Monday, January 26, 2015

දින 100..

 

 

එක දවසක් හිත රහසින් මුමුණ මුමුණ මෙහෙම කිව්වා
දැක්කද මේ ළගකදි අර ලන්කාවේ ඡන්දෙ තිබ්බා
ඒකාධිපතිලු ඒ හිටියේ ඔහුව ගෙදර යැව්වා කිව්වා
යහ පාලනෙ රජ කොරන්න ගොවියෙක් රට බාර ගත්තා

 

ඉතින් අනේ මට මොකටද ඔයා ඉතින් ඕක කියලා
මන් ඇහුවා හිතෙන්ම වෙන වැඩ නැතිවද ඔහෙට කියලා
ටිකක් තරහා ගිහින් වගේ හිතත් ඉතින් මෙහෙම කිව්වා
මටත් ඕන යහ පාලනෙ මගේ රජා ගෙදර යවලා
 

හිත කිව් දේ ඇසූ සැණින් එක පැනයක් මට නැගුනා
තාම රැයක් ගෙවුනේ නැද්ද ආප්පෙකට වගකියලා
ඔහෙගෙ රජා පරදවන්න ලේසි වේවි යැයි කියලා
හිතුවේ ඇයි මොනාද ඔහෙ කරන්නෙ රජකම ලැබිලා

 

බයවෙන්නෙපා දින සීයක පොරොන්දු ටික මන් හැදුවා
විධායකය ඉවත් කොරලා මොළයට දෙන්නට සිතුවා
හැගීම් මතක හීන වලට ඉන්න ඇමතිලාව කපලා
එකම ධූරයක් හදනවා යාතර්තෙ ලෙස නම් කරලා

 

මනෝ ගහලා වැය කරවපු ජාතික තත්පර හොයලා
අල්ලස් කොමිසමට දෙනවා දිනත් එක්ක ගාන හදලා
වැල්ලේ හදපු රජ මාලිග කීයක් තියෙනවද කියලා
හොයන්න මන් බාර දෙනවා ලගදි ආපු නැවට නැගලා


 

හපොයි හපොයි ඔය ඇති දැන් තව පැනයක් මට නැගුනා
දින සීයක් ඔය විදිහට ගියා කියලා මන් හිතුවා
ඊට පස්සෙ මොකද වෙන්නේ තව පොරොන්දු නැතිද හැදුවා
අනේ අපොයි කියවෙයිදෝ මගේ හිසේ අත ගැසුනා

 

ඉන්න ඉන්න ඉවසන්නකො ඒකට උත්තර හෙව්වා
මැති සබයම විසුරුවලා පෙරලා ගන්න ආයෙ හිතුවා
විධායකය මොළේ හින්දා පාලනේ දැන් මට නැතුවා
යහ පාලනේ කොයිබ ගියත් මගේ නිදහසෙ මන් හිටියා

Saturday, January 17, 2015

ඔව් එයාලා හරි..!!!!

 

ඉස්සර බිත්තිය පොළවට ගෑවෙන තැන ඇද නැතුව ලස්සනට රතු පාටින් පාට කරපු තීන්ත පටියක් තිබ්බා.කාලෙකින් එහෙ ගිහාම දැක්කේ බිත්තියෙන් භාගයක්ම වහගෙන යන තරමටම වල් වැවිලා.ඉස්සර ලස්සනට තිබ්බ රතු තීන්ත පටිය ඒ කොල පාට වල් පැළ අතරින් යාන්තම් පෙනුනා.ඒත් රතු පාටට නෙමෙ දුඹුරු පාටට.වෙනදා හරිම ලස්සනට අතුගාලා හැමතිස්සෙම පොල් අත්තක රටාව ගත්තු මිදුලෙ වැලිකැට දැන් තැන් තැන් වල කල්ලි ගැහිලා.කට්ටියක් ඔහේ මැලවෙන්න ඔන්න මෙන්න ගිය කූඩලු පාත්තිය ළග.,කට්ටියක් බෑ බෑ කිය කිය මලක් දෙකක් පුප්පන ඉද්ද ගහ වටේට.,දවස් ගානකට කලින් වැටුන පොල් අත්තක් පුරාම තව කට්ටියක් කල්ලි ගැහිලා.,ඒ වගෙම තමයි මුලු මිදුල පුරාම සී සී කඩත් පුන්චි පුන්චි කල්ලි.තව ඒ දවස් වල ලස්සන්ට කප්පාදු කරලා තිබ්බ අන්දර වැට.අනේ ඒකට වෙලා තියෙන දේ.අන්දර ගස්වල අතු දැන් එයාලට ඕන ඕන පැත්තට හැරිලා,එයාලා එයාලගේ ලෝකයක් හදාගෙන.

ඉස්සර මට මතකයි ආච්චි අම්මා අපේ ගෙදර ආවම කිව්වේ,
'ළමයෝ ගෙදරකට ශ්‍රියා කාන්තාව වඩින්නේ ඒ ගෙයි මිදුලේ ඉදන්ම පිළිවෙලකට පිරිසිදුවට තිබ්බොත් තමයි', කියලා.
ඉතින් දැන් මේ මොකද වෙලා තියෙන්නේ අපේ ආච්චි අම්මා ශ්‍රියාකන්තාව එක්ක තරහා වෙලාවත්ද ?නැත්තන් ශ්‍රියා කාන්තාවට වැඩ වැඩි වෙලාද?මට එහෙම හිතුනා.

කාලෙකින් ආච්චිඅම්මලගේ ගෙදර ගිය නිසා එහෙ හැමදේම වෙනස්වෙලා කියලා හිතුනා.ඇත්තටම ඒක එහෙම තමයි ඉතින්.කොහොම හරි අපි එන සද්දේ ඇහිලා ගේ ඇතුලේ ඉදලා ආච්චිඅම්මා එළියට ආවා.
'කීයටද එහෙන් ආවේ? එනවා කියපු වෙලාවට ආවනම් දැන් මෙලහට දහ පාරක් එන්න වෙලා'
'උදේ අම්මේ ආවේ සාලිය වැඩට ගියාට පස්සෙ ඉතින් හෙමීට ආව'
එහෙම කිව්වේ අපේ අම්මා.
'හ්ම් දැන් කාලත් නෑ නේද?කෙල්ලට බඩගිනිත් ඇති'
මන් හිනා වෙල ගිහින් ආච්චිඅම්මගේ අතකින් එල්ලුනා..
ආහ් මගේ බර දරන්න දැන් ඒවට හයියක් නෑ කියලා මට හිතුනා.ඇටකටු වලට උඩින් නිකන් තියෙන්න ඕන නිසා තියෙනවා වගේ හම අහු උනා.ඒකත් රැලි වැටිලා

ඒ හින්දා මන් තවත් ඒ අතට බර දුන්නේ නෑ..
'කෝ සීයා ආච්චිඅම්මේ?'
'ඔය පුවක් වගයක් අහුලන් ඇවිත් ලෙලි ගගහා හිටියා ඉස්සෙල්ලා දැන් කොහෙද දන්නෑ..ඔය පිළිකන්න පැත්තේ බලන්න ඇති'
මන් ගියා සීයව හොයාගෙන.සීය හිටියේ වැට මායිමේ කොනකට වෙන්න තිබ්බ තලන බටු පාත්තිය ලග.ඒ වත්තේ සරුවට වැඩුනු එකම පාත්තිය උනේ ඒ තලන බටු පාත්තිය විතරයි.සීය අර පුවක් ලෙලි ටික ඒ පාත්තිය වට කරලා තිබ්බ තැඹිලි කෝම්බ වැටට ඇතුල් පැත්තෙන් අඩුක් කරකර හිටියේ.
මන් ළගට යනකන්ම දැනුනේ නෑ කවුරු හරි ආව කියලා.
'සීයේ'
ම්ම්... සද්දයක් නෑ..
'සියේ..'
ඒත් නෑ..
'සියේ....'
කළින් දෙපාරටම වඩා හයියෙන් මන් කතා කලා.
'ආ....'
යන්තන් වැඩේ නවත්තලා මන් දිහා බැලුවා.ඒත් අදුර ගත්තේ නෑ.
'කෝමද සියේ?'
'හොදයි හොදයි'
හිනාවෙවි පාත්තිය ළගින් නැගිට්ටේ කර කර හිටපු වැඩෙත් බාගෙටම නවත්තලා.හිනා වුනේ සතුටට වෙන්නැති කියලා මන් හිතුවා.ඒත් මාව හරියට අදුර ගන්නෙත් නැතුව ...
කමක් නෑ මන් වැඩිය මුකුත් හිතුවෙ නෑ..සිය ගෙ පස්සෙන්ම මාත් ගියා.
'දැන් ලෙඩ හොදයි නේ සීයේ?'
'ඒව හොදයි.දැන් මේ බෙහෙත් වල සැරට රත්තයා වගේ ඇගෙන් සැර පිට දානවා.ඒක තම්යි දැන් තියෙන්නෙ.නවත්තන්න ඕන බේත් ටික'
මුලු ගතින්ම දිරාඅ ගිය පාටක් පෙනුනත් ඒ හිත නම් තාමත් කොල්ලෙක්ගේ වගෙ කියල මට හිතුනා.තමන් ලෙඩින් කියලා පිලිගන්නෑ.තාම මුලු ලෝකෙම උනත් හොල්ලන්න පුලුවන් කියලා තමා එයා හිතන්නේ.

 

මාස දෙකකට විතර කලින් මොළේ ලේ කැටියක් හිරවුනා.එච්චර දරුණුවට උනේ නැති නිසා බෙහෙත් බිව්වම හරි ගියා.ඒත් එදා ඉදන් සීයගේ කල්පනාව එන්න එන්නම අඩු උනා.ආච්චිඅම්ම ඇස් දෙක වගේ සීයව බලා ගන්න හින්දා තමයි සීය තාම මේ විදිහට ඉන්නෙ කියලා මට හිතුනා.
මන් ඕවා හිත හිත යනකොට ආච්චිඅම්මා කතා කලා.
'එන්න කන්න.පස්සේ බැරියැයි මූණ සෝදගන්න'
ඒත් ගමන් මහන්සියත් නිසා වොශ් එකක් නොදා කන්න මට හිතුනෙම නෑ.
'බෑ ආච්චිඅම්මේ මන් නාලා එන්නම්'
'හා එහෙනම් ඉක්මනට එන්න.ඔය ලිදෙන් අදින්න බැරිනම් අරකෙන් නාගන්න,හැබැයි පාරේ වතුර තමයි'
'හා කමක් නෑ.. '

ඇදුම් මාරු කරලා බැරිමරගාතේ ආච්චිඅම්මගේ රෙද්දකුත් ඇදගෙන මන් ගියා නාන්න.ළිද ළගම වටේට අතු එහෙ මෙහෙ ගිය ලාඩප්ප ගස් වලින් වට වුන තැනක තිබ්බ ශවර් එකෙන් වතුර ටිකක් ඇගට වැටෙන කොට දැනුන සනීපෙ සිමෙන්ති බිත්ති හතරට කොටුවෙලා තියෙන වෙලා සුදු යකඩ ශවර් එකෙන් වැටෙන වතුරට වඩා සිය දහස් ගුණයක් කියලා දැනෙන්න මහා ලොකු වෙලාවක් ගියේ නෑ.
අව්වට කර වෙලා වගේ තිබ්බ හිස්මුදුනට සීතලට වතුර වැටෙද්දි එක එක ඒව කල්පනවෙන්න ගත්තා මට.

ඇත්තටම මේ ජීවිත තනිවෙලාද? නැත්තන් තනිවීම මෙයාලගෙ ජීවිතේ වෙලාද?

මෙයාලා තනිවෙලා කියලා කියන්න බෑ කොහොමවත්.නිතර නිතර ඇවිත් ගියේ නැති උනාට අපිත් එක්ක ඇවිත් ඉන්න කියලා අම්මා සැරින් සැරේ ෆෝන් එකෙන් කතා කරනවෙලාවටත් කියනවා මන් අහලා තියෙනවා.ඒ හැමවෙලේම මේ ගෙවල් දොරවල් පාලුවට යන්න දීල එන්න බෑ කියලලු ආච්චිඅම්ම කියන්නේ.ඉතින් එහෙනම් වෙලා තියෙන්නේ මෙයාල තනිවීම ජීවිතේ කරගෙන නෙමේද?? අනේ මන්ද මට හිතෙන්නෙ නම් එහෙමයි.

එයාලා හිතන්නේ පුන්චි කාලේ ඉදන් අඩුවක් නැතුව හැමදේම දීල ළමයි හැදුවා ඊට පස්සෙ බන්දලා දුන්නා.දැන් ඒ ළමයින්ගේ ලමයිනුත් ලොකු වෙලා බුදුන්ගෙ පිහිටෙන් දෙයියන්ගේ පිහිටෙන් ජීවත් වෙනවා ඉතින් අපි මොකටද කරදර කරන්නේ කියලා.ඒ වගෙම තමයි අනිත් පැත්තෙන් එයාල හිතනවා දුක් මහන්සියෙන් හම්බ කරලා ගත්තු ඉඩම්  හදපු ගෙවල් දොරවල් දාලා හිත හදාගෙන යන්නේ කොහොමද කියලා.හ්ම්..එයාල එක පැත්තකින් අත ඇරීම පුරුදු කරනවා ඒවගේම අනිත් පැත්තෙන් ඊට හරියන්න බැදීමුත් ඇති කර ගන්නවා.තම ආදරය කරන අයගේ සතුට ගැන හිතලා බැදීම් අත හරින්න එයාලා ලෑස්තියි.ඒත් ඒ අයගේ පුරුදු අත ඇරලා එතනින් එහාට අඩියක් තියන්න බැරි තරම් එයාල ඒ පුරුදු වලට බැදිලා.අනේ මන්දා ජීවිතේ හරි පුදුමයි.එයාල හරිද වැරදිද කියන්න මන් දන්නෑ.ඒවා ගැන තීරණේ කරන්නත් මට බෑ.මොකද එයාල මට වඩා දශක ගානක් මේ මහ පොළොවෙ පය ගහපු මිනිස්සු.අපිත් ඔය වයසට එනකන් හිටියොත් අපිත් ඔහොම නොවේවි කියල සහතික වෙන්න බෑනේ.ඉතින් නොහිත ඉන්න හිතුවා.


'ළමයො දැන් කීයටද නාන්න ආවෙ.අර හැමෝම කාලත් ඉවර වෙන්න යන්නෙ'

ආච්චිඅම්ම ඇවිත් කියනකන් මට වෙලාව යනවා දැනුනේ නෑ.

'හා ආච්චිඅම්මත් කන්නකො.මගේ බත් එක වහල තියන්න මන් හිමින් සැරේ ඇවිත් කන්නම්'

'ඉක්මනට ආවනම් කනවනේ ළමයෝ'

'අනේ අච්චිඅම්මියේ වහල තියන්න මන් පස්සේ කන්නම්'

'හා හා එහෙනම් මන් කනවා'


ආච්චිඅම්ම එහෙම කියලා ගියේ ටිකක් හිත රිදිලා කියලා මට නොතේරුනා නෙමේ.ඒත් මට එහෙම කියවුනා.

ආච්චිඅම්ම යන දිහා බලගෙන ඉද්දි මට තේරුණා..,

ඔව් එයාල හරි අපි හැමෝම තනිවීම ජීවිතේ කරගෙන...

 

(හැමදාම දකින හීනයට කොමාවක් දාලා කෙටි කතාවක් වගේ එකක් ලියන්න දරපු පොඩි උත්සහායක්.. වැරදි ඇති.කැමති පෙන්නලා දෙනවනම්)