තරම් ඉක්මනට සල්ලි හොයා ගන්න පුලුවන් නේද කියලා මට මතක් උනේ එයාගෙන් විතරයි.
"අනේ දෙයියනේ...."
"මොකද වුනේ කියලා හිතා ගන්න පුලුවන්නේද සුලෝ ඔයාට?"
"කියන්න ඉතින් මොකද වුනේ?" ලෝන් ගන්න පුලුවන් කම තියෙද්දි,සල්ලි තියෙන යාලුවොත් ගොඩ දෙනෙක් ඉද්දි,අම්මලා ළග දනින් වැටිලා හරි සල්ලි ඉල්ලගන්න පුලුවන් කම තියෙද්දි රොහාන් මොන එහෙකටද ඒ මනුස්සයා ළගට ගියේ කියලා මතක් වෙද්දි මට පුදුම කේන්තියක් ආවා.මගේ ජීවිතේට දෙයියනේ සැනසීම කියන වචනෙ එනවා යනවා විතරයි.මුලු ජීවිතේම ප්‍රශ්න වලින් පිරිල.
ඒ මොනවා වුනත් රොහාන් පුතාගේ ප්‍රශ්නේ තිබ්බ දවස් වල හිටියේ හරි හමන් සිහියකින් නෙමේ.සමහර විට ඒ දුක වෙන්නැති රොහාන්ව ඒ තීරණේ ගන්න පොලඹවන්න ඇත්තේ.රොහාන් පව්.රොහාන්ට ඕන උනෙත් අපේ පුතා එක දවසක් හරි වැඩිපුර අපි දෙන්නා ළග ඉන්නවා දකින්න.
"සුමනේ අයියාට අරාබියෙ වල ලොකු කස්ටමර් කෙනෙක් හම්බුනා කියලා එයාට කුඩු යවන්න බ්‍රෝකර් කෙනෙක් හොය හොය හිටියේ ඒ දවස් වල.ඉතින් මගේ ප්‍රශ්නේ මන් කිව්වම සුමනේ අයියා මට කිව්වා ඒ වැඩේට නම දෙන්න කැමතිනම් ඉල්ලන ඕන ගානක් සතියක් ඇතුලත දෙන්නම් කියලා.මන් ඇහුවම ප්‍රශ්නයක් වෙයිද කියලා එයා කිව්වා සම්පූර්ණ වගකීම එයා ගන්නවා කියලත්.මට ඒ වෙලාවේ ඒක ඇත්තද බොරුද කියලා හොය හොය ඉන්න තරම් සිහියක් තිබ්බේ නෑ සුලෝ."
"හ්ම්ම්...... දැන් මට මොකද්ද කරන්න පුලුවන් රොහාන්?"
"අනේ ඔහොම අහන්න එපා සුලෝ.මට බනින්න ඇයි මෙහෙම දෙයක් කරගත්තේ කියලා මට බනින්න..ඔහොම කතා කරද්දි මට මැරෙන්න හිතෙනවා සුලෝ."
"ඔයා එවෙලේ ඉන්න ඇති තත්වෙයි දැන් ඉන්න තත්වෙයි මට තෙරුම් ගන්න පුලුවන් රොහාන්.ඉතින් මන් කොහොමද ඔයාට මුකුත් කියන්නේ.ඔයා හැමදේම කලේ මන් වෙනුවෙනුයි පුතා වෙනුවෙනුයි කියලා කියන්න මන් හොදටම දන්නවා රොහාන්.ඔයා බය නොවී ඉන්න.මන් කොහොම හරි විසදුමක් හොයා ගන්නම්".
මන් නිශානිත් එක්ක එදා රෑ නිශානිලාගේ අම්මලගේ ගෙදර නැවතුනා.ඒ මිනිස්සු එදත් මාව දුවෙක් විදිහටම පිළිගත්තා.ඒක මගේ හිතට ලොකු සැනසීමක් උනා.
නිශානිගේ තාත්තගේ මාර්ගයෙන් අපි ලෝයර් කෙනෙක්ව කතා කරගත්තා.ඒ ලෝයර් කියපු විදිහටනම් රොහාන්ට එළියට එන්න තියෙන චාන්ස් එක ගොඩාක් අඩුයි කියලා කිව්වා.විස්තර හොයලා බැලුවම සුමනේ අයියා හැම තැනටම දාලා තිබ්බේ රොහාන්ගේ නම.කුඩු අයිති කෙනත් රොහාන්,පිටරටට යවපු කෙනත් රොහාන්,පිටරටින් ආපු සල්ලි ලැබුන කෙනත් රොහාන්..සුමනේ අයියගේ නම් කොහෙවත් ගෑවිලා තිබ්බේ නෑ.ඒ මනුස්සය මගේ අසරණ රොහාන්ව රවට්ටලා.ආයෙ අවුරුදු ගානකටම ගොඩ එන්න බැරි වෙන්න.
නඩුවෙදි උනත් අපිට රොහාන් නිර්දෝෂි කියන්න තරම් සාක්ෂි තිබ්බේ නෑ.සුමනේ අයියා උසාවිය පැත්ත පලාතේ ආවේ නෑ.මන් දහ පාරකට වඩා සුමනේ අයියා ළග බැගෑපත් වෙන්න ඇති මගේ රොහාන්ව බේරලා දෙන්න කියලා.ඒත් ඒ මිනිහට තිබ්බේ ගල් හිතක්.රනුකගේ සිද්දියත් එක්ක අල්ලලා ගත්ත මානුෂීය පැත්තක් විතරයි අපිට තිබ්බේ.ඒත් උසාවියකට මොකටද ඒවා සාක්ෂි නැතුව.
අවුරුදු දහයක්...ඔව් අවුරුදු දහයක්..ඒ රොහාන්ගේ දඩුවම.දරුවෙක් වෙනුවෙන් හීන බලපු තාත්තෙකුට හම්බ උන දඩුවම.
මට දැනුනේ මම පාවෙන මළ කදක් වගේ.අඩන්න කදුලක්වත් ඉතිරි වෙලා තිබ්බේ නෑ.පණ කෙන්දක් ඇගේ ඉතිරි වෙලා තිබ්බේ නෑ.නිශානි එයාගේ ගෙදර එන්න කිව්වත් රොහාන් මටයි අපේ පුතාටයි අරන් දීපු ගෙදර දාල යන්න මට හිතුනෙම නෑ.
සතියක් විතර නිශානි මා එක්කම හිටියා.ආයෙම බෑන්ක් එක ජොබ් එකට යන්න මට මගේ හිත ඉඩ දුන්නෙ නෑ.බෑන්ක් එකේ යාලුවෙක්ට කියලා කොළඹ ටෙක්ස්ටයිල් ෂොප් එකක ජොබ් එකක් හොයා ගත්තා. බෑනක් එකේ එක්ස්පීරිඅන්ස් එක හින්දා අකවුන්ටන්ට් කෙනෙක් විදිහට ජොබ් ලැබුනා.
සතියකට සෙරයක් මන් රොහාන්ව බලන්න ගියා.මන් තනියම අපේ ගෙදරට වෙලා ඔහේ හිටියා.බලාපොරොත්තුවක් නෑ.සතුටක් නෑ.ඒත් මන් ජීවත් උනා.රොහාන් වෙනුවෙන්.
රොහාන් රිමාන්ඩ් කරලා මාස පහකට විතර පස්සෙ සුමනේ අයියා අපේ ගෙදර ආවා.එදා මන් හොදටම බැනලා එයාව එලවගත්තා. එදා කර බාගෙන ගියාට ආයෙම ආවා සතියකට විතර පස්සේ.
-------------------------නැවතත්----------------
Thursday, December 31, 2015
****වළාකුලු බැම්ම **** (18)
චෙක් අප්ස් ඔක්කොම කරගෙන ඉවර වෙලා මාසෙකට පස්සේ ඒ කියන්නේ රනුකට මාස හයයි සති දෙකක් වුනහම එයාගේ සර්ජරි එක කලා.කිසි ප්‍රශ්නයක් උනේ නෑ.සර්ජරි එකෙන් පස්සේ අපි රනුකවත් එක්කගෙන ගෙදර අවේ හැමදෙයක්ම හොදින් විසදුනා කියලා හිතාගෙන.පුතා ගෙදර ආපු දවසෙ තමයි අපි හරියකට කෑමක්වත් කෑවේ.
ඒත් මාසයක් විතර යද්දි සර්ජරි එක කරද්දි කැපුම දාපු තැනින් සැරව ගෙඩි දෙක තුනක් ඇවිත් තිබ්බා.සහන්ට කෝල් කරලා ඒ ගැන කිව්වම සහන් කිව්වා ඉක්මනටම ඇවිත් ඒ ඩොක්ටර්ටම පෙන්නන්න කියලා.
"දැන් දවස් කීයක ඉදන්ද මෙහෙම තියෙන්නේ?"
"ඊයේ ඉදන් තමයි ඩොක්ටර් මෙහෙම තිබුනේ?"මන් කිව්වා.
"අපි බබාගෙ බ්ලඩ් කල්චර් එකක් කරලා බලමු..."
"ඩොක්ටර්..තුවාලේ පැහැවලා වගේද?"
"එහෙම තත්වයක් තමයි තියෙන්නේ.ඇන්ටි බයොටික් එකක් දෙන්නම්.බබාව හොදට බලාගන්න වෙනවා.තුවාලේ තියෙන තැන පිරිසිදුවට තියාගන්න.දැන් ටෙස්ට් එක කරගෙන රිපොර්ට් එකත් අරන් ආයෙම ඇවිත් මට පෙන්නන්න".
බෙහෙත් බිව්වට පස්සෙ නම් ආපු සැරව ගෙඩි එහෙම්මම බැහැලා ගියා.කරපු ටෙස්ට් එකෙත් කියන්න තරම් දෙයක් නෑ කියලා ඩොක්ටර් කිව්වා.
ඉතින් මායි රොහානුයි අපේ පැටියව හැම තප්පරේම ඇස් දෙක වගේ බලාගත්තා.තාම මාස හතයි ඒත් මොන තරම්නම් දේවල් වලට මූණ දුන්නද මේ පැටියා.ඒ ගැන මතක් වෙද්දි පුදුමාකාර දුකක් හිතට ආවේ.මේ පැටියට තවත්නම් දුක් දෙන්න එපා කියලා මන් දෙයියන්ගෙන් අනේක වාරයක් ඉල්ලන්න ඇති.ඒත් දෙවියෝ නිකමටවත් මන් කියපු දේ ඇහුවේ නෑ.
බෙහෙත් නවත්තලා සතියකින් විතර ආයෙම සැරව ගෙඩි එන්න ගත්තා.කලින්ට වඩා ලොකුවට.මගේ හිතට මොකද්දෝ බයක් දැනෙන්නත් ගත්තා.
ස්කෑන් කලා,ආපු සැරව ගෙඩියකින් සැරව අරගෙන ඒකත් පරික්ෂා කරල බැලුවා.
"මේකයි මිස්ටර් ඇන්ඩ් මිසිස් තේනුවර ප්‍රශ්නේ ටිකක් බරපතලයි.බබාගේ තුවාලේ ආසාදනය වෙලා දැන් ඒක තුවාලෙට යටින් තියෙන අස්ථියට පවා ආසාදනය වෙලා තියෙන්නේ".
"කොහොමද එහෙම දෙයක් වෙන්නේ.?" රොහාන්ගේ හඩේ තිබ්බේ දුකක්ද කේන්තියක්ද මන් දන්නෙ නෑ.
"මේකයි මිස්ටර් තේනුවර මෙ බබාගේ ප්‍රතිශක්තිය සාමන්‍ය බබෙක්ගේ තියෙනවට වඩා ටිකක් මන්දගාමීව තමයි වර්දනය වෙන්නේ.ඒ හින්දා තමයි මෙහෙම දෙයක් සිද්ද වුනේ."
"ඉතින් ඒක එහෙමනම් මොන එහෙකටද කලින් සර්ජරි එක කලේ?"රොහාන් අත් දෙකෙන්ම මේසෙට ගහගෙනම නැගිට්ටේ කේන්තියෙන්.සහන් ඒ ළගම හිටපු නිසා සහන් රොහාන්ව බදාගත්තේ අවශ්‍යම වෙලාවෙ.
"මට තේරෙනවා මිස්ටර් තේනුවර..ඒත් අපි එවෙලේ කලේ ඒ මොහොතේ කරන්න තිබ්බ උපරිම දේ."
"දැන්...දැන් අපි මොකද කරන්න ඕන?" ඇඩුම් අතරින් මන් ඇහුවා.
"බබාගේ වයස එක්ක අපිට ලොකු දෙයක් කරන්න බෑ මිසිස් තේනුවර.ඒත් ලොකු දෙයක් නොකර ඉන්නත් බෑ."
"අනේ...."
"සහන් විල් යූ??"
"ඕකේ සර්..අයි විල් මැනේජ්"
සහනුයි නිශානි එදා රෑ අපේ ගෙදර ආවා.ඒ ඩොක්ටර් සහන්ට කියලා තිබ්බා ආයෙම සර්ජරි එකක් කරන එක රිස්ක් එකක් කියලා.සර්ජරි එක කලත් ඒක් මෙහෙ කරන්න බැහැලු.ඇමරිකා යන්න වෙනවලු.ඒ ඩොක්ටර්ත් ගොඩාක් බබා ගැන දුක් උනාලු.එයාගේ යාලුවොන්ටත් කෝල් කරලා නෙට් එකෙනුත් ගොඩාක් විස්තර හොයලා බැලුවලු.
අපිට තීරණයක් ගතයුතුම වෙලා තිබුනා..
"රොහාන් අපි මොකද දැන් කරන්නේ?"
"අපි ඇමරිකා එක්කන් යමු පුතාව."
"රොහාන් සල්ලි...?"
"හ්ම්ම්... මොනවා හරි කරලා හොයා ගන්න වෙනවා.අත ඇරලා දාන්නෙ කොහොමද මේ අපේ පැටියගේ ජීවිතෙනේ"
"ඔව් රත්තරන් ඔව්... අපි කොහොමද මෙච්චර සල්ලියක් හොයන්නේ?"
"ඔයා ඒක ගැන හිතන්න එපා.ඒක මට බාර දෙන්න.ඔයා අපේ පැටියව බලාගන්න සුලෝ.ඒ ඇති"
"අම්මලගෙන් අහන්න"
"ආයෙනම් ඕක කියන්න එපා.මට එයාලගෙන් කිසි දෙයක් ඕන නෑ.නිකමටවත් ආවෙ නෑ මගේ කොල්ලව බලන්න මන් අච්චර කියලත්."
රොහාන් එහෙම කියාගෙනම නැගිටලා කාමරේට ගිහින් ශර්ට් එකක් දාගෙන කාර් එකෙ නැගලා කොහෙද යන්න ගියා.මන් ඇහුවට කිවෙත් නෑ.
.........
ඇමරිකා යන්න හැමදේම ලෑස්ති කෙරුනා.ඒ මාස දෙකකටත් වඩා අඩු කාලයකින්.බබාගෙ පෙනුමත් එන්න එන්නම දුර්වල උනා.හැම තිස්සෙම උණ හැදුනා.එක වරුවකට බෙහෙත් ගොඩාරියක් බොන්න උනා මගේ පැටියට.රනුක දිහා බලද්දි මට වාවගන්න බැරිව ගියා.ඒ තරමටම ඒ පොඩි දරුවා අසරණ වෙලා හිටියා.
ඇමරිකා යන්න සහනුත් අපිත් එක්ක එන්නම් කියලා කිව්වා.ඒක රොහාන්ටයි මටයි සෑහෙන්න ලොකු උදව්වක් උනා.ඒත් රොහාන් ඒ ගමනට සල්ලි හොයා ගත්තෙ කොහොමද කියලනම් කිව්වෙ නෑ.හැම තප්පරේම රනුක ගැන හිතපු නිසා මට ඒක රොහාන්ගෙන් අහන්න මතක් වුනෙත් නෑ.
හැමදේම පිලිවෙලකට වෙද්දි එක දවසක් රෑ රනුක පුදුම විදිහට අඩන්න ගත්තා.සහලෝල උණ අරන් තිබ්බා.එවෙලෙම අපි එයාව එක්කන් හොස්පිටල් එකට ගියා.රොහාන් හොදටම බය වෙලා හිටියේ.මට...මට මෙලෝ සිහියක් නැතිව හිටියේ.ගිය ගමන් රනුකව අයි.සී.යූ. එකට ගත්තා.ඒ අපේ පැටියා අපි එක්ක හිටපු අන්තිම මොහොත කියලා අදටත් මට හිතාගන්න බෑ.ආසාදනය ඇති කරපු බැක්ටීරියාව ලේ වලට ගිහින් සෙප්සිස් කියන තත්වය ඇති වෙලාලු..
-------------------------නැවතත්----------------
Wednesday, November 11, 2015
මේ කතාව මගේ.....
කාලයක් තිබ්බා කිසිම දෙයක් හිතන්නැතුව ඔහේ ජීවිතේ ගලාගෙන ගියපු.ඒ දවස්වල මට මන් ගැන හිතන්න ගොඩාක් දේවල් තිබ්බා.ඒත් ෆිල්ම් වල වෙනවා වගේ කොහෙද මන්දා ඉදන් කෙනෙක් මගේ ජීවිතේටත් ආවා.හැමදේම නැති උනත් ගොඩාක් දේවල් වෙනස් වුනා.මට මාව මගහැරුනා වගේ දැනුනා.ඒත් මන් ඒකට ආස කරන්න ගත්තා.මගෙන් මාව අත ඇරිලා ඔයාව හොයන කොට ඔයා ලගින් වෙන කෙනෙක් හිටියා.හ්ම්..ආයේ යන්නේ කොහොමද මට මාව හොයා ගන්න බැරි උනා.මන් ඔයා ලගම ඔයාට නොපෙනෙන්න හැන්ගිලා හිටියා...ඒත් එක පාරටම ඔයා මාව දැක්කා.ඉතින් මට ආයේම ඔයා එක්ක හැන්ගි මුත්තන් සෙල්ලම් කරන්න ඕන උනේ නෑ.
ඊට පසේ මට ඔක්කොම නීති රීති ටික කියලා දීලා,තවත් සෙල්ලම් කලොත් මොකද වෙන්නෙ කියලත් කියලා දීලා,ඔයාගේ සෙල්ලමට කාවවත් අඩු නෑ කියලත් කියලා දීල ඔයා ඔයාගේ සෙල්ලමම කරා.ඔයා දිව්වා.ඔයා දිව්වේ රවුමක.මන් ඔයා පස්සෙන් ඒ රවුමෙම දිව්වා.ඔයාට තරමක් කිට්ටු වෙද්දි මන් හිතුවේ මන් ඔයාව ඇල්ලුව කියලා.ඒත් ඒක රවුමක් ඔයා දිව්වේ ඔයාගේ දහවෙනි වටේනම් මන් ඒ දිව්වේ පලවෙනි වටේ.ඉතින් කිට්ටු උනා කියලා පෙනුනට ඔයා මට වඩා ගොඩාක් දුරින්.
හ්ම්..
මට රවුමේ දුවන්න ඕන නෑ.හති වැටෙන්න ඕනත් නෑ.මොකද මන් ජීවිතේ කාගෙවත් පස්සෙන් මෙච්චර දුවලා නැති හින්දා.ඒත් මේ ඔයා.නවතිනවද දුවනවද කියලා මට තාම හිතාගන්න බෑ.ඒත් නවතින එක තමයි එකම විසදුම කියලා මට ඇරෙන්න අපි දුවන දිහා බලන් ඉන්න ඔක්කොම දන්නවා කියලා මන් දන්නවා.ඔව් ඔයත් දන්නවා.
ඉතින්...
මේක මහා අමුතු දෙයක්.ඒක මේ විදිහට දැනෙයි කියලා මන් හිතුවෙම නෑ.නිහඩ කැපකිරීම් ළග මට නවතින්න බැරි උනා.ඒ හින්ද වෙන්න ඇති මන් හිතේ තියෙන හැම දේම ඔයාට කිව්වේ.ඔයාට කරන්න කිසිම දෙයක් නෑ.මන් දන්නවා අයියේ.
මේ බැදීමට නමක් දෙන්න මන් දන්නෙ නෑ.ඒත් මේ බැදීම ඇතුලේ තියෙන්නේ ආදරේ විතරයි කියලා මන් කියනවා.දැනෙනවනම් ඔයාට විශ්වාස කරන්න..
කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව මන් මගේ මුලු හිතින්ම ඔයා ගැන හිතුවේ කොහොමද කියලා අදටත් මට පුදුමයි.ඉතින් ඔයා ගැන හිතන්න පුලුවන් මට ඉස්සරහටත්..අක්කි ආවත් අක්කිව මැරි කලත් ඒ එකකටවත් බෑ මන් ඔයා ගැන හිතන එක නවත්තන්න.මොකද මේ කතාවෙදි ආදරේ කලේ මo,මoම විතරයි.
ඉතින් මේ කතාව මගේ..
Subscribe to:
Posts (Atom)