Friday, April 24, 2015

****වළාකුලු බැම්ම **** (08)

 

මගේ ජීවිතේ පුදුමාකාර විදිහට උඩු යටි කුරු වෙමින් තිබුනා.හීන මවාගෙන විභාගෙ කරගන්න තිබ්බ උනන්දුව සැඩ පහරකට අහු වෙලා ගියා.ආයේ ඉස්කෝලෙ යනවා තියා ඒ ගැන හිතන්නවත් මන් කැමති උනේ නෑ.මන් වෙනුවෙන් කියලා අක්කා කරන හැම දෙයක්ම හරි නෑ කියලා දැනගත්තම හොදින් හරි නරකින් හරි මට ඕන උනේ ඒ දේවල් වලට නැවතීමක් තියන්න.අම්මා බලාගත්ත අත බලාගෙන හිටියා.එක අතකට අම්මාටත් කරන්න දෙයක් තියෙන්නැතුව ඇති.අක්කා පොඩි කාලේ ඉදන්ම එයාට ඕන දේ කලේ කියලා හැමෝටම වඩා දන්නේ අම්මානේ.ඉතින් අක්කා කරන හැමදේම දිහා බලාගෙන ඉන්න ඇති.මන් අක්කා එක්ක කතා කලේ නෑ ඊට පස්සේ.එයාටත් මා එක්ක කතා කරන්න වුවමනාවක් තිබ්බෙත් නෑ.'ආයෙම මන් ඒ රස්සවට යන්නෑ නන්ගි.උඹ කොහොම හරි ඉගෙන ගනින් මන් වෙනදා වගේ ඇදුමක් මහල උඹට වියදම් කරන්නම්' කියලා අක්කා මට ඇවිත් කියනකන් මන් බලාගෙන හිටියා.ඒත් එහෙම දේවල් වෙන්නේ ෆිල්ම් වල විතරයි කියලා හිතුනම හැමදේම අතෑරලා ඔලුව හැරුනු අතේ යන්නත් හිතුනා.කාටමහරි මේ දුක කියන්න ඕන උනා.ඒත් කාටද?නිශානිට මේ දේවල් කිව්වොත් මට ඒ යාලුකමවත් නැති වෙයි කියලා මට ගොඩාක් බය හිතුනා.ඒ හින්දා මන් කිසිම දෙයක් එයාට කිව්වෙ නෑ.


ආයෙම ඉස්කෝලෙ යන්න ඕනකමක් තිබ්බෙ නැති නිසා මන් රස්සා දෙක තුනකටම ඇප්ලයි කලා.ඒත් සුමනේ අයියා අදුරන කෙනෙක් වනාතමුල්ල කිට්ටුව තිබ්බ ටියුෂන් පන්ති කරන තැනක ඇසිස්ටන්ට් අකවුන්ටන්ට් විදිහට මට එන්න කියලා තිබ්බා.එතන හොදයි කියලා සුමනේ අයියම තමා ඒ රස්සාව අල්ලලා දෙන්න ගොඩාක් මහන්සි උනේ.අන්තිමට මන් ඒ රස්සවට යන්න තීරණය කලා.අක්කගෙන් මන් ඇහුවෙත් නෑ.අම්මට රස්සාවට යන්න කලින් දවසේ කිව්වා මෙහෙම යනවා කියලා එච්චරයි.ඉස්සර අක්කා ගැන මට තරහක් නොහිතුනත් ඒක වෙනස් වුනා.අක්කා එහෙම දෙයකට ගියේ මට උගන්නන්නනම් ඒත් මන් ඒ දේ හින්දම ඉගෙන ගන්න එක අත අරිනවනම් ඇයි අක්කාට බැරි ඒ ජරා රස්සාව අත අරින්න.අඩුම තරමින් අක්කට මන් ඉස්කෝලෙ ගමන නවත්තපු එක ගැන දොස් කියන්නවත් තිබ්බා.ඒත් එයා එහෙම කලේ නෑ.එයාට ඒවෙනකොට මන් කරන කිසි දෙයක් ගැන කිසිම ගානක් තිබ්බේ නෑ.සුමනේ අයියත් එක්ක මන් ඒ ගැන කිය කිය අඩද්දි අයියා කිව්වේ 'ඕවා ඔහොම තමයි බන් සල්ලි අතේ පයේ ගෑවෙනකොට ඔහොම වෙනවා' කියලා.මට එදා ඇත්තටම අක්කා ගැන ලොකු පිළිකුලක් දැනුනා..


අපේ අලුත් වාරෙ ඉස්කෝලෙ පටන් ගන්න තිබ්බ දවසෙ මන් මගේ අලුත් ජොබ් එකට ගියා.සතියක්ම එක දිගට මන් එතන ජොබ් එක කරගෙන හිටියා.ඒත් දවසක් මන් වැඩ ඇරිලා ගෙදර යද්දි නිශානි අපේ ගෙදර ඇවිත් හිටියා.කවදාවත් අපේ ගෙදර ඇවිත් තිබ්බේ නැති නිසා එයාව දැක්කම මන් පුදුම උනා.ඒවගේම බය උනා.දුකත් දැනුනා.ඕලෙවල් වලින් මන් පාස් උන සිද්දිය හින්දා වනාතමුල්ලට ඇවිත් මගෙ නම කියලා ඇහුවොත් මාව නොදන්න කෙනෙක් හිටියෙ නෑ.ඒහින්දම නිශානි අපේ ගෙදර හොයාගත්ත හැටි අහන්න මට ඕන උනේ නෑ.


මුලින් මුලින් බොරුවක් ගොතාගන්න හැදුවත් නිශානි ඉස්සරහා මට එහෙම බොරුවක් කියන්න බැරි උනා.නිශානි මන් ගැන මොනවා හිතයිද කියන එක පැත්තකින් තියලා මන් නිශානිට වෙච්ච හැමදේම මුල ඉදන් අගටම කිව්වා.මන් ඇඩුවා.තරහෙන් පිපිරුනා.බොරුවට හිනා වුනා.ආයෙම ඇඩුවා.ඒ හැමදේම නිශානි හරිම උනන්දුවෙන් අහගෙන හිටියා.ඒත් එක තැනකදි එයා මට හොදටම බැන්නා.ඒ ආයෙත් ඉස්කෝලෙ එන්නෙ නෑ කියලා මන් කිව්වම.ඔක්කොම වියදම් එයා බලාගන්නම් කිව්වා.නිශානි එයාගෙ අම්මලට කියන්නම් කිව්වා.ඒත් මට ඒකට හිත හදාගන්න බැරි උනා.මන් නිශානිට මගේ අන්තිම තීරණය කිව්වා.ඒ ආයෙම ඉස්කෝලෙ යන්නෙ නෑ කියලා.ඒත් නිශානි ඒකට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.


"එක්සෑම් එකට තව මාස 6යි සූ.එතනින් පස්සෙ ඔයාට පුලුවන් ඔය ජොබ් එක කරගෙන ඉන්න.පණ්ඩිත වැඩ කරන්නෙ නැතුව ඉස්කෝලෙ එන්න"

"කොහොමද නිශානි මන් හිත හදාගෙන එන්නෙ.මේ නරකාදියෙම මාවත් එරිලා වගේ මට දැනෙන්නේ"

"මෙහෙමයි සූ., ඔයා මෙ හැමදේම අතරමග නවත්තලා දාල පැත්තකට වෙන්නේ අක්කාගෙ වැඩ හින්දනම් ඔයා ටිකක් හිතන්න.කොච්චර තිත්ත උනත් අක්කා මේ තත්වෙට වැටෙන්න ඇත්තෙ ඔයා හින්දා.ඔයාට උගන්නන්න එයාට ලොකූ වුවමනාවක් තිබ්බනේ.එයාට වෙන කරන්න දෙයක් නැති පාර මෙහෙම කරා වෙන්න ඇති.ඒ හින්දා ඒ අක්කගේ ජීවිතෙ දැන් පෙනි පෙනි විනාස වෙද්දි ඔයා ඔහොම වැඩ කලොත් කවදහරි අක්කටම එයා ගැන කලකිරෙන දවසක අක්කගෙ හිත හැදෙන්නවත් ඔයා හොදට ඉන්න ඕන.ඒක තේරුම් ගන්න.අක්ක ගැන හිතන්න එපා දැන් ඔයා.ඒක ඔයාට වදයක් නම් අක්කා කෙනෙක් නොහිටිය ගානට ඔයා ඉන්න."


නිශානි මගේ හිත හදන්න ගොඩාක් උත්සහා කලා.ඔව් ඇත්ත එයා කිව්වේ සම්පූර්ණ ඇත්ත.ඒත් මන් කොහොමද දැන් ඉස්සරහට යන්නේ.හැමදේම පැටලිලා වගේ දැනුනා.


නිශානි එදා මාත් එක්ක ගොඩාක් වෙලා කතා කර කර හිටියා.එයා එදා අපේ ගෙදරින් ගියේ ඊළගට එන සදුදා ඉදලා මට ඉස්කෝලෙ එන්නමයි කියලා බල කරලා.එයා යද්දි මට සල්ලිත් දීලා ගියා.නිශානි ගියාට පස්සේ මන් එයා කියපු හැම දේම මුල ඉදලා ආයෙම හිතන්න ගත්තා.ආයෙම ඉස්කෝලෙ යන්න හිතුනත් මන් ඒ ගැන සුමනේ අයියගෙනුත් ඇහුවා.සුමනේ අයියා මන් කියන ඕන දේකට මට උදව් කරන නිසා එයා කිව්වේ 'උඹ හිතලා බලලා හොද දෙයක් කරපන්' කියලා.


මේ ජීවිතේ අයිති මට විතරක්නම් මට ඕන ඕන දෙවල් කරන්න තිබ්බා.ඒත් මන් නිසා වෙන අයගේ ජීවිත අවුල් වෙනවනම් ඒ අයව මට වෙනස් කරන්නත් බැරිනම් මන් වෙනස වෙන්න ඕන.


මන් සදුදා ඉස්කෝලේ ගියා.

                                    -------නැවතත්----------

 


4 comments:

  1. //ඒත් එහෙම දේවල් වෙන්නේ ෆිල්ම් වල විතරයි කියලා හිතුනම//
    සහතික ඇත්ත. ගොඩක් දෙවල් එහෙම වෙයි කියලා අපි හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙම හිතලා අපි ගොඩාක් හිත රවට්ට ගන්නවා..ඒත් ඉතින් මොනව කරන්නද හිතේ හැටි නේ... :/

      Delete
  2. Replies
    1. තැන්කු..වැව් ඉස්මත්තේ ඉදන් ඉතුරු ටිකත් බලන්නකෝ එහෙනම් :)

      Delete