Friday, April 24, 2015

****වළාකුලු බැම්ම **** (08)

 

මගේ ජීවිතේ පුදුමාකාර විදිහට උඩු යටි කුරු වෙමින් තිබුනා.හීන මවාගෙන විභාගෙ කරගන්න තිබ්බ උනන්දුව සැඩ පහරකට අහු වෙලා ගියා.ආයේ ඉස්කෝලෙ යනවා තියා ඒ ගැන හිතන්නවත් මන් කැමති උනේ නෑ.මන් වෙනුවෙන් කියලා අක්කා කරන හැම දෙයක්ම හරි නෑ කියලා දැනගත්තම හොදින් හරි නරකින් හරි මට ඕන උනේ ඒ දේවල් වලට නැවතීමක් තියන්න.අම්මා බලාගත්ත අත බලාගෙන හිටියා.එක අතකට අම්මාටත් කරන්න දෙයක් තියෙන්නැතුව ඇති.අක්කා පොඩි කාලේ ඉදන්ම එයාට ඕන දේ කලේ කියලා හැමෝටම වඩා දන්නේ අම්මානේ.ඉතින් අක්කා කරන හැමදේම දිහා බලාගෙන ඉන්න ඇති.මන් අක්කා එක්ක කතා කලේ නෑ ඊට පස්සේ.එයාටත් මා එක්ක කතා කරන්න වුවමනාවක් තිබ්බෙත් නෑ.'ආයෙම මන් ඒ රස්සවට යන්නෑ නන්ගි.උඹ කොහොම හරි ඉගෙන ගනින් මන් වෙනදා වගේ ඇදුමක් මහල උඹට වියදම් කරන්නම්' කියලා අක්කා මට ඇවිත් කියනකන් මන් බලාගෙන හිටියා.ඒත් එහෙම දේවල් වෙන්නේ ෆිල්ම් වල විතරයි කියලා හිතුනම හැමදේම අතෑරලා ඔලුව හැරුනු අතේ යන්නත් හිතුනා.කාටමහරි මේ දුක කියන්න ඕන උනා.ඒත් කාටද?නිශානිට මේ දේවල් කිව්වොත් මට ඒ යාලුකමවත් නැති වෙයි කියලා මට ගොඩාක් බය හිතුනා.ඒ හින්දා මන් කිසිම දෙයක් එයාට කිව්වෙ නෑ.


ආයෙම ඉස්කෝලෙ යන්න ඕනකමක් තිබ්බෙ නැති නිසා මන් රස්සා දෙක තුනකටම ඇප්ලයි කලා.ඒත් සුමනේ අයියා අදුරන කෙනෙක් වනාතමුල්ල කිට්ටුව තිබ්බ ටියුෂන් පන්ති කරන තැනක ඇසිස්ටන්ට් අකවුන්ටන්ට් විදිහට මට එන්න කියලා තිබ්බා.එතන හොදයි කියලා සුමනේ අයියම තමා ඒ රස්සාව අල්ලලා දෙන්න ගොඩාක් මහන්සි උනේ.අන්තිමට මන් ඒ රස්සවට යන්න තීරණය කලා.අක්කගෙන් මන් ඇහුවෙත් නෑ.අම්මට රස්සාවට යන්න කලින් දවසේ කිව්වා මෙහෙම යනවා කියලා එච්චරයි.ඉස්සර අක්කා ගැන මට තරහක් නොහිතුනත් ඒක වෙනස් වුනා.අක්කා එහෙම දෙයකට ගියේ මට උගන්නන්නනම් ඒත් මන් ඒ දේ හින්දම ඉගෙන ගන්න එක අත අරිනවනම් ඇයි අක්කාට බැරි ඒ ජරා රස්සාව අත අරින්න.අඩුම තරමින් අක්කට මන් ඉස්කෝලෙ ගමන නවත්තපු එක ගැන දොස් කියන්නවත් තිබ්බා.ඒත් එයා එහෙම කලේ නෑ.එයාට ඒවෙනකොට මන් කරන කිසි දෙයක් ගැන කිසිම ගානක් තිබ්බේ නෑ.සුමනේ අයියත් එක්ක මන් ඒ ගැන කිය කිය අඩද්දි අයියා කිව්වේ 'ඕවා ඔහොම තමයි බන් සල්ලි අතේ පයේ ගෑවෙනකොට ඔහොම වෙනවා' කියලා.මට එදා ඇත්තටම අක්කා ගැන ලොකු පිළිකුලක් දැනුනා..


අපේ අලුත් වාරෙ ඉස්කෝලෙ පටන් ගන්න තිබ්බ දවසෙ මන් මගේ අලුත් ජොබ් එකට ගියා.සතියක්ම එක දිගට මන් එතන ජොබ් එක කරගෙන හිටියා.ඒත් දවසක් මන් වැඩ ඇරිලා ගෙදර යද්දි නිශානි අපේ ගෙදර ඇවිත් හිටියා.කවදාවත් අපේ ගෙදර ඇවිත් තිබ්බේ නැති නිසා එයාව දැක්කම මන් පුදුම උනා.ඒවගේම බය උනා.දුකත් දැනුනා.ඕලෙවල් වලින් මන් පාස් උන සිද්දිය හින්දා වනාතමුල්ලට ඇවිත් මගෙ නම කියලා ඇහුවොත් මාව නොදන්න කෙනෙක් හිටියෙ නෑ.ඒහින්දම නිශානි අපේ ගෙදර හොයාගත්ත හැටි අහන්න මට ඕන උනේ නෑ.


මුලින් මුලින් බොරුවක් ගොතාගන්න හැදුවත් නිශානි ඉස්සරහා මට එහෙම බොරුවක් කියන්න බැරි උනා.නිශානි මන් ගැන මොනවා හිතයිද කියන එක පැත්තකින් තියලා මන් නිශානිට වෙච්ච හැමදේම මුල ඉදන් අගටම කිව්වා.මන් ඇඩුවා.තරහෙන් පිපිරුනා.බොරුවට හිනා වුනා.ආයෙම ඇඩුවා.ඒ හැමදේම නිශානි හරිම උනන්දුවෙන් අහගෙන හිටියා.ඒත් එක තැනකදි එයා මට හොදටම බැන්නා.ඒ ආයෙත් ඉස්කෝලෙ එන්නෙ නෑ කියලා මන් කිව්වම.ඔක්කොම වියදම් එයා බලාගන්නම් කිව්වා.නිශානි එයාගෙ අම්මලට කියන්නම් කිව්වා.ඒත් මට ඒකට හිත හදාගන්න බැරි උනා.මන් නිශානිට මගේ අන්තිම තීරණය කිව්වා.ඒ ආයෙම ඉස්කෝලෙ යන්නෙ නෑ කියලා.ඒත් නිශානි ඒකට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.


"එක්සෑම් එකට තව මාස 6යි සූ.එතනින් පස්සෙ ඔයාට පුලුවන් ඔය ජොබ් එක කරගෙන ඉන්න.පණ්ඩිත වැඩ කරන්නෙ නැතුව ඉස්කෝලෙ එන්න"

"කොහොමද නිශානි මන් හිත හදාගෙන එන්නෙ.මේ නරකාදියෙම මාවත් එරිලා වගේ මට දැනෙන්නේ"

"මෙහෙමයි සූ., ඔයා මෙ හැමදේම අතරමග නවත්තලා දාල පැත්තකට වෙන්නේ අක්කාගෙ වැඩ හින්දනම් ඔයා ටිකක් හිතන්න.කොච්චර තිත්ත උනත් අක්කා මේ තත්වෙට වැටෙන්න ඇත්තෙ ඔයා හින්දා.ඔයාට උගන්නන්න එයාට ලොකූ වුවමනාවක් තිබ්බනේ.එයාට වෙන කරන්න දෙයක් නැති පාර මෙහෙම කරා වෙන්න ඇති.ඒ හින්දා ඒ අක්කගේ ජීවිතෙ දැන් පෙනි පෙනි විනාස වෙද්දි ඔයා ඔහොම වැඩ කලොත් කවදහරි අක්කටම එයා ගැන කලකිරෙන දවසක අක්කගෙ හිත හැදෙන්නවත් ඔයා හොදට ඉන්න ඕන.ඒක තේරුම් ගන්න.අක්ක ගැන හිතන්න එපා දැන් ඔයා.ඒක ඔයාට වදයක් නම් අක්කා කෙනෙක් නොහිටිය ගානට ඔයා ඉන්න."


නිශානි මගේ හිත හදන්න ගොඩාක් උත්සහා කලා.ඔව් ඇත්ත එයා කිව්වේ සම්පූර්ණ ඇත්ත.ඒත් මන් කොහොමද දැන් ඉස්සරහට යන්නේ.හැමදේම පැටලිලා වගේ දැනුනා.


නිශානි එදා මාත් එක්ක ගොඩාක් වෙලා කතා කර කර හිටියා.එයා එදා අපේ ගෙදරින් ගියේ ඊළගට එන සදුදා ඉදලා මට ඉස්කෝලෙ එන්නමයි කියලා බල කරලා.එයා යද්දි මට සල්ලිත් දීලා ගියා.නිශානි ගියාට පස්සේ මන් එයා කියපු හැම දේම මුල ඉදලා ආයෙම හිතන්න ගත්තා.ආයෙම ඉස්කෝලෙ යන්න හිතුනත් මන් ඒ ගැන සුමනේ අයියගෙනුත් ඇහුවා.සුමනේ අයියා මන් කියන ඕන දේකට මට උදව් කරන නිසා එයා කිව්වේ 'උඹ හිතලා බලලා හොද දෙයක් කරපන්' කියලා.


මේ ජීවිතේ අයිති මට විතරක්නම් මට ඕන ඕන දෙවල් කරන්න තිබ්බා.ඒත් මන් නිසා වෙන අයගේ ජීවිත අවුල් වෙනවනම් ඒ අයව මට වෙනස් කරන්නත් බැරිනම් මන් වෙනස වෙන්න ඕන.


මන් සදුදා ඉස්කෝලේ ගියා.

                                    -------නැවතත්----------

 


Monday, April 20, 2015

****වළාකුලු බැම්ම **** (07)

 

මට ඕන උනේ හැමදේම සුමනේ අයියගෙන් අහගන්න.ඒ හින්දම මන් කෙලින්ම සුමනේ අයියගෙන් අක්කා ගැන ඇහුවා.තැන් තැන් වල තමන්ගෙම අක්කා ගැන විස්තර අහන එක හරි නැති උනත් හැමදෙයක්ම හොද හැටි තේරුම් ගන්න පුලුවන් වයසක හිටපු මට අක්කා ඉන්නේ වැරදි පාරක කියන එක තේරිලා තිබ්බා.සුමනේ අයියා එදා ඉදන්ම අපි ගැන දන්න හින්දා ඒ දේ ගැන එයාගෙන් අහන එක මට එච්චර ගානක් උනෙත් නෑ.

"අහපන් අහපන් ඕන එකක්"
"මට දැන ගන්න ඕන අපේ අක්කා ගැන"
"අහ් ලොක්කි ගැනද?" එයා ඒක කිව්වෙ හරිම සමච්චලේට.
"ලොක්කි ගැන දැන් මොනා කියන්නද බන්.ඕවා උඹ දැනගත්තා කියලා දැන් වැඩක් වෙන්නෑ බන්"
"මට මේක ලොකු ප්‍රශ්නයක් අයියේ.අක්කා දැන් වෙනදාට වඩා මට සල්ලිත් දෙනවා.ඒත් ගෙදර කිසි පිළිවෙලක් නෑ.කතා කරන්න හදද්දි ඒකත් මග අරිනවා.අම්මාත් එහෙමයි."
"වෙන්න ඇති බන්.එක අතකට ඒකි උඹ එක්ක මොනවා කතා කරන්නද?මොකද ඒකි එක එක දවසට එක එක මිනිස්සු එක්ක යනවා කියලා උඹට කියන්නද?"
"මොනවා....???"
මගේ මුලු ඇගම හිරි වැටීගෙන ගියා.තව අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි තරමටම කකුල් දෙක වාරු නැති උනා.සුමනේ අයියා මගේ කරවටින් අතක් දාලා මාව අල්ලගත්තා වගේ මතකයි.කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටිය මට ඕන උනේ කෑ ගහලා අඩන්න.,අක්කා ඉන්න තැනකට දුවලා ගිහින් ඇයි මෙහෙම කරන්නේ කියලා අහන්න.
"දැන් ඉතින් උඹ ඇඩුවා කියලා මොනා කරන්නද බන්.ඕක අදක ඊයෙක පටන් ගත්ත එකක් නෙමේ නේ.දැන්ඒකිට ඕන උනත් දැන් ඕක අත අරින්න බැරුව ඇත්තේ"
"අනේ ඇයි අයියේ අක්කා එහෙම දෙයක් කරගත්තේ?"
"මන් දන්නෑ බන්..ඒත් අර ලයනල් කාරයෙක්ව අල්ලගෙන බිස්නස් එකක් පටන්ගත්තනේ.ඌ අක්කට ලොකු පොල්ලක් තිබ්බා.අන්න ඒ දවස් ඉදලා ඒකි හෙන හිතේ අමාරුවෙන් හිටියේ.දෙතුන් පාරක්ම මගෙනුත් සල්ලි ඉල්ලගත්තා උඹට යවන්නවත් අතේ සල්ලි නෑ කියලා.මන් මාස දෙක තුනක් විතර උඹට යවන්න කියලා සල්ලි දුන්නා.ඊටපස්සේ දවසක් මටම මතක්වෙලා උඹට යවන්නෝන නේද කියලා සල්ලි අරන් උඹලාගේ ගෙදර ගියා.එදා ගෙදර වෙන කවුද මිනිහෙක් හිටියා.මේ වනත මුල්ලේ ඉතින් මන් නොදන්න උන් නෑනේ ඉතින් ඒකත් මන් දන්න එකෙක්.මිනිහට බම්බලපිටියේ ලොකු ක්ලබ් එකක් තියෙනවා.උඹට කියන්න ඕන නෑනේ පොඩ්ඩියේ එකේ ඕන ඒවයි එපා එවයි හැම දේම වෙනවා.ඉතින් මිනිහව දකිද්දිම මට තේරුනා මොකක් හරි දෙයක් වෙන්න යනව කියලා."

සුමනේ අයියේ කිසිම ගානක් නැතුව ඔහේ කියව ගෙන ගියා.මාත් කිසිම හැලහොල්මනක් නැතුව අහගෙන හිටියා.අහන් ඉන්න අමාරු උනත් මට ඕන උනේ අගක් මුලක් ඇතිව මොකද්ද උනේ කියලා දැන ගන්න.හිමින් සැරේ ඇවිද ඇවිද අපි කඩේ ළගටම ඇවිත් තිබුනා.අම්මා කඩේ ඇන්ටිත් එක්ක කියව කියව ඉන්නවා මන් දැක්කා.ඒත් මට අම්ම ළගට යන්න ඕන උනේ නෑ.කඩේට යන පාරේ කඩේට කලින් හම්බුන අතුරු පාරකට මන් එක පාරටම සුමනේ අයියගේ අතින් ඇදගෙන හැරුනා අම්මා අපිව දකින්න කලින්.
"මොකද පොඩ්ඩියේ?"
එකපාරටම කලබල උන සුමනේ අයියා ඇහුවේ එයාගේ ඉනේ තියෙන සුපුරුදු පිස්තෝලෙට අත ගෙනියන ගමන්.
"නෑ නෑ අම්ම දකී කියලා.අම්මා හිටියා කඩේ"
"ආ මන් හිතුවා වෙන මොකක් හරි කේස් එකක් කියලා"
මන් ඒ පාර අයිනේ තිබ්බ තාප්පෙට හේත්තු උනා.හතරවටිම්න කලුවර වැටීගෙන ආවත් මට ගෙදර යන්න ඕන උනේම නෑ.
"ඉතින් අක්කට මොකද්ද ඒ මිනිහත් එක්ක තිබ්බ ගනුදෙනුව?"
"හිටපන්කො ඉතින් කියනකන්.එදා කොහොමහරි ලොක්කි මගෙන් සල්ලි ගත්තෙත් නෑ.පස්සෙ දවසක මට අර මිනිහව හම්බුනා.උඹ වැරදියට හිතන්නෙපා පොඩ්ඩියේ එදා උඹලගේ ගෙදර ගිය වෙලාවේ මට යමක් තේරුන නිසා මන් ඉතින් එදා උගෙන් ඇහුවා අලුත් බඩුවක් හම්බුනා නේද කියලා.ඌ ඉතින් මට මුල ඉදන්ම විස්තර කරන්න ගත්තා.ඒව උඹ දැන ගන්න ඕන නෑ.දැන් ඉතින් ඒකිට ගොඩයනවා බොරු."
"එතකොට අයියේ අක්කා මේ හැමදේම කලේ මට උගන්නන්නද?"
"මේ උඹ ඕවා හිතන්නැතුව ඉදපන්.ඒ එකිගේ වෙලාව."සුමනේ අයියා එහෙම කිව්වේ කතාව මග අරින්න කියලා මට හිතුනා.'දෙයියනේ එහෙනම් මේ හැමදේම උනේ මන් හින්දද?මගේ අක්ක මෙහෙම නරකාදියකට වැටුනෙ මන් හින්දද?මේ හැමදේම මගේ පව්කාරකම හින්දද?'
මගේ ඔලුව පුපුරන්න වගේ උනා.තවත් ඒ කතාව අහගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.
"සුමනේ අයියේ මන් යනවා"
 

එකපාරටම මට ඕන උනා තනිවෙන්න.තනිවෙලා හැමදේම හිතන්න.සුමනේ අයියා මාත් එක්ක එන්න හැදුවා.මන් එපා කියපු නිසාම ටික දුරක් ඇවිත් හැරිලා ගියා.ගෙදර ගිහින් මන් කෙලින්ම ගියේ මගේ ඇදට.හිරකරගෙන හිටපු හැම දුකක්ම යන්තමට හරි තුනී කරගන්න හිතාගෙන මන් ඇඩුවා.හොදටම ඇඩුවා.අම්මා ඇවිත් සැරින් සැරේ බලලා යනවා මන් දැක්කා.ඒත් ඇයි කියලවත් ඇහුවේ නෑ.එක අතකට එහෙම අහපු නැති එකත් හොදයි.
පැයක් දෙකක් විතර අඩලා අඩලා මන් තීරණේ කලා අක්කා එක්ක කොහොම හරි කතා කරන්න.ඒකට මුලු රෑම උනත් නැගිටලා ඉන්නවා කියලා හිතාගත්තා.
ඇත්තටම මට අක්කා ගැන තරහක් හිතුනෙ නෑ.මොකද මට අක්කා ගැන තරහා හිතන්න බෑ.ඉස්සර අක්කයි මායි අම්මයි අතට හම්බවෙන සතෙන් ජීවත් උනා.ඒත් දැන් මන් නිසා එහෙම ඉන්න බෑ.මට වියදම වැඩි.ඉතින් අක්කා ඔහොම දේකට අකමැත්තෙන් උනත් යන්න ඇත්තේ මන් හින්දා කියලා මට තදේටම හිතුනා.ඉතින් මන් කොහොමද අක්කා ගැන අහිතක් හිතන්නේ.ලෝකෙට අක්ක වැරදි උනත් එයා ජීවිතේ තමන්ගේ නන්ගි වෙනුවෙන් බිල්ලට දුන්නා කියලා කවුද හිතන්නේ.හැමෝම අක්කට බනීවි.ඒත් ඇත්තටම වැරැද්ද කලේ මම නේද?මන් ගොඩාක් දේවල් හිතුවා.ගොඩාක් කල්පනා කලා.අන්තිමේදි මන් හිතාගත්තා මේ විදිහට හම්බකරන සල්ලි වලින් ආයෙම මන් ඉගෙන ගන්නෙ නෑ කියලා.අක්කා ජීවිතේ වරද්ද ගත්තා තමයි .ඒත් ඉස්සරහටත් ඒ වැරැද්දම කරන්න මට ඉඩ දෙන්න බෑ.ඔව් අක්කා ඕක අත අරිනකම් මන් ආයෙම ඉස්කෝලේ යන්නේ නෑ.මන් හිතුවා.

එදා රෑ 2ට විතර අක්කා ආවා.මන් ඇහැරිලා හිටියේ.අක්කම දොර ඇර ගෙන ඇතුලට ආවා.මාව දැකලා බයත් උනා.
"පොඩ්ඩියේ මොකෝ මේ ඇහැරගෙන?"කිසිම වෙනසක් නැතුව අක්කා කතා කලා.
"ඇයි පරක්කු?"
"වැඩ තිබ්බනේ.මේ දවස්වල මොකද්ද ලොකු ඔර්ඩර් එකක් හම්බෙලා නේ"
"ගොඩාක් ලොකු එකක් වෙන්නැති"
"පොඩ්ඩි මොකද මේ?"
"ඇයි ?"
මට ඕන උනේ මන් ඉන්නේ තරහින් කියලා පෙන්නන්න.ඒ වගේම මන් හැමදේම දන්නවා කියලා අගවන්න.
"මොකද ඔය හරහට කතා කරන්නේ?"
"හැමදේම වෙලා තියෙන හැටියට කෙලින් කතා කරන්න බෑ දැන්"
"ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ?"
"ඒක මට වඩා හොදට දන්නේ ඔයා.මිනිස්සු තැන් තැන් වල කියන කතා මට වඩා දන්නේ ඔයා.අතට පයට සල්ලි එන්නෙ කොහොමද කියලත් හොදට දන්නේ ඔයා."
"මොකද්ද මොකද්ද ඒ කියපු කතාව?"
"ඇහුන දේ තමා කිව්වේ.කිසිම දෙයක් නොදැන්නවා වගේ හිටියට හිතන්නෙප ඒක් එහෙමයි කියලා.හැමදේම මන් දන්නවා.මට අක්කේ වෙන කියන්න දෙයක් නෑ.මන් කියන්නෙ අමෙච්චරයි ඔයා ඉස්සරහටත් ඉන්න හදන්නෙ ඔහොම්මමනම් ඔය ජරා සල්ලි වලින් ඉගෙන ගන්න මට ඕන නෑ.එච්චරයි.ආයේ මට මුකුත් කියන්න එපා."

අක්කට කිසිම දෙයක් කියන්න ඉඩ දෙන්නෙ නැතුව මන් හැමදේම කිව්වා.අක්කට මොනවා හිතුනද මොනවා දැනුනද කියන්න මන් දන්නෑ.ඒත් එහෙම කියන්නැතුව අක්කා එක්ක දුක බෙදාගන්න මට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ.


                           ---------නැවතත්-------

Friday, April 17, 2015

****වළාකුලු බැම්ම **** (06)

අක්කා ගැන මට එහෙම අමුත්තක් දැනුනත් ඒක ටික දවසකට අමතක වෙලා ගියා මට තිබ්බ වැඩත් එක්කම.මන් හොදට වැඩ ටික කරගෙන ගියා.විභාග තියෙන දවස් වල මායි නිශානි එයාලගේ ගෙදර ගිහින් පාඩම් කලා.නිශානිගේ උදව්වෙන් අකවුන්ටින් පන්තියක් හම්බ උනා විතරක් නෙමේ මන් ඉගෙන ගන්න ගොඩක් උනන්දු වෙන බව දැකපු නිශානිගේ අම්මයි තාත්තයි අනිත් විශයන් දෙකටත් පන්ති යන්න මට වියදම් කලා.කොහොම හරි දෙවනි අවුරුද්දෙ මැද වාර විභාගෙන් මටයි නිශානිටයි හොදම ලකුණු තිබ්බා.නිශානිගේ ගෙදර අයටත් ගොඩාක් සතුටු උනා එදානම්.එයාලා මට කිව්වා,
"ඔයා නැත්තන් මේ ළමයා තාම පිස්සු නට නට ඉදිවි" කියලා.
විභාගේ ඉවර වෙලා මන් අවුරුද්දකට විතර පස්සෙ ගෙදර ගියා.මන් හිටපු දවස් වලට වඩා අපේ ගේ ජරා වාස වෙලා තිබ්බා.අක්කා මට හොදට වියදම් කරන්න සල්ලි දෙන හින්ද මන් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේම නෑ.මන් ගෙදර යද්දි හිටියේ අම්මා විතරයි..
"අම්මේ"
මන් එහෙම කියාගෙනම කුස්සියට ගියේ ඒ අම්මගේ සුපුරුදු තැන හින්දා.මොකද වැඩක් තිබ්බත් නැතත් අම්ම හුග වෙලාවට ඉන්නේ කුස්සියේ.මාව දක්ක ගමන් අම්ම පුදුම උනා.ඒවගේම අම්ම බයත් උනා.
"පොඩ්ඩියේ ඇයි මේ හදිස්සියේ?"
අම්ම එහෙම ඇහුවේ වචන පැටලි පැටලි.ඇත්තටම මන් කිසිසේත්ම බලාපොරොත්තු උනෙ නැති දෙයක් බලාපොරොත්තු උනෙ නැති විදිහට අහද්දි මටත් ලොකු අමුත්තක් දනුනා.කාලෙකට පස්සෙ ආපු මාව තුරුල් කරගෙන ටිකක් ඔලුව අතගාන්න එහෙම පුරුද්දක් අපේ අම්මගේ ආදරේ තිබ්බෙ නෑ.ඒත් නිශානිගේ අම්මාට නම් නිශානි ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන වෙලාවට ගෙදර හිටියොත් 'කොමද පැටියො' කියලා ඔලුව ඉබින පුරුද්දක් තිබ්බා.හ්ම්..මට අම්මලා දෙන්නෙක්ගේ ආදරේ සන්සන්දනය කරන්න ඕන උනේ නෑ.ඒත් හිතට අඩුවක් කියන දේ දැනෙද්දි නොදැනුවත්ම ඒවගේ දේවල් වෙනවා.

 

 

"ඇයි අම්මේ හදිස්සියක් නෑ.අද ඉදන් ඉස්කෝලෙ නිවාඩු මාසයක්"

"ඒ කියන්නේ ඒ මාසෙටම ඔයා මෙහෙ ඉන්නවද පොඩ්ඩියේ?"

"ඔව් අම්මේ ඇයි?"

අම්මා මගෙන් මොකද්ද හන්ගනවා වගේ මට දැනුනා.

"අම්මේ කෝ අක්කා.මෙහෙ නෙමේද මහන්නේ?"

"ම්ම්... මේ.. අක්කා.. මේ.. නෑ...ඔව්... නෑ නෑ අක්කා දැන් ගාර්මන්ට් එකකට යනවනේ.එනකොට රෑ වෙනවා.මේ දවස් වල නයිට් වැටිලලු"

"ආ..."

එහෙම කියලා මන් මගේ ඇද තිබ්බ තැනට ගියා.'ඇයි අම්මා එහෙම හැසිරුනේ.ඇයි අක්ක ගැන ඇහුවම නිකන් ගොත ගැහුවේ.මොකද්ද මෙයාල මට හන්ගන්නේ.අක්කා තාම මහනවද?ඒත් එහෙම පාටක් පේන්න නෑ.අඩුම ගානේ එක නූල් පොටක්වත් ගේ හරියේ පේන්න තිබ්බෙ නෑ.ඇත්තටම මොකද්ද මෙතන වෙන්නේ..අක්කගෙන්මයි මේ හැමදේම දැනගන්න වෙන්නේ.බලමුකො හදිස්සි වෙන්නැතුව.'එහෙම හිත හිත මන් ගියා නාගන්න.


එදා මන් ගෙදර ගියාට සතියක් යනකන්ම මට අක්කව හම්බුනේ එක දවසක් උදේ පාන්දර විතරයි.ඒත් දඩි බිඩියේ කොහෙද යන්න ලෑස්තිවෙන ගමන්.මන් කතා කරන්න හැදුවම පොඩ්ඩියේ අපි රෑට කතා කරමු කියලා යන්න ගියා.ඒ දවස් ටිකේ අම්මා මා එක්ක වැඩිය කතා කලෙත් නෑ.හුගක් වෙලාවට මග ඇරියා මාව.ලොකු පාලුවක් තනිකමක් දැනෙන්න ගත්තා.එහෙම වෙලාවට මන් නිශානිත් එක්ක කරපු පිස්සු වැඩ ගැන මතක් කර කර හිනා වුනා.

නිශානිලාගේ ගෙවල් තිබ්බේ බොරැල්ලේ ගෝතමී පාරේ.ඉතින් ඉස්කෝලේ ඉවරවෙලා එයා බොරැල්ලට ඇවිත් ආයෙම රුපියල් හතක් දීල තමා ගෝතමී පාර ළගින් බහින්නේ.දවසක් මන් එයත් එක්ක එයාලගේ ගෙදර යන්න හවස බොරැල්ලට ඇවිත් 174 බැස් එකකට නැග්ගා.වැඩිය සෙනගත් හිටපු නැති නිසා කොන්දත් හිනා වීගෙනමයි හිටියේ.නිශානි මටත් එක්කම රුපියල් විස්සෙ කොලයක් දිග් කරලා ගෝතමි රෝඩ් එක ළගට ටිකට් දෙකක් ඉල්ලුවා.

"අයියෝ නන්ගි ඔයාලා මේ පොඩි දුරත් බස් එකේ යනවද පයින් යන්න තිබ්බනේ" කොන්දොස්තර මනමාල හිනාවකුත් දාල එහෙම කිව්වා.

"ඒක තමයි අන්කල් ඔයාල මේ පොඩි දුරට රුපියල් හතක්ම ගන්නවනේ" නිශානිගේ කටට එහෙම උත්තරයක් කොහොම ආවද මන්දන්නෑ.කොන්දා ඔලුවත් කස කස ඉස්සරහට ගියා අපි බහිනකන් ආයෙම පිටිපස්ස බැලුවෙම නෑ.එදා අපි දෙන්නා හිනා වුන තරමක්.තව තව වෙච්ච නැති දේවලුත් මව මව අපි හිනා වුනා.ඇත්තටම නිශානි එක්ක ඉන්න එක මට සතුටක් උනා.


*******************


ගෙදර ගිහින් සති දෙකකුත් උනා.දවසක් හවස සුමනේ අයියා අපේ ගෙදර ආවා.අම්මව හම්බ වෙලා මොකද්ද තෙලක් ඉල්ල ගන්න මැගි ඇන්ටිගේ කකුලේ අමාරුවකට.අම්මා එවෙලේ ගෙදර හිටියේ නෑ.ඉතින් සුමනේ අයියා මට කතා කලා ටිකක් ඇවිදින්න.අම්මත් කඩේට ගිය නිසා සුමනේ අයියත් එක්කම කඩේට ගිහින් ආයෙම අම්ම එක්ක එන්න පුලුවන් නිසා මාත් ගියා.එවෙලේ හවස හයට විතර ඇති වෙලාව.


"ඒක නෙමේ පොඩ්ඩියේ උඹ දැන් හරි හැඩයි නේ බන්"

මන් හිනා වුනා විතරයි.

"කොහොමද පොඩ්ඩියේ උඹේ වැඩ කටයුතු දැන් හොදට කරගෙන යනවා නේද?"

"ඔව් සුමනේ අයියේ හිතුව තරම් අමාරු නෑ වැඩ ටික.පොඩි විශ්වාසයක් තියෙනවා හොදට විභාගෙනම් කරගන්න පුලුවන් වෙයි කියලා."

"අන්න හරි පොඩ්ඩියේ ඔහොම්මම හිතපන්.උඹට වරදින එකක් නෑ."

"බලන්නෝන ඉතින්"

"බලන්න දෙයක් නෑ.ඒකනෙමේ කොහෙද ඉතින් උඹලට උදව්වක් කරන්න ලොක්කි ඉඩ දෙන එකක්යැයි.ඔය හම්බ කරන්නේ දැන් මහ ලොකුවට සල්ලි"


ඒක කියපු විදිහෙන් සුමනේ අයියා ලග මගේ ප්‍රශ්න වලට උත්තර තියෙන බවක් මට දැනුනා.මන් අපේ වේගය ටිකක් අඩු කරා.

"අයියේ මට දෙයක් අහන්නෝන"

                   --------------නැවතත්----------



                     
                                          

Monday, April 13, 2015

****වළාකුලු බැම්ම **** (05)

අක්කගේ බල කිරීමට කොහොමහරි  මන් ඒලෙවල් කරන්න ගත්ත.ඒ කොමර්ස් වලින්.ලොකු ඉස්කෝලෙකට
 ගිහින් ඒ ළමයි එක්ක පෑහෙන්න බැරි වෙයි කියල හිතුන හින්දා අපේ වනාතමුල්ල කිට්ටුවම තිබ්බ ගෝතමියට ඇතුල් වුනා.

                               

  ඒක වෙනම ජීවිතයක් උනා.හිතට සැනසීමක් කියලා දෙයක් දැනෙන්න ගත්තා.යාලුවොත් එක්ක එකට හිනාවෙවි ඉද්දි මට තේරුනා අනේ මන් ජීවත් වෙනවා නේද කියලා.එක එක ජාතියේ යාලුවෝ හිටියා.ඒ යාලුවෝ අතරින් මාත් එක්කම හිටියේ නිශානි.මන් වගේ නෙමේ එයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඩොක්ටර්ස්ලා.ඕලෙවල් වලින් හොද ලකුණක් නොතිබුනත් එයා එක වසරේ ඉදලම ඉගෙන ගෙන තිබුනේ ගෝතමියේ..එයා තමා එයාගේ පවුලේ එකම ළමයා.එයාලගේ ගෙවල් වලින් එයාට එයාගෙම නෑදෑවෙන ඩොක්ටර් කෙනෙක්ව ප්‍රොපෝස් කරල තිබ්බා.ඒ හින්දා එයාට ඉගෙන ගන්න ඒ හැටි වුවමනාවක් තිබ්බේ නෑ.ගෙදරින් එහෙම බල කිරීමක් තිබ්බෙත් නෑ.ඒ මොනවා උනත් නිශානි මට හොද යාලුවෙක් උනා.මගේ ගැන හැමදෙයක්ම එයා දැනගත්තා.ඒ දෙවල් දැනගත්තට පස්සෙවත්  එයාගේ යාලුකමෙ අඹමල් රේණුවක තරම් වෙනසක් උනේ නෑ.දුකටද අනුකම්පාවටද කියල දන්නෑ ඒත් එයා හැමවෙලෙම මගේ ළගින් හිටිය,හරියටම මගේ අක්කා වගේම.සමහර දවස් වල මටත් වඩා මගේ ප්‍රශ්න ගැන එයා හිතුවා.


ඒ දවස්වල අපිට අකවුන්ටින් වලට හිටපු මැඩම් මැටර්නල් ලීව් ගියා.ඒ නිසා මාස තුන හතරක් යනකන් කවුරුවත්ම ආවේ නෑ උගන්නන්න.හුගක් ළමයි අමතර පන්ති ගිය හින්දා ඒක එයාලට මහා ලොකු දෙයක් උනේ නෑ.එයාල ඉස්කෝලෙ ඒ වෙලාවෙදි හිනා වෙවි විහිලු කර කර හිටියා.ඒත් මට එහෙම ඉන්න බැරි උනා.මන් එක පන්තියකටවත් ගියෙ නැති නිසා මන් හුගක් බයෙන් හිටියේ ඒ මග ඇරෙන ටික අල්ලගන්නේ කොහොමද කියලා හිත හිත.

"සුලෝචනා ඇයි මේ? මන් හුග දවසක ඉදන් බලාගෙන හිටියෙ ඔයාගේ වෙනසක්.ඇයි මොකද්ද ප්‍රශ්නේ?"
නිශානි එක දවසක් මගෙන් එහෙම ඇහුවා.නිශානිත් අනිත් ළමයි වගේ ඒ පීරියඩ් එකේදි පිස්සු නට නට හිටපු නිසා මන් හිතුවෙ නෑ එයාට මේ ගැන කියන්න.ඒත් එයාට තේරිලා තිබ්බා..

"නිශානි මට බයයි"
"ඇයි ළමයෝ.?"
"මට බයයි මේ විදිහට මග ඇරෙන වැඩ ටික මට අල්ල ගන්න බැරි වෙයි කියලා.පන්ති යන්න මට සල්ලි ඉල්ලගන්නත් බෑ අක්කගෙන්.අනේ මන්දා"
"එහෙම වෙන එකක් නෑ සුලෝචනා.ඔයාට පුලුවන් වෙයි ඒ වැඩ ටික අල්ලගන්න"
"ඔව් නිශානි ඒත් දිගටම මෙහෙම කවුරුවත්ම අවෙ නැත්තන් අපිට උගන්නන්න."
"හ්ම්ම්.."
එවෙලේ නිශානිටත් උත්තර නැති උනා.එත් වෙලා ගියත් මගේ ප්‍රශ්න වලට නිශානි ලග මොකක්මහරි විසදුමක් තිබ්බා.
"සූ මෙහෙම කරමු.,මන් අපේ අම්මලට කියන්නම් ඔයාටත් එක්ක ටියුෂන් ෆීස් දෙන්න කියලා.එතකොට වැඩේ හරිනේ.ඔයාටත් පුලුවන් මාත් එක්කෙම පන්ති යන්නත්.අනික ඉතින් ඔයා එන එක මටත් හොදයි නේ මට ඕන දෙයක් ඔයාගෙන් අහගන්න පුලුවන්නේ" 

යාලුවෙක් විදිහට දෙන්න පුලුවන් හොදම විසදුම එයා මට කිව්වා.ඒත් අපේ අක්ක කැමති වෙයිද කියන ප්‍රශ්නේ
 මට තිබ්බා.සුමනේ අයියගෙන්වත් උදව් ගන්න අක්කා අකැමති උන එකේ නොදන්න කෙනෙක් මෙහෙමඋදව් කරන එකට අක්කා ඉඩ දෙන එකක් නැතිවෙයි කියලා මට හිතුනා.

"ඔයා දන්නවනේ නිශානි අපේ අක්ක ගැන එයා ඕකට කැමති වෙන එකක් නෑ.අනික ඔයා ගැන අක්ක වැඩිය දන්නෙත් නෑනේ එහෙම එකේ මන් හිතන්නෑ"
"අනේ බන් කවුද ඉතින් ඕවා අක්කට කියන්න යන්නේ.පන්ති තියෙන දවසට ඔයා කියන්න ඉස්කෝඅලේ හවස පන්තියක් තියෙනවා කියලා..එතකොට හරි නේ."
"ඒත් නිශානි"
"හරි බොරුවක් තමයි ඒත් ඉතින් බොරු කියලා අපි නරක දෙයක් නෙමේනේ කරන්නේ.ඒ හින්දා වැඩිය හිතන්නෙපා"
"මන් දන්නෑ නිශානි මන් ඔයාට කොහොම මේ ණය ගෙවන්නද කියලා"
මන් එහෙම කිව්වේ මගේ මුලු හිතින්ම ආපු ගෞරවයකින්.
"හා හා මේ ඒව පස්සේ දවසක ගෙවාගන්න බැරි යැ මෙන්න මෙ හිනා වෙලා  ඉන්නවා ටිකක් පන්ඩිත කතා කියන්නැතුව"
****************************


කොහොමහරි හිතුවට වඩා කාලයක් මාස හයකට විතර කිට්ටු කාලයක් අපිට අකවුන්ටින් කෙරුනේ නෑ.නිශානිගේ උදව්වෙන් පන්ති යන්න පුලුවන් උන නිසා වැඩ ටික කරගෙන යන්න පුලුවන් උනා මට.ඒලෙවල් පන්තියේ පළවෙනි අවුරුද්ද ඉවර වෙන්න මාසයක් තියෙද්දි අක්කා මට කිව්වා ටවුන් එකට කිට්ටුව හිටපු අපේ ලොකු අම්මාලගේ ගෙදර ගිහින් නවතින්න කියලා.එයා සතියකට සැරයක් ඇවිත් බලලා යන්නම් කියලා.ඒක මටත් කලින් හිතිලා තිබ්බ දෙයක්.ඒත් මන් අක්කගෙන ඇහුවේ නැත්තේ අක්කට දුක හිතෙයි කියලා.ලොකු අම්මලාගේ ගෙදර ඉදන් මට ඉස්කෝලෙට යන්න විනාඩි පහයි යන්නේ.ඒ හින්දා බස් වියදමකුත් නෑනේ.

ලොකු අම්මලාගෙ ගෙදර හිටියේ ලොකු අම්මා විතරයි.එයාලට ළමයි නෑ ඉතින් ලොකු තාත්තා නැති උන දවසේ ඉදන් ලොකු අම්මා තනියම ඒ ලෑලි බිත්ති හතරට වෙලා හිටියා.මන් ගියාම ලොකු අම්මා හුගාක් සතුටු උනා.කෑම හදලා පාර්සල් කරලා කඩවල් වලට විකුණලා තමා ලොකු අම්ම ජීවත් උනේ.ඒ හින්දා ඉතින් මොනා නැතත් කටට රහට කෑම ටිකනම් ලැබුනා.ඉස්කෝලෙ ගෙනියන කෑම එක මට වඩා ආසවෙන් කෑවෙ නිශානි.

 

අක්කා මුලින් වැඩිය මාව බලන්න ආවෙ නැති උනාට මාස තුන හතරකට පස්සේ සතියකට සැරයක් බඩු ගොඩකුත් උස්සගෙන මාව බලන්න ආවා.ඒ විතරක් නෙමේ ආපහු යනකොට මට වෙනදට වඩා සල්ලිත් දීලා ගියා.කලින් අක්ක කිව්වේ "අනේ පොඩ්ඩියේ පිරිමහගෙන පාවිච්චි කරපන්" කියලා.ඒත් පහු වෙනකොට අක්කා කිව්වේ "උඹ හොදට කාල ඇදලා ඉන්න ඕන." කියලා.අක්කට එක පාර මෙහෙම සල්ලි හම්බෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැරි උනා.මන් ඒ ගැන නිශානි එක්කත් කිව්වා.


"නිශානි අපේ අක්කා ලගකදි ඉදලා වෙනස්"

"ඇයි ඒ..? ඒ අක්කා දන් අර බිස්නස් එක හොදට කරගෙන යනවා ඇති ඉතින්"

"ඔව් ඒකනම් එහෙම තමයි..ඒත් මට අමුත්තක් දැනෙනවා නිශානි.මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා"

"සූ මොනාද මේ හිතන්නේ.අක්කා ඔයාට කිව්වනේ ඉතින් අර ලයනල්ද කව්ද එයා එක්ක කරන වැඩේන් හෙන ලාබයි කියලා.ඉතින් එච්චරයි නේ"

"හ්ම්ම්..."


ඒත් මට මොකද්ද ලොකු අමුත්තක් දැනිලා තිබ්බා.


------------------නැවතත්--------



Sunday, April 12, 2015

****වළාකුලු බැම්ම **** (04)


ඕලෙවල් වල ප්‍රතිපල එනකන් මන් ගෙදරට වෙලා අක්කටයි අම්මටයි උදව් කරගෙන හිටියා.විභාගේ හොදට කලා උනත් අක්ක මන් ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන උන්නත් මට අනාගතයක් ගැන හීන මවන්න ඕන උනේ නෑ.ඔහොම ඉද්දි මාස තුනකට විතර පස්සෙ අපේ ප්‍රතිපල ආවා.එදා මුලු වනාතමුල්ලම සැණකෙලියක් වගේ වුනා.ඒ මගේ ප්‍රතිපල නිසා.විශයන් දෙකකට ඇරෙන්න අනිත් හැම එකකටම විශිෂ්ට සම්මාන තිබ්බා මට.මෙච්චර කාලෙකට ඒ වනාතමුල්ලෙන් ඔහොම හරි පාස් උන කෙනෙක්ට හිටියෙ මන් විතරයි.මාත් එදා පුදුමාකර සන්තෝසෙකින් හිටියේ.ඔක්කොටොම වඩා අක්කා මාව බදාගෙන පැයක් විතර ඇඩුවා.අම්මනම් එක පාරක් ඔලුව ඉඹලා ගියා.,ඒත් මන් දැක්කා කුස්සියට වෙලා සැරින් සැරෙ චීත්තේ කොනක් උස්සගෙන කදුලු පිහ දානවා.ඒ අපේ අම්මා ආදරේ කරපු හැටි.

                                       

                          

"පොඩ්ඩියේ උඹ හරි වාසනාවන්තයි බන්...දැන් ඉතින් ලොකු ඉස්කෝලෙකට යන්න ලෑස්ති වෙයන්.අම්මලට බැරිනම් උඹේ වියදම් මන් බලාගන්නම්.උඹ කොහොම හරි ඉගෙන ගනින්"

එදා රෑ සුමනේ අයියා එහෙම කිව්වා.ඒත් අම්මයි අක්කයි කැමති උනේම නෑ එයාගෙන් ඕනවට වඩා උදව් ගන්න.ඔය කතාව සුමනේ අයියා කියද්දි අක්කත් මගේ ළග හිටියා.

"අනේ අනේ සුමනේ අපෙ එකීව බලාගන්න අපිට පුලුවන් උඹ හිටහන්කො නිකන් "

"ඔව් ඔව් උඹට පුලුවන් ඔය රෙදි කෑලි දෙක තුනක් මහලා මේකිව ලොක්කෙක් කරන්න.අනේ මේ නිකන් පුප්පන් නැතුව ඉදහන් බන්."

සුමනේ අයියට කතා කරපු විදිහ සැර වැඩි කියලා අක්කට තේරුනේ සුමනේ අයියා එහෙම කිව්වට පස්සේ.

"නෑ බන් මන් එහෙම දෙයක් නෙමේ කිව්වේ.උඹ උදව් කරනවා තමා ඒත් මේකි අපේ එකිනේ.ඉතින් අපි වියදන් නොකර කවුරු වියදම් කරන්නද.උඹ කරල තියෙන උදව් ඕනවටත් වැඩි සුමනයෝ"අක්කා එහෙම කිව්වේ සුමනේ අයියගේ කට හොදට හොදයි නරකට එහෙමයි කියලා දන්න නිසා.

අක්කා ලොකුවට කියෙව්වට මට වියදම් කරන්න අක්ක ළග සල්ලි නෑ.වත්කමක් කියල දෙයක් තිබ්බනම් තිබ්බේ අපේ ලෑලි ගේ තිබ්බ ඉඩම් කෑල්ල විතරයි.ඊට වඩා කිසිම දෙයක් අපි ළග තිබ්බේ නෑ.ප්‍රතිපල ආපු දවසට පහුවෙනිදා මන් අක්කට කතා කලා.

"අක්කේ හදිස්සිද ඔය වැඩේ?"

"ඔව් පොඩ්ඩියේ හෙටනේ සිරියගෙ කෙල්ලගෙ කොටහලු මගුල.ඒ කෙල්ලගෙ ගවුම මහන්නේ..ඇයි මොකො?"

"නෑ නිකන් කතා කරන්න ටිකක්"

"ඇයි පොඩ්ඩියේ?"

අක්කා මහන වැඩේ නවත්තලා මන් දිහාවට හැරුනා.

"නෑ නෑ ලොකු දෙයක් නෙමේ අක්කා ඕක මහන්න"

"කියන්නකෝ ඉතින්"

"අක්කේ මන් රස්සාවකට යන්නද?"

ඒක ඇහුනා විතරයි අක්කා මන් දිහා බැලුවේ පුදුමෙන් වගේ.ඒ බැල්මේ හැමතැනම වගේ කේන්තියත් ගෑවිලා තිබ්බා.මන් වෙන පැත්තක් බලාගත්තා.

"නෑ අක්කේ ම්මන් කිව්වේ මට හොද රස්සාවක්.."

"ඔව් ඔව් හම්බෙයි උඹට රස්සවක්.ඒලෙවල් කරපු එවුනුත් ගෙදර ඉන්න රටක උඹට හම්බවෙයි රස්සාවක් බලන් ඉදපන්"

"අක්කේ ම..."

"මේ මට මුකුත් අහන්න ඕන නෑ උබ කොහොම හරි ලොකු ඉස්කෝලෙකට ගිහින් ඒලෙවල් කරන්න ඕන එච්චරයි"

"අනේ අක්කේ කියන දේ අහන්න"එවෙලෙනම් මගේ කටත් ටිකක් සැර වුනා.

"මාත් එදා ඉදලම හිටියේ මේකේ.අපි ජීවත් උනේ මේකේ.ඉතින් එහෙම ජීවත් වෙන්න ඕන විදපු දුක මන් දැක්කා මේ ඇස් දෙකෙන්ම.මන් ඊයේ පෙරේදා මෙහෙට උඩින් පාත් උනේ නෑනේ අක්කේ.අපිට කියලා තියෙන්නෙ මේ ලෑලි ගහපු බිත්ති හතර විතරයි.ඔයා කොහොම කිව්වත් ඔයා ඔය හම්බ කරන එක මගේ ඇදුම් වලට පොත් වලට බස් වලට මදි වෙනවා නේද අක්කේ.ඉතින් කියන්න මන් වෙන මොනා කරන්නද අක්කේ?"මන් ඇඩුවත් වගේ මතකයි.

"පොඩ්ඩියේ මේ අහන්න මට පුලුවන් උඹට වියදම් කරන්න.මාව විශ්වාස කරන්න."

"ඒත් කොහොමද අක්කේ? කොහොමද?"

"මට ඊලග මාසේ ඉදන් ලොකු ඕඩර් එක හම්බෙනවා.යස්වති ඇන්ටි දවසක් මන් මහපු ඇදුම් වගයක් දැකලා ආස හිතිලා මට කිව්ව එයා දන්න ඇදුම් කඩයක් තිනවලු.ඒකේ ඇදුම් මහන්න තැනක් අල්ලල දෙන්න කියලා ඒ යසවති ඇන්ටිට ඒකෙ අයිතිකාරයා කියලා.ඉතින් මගෙන් ඇහුවම මන් එක පාරටම හා කිව්වා.මටත් ඉතින් ඇදුම් මහනවා ඇරෙන්න වෙන මොන වැඩක්ඩහ.වැඩ වැඩිවගේනම් ඔය ගෙවල් වලින් එන ඒව ටික අඩු කරලා ඒක කරන්න පුලුවන්නේ.අනික අතට හොද ගානක් එන වැඩක්.දවසක් මායි යසවති ඇන්ටි ගියා ඒ මනුස්සයා හම්බෙලා කතා කරන්න.හොද මනුස්සයෙක් ලයනල් කියලා.ඊළග මාසේ වැඩ තියෙයි.ඒ හින්දයි මන් උඹට කියන්නේ මන් හැමදේම හිතුවා පොඩ්ඩියේ.උබ හිතන්න ඕන ඒවත් එක්කම මන් හිතුවා.ඒ හින්දා දැන් අමුතුවෙන් උඹැට හිතන්න දෙයක් නෑ.ඒ හින්දා දැන් ගිහින් ඉස්සරහට කෙරෙන්න ඕන වැඩ කටයුතු මොනාද කියලා හොයලා බලපන්"

කිසිම දෙයක් කියාගන්න බැරුව මන් අක්කා දිහා ඔහේ බලාගෙන හිටියා.

                             

                               --------------------නැවතත්----------------------


Saturday, April 11, 2015

****වළාකුලු බැම්ම **** (03)

මැගි ඇන්ටිගේ පුතා සුමනසිරි ඒ දවස්වල ලොකු සල්ලිකාරයෙක්.එයාට ලොකු ගෙයක් තිබ්බා වහන දෙක තුනකුත් තිබ්බා.ඒත් ඒ මුකුත් එයා පාවිච්චි කලේ නෑ.කුලියට දීල තිබ්බේ.මොකද ඒ ඔක්කොම හම්බ කරේ හොද අතකින් නෙමේ.අපි හිටපු පැත්තට ආයේ අමුතුවෙන්ම හදුන්වලා දෙන්න ඕන නැති කුඩු බිස්නස් කරලම තමා ඒ ඔක්කොම හම්බ කරේ.මැගි ඇන්ටිත් ඒ දේවල් වලට උල්පන්දම් දුන්නේ නැති උනාට සුමනසිරි ගේ වැඩ වලට විරුද්ධ උනේ නෑ.
දවසක් මැගි ඇන්ටි මට කිව්වා,
"කෙල්ලෙ උඹ ඔය ඉගෙන ගෙන මොනා කරන්නද බන්.?මොකෝ මහ අතු අල්ලනයැ.බලපන් අපේ කොල්ලත් දැන් පිලිවෙලක් වෙලා ඉන්න එකේ නරකද උබ ඒ ගැන හිතලා බැලුවොත්"
කියලා.

සුමනේ අයියා මොන ජරා රස්සාවක් කලත් එයා මටයි අක්කටයි හුගක් හොදින් සැලකුවා.බීලා බීලම අක්මාව නරක් වෙලා තාත්තා නැති උනාට පස්සේ අපි දෙන්නත් එක්ක ජීවත් වෙන්න අම්ම සුමනේ අයියගෙන් ගොඩාක් උදව් අරන් තිබ්බා.ඉතින් එහෙම තියෙද්දි මන් මැගී ඇන්ටි කියපු දේ අම්මට කිව්වම අම්මා ඔලුවේ අතගහ ගත්තේ "එහෙනම් ඌ මෙහෙමයි මගෙන් ණය ගන්න හදන්නෙ" කියලා.

"සුමනේ අයියා එහෙම නෑ අම්මේ ඔය මැගී ඇන්ටි මවාගන්න විකාර තමා..මන් සුමනේ අයියට කතා කරන්නම්"
මන් එහෙම කිව්වේ අම්මව ටිකක් හරි සනසන්න හිතාගෙන.

"උඹ මොනා කතාකරන්නද?පැහෙන් නැතුව හිටපන්."
අම්මා එවෙලේ හිටියේ දුකයි කේන්තියයි අසරණකමයි ඔක්කොම එකතුවෙලා හදපු තොණ්ඩුවකින් එල්ලිලා වගේ.

"නෑ අම්මේ සුමනේ අයියා මෙච්චර කාලෙකට මටයි අක්කටයි වරදක් කරලා නෑනේ.ඉතින් එයාගේ හිතේ එහෙම අදහසක් තියෙනවනම් මන් ඒක එයාට තේරුම් කරන්න බලන්නම්"

"නෑ ඕන නෑ උඹ හිටපන්කො.ඔය අම්මණ්ඩි ඔහොම දෙයක් තනි කැමැත්තට කියන්නෑ නේ.අපි බලමුකො..මට උගෙන් කිසි උදව්වක් ඕන නෑ මින් මතුවට.ඉදල හිටලා අත මාරුවක් ඉල්ලගත්ත පලියට මෙච්චර දෙයක් ඕනනම් ඊට හොදක් වහ ටිකක් කාලා මැරෙනවා"
අම්මා ඔහේ කටට ආපු ගොඩාක් ඒවා කියාගෙන ගියා.ඒත් මට හිතුනේ එතන එච්චර හිතන්න තරම් දෙයක් නෑ කියලා.මැගි ඇන්ටි කටට ආපු පලියට කියපු දෙයක් කියලා මට හිතුනේ..අපරාදේ මන් ඒක අම්මට කිව්වේ.
සුමනේ අයිය අනික ඔහොම දෙයක් මා එක්ක කතා කරල තිබ්බෙම නෑ.කතා කරන වෙලාවට කිව්වේ "පොඩ්ඩියේ උබ ඉගෙන ගනින් වියදම් ගැන මන් බලාගන්නම්" කියලා.අම්මලා නොදැකපු හොද පැත්තක් මන් ඒ මනුස්සයාගෙ දැක්ක.ඉතින් මට මේදේ මහා ලොකු ප්‍රශ්නයක් උනේ නෑ.
                                          **************



එතකොට මන් ඕලෙවල් ඉවර කරලා ගෙදරට වෙලා හිටියේ..අක්කා ගෙදර ඉදගෙන ඇදුම් මැහුවා.අම්මට වැඩි දැනුමක් නැති උනාට අක්කට ඕන උනා මන් ඒලෙවලුත් කරනවා දකින්න.

"මෙ පොඩ්ඩියේ උඹ ගෙදර නවතින්න ලෑස්ති වෙන්න එපා හොදද?? කොහොම හරි ඊලග විභාගෙත් කරන්න ඕන.හරිද"
එක දවසක් මන් ඇද උඩ වැතිරිලා පොතක් බල බල ඉද්දි අක්ක මගෙ අළගට ඇවිත් කිව්ව.මන් එහෙම්මම ඇද උඩ ඉද ගත්ත.
"ඒත් අක්කේ ඕවට වියදම් කරන්න කෝ සල්ලි"
"ඒවා උඹට අදාල නෑ පොඩ්ඩියේ.උඹට තියෙන්නේ ඉගෙන ගන්න"
"ඒත් අක්කෙ..."
"ඒත් මේත් නෙම...හිතන්න පොඩ්ඩියේ උබවත් මේ නරකාදියෙන් ගොඩ එන්නෝන ළමයෝ.අපි මේ නරකාදියේ ඉපදිලා මේකෙම මැරිලා යාවි ඒත් උබ..උබට එහෙම වෙන්න ඕඅන නෑ..මන් උබ තරම් දස්ස නෑ.ඉතින් උබ ඉගෙන ගනින්.මෙතන ජීවිතේ කොයි වෙලේද කියන්න බෑ පොඩ්ඩියේ.ඒ හින්දා උබ හොදට ඉගෙන ගෙන මේ ජරාවෙන් පිට වෙයන්..මට පුලුවන් අම්මව බලාගෙන ඉන්න.මන් කියන්නේ එච්චරයි නොතේරුම් කමට අම්මා හිටියට අම්මත් ආසයි අපි දෙන්නගෙන් එකෙක් හරි හොද සැපට ඉන්නවා දකින්න.ඒ හින්දා පොඩ්ඩියේ මේ අක්කා කියන විදිහට කරනව නේද?"

"අනෙ අක්කේ.."
මන් අක්කගෙ බෙල්ල බදාගෙන ඇඩුවා.මාත් එක්කම එකට ලොකු වුනු අක්කා මට වඩා දැනුම් තේරුම් ඇති ලොකුම ලොකු රූස්ස ගහක් වෙලා.ඒ ගහ යට මට මගේ මාලිගාව හදා ගන්නලු.එච්චර කාලෙකට මගේ ජීවිතේට බලාපොරොත්තුවක් කියන පහන්සිල දල්වන්න පුලුවන් උන එකම කෙනා තමයි ඒ.ඒත් මන් බය උනා මාත් මෙරුවෙක් වගේ ගිහින් දැවිලා අලුවෙලා යයි කියලා.ඒත් මට එවෙලේ ඒ මොහොතේ ඒ බවක් පෙන්නන්න ඕන උනේ නෑ.ජීවිතේට බලාපොරොත්තුවක් ඇති කරපු ඒ වීරවරිය ලග අධිෂ්ටානයේ කදුලු මිසක බියගුලු කමේ කදුලකට ඉඩක් නොතිබිය යුතුයි කියලා මට හිතුනා..


                -----නැවතත්-------------

Saturday, April 4, 2015

****වළාකුලු බැම්ම **** (02)

"සුලෝ"


රොහාන් මට කතා කලේ එහෙම.අපි ආදරෙ පටන් ගත්ත දවසෙ ඉදන් එයා මට කතා කලෙ එහෙම.අපේ ආදරේ අපි දෙන්නා අතරේ ගොඩාක් ලස්සනට ගලාගෙන ගියා.ඒත් ඒ ආදරේ ලස්සන උනේ අපි අතරේ විතරයි.අපි අපි දෙන්නගෙන් මිදිලා ඔලුව උස්සලා වට අපිට බැලුවොත් අපේ ආදරේට හරස් කපන්න බලාගෙන හිටපු අයව විතරයි අපි දැක්කේ.


රොහාන් ගොඩාක් පෝසත් පවුලක කෙනෙක්.එයාගේ තාත්තට නුවර එළියේ තේ අක්කර ගානක් තිබ්බා.අම්මා බැන්කුවක මැනේජර් කෙනෙක්.ඉතින් රොහාන්ට දුකක් කියන නාමයක්වත් දැනෙන්න ඒ දෙන්නා ඉඩ දීල තිබ්බෙ නෑ..එයාලත් එයාලට පුලුවන් උපරිමෙන්ම රොහාන්ට  එයාලගේ ආදරේ දුන්නේ රොහාන් එයාලගේ එකම දරුව වුන නිසා.රොහාන්ට අම්මගෙනුයි තාත්තගෙනුයි ඒ තරම්ම ආදරයක් ලැබෙද්දිත් මගෙනුත් හෙන ගොඩාක් ආදරේ ඕන උනේ ඇයි කියන්න මන් දන්නෑ.ඒත් ඒ ගැන මතක් වෙනකොට මට ආඩම්බරෙකුත් නොදැනෙනවා නෙමේ.ඉතින් මන් එයාට ඒ ආදරේ දුන්නා.එයාට එකවගේම තුන් පැත්තකින් ආදරේ ගලාගෙන එද්දිත් එයා මගේ ආදරේට ගොඩාක් ලෝබකම් කලා.

 

 

 

"සුලෝ අපේ අම්මලා මේ සම්බන්ධෙට කැමති වෙන්නෑ කියලා මන් දන්නවා.කියන්න අපි දැන් මොකද කරන්නේ?"

"මොනවා කරන්නද රොහාන්?ඒ දෙන්නගේ හිත් වලට ගිනි තියලා අපි කොහොමද එකතු වෙන්නේ.?"

"කියන්න සුලෝ ඔයාට මන් නැතුව ඉන්න පුලුවන්ද?"

"අනේ සැරින් සැරේ ඔය ප්‍රශ්නේ අහලා මාව අසරණ කරන්න එපා රොහාන්."

"මට බෑ ඔයාට මෙහෙම යන්න දෙන්න.මන් ඔයාට ආදරෙයි සුලෝ.අපිට වෙන තීරණයක් ගන්න වෙනවා"

"මන් දන්නවා පැටියෝ.,ඒත් අපිට මොකද්ද වෙන ගන්න තියෙන තීරණේ?"

"අපි මැරි කරමු..අද උනත් කමක් නෑ ඔයා කැමතිනම්.අම්මලා මේකට අකමැති වෙන එකේ අද මේක කලත් පහුවෙලා මේක කලත් ඒකෙ කිසි වෙනසක් නෑ මට.කියන්න ඔයා මොකද කියන්නේ?"

"අනේ රොහාන් ඔයාගේ අම්මලා පව්.."

"හ්ම්..."

"අපි තව එක පාරක් මේක එයාලට කියමු.එයාල එච්චර නපුරු වෙන එකක් නෑ රොහාන්.එයාලට ඕන ඔයාගෙ සතුටනෙ."

"හරි එහෙම කියලත් එයාලගේ තීරණේ වෙනසක් නැත්තන්?"

"වෙනසක් නැත්තන්...... අනේ මන්දා රොහාන් මන් අම්ම කෙනෙකුගෙනුයි තාත්තෙක්ගෙනුයි පුතෙක් වෙන් කලා වගේ වෙයිද රොහාන්.මට බයයි..එයාලට දුක් දීල අපිට සතුටින් ඉන්න පුලුවන් වෙයිද?"

"සුලෝ මේ අහන්න.ඔච්චර අනුන්ගැන හිතන්නෙපා පැටියො.ඔයා ගැනත් ටිකක් හිතන්න.ඔයාට මන් නැතිව ඉන්න බෑ කියලා මන් දන්නවා.ඉතින් ඇයි ඔයාටම දුක් දීගන්න හදන්නේ?"

"ඒත් රො.."

"ඒත් මේත් නෙමේ..මේ අහන්න මන් අද ගිහින් ආයෙම මේ ගැන අම්මලගෙන් අහනවා.එයාල අකමැති උනොත් අපි අනිවාර්යෙන්ම මැරි කරනවා.තේරුනාද.?මන් ඔයාට පොරොන්දු උනා හැමදාම ඔයාව බලාගන්නවා කියලා.ඒ පොරොන්දුව මට ඉෂ්ට කරන්න දෙන්න.මුලින් මුලින් අම්මලා බැන්නත් පස්සෙ හරි යාවි.ඒ හින්දා සුලෝ හිත හදාගන්න..අපි ඉක්මනටම මේ ප්‍රශ්නෙට විසදුමක් ගේමු"
 

එදා අපි අතර ඇති උනේ තීරණාත්මක කතාවක්.කිසිම දෙයක් හිතාගන්න බැරිව මන් හිටියත් රොහාන් තදින්ම එක තීරණයක හිටියා.

නම ඇහුවම 'අපෝ ඒ පැත්ත මහ භයානක පැත්තක්නේ' කියලා හැමෝගෙම කටින් කියවෙන වනාත මුල්ල කියන්නේ මන් ජීවත් උන පළාත.දූලි නාගෙන ලෑලි ගෙවල අස්සෙන් රින්ග රින්ග සෙල්ලම් කරපු පුන්චි කාලයක් මට තිබුනේ.හැමදාම රෑට අම්මයි තාත්තයි රණ්ඩු වෙන හැටි බල බල නිදා ගත්තු පුන්චි කාලයක් මට තිබ්බේ.මහ රෑත් පොලිසියෙන් ගෙවල් වලට පනිද්දි අක්කට තුරුල් වෙලා අඩපු පුන්චි කාලයක් මට තිබ්බේ..
 

"මේ නරකාදියේ ඉදලා උඹලට කවදාවත් හරි යන්නෑ මයෙ පුතේ"කියලා නොකියපු එක දවසක්වත් නැතුව ඇති.අම්ම එහෙම කිව්වේ හිතේ කැකෑරිච්ච ලොකුම ලොකු වේදනාවකින් කියලා අක්කයි මායි හොදටම දැනගෙන හිටියා..ඒත් එක්කම අම්මට ලොකු බයක් තිබ්බා අපි දෙන්න ගැන.අම්මා නිතරම කිව්වේ,
"වැඩිය එළියට පහළට බහින්න එපා" කියලා.
"අපේ මුඩුක්කු ගෙවල් වලින් එක ගෙදරකවත් නැති තරම් සිරියාවන්ත කෙල්ලො දෙන්නෙක් බන් උඹට ඉන්නේ.ලෝබ කමේ බෑ බන් උන් දෙන්නව දැක්කම"දවසක් එහා ලේන් එකෙ හිටපු මැගී ඇන්ටි අපේ අම්මා එක්ක කියනවා මට ඇහුනා.එදා ඉදලා අම්ම අපිව ලොකුම ලොකු උවමනාවකට ඇරෙන්න ගෙදරින් තනියම එළියට යන්න දුන්නෙම නෑ.එදා රෑ අබ මිරිස් ලුණු දාලා ඇස්වහ කටවහත් පිච්චුවා මට මතකයි..

                                                                 -----------------නැවතත්-----------