Friday, February 20, 2015

^^^^කැන්ටින් එක^^^^



"තාම එකොලහා මාරයි නේ වෙලාව.දොළහටම කමු.බඩගිනිත් නෑනේ."

"එතකොට කට්ටිය පිරෙනවානේ"

"කට්ටිය එනකොට කෝමත් දොළහා පහු වෙනවනේ..අපි දොළහට යන්"

දොළහට කලින් අපේ වැඩ ඉවර උන වෙලාවට අපේ අය කරන්නේ ඉක්මනටම කැන්ටින් එකට ගිහින් දවල්ට කන එක.නැත්තන් හැම බැජ් එකකටම ඉවර උනාම කැන්ටින් එකේ ලොකු පෝළිමක් හැදෙනවා.ඊට කලින් නිදහසෙ කාලා කැන්ටින් එකෙන් ගිහින් ඔහේ කියෝ කියෝ ඉන්න එහෙමත් නැත්තන් ලයිබ්‍රි එකට ගිහින් බොගන්න තමයි අනිත් අයට ඕන කලේ..

ඒත් එක්කෙනෙක්ට ඕන උනේ අනිත් හැමෝම එනකන් ඉදලා කැන්ටින් එකට යන්න.මොකද ඒ හැමෝම අතරෙ එයාට ඕන උනා එයා හොයන ඇස් දෙක දකින්න.

"දොළහට පහයි අපි යමුද?" එහෙම අහන්නෙ එයාගෙ යාලුවා.

"හා යමු"

 ඉතින් එයා එයාගේ යාලුවත් එක්ක කැන්ටින් එකට යනකොට දොලහ පහුවෙනවා.හිතපු තරම් පෝළිමක් නැති උනත් තරමක පෝළිමක් තියෙනවා.සෙනග අඩු පෝළිමක් බලලා ඒ දෙන්නත් හිට ගන්නවා.පෝළිමේ ඉදගෙන වට පිට බලන්න බැරි නිසා එයා කොහොම හරි ඉවසගෙන ඉන්නවා  ඒ ඇස් දෙකේ අයිති කාරයව (අපි X කියමුකො) දකින්න .

ඉතින්..,

..............



සමහර දවසට.,

එයා එහෙම පෝළිමේ  ඉදන් එලිය බලන්  ඉද්දිම යාලුවො එක්ක හිනා වෙවි X ලැබ් කොර්ට් එකත් දාගෙන හොස්පිටල් එකෙන්(අපෙ හොස්පිටල් එක කැන්ටින් එක ළගනේ තියෙන්නේ)එනවා දකිනවා..

සමහර දවසට.,

එයා ඉන්න පෝළිමට එහා පෝළිමේ එයාට කලින් X ඇවිත් ඉන්නවා දකිනවා.,

සමහර දවසට.,

එයා ඉන්න පෝළිමට ලගම පෝළිමේ එයා ළගින්ම X ඇවිත් හිටගෙන ඉන්නවා දකිනවා.එතකොටනම් වචනයක් දෙකක් කතාත් කරනවා.,
...............

ඊට පස්සෙ එයයි එයාගේ යාලුවයි කෑම එකත් අරගෙන ඉඩ තියෙන තැනක් බලලා ඉද ගන්නවා.උදේ කරපු වැඩයි හවස කරන්න තියෙන වැඩයි තව කාගෙ හරි ඕපෙකුයි කියෝ ගෙන එයාල කෑම කනවා.ඒ අතරෙ එයා X ව හොයන්න ගන්නවා.

සමහර දවසට.,

එයා කන්න ඉද ගන්න මේසේට කෙළින්ම පේන තැනක X ඉදගෙන කනවා දකිනවා.(කොකා කෝලා එකකුත් මේසේ උඩ)

සමහර දවසට.,

එයාව දැක දැකත් නොදන්නවා වගේ ගිහින් X වෙන තැනකින් ඉද ගන්නවා දකිනවා.

සමහර දවසට.,
එයා කකා ඉන්නකොට X කැන්ටින් එකට එනවා දකිනවා.එයාව දැක්කොත් හිනා වෙලත් යනවා.

සමහර දවසට.,

එයා කන්න පටන්ගන්නකොට X කාල බීල ඉවරත් වෙලා රජ වීදියේ ඉදගෙන යාලුවොත් එක්ක කියෝ කියෝ ඉන්නවා දකිනවා.

...............

කොහොම හරි ගන්න පුලුවන් උපරිම වෙලාව අරන් කාලා යාලුවත් එක්කම නැගිටලා යනවා අත සෝදන්න.සීමාවක් නෑ එයාගේ ඇස් දෙකට ඉතින් එතනත් X ව හොයන්නවා.

සමහර දවසට.,

එයාට කලින් කාලා ඉවර වෙලා X ඇවිත් වතුරත් බීලා යනවා දකිනවා.එයාව දැක්කොත් හිනාත් වෙනවා.

සමහර දවසට.,

එයා අත සෝදන සින්ක් එකට එහා සින්ක් එකෙන් එයත් අත සෝදනවා දකිනවා.එතකොටනම් ටිකක් කතා කරනවා.යන්නම් කියලත් යනවා.

......................

ඊට පස්සෙ එයාට Xව හොයාගන්න එක ටිකක් අමාරු වෙනවා.ඒහින්දා හිතයි බඩයි පුරව ගෙන එයා යාලුවා එක්ක කැන්ටින් එකෙන් එළියට එනවා.

ඒත් .,
ඒ ඒ දවස් වල.

දැන් එයාට X එනක්න් බලන් ඉන්න වෙන්නෙත් නෑ.X කොහෙද කියලා හොයන්න වෙන්නෙත් නෑ.මොකද X ඒ කැන්ටින් එකට එන්නෙ නෑ ආයෙම.ඒ මතක විතරක් එයාට ඉතිරි කරලා X යන්න ගිහින්.

X හිටපු තැන් කියපු කරපු දේවල් හිනා වුන හැටි ඒ මතක එක්ක ඊළග අවුරුදු දෙක එයාට තනියම ඉන්න වෙනවා.ඔව් එයා ඉදීවි.. ඒ ඇස් ළග නොහිටියත් ඒ ඇස් එයා දිහා බලලා හිනා උන හැටි එයා එක්ක කතා කරපු හැටි කාටවත්ම හොරා ඒ මේස පුටු එයා ඒ කැන්ටින් එකට අඩිය තියන හැම මොහොතම එයාට මතක් කරලා දේවි..ඉතින් ඒ ඇති වෙයිද එයාට මේ අවුරුදු දෙක ගෙවන්න??

Wednesday, February 11, 2015

උදෙන්ම නුවර බලා



පහමාරට නැගගත් විට

දහය වෙද්දිවත් බහින්න

නුවරට යන බස් එකකට

ඇවිත් ගොඩ උනා


 

සෙනග ටිකක් පිරිලා හින්දා

ජනේලයක් හම්බුනෙ නෑ

ඔන්න ඔහේ තිබ්බ තැනක
වාඩිය ගත්තා

 

ටිකට් අරන් ඉවර කරන්
හරි බරි ගැහිලා ඉදගෙන
නින්දෙන් මිස් උන පැය ටික
නිදන්න හිතුවා

 

හිතපු ගමන් ඒ අදහස
ලොප් කරමින් යකඩ කටක්
රිදම් නයිට් කියලා පිස්සු
නටන්න ගත්තා

 

ඒ සද්දේ ඉවසා ගෙන
ඉන්න පුරුදු උන ගමන්ම
කෙලින් ඉන්න බැරි මිනිහෙක්
ජැක් එක ගැහුවා

 

එක පාරක් මූණ බලලා
ඉස්සරහට යනවකෝ කියලා
ඒ වදෙනුත් යාන්තමින්
මිදෙන්නට උනා

 

එහා පැත්තේ හිටපු සීයා
ඔහොම තමයි පුතෙ ඉතින්
මෙන්න මේ කොනට එන්න
කියලා කීව්වා

 

අනේ සීයේ කමක් නැද්ද
ස්තූති උදව්වට
එහෙම කියලා සැනසිල්ලේ
නිදන්නට උනා

Sunday, February 1, 2015

කාගෙන්ද මන් අහන්නේ..??


 

"පන්චු දොර අරින්න.. පන්චු ඉක්මනට"
"සදුන්.. නී..??? අයියෝ අම්මා මොකද උනා??කොහෙද මෙච්චර කල් හිටියා??"
"කතා කරන්න වෙලා නෑ පන්චු.අද රෑට හමුදාව මෙහෙට ඇටෑක් කරන්න ඉන්නෙ.මට ඕන ඔයයි පුතයි ඉක්මනටම මෙහෙන් පිට කරන්න."
"අයියෝ සදුන් එතකොට ඔයා..?"
"මටත් අද ඒ මිෂන් එකට යන්න වෙනවා.දැනටමත් මාව හොයනවා ඇති පන්චු.අපේ මේජර් ජෙනරල් හවස් වෙනකොට අපේ කෑම්ප් එකට එනවා කිව්වා.හිතන තරම් ලේසි වෙන එකක් නෑ පන්චු අද.සමහරවිට මන් අද මේ ඔයාව දකින්නේ අන්තිම වතාවට වෙන්න ඇති"
"සදුන්.."
කියගන්න බැරි උනාත් මොකද්ද අමුත්තක් මටත් දැනුනා.මන් එයාව බදාගත්තා.එයාත් මාව වෙනදට වඩා හයියෙන් බදාගත්තා.ඒ හැගීම දරාගන්න මට හයියක් කොහොම ආවද කියලා මන් දන්නෑ.ටික වෙලාවකින් එයා එයාගෙ අත් දෙකෙන් මගෙ මූණ අරගෙන මගේ නළලට සමුගැනීමේ හාදුව දුන්නා.මට මතක නෑ එවෙලේ කාගෙ ඇස් දෙකේද වැඩිපුරම කදුලු තිබ්බෙ කියලා.මොකද ඒ තරමටම අපි දෙන්නම ඇඩුවා..
"පන්චු ඔයා දැන්ම පුතත් එක්ක අපෙ අම්මලාගෙ ගෙදර යන්න."
"මට බෑ ඔයාව දාල යන්න..මන් මැරෙන්නම් ඔයා එක්කම.අයියෝ කඩවලේ ඔයා නැතුව මන් ජීවත් වෙන්න බෑ"
"අහන්න පන්චු ඔයා හිතන්න ඕන අපේ පුතා ගැන.අපිට මැරෙන එක ලේසි උනාට අපේ පැටියා එහෙම නෑ..එයා ජීවත් වෙන්න ඕන"
"අයියෝ සදුන් ඔයා මොකද්ද මට කරන්න කියනවා??"


"මේකයි පන්චු.දැන්ම පිටත් උනොත් ඔයාට 2ට ටවුමෙන් කොළබ බස් එක තියෙනවා..ඒක ගන්න.කොටුවට ගිහින් නුවර බස් එක අරන් අපේ අම්මලාගේ ගෙදර යන්න.මන් ඇඩ්‍රස් එක ලියලා දෙන්නම්.මේ කිසිම දෙයක් කාටවත් කියන්න එපා මන් ලගදිම එනවා කිව්වා කියන්න"
එයාම කාමරේට ගිහින් මගේ ඇදුම් ටික බෑග් එකට දැම්මා.කිසිම දෙයක් අදහ ගන්න බැරිව හිටපු මන් ඇද විට්ටමට හේත්තු වෙලා ඇඩුවා.දිගටම ඇඩුවා.සදුන් තව මොන මොනාද මන්දා කියෙව්වා.මට ඒ මුකුත් ඇහුනේ නෑ.මන් දැක්කේ පිස්සුවෙන් වගේ මුලු කාමරේ පුරාම එහාට මෙහාට දුවන මගේ රත්තරන්ගේ ඒ මූණ විතරයි.

එයා මෙහෙ ඩියුටි එනකොට මන් හිටියේ කෝවිල ළග මල් කඩේ.අම්මයි අප්පයි නැති උන දවස් වල ඉදන් පෙරිඅප්පා දාල දීපු මල් කඩෙ වැඩ කරගෙන මන් හිටියේ.කෝවිලට දවසක් ලොකු සින්හල ඇමති කෙනෙක් එනවා කියලා දවස් දෙකකට විතර කලින් ඉදලා හමුදාවෙන් හතර වටේටම දාලා හිටියා.මගේ මල් කඩේ ළගත් හතර පස් දෙනෙක්ම හිටියා.ඒ එක්කෙනෙක් තමයි සදුන්.ඒ දවස් දෙකට එයා මා එක්ක ගොඩාක් යාලු වුනා.අපි ගොඩාක් දේවල් කතා කලා.මන් එක්ක කතා කරනකොට එයාගේ යාලුවො සමහර අය විහිලු කලා සමහර අය එයාට තර්ජනයත් කලා.කොහොම හරි ඇමති එන දවසෙ මට කඩේ වහන්න උනා.ඊට පස්සේ පහුවෙනිදා එයා හිටියේ නෑ.එයා ගැන විස්තරයක් දැන ගන්න හමුදාවෙ කවුරුවත් හිටියෙත් නෑ.
ඒත් මාසෙකට විතර පස්සෙ ආයෙම එයා ආව.ඇවිත් වෙන කිසිම දෙයක් කිව්වෙ නෑ.එයා කිව්වේ මට ඔයා එක්ක හැමදාම ඉන්න ඕන කියලා විතරයි.අදටත් ඒ මොහොත මට මැවි මැවි පේනවා.අකැමැත්තක් නොතිබුනත් මන් එයාට කිව්වේ ඇවිත් පෙරිඅප්පගෙන් අහන්න කියලා.එයා එදා හවසම මාත් එක්ක පෙරිඅප්පා හම්බ වෙලා මේ ගැන කතා කරා.මහා ලොකු සල්ලියක් තිබ්බෙ නැති හින්දා පෙරිඅප්පටත් ඕන උනේ මගෙන් ඉක්මනට නිදහස් වෙන්න..ඉතින් ඊට හරියටම මාස දෙකකට පස්සෙ අපි දෙන්න පෙරිඅප්පත් එක්කම ඒ ගෙදර ජීවත් උනා.

 

"පන්චු මෙන්න මේ ඇඩ්‍රස් එකට යන්න"කියලා එයා කොලේක ඇඩ්‍රස් එක ලියලා ඒ කොලෙත් බෑග් එකට දැම්මා.
"පන්චු බබාගේ ඇදුම් ටිකත් දාගන්න ඉක්මනට නැත්තන් බස් එක..."
එයාට මන් තවත් කතා කරන්න දුන්නෑ.මන් ගිහින් ආයෙම සැරයක් එයාව බදාගත්තා.
"යන්න එපා සදුන්..මට බෑ ඔයා නැතුව ඉන්න.."
"අහන්න පන්චාලි...එළියේ වෙන දේවල් ඔයා දන්නේ නෑ.මේ දවස් වල හමුදාවට පස්ස ගහන්නැතුව ඉස්සරහටම යන්න කියලා ඕඩර්ස් හම්බෙලා තියෙන්නේ.ඉතින්  පන්චාලි මන් කියන දේ අහන්න හොද ළමයා වගේ..පුතත් එක්ක යන්න..මන් එන්නම්..ඔයාවයි පුතාවයි බලන්න ආයෙම එන්නම්."
"පොරොන්දු වෙනවද මට?"
"හ්ම්ම්..... පන්චු බබාගේ ඇදුම් දාගන්න ඉක්මනට ආ මෙන්න බෑග් එක" එයා කතාව මග අරින්න උනා.ආයෙම ඒ දේ අහන එකෙන් හිත රිදෙන්නෙ අපි දෙන්නගෙම හින්ද මන් බබාගේ ඇදුම් ටික බෑග් එකට දාගත්තා.

.................
 "මේ මොකද මෙහෙ? කෝ මගේ කොල්ලා"
"අම්මේ එයා ටික දවසකින් එන්නම් කිව්වා."
"ඇත්ත කියපන් ඌව එහෙ මැරෙන්න දාලා මෙහෙ ආවෙ මන් උඹවයි මේ අතදරුවවයි බාරගනී කියලා හිතලද?"
"අයියෝ අම්මා..ඒම කියන්නෙපා.සදුන් කියපු නිසා මන් ආවේ.මන් මෙහෙ කාවවත් දන්නෑ අම්මා..මට සමාවෙන්න"
"දැන් කෝ මගේ කොල්ලා?"
"එයාට ඊයේ ලොකු මිෂන් එකක් තිබ්බා.ඉතින් එක දරුණු වැඩි නිසා අපිට මෙහෙ එන්න කිව්වා..එයාට ඕන උනේ එයාගෙ පුතාව බේරගන්න අම්මා"
ඇත්ත කියන්න එපා කිව්වත් මට ඒ අම්මා ඉස්සරහ ඇත්ත නොකිය ඉන්න බැරි උනා.මන් වගේම එයත් පුතෙක් වෙනුවෙන් අඩන අම්ම කෙනෙක්. ඉතින් මාව එලෙව්වත් කමක් නෑ කියලා හිතලා මන් ඇත්තම කිව්වේ මාව බාර නොගත්තත් අපෙ පුතාවවත් බාරගත්තොත් ඇති කියලා හිතා ගෙන.සදුන්ට ඕන උනෙත් ඒදෙම නිසා.
"උබව බැදගත්තු දවසෙ ඉදන් මගේ පුතා මේ ගෙදරට එක අඩියක් තිබ්බෙ නෑ..එහෙව් එකේ උබ ඇවිත් ඕවා කිව්වම මන් උබව බාරගන්නොනද?උඹත් එපා මට උබේ ළමයත් එපා"
සදුන්ගෙ අම්මා එහෙම කියලා මගේ මූණටම දොර වැහුවා.කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරිව ඉද්දි සදුන්ගෙ තාත්තා කොහෙද ඉදන් ගෙදර ආවා.
"මේ ළමයා කවුදා?"
"අප්පා මන් සදුන්ගේ.."
"ආ දුවද ..යමු ඇතුළට ඇයි මේ දොර වහලා කතා කරලා බලුවෙ නැද්ද?"
"එපා අප්පා.... මන් යනවා.."
"ඇයි දුව අම්මා මොනා හරි කිව්වද?"
මට ඇඩුනා..අම්මට දුක ඇති අප්පා.මන් ඇවිත් තවත් දුක් දෙනවා.
"ඔයා ඔහොම ඉන්න මන් කතා කරන්නම් අම්මට"

.....................................

දවස් දෙකක් අප්පගේ මැදිහත් වීමෙන් රණ්ඩු සරුවල් දුරදිග නොයා නැවතුනා.අම්මා මට බනිනකොට ඒවා අහගෙන ඉන්න එක ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.මට හැමවෙලේම හිතුනේ සදුන් කියන්නේ මගේ වගේම අම්මගේත් පණ.සමහර විට අම්ම මට වඩා සදුන්ට ආදරෙ කරනවා ඇති.ඒ හැගීම නිසා හැමවෙලේම මන් නිහඩ උනා.

"මැණිකේ මෙන්න ප්‍රවෘත්ති යනවා"
"ටිකක් සද්දේ වැඩි කරන්න මන් උයනවා"
අප්පා ටිවි එකේ සද්දේ වැඩි කරද්දි මන් ගිහින් පුතත් එක්ක ටිවි එක ඉස්සරහ බිමින් වාඩි උනා.


"පෙරේදා පුදුකුඩිරුප්පු ප්‍රදේශයේ සිදුවූ දරුණු සටනකින් පසු හමුදාව එම ප්‍රදේශය සිය පාලනයට නතු කර ගනුලැබුවා.එහිදී මිය ගිය සෙබලුන් අතරින් දිගු දුර වෙඩික්කරුවන් වන චාමර හපුතන්ත්‍රි  සහ සදුන් රාජකරුණා යන සෙබලුන්ද වන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේය"

"සදුන් ...මයෙ අම්මා......." ළග හිටපු පුතාව තුරුල් කර ගෙනම පාදාන්තයේ සිට සෑම නහරයක් පාසම රිදුම් දුන් ඒ වේදනාව මගේ මුලු ගතම හිරි වැට්ටුවා කියලා මතකයි..ඒත් එක්කම අම්මගෙ විලාපයත් එක පාරටම ඇහිල නැතිඋනා වගේ මතකයි.

...........

අප්පා ඇරෙන්න අම්මගේ මල ගෙදර ආපු හැමෝම මන් දිහා බැලුවේ මහා අමුතු විදිහට.මහා අපරද කාරයෙක් දිහා බලන විදිහට.මන් මොනා කරන්නද කඩවලේ.සදුන්ගෙ මරනෙට අම්මගේ මරනෙට එකම  වැරැද්ද මන් සදුන්ට ආදරය කරපු එකද..සදුන් මන් මොකද්ද අපේ පුතාට කියන්නේ ඔයාගේ අප්පා යුද්දෙදි එයාගේ ජාතිය වෙනුවෙන් සටන් කරලා දිවි පිදුවා කියලද ? නැත්තන් මේ මිනිස්සුන් කියන විදිහට ඔයාගේ අප්පා නැති වුනේ මගේ ආදරේ හින්දද?