****වළාකුලු බැම්ම **** (07)
මට ඕන උනේ හැමදේම සුමනේ අයියගෙන් අහගන්න.ඒ හින්දම මන් කෙලින්ම සුමනේ අයියගෙන් අක්කා ගැන ඇහුවා.තැන් තැන් වල තමන්ගෙම අක්කා ගැන විස්තර අහන එක හරි නැති උනත් හැමදෙයක්ම හොද හැටි තේරුම් ගන්න පුලුවන් වයසක හිටපු මට අක්කා ඉන්නේ වැරදි පාරක කියන එක තේරිලා තිබ්බා.සුමනේ අයියා එදා ඉදන්ම අපි ගැන දන්න හින්දා ඒ දේ ගැන එයාගෙන් අහන එක මට එච්චර ගානක් උනෙත් නෑ.
"අහපන් අහපන් ඕන එකක්"
"මට දැන ගන්න ඕන අපේ අක්කා ගැන"
"අහ් ලොක්කි ගැනද?" එයා ඒක කිව්වෙ හරිම සමච්චලේට.
"ලොක්කි ගැන දැන් මොනා කියන්නද බන්.ඕවා උඹ දැනගත්තා කියලා දැන් වැඩක් වෙන්නෑ බන්"
"මට මේක ලොකු ප්‍රශ්නයක් අයියේ.අක්කා දැන් වෙනදාට වඩා මට සල්ලිත් දෙනවා.ඒත් ගෙදර කිසි පිළිවෙලක් නෑ.කතා කරන්න හදද්දි ඒකත් මග අරිනවා.අම්මාත් එහෙමයි."
"වෙන්න ඇති බන්.එක අතකට ඒකි උඹ එක්ක මොනවා කතා කරන්නද?මොකද ඒකි එක එක දවසට එක එක මිනිස්සු එක්ක යනවා කියලා උඹට කියන්නද?"
"මොනවා....???"
මගේ මුලු ඇගම හිරි වැටීගෙන ගියා.තව අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි තරමටම කකුල් දෙක වාරු නැති උනා.සුමනේ අයියා මගේ කරවටින් අතක් දාලා මාව අල්ලගත්තා වගේ මතකයි.කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටිය මට ඕන උනේ කෑ ගහලා අඩන්න.,අක්කා ඉන්න තැනකට දුවලා ගිහින් ඇයි මෙහෙම කරන්නේ කියලා අහන්න.
"දැන් ඉතින් උඹ ඇඩුවා කියලා මොනා කරන්නද බන්.ඕක අදක ඊයෙක පටන් ගත්ත එකක් නෙමේ නේ.දැන්ඒකිට ඕන උනත් දැන් ඕක අත අරින්න බැරුව ඇත්තේ"
"අනේ ඇයි අයියේ අක්කා එහෙම දෙයක් කරගත්තේ?"
"මන් දන්නෑ බන්..ඒත් අර ලයනල් කාරයෙක්ව අල්ලගෙන බිස්නස් එකක් පටන්ගත්තනේ.ඌ අක්කට ලොකු පොල්ලක් තිබ්බා.අන්න ඒ දවස් ඉදලා ඒකි හෙන හිතේ අමාරුවෙන් හිටියේ.දෙතුන් පාරක්ම මගෙනුත් සල්ලි ඉල්ලගත්තා උඹට යවන්නවත් අතේ සල්ලි නෑ කියලා.මන් මාස දෙක තුනක් විතර උඹට යවන්න කියලා සල්ලි දුන්නා.ඊටපස්සේ දවසක් මටම මතක්වෙලා උඹට යවන්නෝන නේද කියලා සල්ලි අරන් උඹලාගේ ගෙදර ගියා.එදා ගෙදර වෙන කවුද මිනිහෙක් හිටියා.මේ වනත මුල්ලේ ඉතින් මන් නොදන්න උන් නෑනේ ඉතින් ඒකත් මන් දන්න එකෙක්.මිනිහට බම්බලපිටියේ ලොකු ක්ලබ් එකක් තියෙනවා.උඹට කියන්න ඕන නෑනේ පොඩ්ඩියේ එකේ ඕන ඒවයි එපා එවයි හැම දේම වෙනවා.ඉතින් මිනිහව දකිද්දිම මට තේරුනා මොකක් හරි දෙයක් වෙන්න යනව කියලා."
සුමනේ අයියේ කිසිම ගානක් නැතුව ඔහේ කියව ගෙන ගියා.මාත් කිසිම හැලහොල්මනක් නැතුව අහගෙන හිටියා.අහන් ඉන්න අමාරු උනත් මට ඕන උනේ අගක් මුලක් ඇතිව මොකද්ද උනේ කියලා දැන ගන්න.හිමින් සැරේ ඇවිද ඇවිද අපි කඩේ ළගටම ඇවිත් තිබුනා.අම්මා කඩේ ඇන්ටිත් එක්ක කියව කියව ඉන්නවා මන් දැක්කා.ඒත් මට අම්ම ළගට යන්න ඕන උනේ නෑ.කඩේට යන පාරේ කඩේට කලින් හම්බුන අතුරු පාරකට මන් එක පාරටම සුමනේ අයියගේ අතින් ඇදගෙන හැරුනා අම්මා අපිව දකින්න කලින්.
"මොකද පොඩ්ඩියේ?"
එකපාරටම කලබල උන සුමනේ අයියා ඇහුවේ එයාගේ ඉනේ තියෙන සුපුරුදු පිස්තෝලෙට අත ගෙනියන ගමන්.
"නෑ නෑ අම්ම දකී කියලා.අම්මා හිටියා කඩේ"
"ආ මන් හිතුවා වෙන මොකක් හරි කේස් එකක් කියලා"
මන් ඒ පාර අයිනේ තිබ්බ තාප්පෙට හේත්තු උනා.හතරවටිම්න කලුවර වැටීගෙන ආවත් මට ගෙදර යන්න ඕන උනේම නෑ.
"ඉතින් අක්කට මොකද්ද ඒ මිනිහත් එක්ක තිබ්බ ගනුදෙනුව?"
"හිටපන්කො ඉතින් කියනකන්.එදා කොහොමහරි ලොක්කි මගෙන් සල්ලි ගත්තෙත් නෑ.පස්සෙ දවසක මට අර මිනිහව හම්බුනා.උඹ වැරදියට හිතන්නෙපා පොඩ්ඩියේ එදා උඹලගේ ගෙදර ගිය වෙලාවේ මට යමක් තේරුන නිසා මන් ඉතින් එදා උගෙන් ඇහුවා අලුත් බඩුවක් හම්බුනා නේද කියලා.ඌ ඉතින් මට මුල ඉදන්ම විස්තර කරන්න ගත්තා.ඒව උඹ දැන ගන්න ඕන නෑ.දැන් ඉතින් ඒකිට ගොඩයනවා බොරු."
"එතකොට අයියේ අක්කා මේ හැමදේම කලේ මට උගන්නන්නද?"
"මේ උඹ ඕවා හිතන්නැතුව ඉදපන්.ඒ එකිගේ වෙලාව."සුමනේ අයියා එහෙම කිව්වේ කතාව මග අරින්න කියලා මට හිතුනා.'දෙයියනේ එහෙනම් මේ හැමදේම උනේ මන් හින්දද?මගේ අක්ක මෙහෙම නරකාදියකට වැටුනෙ මන් හින්දද?මේ හැමදේම මගේ පව්කාරකම හින්දද?'
මගේ ඔලුව පුපුරන්න වගේ උනා.තවත් ඒ කතාව අහගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.
"සුමනේ අයියේ මන් යනවා"
එකපාරටම මට ඕන උනා තනිවෙන්න.තනිවෙලා හැමදේම හිතන්න.සුමනේ අයියා මාත් එක්ක එන්න හැදුවා.මන් එපා කියපු නිසාම ටික දුරක් ඇවිත් හැරිලා ගියා.ගෙදර ගිහින් මන් කෙලින්ම ගියේ මගේ ඇදට.හිරකරගෙන හිටපු හැම දුකක්ම යන්තමට හරි තුනී කරගන්න හිතාගෙන මන් ඇඩුවා.හොදටම ඇඩුවා.අම්මා ඇවිත් සැරින් සැරේ බලලා යනවා මන් දැක්කා.ඒත් ඇයි කියලවත් ඇහුවේ නෑ.එක අතකට එහෙම අහපු නැති එකත් හොදයි.
පැයක් දෙකක් විතර අඩලා අඩලා මන් තීරණේ කලා අක්කා එක්ක කොහොම හරි කතා කරන්න.ඒකට මුලු රෑම උනත් නැගිටලා ඉන්නවා කියලා හිතාගත්තා.
ඇත්තටම මට අක්කා ගැන තරහක් හිතුනෙ නෑ.මොකද මට අක්කා ගැන තරහා හිතන්න බෑ.ඉස්සර අක්කයි මායි අම්මයි අතට හම්බවෙන සතෙන් ජීවත් උනා.ඒත් දැන් මන් නිසා එහෙම ඉන්න බෑ.මට වියදම වැඩි.ඉතින් අක්කා ඔහොම දේකට අකමැත්තෙන් උනත් යන්න ඇත්තේ මන් හින්දා කියලා මට තදේටම හිතුනා.ඉතින් මන් කොහොමද අක්කා ගැන අහිතක් හිතන්නේ.ලෝකෙට අක්ක වැරදි උනත් එයා ජීවිතේ තමන්ගේ නන්ගි වෙනුවෙන් බිල්ලට දුන්නා කියලා කවුද හිතන්නේ.හැමෝම අක්කට බනීවි.ඒත් ඇත්තටම වැරැද්ද කලේ මම නේද?මන් ගොඩාක් දේවල් හිතුවා.ගොඩාක් කල්පනා කලා.අන්තිමේදි මන් හිතාගත්තා මේ විදිහට හම්බකරන සල්ලි වලින් ආයෙම මන් ඉගෙන ගන්නෙ නෑ කියලා.අක්කා ජීවිතේ වරද්ද ගත්තා තමයි .ඒත් ඉස්සරහටත් ඒ වැරැද්දම කරන්න මට ඉඩ දෙන්න බෑ.ඔව් අක්කා ඕක අත අරිනකම් මන් ආයෙම ඉස්කෝලේ යන්නේ නෑ.මන් හිතුවා.
එදා රෑ 2ට විතර අක්කා ආවා.මන් ඇහැරිලා හිටියේ.අක්කම දොර ඇර ගෙන ඇතුලට ආවා.මාව දැකලා බයත් උනා.
"පොඩ්ඩියේ මොකෝ මේ ඇහැරගෙන?"කිසිම වෙනසක් නැතුව අක්කා කතා කලා.
"ඇයි පරක්කු?"
"වැඩ තිබ්බනේ.මේ දවස්වල මොකද්ද ලොකු ඔර්ඩර් එකක් හම්බෙලා නේ"
"ගොඩාක් ලොකු එකක් වෙන්නැති"
"පොඩ්ඩි මොකද මේ?"
"ඇයි ?"
මට ඕන උනේ මන් ඉන්නේ තරහින් කියලා පෙන්නන්න.ඒ වගේම මන් හැමදේම දන්නවා කියලා අගවන්න.
"මොකද ඔය හරහට කතා කරන්නේ?"
"හැමදේම වෙලා තියෙන හැටියට කෙලින් කතා කරන්න බෑ දැන්"
"ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ?"
"ඒක මට වඩා හොදට දන්නේ ඔයා.මිනිස්සු තැන් තැන් වල කියන කතා මට වඩා දන්නේ ඔයා.අතට පයට සල්ලි එන්නෙ කොහොමද කියලත් හොදට දන්නේ ඔයා."
"මොකද්ද මොකද්ද ඒ කියපු කතාව?"
"ඇහුන දේ තමා කිව්වේ.කිසිම දෙයක් නොදැන්නවා වගේ හිටියට හිතන්නෙප ඒක් එහෙමයි කියලා.හැමදේම මන් දන්නවා.මට අක්කේ වෙන කියන්න දෙයක් නෑ.මන් කියන්නෙ අමෙච්චරයි ඔයා ඉස්සරහටත් ඉන්න හදන්නෙ ඔහොම්මමනම් ඔය ජරා සල්ලි වලින් ඉගෙන ගන්න මට ඕන නෑ.එච්චරයි.ආයේ මට මුකුත් කියන්න එපා."
අක්කට කිසිම දෙයක් කියන්න ඉඩ දෙන්නෙ නැතුව මන් හැමදේම කිව්වා.අක්කට මොනවා හිතුනද මොනවා දැනුනද කියන්න මන් දන්නෑ.ඒත් එහෙම කියන්නැතුව අක්කා එක්ක දුක බෙදාගන්න මට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ.
---------නැවතත්-------
//එදා ගෙදර වෙන කවුද මිනිහෙක් හිටියා.// ඒ කියන්නේ සුමනෙත් අක්කා ලඟට ගිහිං වෙන එකෙක් ඉන්න නිසා ඉරිසියාවට තමා නංගිට කියන්නෙ. පුහ්... අන්න නියම පිරිමි!
ReplyDeleteඅනේ සුමනේ අයියා එහෙම නැතුව ඇති අෆ්ෆා :D
Delete