Friday, May 1, 2015

****වළාකුලු බැම්ම **** (09)

"මෙහෙණින් වහන්ස බර කල්පනාවක වගේ?"

මිහිදන් කරන්න හදන අතීතෙක එක් ඉසව්වක නතර වෙලා හිටපු මන් පියවි සිහියට ආවෙ ගුණවතී උපාසක අම්මා එහෙම ඇහුවට පස්සේ.අවුරුදු දහයකට පෙර අතීතයේ වෙච්ච හැම දෙයක්ම පටිගත කරලා තිබ්බා වගේ මගේ හිතේ ඇදෙන්න ගත්තා.මෙහෙණියක වෙලා පාරමිතා පුරන්න හිතාගත්තත් අදටත් ඒ මතකය නිසා මේ හිතට දුක කලකිරීම බය දැනෙනවා.ඒත් අද ආයෙම ඒ වැලලුනු ගිනි ගොඩ ඇවිලෙන්න කලින් මෙ බෝ සෙවණ මට පුදුමාකාර සැනසීමක් ගෙනාවා.ඒත් දැන් මේ හිත මට මුල ඉදන්ම හදාගන්න වෙනවා.හැමදේම අත ඇරලා මන් මහණ වුනේ මට තවදුරටත් ඒ ජීවිතේට මුහුණ දීගන්න තරම් ශක්තියක් ඉතිරි වෙලා තිබ්බ නැති නිසා.ඒත් අපේ අක්කට රොහාන්ට මගේ පැටියට උන දේවල් එක්ක මන් මෙහෙම පැත්තකට වෙලා මගේ ජීවිතේ විතරක් හදාගන්න එක වැරදි කියන හැගීමත් මගේ හිතට වද දෙන සිතුවිලි අතරේ තාමත් තියෙනවා.ඒත් මැරෙන්න තරම් ප්‍රශ්න එද්දි මට මෙහෙම හරි තීරණයක් ගන්න පුලුවන් වෙච්ච එක ගැන මටම පුදුමයි.සමහරවිට ඒ හයිය මට එන්න ඇත්තේ රොහාන්ගේ ආදරේ හින්දා.මන් දන්නවා මන් මැරුනොත් රොහාන්ට ඒ දුක දරාගන්න බැරි වෙයි.ඉතින් ඒ හිතට එච්චර දුකක් දෙන්නේ කොහොමද මන්.අදට උනත් රොහාන් හිත හදාගෙන ඉන්නේ කොහේ හරි තැනක මන් හොදින් ඉන්නවා කියන විශ්වාසෙන්.

"ආ උපාසක අම්මා තාමත් මෙතනද?"
ඇස් අගට මෝදු වෙච්ච කදුලක් අතින් පිහදන ගමන් මෙන් ගුණවතී උපාසක අම්මගෙන එහෙම ඇහුවේ ගොඩාක් වෙලා ගිහින්  කියලා හිතුන නිසා.ඒත් ගතවෙලා තිබ්බේ විනාඩි කිහිපයක් විතරයි.

"ඇයි මෙහෙණින් වහන්ස මන් මේ කාතාව අහන්න බලන් උන්නේ..ඒත් මට දැන් හිතෙනවා මොනවා උනත් ඒ කතාව එච්චර සරල නැතුව ඇති කියලා"
මන් දිහා ආදරණීය බැල්මක් හෙලපු ගුණවතී අම්ම එහෙම කිව්වා.සමහර විට මගේ නිහඩ බව උපාසක අම්මට ගොඩාක් දේවල් තේරුම් කරන්න ඇති.

"ඒවා අනවශ්‍ය කතා උපාසක අම්මේ.ජීවිතේ මිනිස්සුන්ට මුණ ගැහෙන වර්තමානෙම අතීතයක් වෙලා ගිහාම ආයෙම ඒ ගැන තැවෙන එක තේරුමක් නෑ.ඒ අතීතෙන් ගන්න පුලුවන් හොද දෙයක් තියෙනවනම් අන්න ඒ දේ අරගෙන වර්තමානයේ හොදින් ජීවත් වෙන එකයි කරන්න ඕන."

"ඒක හරි මෙහෙණින් වහන්ස.මාත් අපේ ළමයින්ට ප්‍රශ්නයක් ආවම ඕකමයි කියන්නේ.නිකන් වැලපි වැලපි ඉන්නෙ නැතුව කරන්න තියෙන දේවල් වලට මුහුන දෙන්න කියලා.කොහෙද ඒව අහන්නෑනේ දැන් ඉන්න ළමයි.පවුල පිටින්ම රට ගියෙත් මෙහෙ ඉදන් ප්‍රශ්න විසදන්න බෑ කියලනේ ඔය."

ගුණවතී උපාසක අම්මා ගොඩාක් දේවල් කියාගෙන ගියා.ඒත් එක්කම මන් ගැන දැන ගන්න තිබ්බ ඕන කමත් එහෙම්මම අමතක වෙලා ගියා.

"දැන් ගොඩාක් රෑ වෙලානේ උපාසක අම්මේ.අම්මා දැන් යන්න එහෙනම් තව රෑ වෙන්න කලින්"
"ඔව් ගෙදරත් කවුරුත් නෑනේ මන් ගොහින් එන්නම් එහෙනම්"

මිනිස්සු කියන කරන දේවල් කොච්චර ඉක්මනට වෙනස් වෙනවද.මට යන්තම් හිනාවකුත් ගියා.

"හා එහෙනම් කලුවරේ යන්න බෑනේ ටෝර්ච් එකක් දෙන්නද උපාසක අම්මට?"
"තිබ්බොත් හොදයි නේදා?රෑ ජාමේ සතා සර්පයෙක් එහෙම පෑගුනොත්..කම්මැලි කමට ආවට මෙච්චර රෑ වෙයි කියලා හිතුවේ නෑනේ"
"හා එහෙනම් ඉන්නකෝ මන් ගෙනත් දෙන්න"

ගුණවතී උපාසක අම්මා ආවේ කීයට හරි කමක් නෑ කතාව අහල යනවා කියලා.ඒත් දැන් රෑ වුන එක ලොකු ප්‍රශ්නයක් වෙලා.අපි හැමෝම පෘතගජනේ මිනිස්සුනේ.මන් මගේ කුටියට ගියා ටෝර්ච් එක ගේන්න.

**************

අතීතය වර්තමාණය ගැන ඇත්තටම හිතෙන දේවල් කිව්වට ඒ ඇත්ත තුළ ජීවත් වීම ගුණවතී උපාසක අම්මගේ දරුවොන්ට වගේ මටත් තාම අමාරුයි.ඒත් ඒ අයට වගේ නෙමේ මේ  බුද්ධ සාසනය ඇතුලේ බුදු හාමුදුරුවන්ගේ යතාවදී තථාකාරි ගුණය ආදර්ශයට ගැනීම මා විසින් කළ යුත්තක්.ඉතින් මේ උත්සහාය ඒ වෙනුවෙන්ම තමයි.

ලොකු මෙහෙණින් වහන්සේගේ අභිධර්ම පාඩම තියෙන්නේ හැමදාම රෑ 8ට.ඒ පැයෙන් පස්සෙ හැකි උපරිම කාලයක් භාවනා කරලා නින්දට යන එක තමයි සාමන්‍ය පිළිවෙත.අදත් අභිධර්ම පාඩම ඉවර වෙලා ම්හෙණින් වහන්සේලා ඔක්කොම තම තමන්ට වෙන් වුන කුටි වලට වඩින්නට උනා.මාත් මගේ කුටියට ගිහින් භාවනා කරන්න පටන් ගත්තා.
ඇස් දෙක පියාගෙන එක ආශ්වාසෙකින් පෙනහැලි පුරවාගෙන ආයෙම හෙමින් ඒ හුස්ම  ප්‍රාශ්වාස කලා.දෙපාරක් තුන් පාරක් එහෙම කරද්දි මුලු හිතම හිරිවට්ටගෙන එක පාරටම හුරු පුරුදු හුස්මක මතකයක් මුලු හිතම වෙලා ගත්තා.
"රොහාන්"
මගේ හිත කියනවා ඇහුනා.මාස හයක් තිස්සේ මේ වගේ හැගීම් එක්ක භාවනාව පුරුදු කරන්න ගොඩාක් මහන්සි වෙන්න උනා මට.ඒත් යම් ප්‍රගතියක් තිබ්බා මගේ හිතේ.ඒත් අද.සමහර විට හවස ගුණවතී අම්මා එක්ක ආපු වෙලාවේ කියපුවා හිතුන ඒවා හින්දා වෙන්න ඇති.
ඒ හැගීම අමතක කරලා ආයෙම පාරක් භාවනාවට හිත යෙදෙව්වත් දිගටම එකම අරමුණක ඉන්න බෑ කියලා හිතුනා.ඒ හින්දා මන් ඇදට ගියා.නිදාගන්න ඕන උනත් ඒ මතකය නින්ද අහලකටවත් ගෙනාවෙ නෑ.

**************

                      


මායි නිශානියි ඒලෙවල් හොදටම පාස් උනා.කම්පස් යන්න ආසාවක් තිබ්බත් මන් ඒ අදහස අත ඇරියා.නිශානිට ඕන උනා අපි දෙන්නම එකට කැම්පස් යන්නත්.ඒත් නිශානි කියපු හැමදේටම කමැති උන මම ඒ දේටනම් කොහොමවත් කැමති උනේ නෑ.නිශානි ගේ අම්මටයි තාත්ටයි ගොඩාක් සතුටුයි නිශානි කැම්පස් සෙලෙක්ට් උන එකට.එයාලා ඒකට ස්තූති කලේ මට.ඒලෙවල් කරද්දි මන් නැවතිලා හිටියේ නිශානි එක්ක එයාලගේ ගෙදර.මන් කැම්පස් යන්න බෑ කිව්වම අන්කල් මට ප්‍රයිවට් බෑන්ක් එකක ජොබ් එකක් අරන් දුන්නා.මන් ඒ ජොබ් එකට ගියා.නිශානි කැම්පස් ගියා.නිශානිලගේ ගෙදර මගේ ගෙදර උනා.එයාගෙ අම්මයි තාත්තයි මට එයාලගෙම ළමයෙක්ට වගේ සැලකුවා.හිනාව සතුට කියන දේවල් මගේ ජීවිතේට ඇතුලු වෙන්න ගත්තා.දුක කියන දේ ඈතින් ඈතට යද්දි මට ජීවිතේට ආදරේ කරන්න හිතුනා.

ඒවගෙම තමයි එක දවසකින් පස්සෙ මට ජීවිතේට ආදරේ නොකර බැරි උනා.එදා තමයි අපේ බැන්කුවට අලුතින් මැනේජර් කෙනෙක් ආවේ.

"අපෝ යන්තන් ඇති නැත්තන් මන් හිතුවේ මේ පාරත් කවුරු හරි වයසක ඩයල් එකක් ඒවි කියලා"
"ඒකන්ම් ඇත්ත පොර හැන්ඩියා"
"සිරාවට හෙන දතක්ද කොහෙද"
"වෙන්නැති බන් පේන්නැද්ද මූණෙන්ම"

අපෙ බෑන්ක් එකේ යාලුවෝ ටික අලුත් මැනේජර් ගැන කියවන්න ගත්තා.මට ඔහොම කියවන එක පුරුදු නැති හින්දා මන් පැත්තකට වෙලා එයාලා කියන ඒවට හිනාවෙවී හිටියා.

"මේ සුලෝචනා ඔයා දැක්කද අලුත් ඩයල් එකව?"
"නෑ  තාම දැක්කේ නෑ"

එදා මන් බෑන්ක් එකට යනකොට ටිකක් පරක්කු උනා.නිශානිලගේ රැග් පීරියඩ් එක නිසා එයාලට කොන්ඩ දෙකක් ගොතාගෙන එන්න කියලා තිබ්බා.ඉතින් ලේයර් කරපු කොන්ඩේ කෑලි එකතු කර කර ගොතල දෙන්න ගිහින් මට පරක්කු උනා.ඒ හින්දා අලුත් මැනේජර්ව මන් දැක්කේ නෑ.

අපේ අය මැනේජර් ගැන කියව කියව ඉද්දි අපේ සෙක්ශන් එකේ හෙඩ් ආවා.

"අන්න මිස්ටර් රොහාන් ඔයාල ඔක්කොටම කතා කරනවා.ඇතුලට යන්න"

4 comments:

  1. අගෙයි සුසී............ කතාව ලස්සනයි...................

    ReplyDelete
    Replies
    1. තැන්කූ පවුරේ..වටිනවා අගය කිරීම :)

      Delete
  2. හරි...දැන් ඉතින් ගිහින් වරෙන්කො...ලොක්කගේ දේශනාව අහල අපිටත් විස්තර කියපන්..

    -----------

    සුසී යෝ...සුපිරි කතාවක ආරම්භයක් වගේ...ඔහොම යන් ..ඔහොම යන් ..

    ReplyDelete
    Replies
    1. අෆෝ ඔව් ඒවා තමා එපාම කරපු වැඩ හැබැයි..

      හි හි තැන්කූ තැන්කූ විභී... දිගටම එන්නකෝ එහෙනම් මේ පැත්තට :)

      Delete