Saturday, March 21, 2015

****වළාකුලු බැම්ම **** (01)

 

 

"උපාසක අම්මා මොකද මේ අවේලාවේ මේ පැත්තේ?"

"ගෙදර ඉන්න කම්මැලි මෙහෙණින් වහන්ස., කවුරුත් නෑනේ ඉතින් කතා කරන්නවත්"

"ආ මාත් මේ බණ පොතක් අතට ගත්තා කියවන්න කියලා"

"මෙහෙණින් වහන්සෙට බාධාවක්නම් මන් ගිහින් එන්නම්"

"නෑ නෑ උපාසක අම්මා ඉන්නකෝ...ඉතින් පුතා කවද්ද රට ඉදන් එන්නේ?"
ගුණවති උපාසක අම්මගෙන් එහෙම අහගෙනම මන් ඇයත් සමගම බෝමලුව දිහාවට ඇවිද ගෙන ගියා.වැඩිපුර අව්වත් නැති හිරුගෙ රස්නෙ තරමක් පාලනය වෙලා තිබ්බ  වෙලාවක් හින්දා බෝ සෙවණ යට ඉන්න අපහසු උනේ නෑ.බෝ මලුවේ වැලි කැට පයට පෑගෙනකොට දැනෙන සනීපයට මන් ආස කලා.ඒත් මහණ වුන මුල් දවස් වල ඒ වැලිකැටම මගේ කකුල් රිද්දපු හැටි තාම මතකයි.,ඒත් එදාට වඩා දැන් හැමදේම වෙනස් වෙලා.
බෝධින් වහන්සෙ වට කොට ඉදි කරල තිබ්බ අටවිසි බුදු වරුන්ගේ පිළිම දිහා බලාගෙන ගුණවතී උපාසක අම්මයි මායි එක පාරක් බෝධිය වටේ ගියා.ගුණවතී උපාසක අම්මනම් මල් ආසන වල තිබ්බ මල් වලට අත ගහලා වදිනවත් මන් දැක්කා..

පන්සල් මලුවෙන් බෝධි මලුව වෙන් කරලා තියෙන්න වලාකුලු බැම්මකින්.ඒ වලාකුල් බැම්මේ එක පැත්තකින් පන්සලේ එක මායිමක් වෙන්වෙලා තියෙනවා.එතනින් එහා තියෙන්නේ තරම පල්ලමක් එක්ක තියෙන කැළයක්.පන්සල් මලුවට ඒක කැලයක් වගේ පෙනුනට ලොකු මෙහෙණින් වහන්සෙනම් කිව්වෙ ඒක ගම්මානයක් කියලා.ඊට තරමක් ඈතින් ලා කොළ පාටට කුඹුරු යායක් පේනවා.ගිනිපෙට්ටි තුන හතරක් එකට තිබ්බා වගෙ තරමට පෙනුනට ඒක අක්කර ගානක කුඹුරු යායක් වෙන්න ඇති.ඊටත් ඈතින් පන්සල් වත්තෙන් බාගයක්ම වැහෙන තරමට එක දිගට දිවෙන කදු පන්තියක් තියෙනවා.හැමවෙලේම ඒ කදු මුදුන් මී දුමෙන් වැහිලා.ඉර පායනකොට ඒ මීදුම ඉරාගෙන හරිම අමාරුවෙන් වගේ හිරු රැස් දෙක තුනක් බෝමලුව පැත්තටත් වැටෙනවා.ලගදි මහණ වුන පොඩි මෙහෙණින් වහන්සේ නමක් හැමදාම මෙතනට ඇවිත් ඒහිරු රැස් වලට මූණ අල්ලන් ඉන්නවා.අවුරුදු පහළොවක් විතර ඇති මන් හිතන්නේ ඒත් කොහොම හරි ඒ මෙහෙණින් වහන්සෙ හින්ද තමයි මාත් මුලින්ම ඒ ලස්සන දර්ශනේ දැක්කේ.අපිට වඩා කොච්චර දෙවල් පොඩි අයගේ හිත් වලට පේනවද කියලා එදා මට දැනුනා.

"මොනවද මෙහෙණින් වහන්ස කල්පනා කරන්නේ?"


"ආ උපාසක අම්මා වැදලා ඉවරද? මන් මේ වට පිට දිහා බලන් හිටියා ටිකක් උපාසක අම්ම වැදලා ඉවර වෙනකන්"


මන් බණ පොතත් අත් දෙක අතරේ රදවගෙන බෝධින් වහන්සේ දිහාවට හැරිලා වළාකුලු බැම්මට හේත්තු වුනා.


"හරිම ලස්සනයි නේද මෙහෙණින් වහන්ස මේ පලාත?"


"ඔව් ඒක තමයි මන් මෙහෙට එන්න හිතුවේ..මෙ නිස්කලන්ක බව වෙන කොහෙවත් මට දැනිලා නෑ"


"මෙහෙණින් වහන්ස මහණ වෙන්න කළින් මොනාද කලේ කොළඹ?"

ඇය  එහෙම ප්‍රශ්නයක් අහයි කියලා මට නිකමටවත් හිතුනෙ නෑ.එහෙම හිතුනනම් මන් මේ මාතෘකාවට කීයටත් මුලපුරන්නේ නෑ කියලා මන් මටම පොරොන්දු වෙලා හිටියේ.මොකද ඒ මන් තවමත් අමතක කරන්න උත්සහා කරන අතීතෙක ශේෂ වුනු මතකයන් ආපහු ගොඩ ගන්න හදන ප්‍රශ්නයක්.ඒත් ගුණවතී උපාසක අම්මගෙ පැනයේ තිබුනේ පිළිතුරක් අවශ්‍යම ස්වභාවයක්.


"මහණ වෙනකොට මන් කොළඹ පෞද්ගලික ආයතනයක රස්සවක් කලා."


"ඉතින් එතකොට මහන වුනේ?"


හිතපු කාරණාව හරියන බවක් මට හිතුනා.එක ප්‍රශ්නය දැන් දෙක තුනක් වී අවසන මගේ සම්පූර්ණම කතාව මා ලවා කියවගනීවි කියව ගනට යන බවක් මට දැනුනා.

මගේ කතාව කියන එක මට ගැටලුවක් නොවේ.නමුත් එහි හැම අස්සක් මුල්ලක් නෑරම නැවතත් ආවර්ජනය කිරීම හිතට හරිම වෙහෙසක්..

භාවනාවෙන් හිත දියුනු කරගෙන මේ තරමින් හරි නොසැලී ඉන්න පුලුවන් උනේ මේ සාසනේට ඇතුල් උනාට පස්සෙ.ඒත් මෙහෙණියක උනත් පෘතග්ජන ස්වභාවය නිසා නැවත් එකම කාරණා හිතට වද දීම පොදු කාරණයක්.ඒ බව එලෙසින් කියා මුල් දවස්වල මගේ හිත හදන්න හුගාක් උත්සහා කලේ මෙහෙ ලොකු මෙහෙණින් වහන්සෙ.ඉතින් මඩේ පිපුනත් නෙලුමක් වුවත් ජල තලයෙන් මතුවී මඩ නොගෑවී පිපෙනවා වගේ සියල්ල අමතක කරල කොහොම හරි මේ හිත දියුණු කරගන්න හදද්දි එක පාරටම මෙහෙම සුළිසුළන් හමා ගෙන යනකොට නෙලුම වුනත් ජල තලේ ගෑවෙනවා..


"ඒක දිග කතාවක් අම්මේ"


"දිග කතාවක් කිව්වේ?"


"උපාසක අම්මට රෑවෙයි ඒක අහගෙන හිටියොත්."


"අපෝ ඒකට මොනා වෙනවද ගෙදර කවුරුත් නෑනේ.අනික ඉතින් මහ දුරකුත් නෙමෙනේ මන් ඉන්නේ"


"හ්ම්ම්..එහෙමද?"


ගුණවතී උපාසක අම්මත් ඉතින් සාමන්‍ය කාන්තාවක් නේ.කාගේ හෝ කුමන කතාවක් අහගෙන ඉන්න අසා දැන ගන්න පුදුම ආසාවක් තියෙන්නේ කියලා මට හිතුනා.

                                                                       ------------නැවතත්-----------