Sunday, May 24, 2015

****වළාකුලු බැම්ම **** (12)

එදා රෑ මන් නිශානිට හැම දේම කිව්වා.නිශානි කිව්වේ හදිස්සි වෙන්නෙ නැතුව හොදට හිතලා බලලා තීරණය කරන්න කියලා.මොකද එයා දන්නවා කොච්චර කාලයක් මන් දුක් වින්දද කියලා.රොහාන් ගැන මටත් අමුත්තක් නොහිතුනම නෙමේ.ඒත් ඒ හැගීම ආදරයක් තරම් දෙයක් ද කියලා මන් දැනගෙන හිටියෙ නෑ.ඒක එහෙම වුනත් මට එහෙම ආදරේකට අයිතියක් තියෙනවද කියලත් මට හිතුනා.

එදා ඉදලා රොහාන් හුගක් වෙලාවට වැඩ ඉවර උනාම මාව ගෙනත් ඇරලුවා.ඒ අතර මගදි එයා මගෙන් අහපු දේට උත්තර ඉල්ලුවත් මන් අදි මදි කරන කොට ඒක එයාම මග ඇරියා.මාස තුන හතරක් විතර අපි අතරේ එහෙම කිසිම දෙයක් කතා උනේ නෑ.මාව ඇරලවන්න ගෙදරට එන නිසා රොහාන් නිශානි එක්කත් හොදට යාලු වුනා.ඒ හින්දම රොහාන් හොද කෙනෙක් කියලා නිශානි මට හැමවෙලේම කිව්වා.ඒ වගේම තමයි ඒ මාස ටිකේදි රොහාන් මන් ගැන ඔක්කොම වගේ දැනගත්තා.රොහාන් ගැනත් එහෙම්මමයි.මන් ගැන දැන් ගත්තට පස්සෙ එයා මට අනුකම්පා කරන්නත් ඇති.ඒත් ඒ ගැන පෙන්නුවේ නෑ.එයා හැමදාම නිශානි වගේ මන් කියන හැමදේම අහගෙන ඉදලා මගේ හිත හැදුවා.ඒ හැම තැනදිම එයාගේ ආදරේ මට දැනුනා.ඉතින් එහෙම තියෙද්දි මටත් ආදරේ නොකර ඉන්න බැරි උනා.ඒත් අපි දෙන්නට රොහාන්ගෙ ගෙදරින් අකමැති වෙනවා කියලා දන්න හින්දා මන් මගේ ආදරේ හිතේම තියෙන්න ඇරියා.



එක දවසක් රොහාන් බෑන්ක් එකට ආවෙ නෑ.වෙනදානම් එන්නැති උනාම මට කිව්වා.ඒත් එදා මට කිව්වෙවත් නෑ.ඒ දවස් වෙද්දි අපේ බෑන්ක් එකේ කට්ටිය දැන ගෙන හිටියා රොහාන් මට කැමති කියලා.ඉතින් එදා එයාලත් මගෙන් ඇහුවා සර් කෝ කියලා.ඒත් මන් දැනන් හිටියෙත් නෑනේ.මොනවා වුනත් එදා මට මහා අමුත්තකුත් දැනුනා.හරියට රොහාන්ට මොකක් හරි කරදරයක් වෙලා වගේ.

ලන්ච් අවර් එක වෙනකන් බලන් හිටියා පණිවිඩයක් එයිද කියලා.ඒත්  නැති හින්දා රොහාන්ගේ කාර්ඩ් එකේ තිබ්බ නම්බර් එකට මන් බෑන්ක් එකේ ෆෝන් එකෙන්ම කෝල් එකක් ගත්තා.

"හෙලෝ" කතා කලේ ගෑනු කෙනෙක්.හිත ටිකක් ගැස්සුනා වගේ මතකයි.
"මිස්ටර් රොහාන් ප්ලීස්"
"කවුද කතා කරන්නේ?රොහන්ට කතා කරන්න නම් වෙන්නේ නෑ.එයාට පොඩි කරදරයක් වෙලා"
මට එක පාරටම ඉදගෙන හිටපු පුටුවෙන් නැගිට්ට උනා.
"ඇයි මොකද වෙලා තියෙන්නේ?"
"රොහාන් අද උදේ බෑන්ක් එකට එද්දි පොඩි ඇක්සිඩන්ට් වෙලා.හොස්පිටල් එකේ ඉන්නෙ දැන්"
"මොන හොස්පිටල් එකේද?ගොඩාක් අමාරුද?"
මට ඇඩෙන්න වගේ උනා.ඒක අහපු ගමන් මට ඕන උනේ ඉක්මනටම ගිහින් රොහාන්ව බලන්න.
"නව ලෝක හොස්පිටල් එකෙ.න එච්චර අමාරු නෑ.මේ මිස් කවුද?"
ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට ඕන කමක් තිබ්බෙම නෑ.මන් ෆෝන් එක තිබ්බා.මන් හදිස්සියෙම කොහෙද යන්න හදනව දැකපු නයෝමි මගේ ළගට ඇවිත් හේතුව අහද්දි මන් කිව්වේ කතා කරන්න වෙලාවක් නෑ නයෝමි මන් ගිහින් එන්නම් කියලා විතරලු.මට පාසේ නයෝමිමයි ඒක කිව්වේ.කොහොම් හරි එදා නයෝමිත් මාත් එක්ක ආවා.

රොහාන් හිටපු රූම් එක හොයාගෙන් අපි යනකොට රූම් එකේ කවුරුවත් හිටියේ නෑ.රොහාන්ට නින්ද ගිහින් තිබ්බා.ඔලුව වටේට බැන්ඩේජ් එකකින් ඔතල තිබ්බා.තව දකුණු අතේ තැනින් තැන ප්ලාස්ටර් අලවලා තිබ්බා.කවදාවත් නැති විදිහට හොස්පිටල් එකේ ඇදක් උඩ රොහාන් එහෙම ඉන්නවා දැක්කම මට වාවගන්න බැරි උනා.මට අමතක උනා මන් ආවේ නයෝමි එක්ක කියලා.මන් ගිහින් ඇද ළග තිබ්බ පුටුවෙන් වාඩි වෙලා රොහාන්ගේ දකුණු අතින් අල්ල ගත්තා.කොහෙදෝ මන්දා තිබ්බ ලොකූ කදුලු ගුලියක් මගේ ඇස් දෙකෙන්
 එලියට පැන්නේ ලොකුම ලොකු ඉකියකුත් එක්ක.රොහානුත් ගැස්සිලා ඇහැරුනා.මාව දැකපු ගමන් රොහාන් ගොඩාක් සතුටු උනා.එයා හරිම අහින්සක විදිහට හිනා වුනා.ඒ හිනාව මාව තවත් අසරණ කරා.

"අඩන්න එපා සුලෝ.එච්චර අමාරුවක් නෑ මට" රොහාන් හෙමීට ඒ වචන ටික කියද්දි මන් ඒ මූණ දිහාම බලාගෙන හිටියා.
"මන් ගොඩාක් බය උනා රොහාන්."
"ඇයි ඔයා බය උනේ.මන් මැරෙයි කියලා හිතුවද?"
"අනේ දෙයියනේ මොනාද ඔය කියන්නේ.මාව දාල ඔයාට කොහෙවත් යන්න බෑ"
"සුලෝ..."
"ඔව් රොහාන් යන තැනක යන්නොන අපි දෙන්න එකට"
"ඕ මයි ගෝඩ් සුලෝ ඒ කියන්නේ.."
"ඒ කියන්නේ මන් ඔයාට ආදරෙයි රොහාන්.මට තවත් මේක හිර කරගෙන ඉන්න බෑ"
මන් නොකියා ඉන්න බවට හිතට පොරොන්දු දීපු දේ මටත් නොදැනිම මන්ම රොහාන්ට කියලා.එවෙලේ රොහාන්ගේ මූණේ තිබ්බ සතුට මට තාම මතකයි.රොහාන් අමාරුවෙන් නැගිටින්න හැදුවා.

"සුලෝ ඔයා දන්නවද අද තමා මන් ජීවිතේ අහපු ලස්සනම දේ ඇහුවේ"

"එක්ස්කියුස්මි සුලෝචනා මන් එළියෙන් ඉන්නම් ඔයා එන්න" නයෝමි එහෙම කියලා එළියට ගියේ එවෙලේ එතන උන දේ ගැන හොදටම තේරුම් අරගෙන වෙන්න ඇති.

"හ්ම්ම්"
"මාස ගාණක් මට හැමදේම නැති කරලා මෙතන"
"හැමදේම කිව්වෙ?"
"හැමදේම කිව්වේ මට නින්ද නෑ.හරියට කන්න බොන්න බෑ.වැඩක් කරන්න බෑ එක විදිහකට"
"මන් හින්දා?"
"ඔව් ඔව්  ඔයා හින්දා තමා"
"හරි ඉතින්"
"මොනා වුනත් අන්තිමේදි මගේ කෙල්ල  මට ලැබුනනේ"
 රොහාන් එහෙම කියලා වම් අතින් මගේ කම්මුලක් මිරිකුවා.

අපි දෙන්නා පැයක් විතර කතා කර කර හිටියා.ගොඩාක් හිනා වුනා.කවදාවත් දැනුනෙ නැති හැගීම් ගොඩාරියක් හිතේ පෙරළි පෙරළි තිබ්බා.ඒ හැගීම අස්සේ ආදරෙත් මහ ගොඩාක් තිබ්බා.

කෑම පැය පහුවෙලත් පැයකුත් ගිහින් තිබ්බ හින්දා මට යන්න උනා.මන් යද්දි රොහාන් අතින් එයාගේ නළල පෙන්නුවා.දෙපාරක් නොහිතම මන් අපේ ආදරේ පළවෙනි හාදුව රොහාන්ගේ නළල උඩින් හරි පරෙස්සමට තිබ්බා.මන් දැනගෙන හිටියා රොහාන් හාදුව හැමදාම පරෙස්සම් කරගන්නවා කියලා.ඒ ගෙවුන තත්පරය රොහාන්ගෙයි මගෙයි ජීවිතවල තදින්ම සටහන් වුනා.

රොහාන්ට සමු දීලා මන් එළියට එද්දි නයෝමි මන් දිහා හිනා වෙවි බලා ගෙන හිටියා.මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුනා කියලා එදා හැමෝම දැනගත්තා.

                                                          -------- නැවතත්---------

Saturday, May 23, 2015

ඒකත් සැපකි...

 

 

මගේ විලේ උන්නු ගෙම්බො
ගෙම්බියො ටික යාලු කරන්
ඒ මදිවට විලේ තියෙන
නෙලුම් කොළත් අයිති කරන්

එහා විලෙන්වත් හොයලා
අරන් වරෙන් හනික කෙනෙක්
කින්ඩි දානකොට යාලුවො
දෙන්න හිතෙනො පයින් දෙකක්

හිතේ අමාරුවෙන් ඉද්දි
ඇහැ ගැටුනා මරු බඩුවක්
සෝබන බින්දුවක් ඉතිරි
බ්ලැක් ලේබල් බෝතලයක්

රටක් වටින ඒ බින්දුව
දාගත්තා දිවෙන් අරන්
සුර ලෝකය පෙනි පෙනි රෑ
නැටුවා ඉතින් සුරා මතින්

දිලිසි දිලිසි රන් පාටට
එනු දුටුවා ඈත ඉදන්
ගෙබි කුමරගේ කතාවෙ එන
රන් බෝලය වගේ එකක්

මගෙ ඉරණම විසදන්නට
කුමාරියක් ඔය පස්සෙන්
ෂුවර් එකට එනවා ඔන්න
මහ පාරට පැන්නා මන්

පැන්න ගමන් වෙරි හිදුනා
ඇග තැලුවා රබර් කදක්
ඒත් ඉතින් සැපක් දැනුනා
ස්කූටියේ කුමාරියක්...

Thursday, May 7, 2015

****වළාකුලු බැම්ම **** (11)

රොහාන්ට ඒ වෙලාවේ මොනවා හිතුනද මම දන්නෑ.මොකද මන් එයාගේ මූණ දිහා බැලුවෙ නෑ.මට එහෙම බලන්න තරම් හයියක් තිබ්බේ නෑ.රොහාන් කිසිම දෙයක් ඇහුවේ නෑ.එයා මට ඔහේ අඩන්න දීලා කිසිම කතාවක් බහක් නැතුව වාහනේ ඩ්‍රයිව් කලා.මන් බහින තැන හරියටම දන්නෙ නැති නිසා රොහාන් බොරැල්ල පහු කරලා 174 පාරේ රේල් ගේට් එක ලග කාර් එක නතර කලා.

"සුලෝචනා ඔයා බහින තැන මන් දන්නෑනේ ළමයෝ?" මුලු ලෝකයක් ඉස්සරහා අසරණ උන පොඩි ළමයෙක්ගෙන් අහනවා වගේ රොහාන් මගෙන් ඒක ඇහුවේ.
"ගෝතමි පාර ළගින් මන් බහින්නම්"
"එතන් ඉදන් තව යන්න ඕනද?"
"ඔව් ටිකක්.ඒ ටික මට යන්න පුලුවන්"
"නෑ නෑ අපි යමුකො"
රොහාන් ආයෙම කාර් එක ස්ටාර්ට් කලා.

"රොහාන් ඔයා මට අනුකම්පා කරන්නෙ නෑ නේද?"
"ඒ මොකටද ඒ?"
"මොකට වුනත් මන් කැමති නෑ කාගෙන්වත් අනුකම්පාවක් ලබන්න.ඒකයි.නිශානි,මගේ යාලුවගෙන් ඇරෙන්න මගේ ජීවිතේ මන් ලබපු තරමක් ලැබුවේ අනුකම්පාවක් විතරයි.තවත් මට ඒ අනුකම්පාව ඕන නෑ කාගෙන්වත් "
"ඉතින් හරි ළමයෝ.මන් දැන් ඔයාට එහෙම දෙයක් කිව්වද?"
"නෑ ඔයා මුලින් කතා කරපු විදිහෙන් මට එහෙම එකක් හිතුනා"
"ඒක එහෙම නෙමේ කිව්වොත් මන් ඔයාට බොරු කිව්වා වෙනවා.ඒ ඔයා අඩ අඩ හිටපු නිසා සුලෝචනා.ඒතනින් එහාට ඔයා ගැනවත් අක්ක ගැනවත් හිතලා නෙමේ"
"හ්ම්ම්...ඔතන ඉස්සරහා පාර ළගින් නවත්තන්න. මන් යන්නම් රොහාන්"
"නෑ නෑ යමු යමු.මෙතන ඉදන් බත්තරමුල්ල මහ දුරක් නෙමේනේ මට යතෑකි."

එදා රෑ රොහාන් මාව ගෙදරටම ගෙනත් ඇරලුවා.

"මේකද ඔයාගේ පැලස් එක?"
"නෑ රොහාන් මේ නිශානිගේ ගෙදර" මන් හිනාවෙල එහෙම කියලා කාර් එකේ දොර අරින්න හදද්දි රොහාන් ආයෙම කතා කලා.
"එතකොට ඔයාගේ ගෙදර?"
"මට ගෙයක් නෑ රොහාන්.මට තියෙන එකම පිහිට නිශානියි එයාගේ අම්මයි තාත්තයි විතරයි....මන් යන්නම් රොහාන්"

මන් ගෙදර දිහා බලාගෙන එහෙම කියලා රොහාන්ගේ මූණ දිහා බැලුවා.ඒ ඇස් මන් දිහා මොකද්දෝ මන්දා අමුතු බැල්මකින් බලාගෙන හිටියා.ඒ බල්මේ අනුකම්පාවක් ගෑවිලා තිබ්බෙ නෑ කියන්න මට බෑ.ඒත් ඒක මහ අමුතු බැල්මක්.මන් ඉක්මනට දොර ඇරලා කාර් එකෙන් එළියට ආවා.ඒත් එක්කම රොහානුත් කාර් එකෙන් එළියට ආව.
 

"සුලෝචනා අහන්න"

"මොකද්ද?"

"ඔයාගෙ පැත්තෙන් බලද්දි මන් දන්නෑ මන් ඉක්මන් වැඩිද නැද්ද කියලා.ඒත් මන් හිතන්නේ මේ තමයි හොදම වෙලාව."


රොහාන්ගේ වෙනසක් මට තේරුනා.ඒ වෙනසට හේතුව මොකද්ද කියලාත් මට තේරුනා ටික දවසක ඉදලා.ඒ හින්දම රොහාන් අහන්න හරි කියන්න හරි යන දේ මට හිතාගන්න බැරි උනා කියලා කියන්න බෑ.ඔව් මන් දැනගෙන හිටියා.ඒත් කවදාවත් මන් ඒකට දෙන උත්තරයක් ගැන හිතුවෙ නෑ.ඇත්තටම ඒ උත්තරේ ගැන මට හිතන්න දේකුත් තිබ්බේ නෑ.රොහාන් කවුද මන් කවුද..ඒ මොනවා උනත් ඒ වෙලාවේ මගේ පපුව ගැහෙන සද්දේ මටම ඇහෙන තරම් උනා..රොහාන් කාර් එකේ බොනට් එක උඩ ඇගිල්ලක් අතුල්ලගෙන එදිහාම බලාගෙන මන් හිටපු පැත්තට ආවා.මගේ ළගට ඇවිත් මගේ මූණ දිහා බලාගෙනම මගේ අත එයාගේ අත් දෙකෙන්ම අල්ලගත්තා.


"රොහාන්??"

"සුලෝ.." ඔව් මට මතකයි එදා රෑ තමා රොහාන් මට මුලින්ම එහෙම කතා කලේ.

"සුලෝ... දන්නවද ඔයාව දැකපු පළවෙනි දවසෙම මට ඔයා ගැන හිතුන දේ?"

"අනේ රොහාන්"

"ෂ්..... මට එදා හිතුනා අනේ ඔයා මගේ වෙනවනම් කියලා.දන්නවද ඔයාගේ ඇස් දෙක එදා මට මහා ලොකූ කතාවක් කිව්වා.ඒත් මට බය හිතුනා ඔයා ඒ වෙනකොටත් වෙන කෙනෙක් වෙලා ඉවරද දන්නෑ කියලා.ඔයා

දන්නෑනේ ඉතින් ඒක හොයාගන්න මට ගොඩ දවසක් ගියා."

"රොහාන් ඔයා මන් ගැන දන්නේ නෑ"

"මට දැනට මුකුත් දැනගන්න ඕන නෑ සුලෝ.ඔයා කැමති වෙලාවක හිමින් සැරේ ඔයාට ඕනනම් විතරක් මට කියන්න.ඒක් මට ප්‍රශ්නයක් නෙමේ"

"ඒත් රොහාන්"

"සුලෝ මේ අහන්න මන් ඔයාට ආදරෙයි.ගොඩාක් ආදරෙයි.ඔයාව මන් දැකපු මොහොතෙ ඉදන් මන් ඔයාට ආදරෙයි."

"අනේ රොහාන් ඇයි මේ.ඔයාට මාව ගැලපෙන්නෙ නෑ රොහාන්.ඔයා මන් ගැන හොයනවා බලනවා කියලා මට නොතේරුනා නෙමේ ඒත් මන් නොතේරුනා වගේ හිටියා රොහාන්,ඒ  මොකද කාත් කවුරුවත් නැතුව ඔහේ අසරණ වෙච්ච කෙල්ලෙක් මන්.නිශානි හිටියෙ නැත්තන් අද මන් ජීවත් වෙලා ඉන්න එකකුත් නැතිව ඇති."

"හරි සුලෝ දැන් ඔයා යන්න.හදිස්සි නෑ මට හොදට හිතලා කියන්න.අද දැකපු දේවල් ගැන වැඩිය හිතන්නත් යන්නෙපා.ඒත් එකක් හිත කියන දේ කරන්න.මොකද මන් දන්නවා ඔය හිතේ මට පොඩිම හරි ඉඩක් තියෙනවා කියලා.මන් යන්නම් සුලො"


රොහාන් ඒ වෙනකන්ම මගේ අත අතෑරියෙ නෑ.අත අතෑරලා යන්න ලොකු ලෝබ කමක් තිබ්බා කියලා මට දැනුනා.පළවෙනි වතාවට මටත් ජීවිතේ කවදාවත් දැනුනෙ නැති හැගීමක් දැනෙන්න ගත්තා.ඒ හැගීම ඇතුලේ රොහාන් ගැන දලුලන්න හදන ආදරයකුත් තිබ්බා.රොහාන් කාර් එකට නගින්න කලින් ආයෙම පාරක් මන් දිහා බැලුවා.කාර් එක නොපෙනී යනකන්ම මන් බලාගෙන හිටියේ කොහෙදො මන්දා ඉදන් හිත අස්සට රින්ගපු ලොකු දුකකුත් එක්ක.

 

                       ------------නැවතත්--------


Saturday, May 2, 2015

****වළාකුලු බැම්ම **** (10)

 

"ගුඩ් මොර්නින් සර්"
"ආ ගුඩ් මොර්නින්... කට්ටිය ඔය ඉඩ තියෙන තැන් වලින් ඉද ගන්නකෝ..මිස්ටර් බස්නායක ඔයා ගිහින් ඒ රෙපෝට්ස් ටික අද හවස් වෙද්දි රෙඩි කරලා තියන්න එහෙනම්.මට දැන් මෙයාලට ටිකක් කතා කරන්න ඕන"

 

රොහාන් තේනුවර.අපේ අලුත් මැනේජර්.පෙනුමින් කෙලිලොල් බවක් පේන්න තිබ්බත් හරිම නීට් එකට ඇදගෙන හිටියා.මට මතකයි ලා නිල් පාට ෂර්ට් එකකුයි කලු කලිසමකුයි ඇදගෙන හිටියේ. ආ තව කලු පාටම ටයි එකකුත් දාලා හිටියා.ඒ රූම් එකට යන්න කලින් මට මතකයි යාලුවෙක් කිව්වා 'පොර හරියට සයිෆ් අලි ඛාන් වගේ ' කියලා.ඇත්තටම ඒ කියපු දේ ඔව් කියලා එයාව දැක්ක ගමන් මටත් හිතුනා.අපි ඔක්කොම පහළොස් දෙනෙක් විතර හිටියා.අලුත් සර්ට වහ වැටුනු කෙල්ලො දෙතුන් දෙනෙක් ඉස්සරහටම ගිහින් ඉද ගත්තා.මන් ඉතින් ඒ අයට ඉඩ දීලා පිටිපස්සෙ තිබ්බ විසිටර්ස්ලගේ චෙයාර් එකේ ඉදගත්තා.මිස්ටර් බස්නායක ගියාට පස්සේ අපේ මැනේජර් අපි හැමෝ දිහාම එක හුස්මටම බලාගෙන ගිහින් එයාගේ ටේබල් එකේ කොනකින් වාඩි උනා.ඒ වාඩි වෙන ගමන් එයා හොරෙන් වගේ මන් දිහා බැලුවා.ඒ බැල්ම මන් විතරක් නෙමේ මාත් එක්ක ඒ චෙයාර් එකේ ඉදගෙන හිටපු මනෝජුයි සදුනුයි දෙන්නම දැක්කා.ඒ මොනවා උනත් හේතුව මොකක් උනත් ඒ බැල්ම මගේ හිතේ තදින්ම ඇදුනා.

"හරි ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ මාව.මන් රොහාන්.,රොහාන් තේනුවර.ඔයාලගේ අලුත් මැනේජර්.ඇත්තටම මැනේජර් කෙනෙක් විදියට මේ තමයි මගේ ෆස්ට් අපොයින්ට්මන්ට් එක.ලාස්ට් යියර් එකේ තමයි මන් මගේ මැනේජ්මෙන්ට් ට්‍රේනී එක්සෑම් එක ලිව්වේ.ඉතින් as a manager this is my first experience.so what i want you guys to co-op with me.actually I don't want to be your big boss.I just want to be friendly with you in every aspects හරිද?මටත් මේ ෆීල්ඩ් එකේ තව ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා.ඉතින් ඔයාලගෙන් උනත් ඔපීනියන්ස් ගන්න මන් කැමති ඕනම දේකට.මොකද මේ සෙට් අප් එක ගැන ඔයාලා මට වඩා දන්නවනේ මෙච්චර කාලයක් මෙතන ඉදලා.so let's start from the beginning.ඒත් එක්කම i strictly want to tell you this thing that I care about the discipline a lot හරිද? no cheating no gossiping no betraying no blaming.we should work as a team....."

 

අපේ අලුත්  මනේජර් ලොකූ කතාවක් කලා.කොච්චර වෙලාවක් ගියත් එයා කතා කරන එක අහන් ඉන්න එක මට විතරක් නෙමේ අපි කාටවත් එපා වෙලා තිබ්බේ නෑ.'තව කතා කලානම් අහන් ඉන්න තිබ්බ' කියලා රූම් එකෙන් එලියට ආවට පස්සේ නයෝමි කිව්වා.ඒ කතාව කරනකම් ම එයා මන් දිහා බැලුවෙ නෑ.ඒත් ඒකෙ විශේෂයක් මට දැනුනේ නෑ.ඊට පස්සේ අපි ශේක් හෑන්ඩ් කලා.


"wish you all the best sir"

"thank you..may I know your name please?"

"සුලෝචනා"

"සුලෝචනා විතරද?"

"සුලෝචනා වීරසිරි"

"හ්ම්.. නයිස්.. "


අපේ දෙබස අහගෙන හිටපු යාලුවො ගොඩ දෙනෙක් අපිට විහිලු කලා.ඒත් ඒවා ගැන වැඩිය හිතන්න ඕන කමක් මට තිබ්බේ නෑ.වෙනදා වගේම මන් මගේ පාඩුවේ ඔහේ වැඩ කරගෙන ගියා.අලුත් සර්ත් අපිත් එක්ක හොදට කතා බහ කරලා හිටියා.ඒත් මාත් එක්ක ටිකක් වඩි පුර කතාවට එනවා කියලා මට නොතේරුනෙමත් නෑ.


ඒ කාලේ ගොඩාක් හෙමින් ලස්සනට ගලාගෙන ගියා.යාලුවොත් එක්ක ගෙවන ජීවිතේ පුදුමාකාර සැනසීමක් තිබ්බා.වනාත මුල්ලේ ගෙවපු ජීවිතේ ගැන මට අමතකම වෙලා තිබ්බා.නිශානි එයාගේ කැම්පස් එකේ වැඩ වලට හිර වෙලා හිටියා.අසයින්මන්ට්,ප්‍රසන්ටේෂන්,ටියුට්,ලෙක්චර්ස් කිය කියා හැමදාම යුනිවසිටි සිස්ටම් එකට බැන බැන හිටියා.ඒත් එයා ආසාවෙන් ඒ වැඩ ටික කරගෙන ගියා.කැම්පස් එකේ දෙවනි අවුරුද්ද පටන් ගෙන මාසයක් විතර ගියාම නිශානි එන්ගේජ් උනා එයාගේ කසින් එක්ක.ඒ වැඩ වලට උදව් වෙන්න ඕන හින්දා මන් දවස් තුනක්ම නිවාඩු දැම්මා.වැඩට ගිය දවසේ ඉදලා මන් මුලින්ම නිවාඩු ගත්තේ ඒකට.නිශානිනම් ගෙදර නැවතුනේ එන්ගේජ්මන්ට් එක දවසේ විතරයි.ඒත් මායි නිශානිගේ අම්මයි තාත්තයි අපි තුන් දෙනා හැමදේම හොදටම කලා.


කොහොම හරි එන්ගේජ්මන්ට් එකට පස්සේ දවසේ අපි ඩෙකරේෂන්ස් බාර දීපු ශොප් එකට බලන්ස් එක පේ කරන්න මන් ගියා.ඒක තිබ්බේ බම්බලපිටියේ.ගෙදර අස් පස් කරන වැඩ ටික කරලා මන් එහෙට යද්දි හවස් උනා.ඒවෙලාවේ ට්‍රැෆික් එකත් වැඩි හින්දා මන් එහෙ ගිහින් බිල් එක ගෙවලා ඉවර වෙනකොට හතහාමාර විතර වෙලා තිබ්බා.ඒ වැඩ ඉවර වෙලා ශොප් එක ඉස්සරහම තිබ්බ බස් හෝල්ට් එකට වෙලා බස් එකක් එනකන් ඉද්දි මගේ ඉස්සරහින් දැකලා පුරුදු කාර් එකක් නැවැත්තුවා.මන් හිටපු පැත්තේ ෂටර් එක පහත් කරලා කෙනෙක් මට කතා කලා.


"සුලෝචනා නගින්න"

ඒ අපේ සර්.

"නෑ සර් කමක් නෑ.දැන් බස් එකක් එයි."

"බස් ඉතින් ඕන තරම් එනවනෑ ළමයෝ.කෝ නගින්න ඉතින් මෙතන වඩි වෙලා නවත්තන් ඉන්න බෑ"


මට ඒ ආරාධනාව මග අරින්න මහා ලොකු හේතුවක් තිබ්බෙත් නැති නිසා මන් නැග්ගා.


"කොහෙද මේ රෑ?දැන් දවස් තුනක්ම ආවෙත් නෑ"

"මගේ යාලුවාගේ එන්ගේජ්මන්ට් එක තිබ්බා සර්.ඒකයි"

"අම්මෝ එන්ගේජ්මන්ට් එකට මෙහෙමනම් වෙඩින් එකට මාසයක්ම නිවාඩු දායි නේ මෙයා"

"එයා මගේ හොදම යාලුවා සර්.හරියට මගේම නන්ගි කෙනෙක් වගේ"

"සුලෝචනා අද දවල් ඉදලා මන් මුකුත් කාලා නෑ.අපි මොනවා හරි කාලා යමුද?"

"සර් දැන්"

"ඔව් ළමයො දැන් තමයි බඩගිනි මට"


එක පාරටම ඒ කරපු යෝජනාවට කොහොම ප්‍රතිචාර දක්වන්නද කියලා මට හිතාගන්න බැරි උනා.ඒත් සර් බඩගිනි කිව්වේ ඇත්තටමනම් ඒ යෝජනාව අහක දාන එක හරි නෑ කියලත් හිතුනා.ඒත් එක්කම 'එහෙනම් සර් කන්න මන් මෙතනින් බස් එකක් ගන්නම්' කියන්නත් හිතුනා.එහෙම හිතුනට ඒක කියාගන්න තරම් හයියක් තිබ්බේ නෑ..ඒ කොහොම උනත් මන් උත්තරයක් දෙන්නත් කලින්ම සර් රෙස්ටුරන්ට් එකක් ළග කාර් එක නතර කලත් එක්ක.


පැය භාගයක් විතර අපි එතන ඉදලා ආයෙම ආවා.සර් ගේ විස්තර ගොඩාක් මට කිව්වා.තව ආයෙම සර්ට සර් කියන්න එපාලු.රොහාන් කියන්නලු.මන් ගොඩාක් වෙලාවට කලේ අහන් හිටපු එක විතරයි.මගේ ගැනත් එක එක ඒවා ඇහුවා.ඒත් මන් කොහොම හරි මග ඇරියා.කටක් ඇරලා කියන්න පුලුවන් අතීතයක් මට නෑ කියලා දන්නේ මායි නිශානිලාගේ ගෙදර අයයි විතරනේ.


ආයෙම එන අතරේ ට්‍රැෆික් එකට හුග වෙලාවක් කාර් එක නවත්තන් ඉන්න උනා.එහෙම නවත්තපු එක තැනකදි අවුරුදු ගානකින් නොදැකපු කෙනෙක්ව මන් දැක්කා.ඒ මගේ අක්කා.එයා හිටියේ පාරෙන් එහා පැත්තේ තව කවුද පිරිමි කෙනෙක් එක්ක මොනවද මන්දා කියව කියව.හොදට දන්න කියන කෙනෙක් එක්ක වගේ කතා කර කර හිටියේ.ටිකක් වෙලා කතා කර කර ඉදලා අක්කා එතනම තිබ්බ කලු පාට බෙන්ස් එකට නැග්ගා.අනේ දයියනේ අක්ක තාමත් මේ ජරා රස්සවම කරනවද?මට ඇඩෙන්න වගේ උනා.ඒත් මගේ ජීවිතේන් මන් අක්කව ඈත් කරලා ගොඩාක් කල්.ආයෙම මන් එයා වෙනුවෙන් අඩන්නේ නෑ කියලා මන් එවෙලෙත් මගේ හිත පොරොන්දු කරගත්තා.පපුව ඇතුලේ හිර වෙලා තිබ්බ හැගීම් ලොකුම ලොකු සුසුමකින් පිට කරලා මන් ශීට් එකට හේත්තු වෙලා අනිත් පැත්ත බලාගත්තා. මන් ඉස්සීගෙන පුදුමෙන් වගේ බලාගෙන හිටපු නිසා සර්ත් සද්ද නැතුවම එතන වුන හැමදේම බලාගෙන ඉදලා.


"ඇයි සුලෝචනා පුදුමෙන් වගේ.ඕවා ඉතින් මේ පැත්තේ කොහොමත් තියෙනවානේ"

"හ්ම්ම්"

"සුලෝචනා මොකද හිතන්නේ ඒ වගේ තැන් වලදි කවුද වැරදි?"

"මන් දන්නෑ සර්"

"සර් නෙමේ රොහාන්..මන් කිව්වනේ ඔයාට"

"සොරි රොහාන්.මන් දන්නෑ.කවුරු වැරදි උනත් හරි උනත් ඒ දේ වැරදි"

"මන්නම් හිතන්නේ ඔතන සම්පූර්ණ වැරැද්ද ගෑණු අය."

"ඒ වුනාට එයාල කවුරුත් ආසාවෙන් ඕවා පටන්ගත්තා කියන්න බෑ රොහාන්.වැරදි ඒ ගෑණුන්ගේ අසරණකම්


වලදි බොරු මවලා ඕවට ඇදලා ගන්න හිතක් පපුවක් නැති මිනිස්සු"

මන් ආපු ආවේගෙන් එහෙම්මම කියාගෙන ගියා.

"සුලෝචනා ඇයි මේ නර්වස් වෙලා.කාල්ම් ඩවුන්.ඇයි මේ කොහෙවත් යන ගෑණු ගැන හිතලා ඔයා අප්සට්


යන්නේ."

"කොහෙවත් යන ගෑනියෙක් නෙමෙයි සර් එයා මගේ අක්කා"

මට ඉකිගැහුනා.


                      ------------නැවතත්----------






Friday, May 1, 2015

****වළාකුලු බැම්ම **** (09)

"මෙහෙණින් වහන්ස බර කල්පනාවක වගේ?"

මිහිදන් කරන්න හදන අතීතෙක එක් ඉසව්වක නතර වෙලා හිටපු මන් පියවි සිහියට ආවෙ ගුණවතී උපාසක අම්මා එහෙම ඇහුවට පස්සේ.අවුරුදු දහයකට පෙර අතීතයේ වෙච්ච හැම දෙයක්ම පටිගත කරලා තිබ්බා වගේ මගේ හිතේ ඇදෙන්න ගත්තා.මෙහෙණියක වෙලා පාරමිතා පුරන්න හිතාගත්තත් අදටත් ඒ මතකය නිසා මේ හිතට දුක කලකිරීම බය දැනෙනවා.ඒත් අද ආයෙම ඒ වැලලුනු ගිනි ගොඩ ඇවිලෙන්න කලින් මෙ බෝ සෙවණ මට පුදුමාකාර සැනසීමක් ගෙනාවා.ඒත් දැන් මේ හිත මට මුල ඉදන්ම හදාගන්න වෙනවා.හැමදේම අත ඇරලා මන් මහණ වුනේ මට තවදුරටත් ඒ ජීවිතේට මුහුණ දීගන්න තරම් ශක්තියක් ඉතිරි වෙලා තිබ්බ නැති නිසා.ඒත් අපේ අක්කට රොහාන්ට මගේ පැටියට උන දේවල් එක්ක මන් මෙහෙම පැත්තකට වෙලා මගේ ජීවිතේ විතරක් හදාගන්න එක වැරදි කියන හැගීමත් මගේ හිතට වද දෙන සිතුවිලි අතරේ තාමත් තියෙනවා.ඒත් මැරෙන්න තරම් ප්‍රශ්න එද්දි මට මෙහෙම හරි තීරණයක් ගන්න පුලුවන් වෙච්ච එක ගැන මටම පුදුමයි.සමහරවිට ඒ හයිය මට එන්න ඇත්තේ රොහාන්ගේ ආදරේ හින්දා.මන් දන්නවා මන් මැරුනොත් රොහාන්ට ඒ දුක දරාගන්න බැරි වෙයි.ඉතින් ඒ හිතට එච්චර දුකක් දෙන්නේ කොහොමද මන්.අදට උනත් රොහාන් හිත හදාගෙන ඉන්නේ කොහේ හරි තැනක මන් හොදින් ඉන්නවා කියන විශ්වාසෙන්.

"ආ උපාසක අම්මා තාමත් මෙතනද?"
ඇස් අගට මෝදු වෙච්ච කදුලක් අතින් පිහදන ගමන් මෙන් ගුණවතී උපාසක අම්මගෙන එහෙම ඇහුවේ ගොඩාක් වෙලා ගිහින්  කියලා හිතුන නිසා.ඒත් ගතවෙලා තිබ්බේ විනාඩි කිහිපයක් විතරයි.

"ඇයි මෙහෙණින් වහන්ස මන් මේ කාතාව අහන්න බලන් උන්නේ..ඒත් මට දැන් හිතෙනවා මොනවා උනත් ඒ කතාව එච්චර සරල නැතුව ඇති කියලා"
මන් දිහා ආදරණීය බැල්මක් හෙලපු ගුණවතී අම්ම එහෙම කිව්වා.සමහර විට මගේ නිහඩ බව උපාසක අම්මට ගොඩාක් දේවල් තේරුම් කරන්න ඇති.

"ඒවා අනවශ්‍ය කතා උපාසක අම්මේ.ජීවිතේ මිනිස්සුන්ට මුණ ගැහෙන වර්තමානෙම අතීතයක් වෙලා ගිහාම ආයෙම ඒ ගැන තැවෙන එක තේරුමක් නෑ.ඒ අතීතෙන් ගන්න පුලුවන් හොද දෙයක් තියෙනවනම් අන්න ඒ දේ අරගෙන වර්තමානයේ හොදින් ජීවත් වෙන එකයි කරන්න ඕන."

"ඒක හරි මෙහෙණින් වහන්ස.මාත් අපේ ළමයින්ට ප්‍රශ්නයක් ආවම ඕකමයි කියන්නේ.නිකන් වැලපි වැලපි ඉන්නෙ නැතුව කරන්න තියෙන දේවල් වලට මුහුන දෙන්න කියලා.කොහෙද ඒව අහන්නෑනේ දැන් ඉන්න ළමයි.පවුල පිටින්ම රට ගියෙත් මෙහෙ ඉදන් ප්‍රශ්න විසදන්න බෑ කියලනේ ඔය."

ගුණවතී උපාසක අම්මා ගොඩාක් දේවල් කියාගෙන ගියා.ඒත් එක්කම මන් ගැන දැන ගන්න තිබ්බ ඕන කමත් එහෙම්මම අමතක වෙලා ගියා.

"දැන් ගොඩාක් රෑ වෙලානේ උපාසක අම්මේ.අම්මා දැන් යන්න එහෙනම් තව රෑ වෙන්න කලින්"
"ඔව් ගෙදරත් කවුරුත් නෑනේ මන් ගොහින් එන්නම් එහෙනම්"

මිනිස්සු කියන කරන දේවල් කොච්චර ඉක්මනට වෙනස් වෙනවද.මට යන්තම් හිනාවකුත් ගියා.

"හා එහෙනම් කලුවරේ යන්න බෑනේ ටෝර්ච් එකක් දෙන්නද උපාසක අම්මට?"
"තිබ්බොත් හොදයි නේදා?රෑ ජාමේ සතා සර්පයෙක් එහෙම පෑගුනොත්..කම්මැලි කමට ආවට මෙච්චර රෑ වෙයි කියලා හිතුවේ නෑනේ"
"හා එහෙනම් ඉන්නකෝ මන් ගෙනත් දෙන්න"

ගුණවතී උපාසක අම්මා ආවේ කීයට හරි කමක් නෑ කතාව අහල යනවා කියලා.ඒත් දැන් රෑ වුන එක ලොකු ප්‍රශ්නයක් වෙලා.අපි හැමෝම පෘතගජනේ මිනිස්සුනේ.මන් මගේ කුටියට ගියා ටෝර්ච් එක ගේන්න.

**************

අතීතය වර්තමාණය ගැන ඇත්තටම හිතෙන දේවල් කිව්වට ඒ ඇත්ත තුළ ජීවත් වීම ගුණවතී උපාසක අම්මගේ දරුවොන්ට වගේ මටත් තාම අමාරුයි.ඒත් ඒ අයට වගේ නෙමේ මේ  බුද්ධ සාසනය ඇතුලේ බුදු හාමුදුරුවන්ගේ යතාවදී තථාකාරි ගුණය ආදර්ශයට ගැනීම මා විසින් කළ යුත්තක්.ඉතින් මේ උත්සහාය ඒ වෙනුවෙන්ම තමයි.

ලොකු මෙහෙණින් වහන්සේගේ අභිධර්ම පාඩම තියෙන්නේ හැමදාම රෑ 8ට.ඒ පැයෙන් පස්සෙ හැකි උපරිම කාලයක් භාවනා කරලා නින්දට යන එක තමයි සාමන්‍ය පිළිවෙත.අදත් අභිධර්ම පාඩම ඉවර වෙලා ම්හෙණින් වහන්සේලා ඔක්කොම තම තමන්ට වෙන් වුන කුටි වලට වඩින්නට උනා.මාත් මගේ කුටියට ගිහින් භාවනා කරන්න පටන් ගත්තා.
ඇස් දෙක පියාගෙන එක ආශ්වාසෙකින් පෙනහැලි පුරවාගෙන ආයෙම හෙමින් ඒ හුස්ම  ප්‍රාශ්වාස කලා.දෙපාරක් තුන් පාරක් එහෙම කරද්දි මුලු හිතම හිරිවට්ටගෙන එක පාරටම හුරු පුරුදු හුස්මක මතකයක් මුලු හිතම වෙලා ගත්තා.
"රොහාන්"
මගේ හිත කියනවා ඇහුනා.මාස හයක් තිස්සේ මේ වගේ හැගීම් එක්ක භාවනාව පුරුදු කරන්න ගොඩාක් මහන්සි වෙන්න උනා මට.ඒත් යම් ප්‍රගතියක් තිබ්බා මගේ හිතේ.ඒත් අද.සමහර විට හවස ගුණවතී අම්මා එක්ක ආපු වෙලාවේ කියපුවා හිතුන ඒවා හින්දා වෙන්න ඇති.
ඒ හැගීම අමතක කරලා ආයෙම පාරක් භාවනාවට හිත යෙදෙව්වත් දිගටම එකම අරමුණක ඉන්න බෑ කියලා හිතුනා.ඒ හින්දා මන් ඇදට ගියා.නිදාගන්න ඕන උනත් ඒ මතකය නින්ද අහලකටවත් ගෙනාවෙ නෑ.

**************

                      


මායි නිශානියි ඒලෙවල් හොදටම පාස් උනා.කම්පස් යන්න ආසාවක් තිබ්බත් මන් ඒ අදහස අත ඇරියා.නිශානිට ඕන උනා අපි දෙන්නම එකට කැම්පස් යන්නත්.ඒත් නිශානි කියපු හැමදේටම කමැති උන මම ඒ දේටනම් කොහොමවත් කැමති උනේ නෑ.නිශානි ගේ අම්මටයි තාත්ටයි ගොඩාක් සතුටුයි නිශානි කැම්පස් සෙලෙක්ට් උන එකට.එයාලා ඒකට ස්තූති කලේ මට.ඒලෙවල් කරද්දි මන් නැවතිලා හිටියේ නිශානි එක්ක එයාලගේ ගෙදර.මන් කැම්පස් යන්න බෑ කිව්වම අන්කල් මට ප්‍රයිවට් බෑන්ක් එකක ජොබ් එකක් අරන් දුන්නා.මන් ඒ ජොබ් එකට ගියා.නිශානි කැම්පස් ගියා.නිශානිලගේ ගෙදර මගේ ගෙදර උනා.එයාගෙ අම්මයි තාත්තයි මට එයාලගෙම ළමයෙක්ට වගේ සැලකුවා.හිනාව සතුට කියන දේවල් මගේ ජීවිතේට ඇතුලු වෙන්න ගත්තා.දුක කියන දේ ඈතින් ඈතට යද්දි මට ජීවිතේට ආදරේ කරන්න හිතුනා.

ඒවගෙම තමයි එක දවසකින් පස්සෙ මට ජීවිතේට ආදරේ නොකර බැරි උනා.එදා තමයි අපේ බැන්කුවට අලුතින් මැනේජර් කෙනෙක් ආවේ.

"අපෝ යන්තන් ඇති නැත්තන් මන් හිතුවේ මේ පාරත් කවුරු හරි වයසක ඩයල් එකක් ඒවි කියලා"
"ඒකන්ම් ඇත්ත පොර හැන්ඩියා"
"සිරාවට හෙන දතක්ද කොහෙද"
"වෙන්නැති බන් පේන්නැද්ද මූණෙන්ම"

අපෙ බෑන්ක් එකේ යාලුවෝ ටික අලුත් මැනේජර් ගැන කියවන්න ගත්තා.මට ඔහොම කියවන එක පුරුදු නැති හින්දා මන් පැත්තකට වෙලා එයාලා කියන ඒවට හිනාවෙවී හිටියා.

"මේ සුලෝචනා ඔයා දැක්කද අලුත් ඩයල් එකව?"
"නෑ  තාම දැක්කේ නෑ"

එදා මන් බෑන්ක් එකට යනකොට ටිකක් පරක්කු උනා.නිශානිලගේ රැග් පීරියඩ් එක නිසා එයාලට කොන්ඩ දෙකක් ගොතාගෙන එන්න කියලා තිබ්බා.ඉතින් ලේයර් කරපු කොන්ඩේ කෑලි එකතු කර කර ගොතල දෙන්න ගිහින් මට පරක්කු උනා.ඒ හින්දා අලුත් මැනේජර්ව මන් දැක්කේ නෑ.

අපේ අය මැනේජර් ගැන කියව කියව ඉද්දි අපේ සෙක්ශන් එකේ හෙඩ් ආවා.

"අන්න මිස්ටර් රොහාන් ඔයාල ඔක්කොටම කතා කරනවා.ඇතුලට යන්න"