Tuesday, January 5, 2016

****වළාකුලු බැම්ම **** (22-අවසාන කොටස)

 

"ඇයි සුලෝ පහුගිය දවස් වල ආවේ නැත්තේ?"

"වැඩ වගයක් තිබුනා රොහාන්" මන් ඒක කිව්වේ රොහාන්ගෙ ඇස් මග අරින ගමන්.


"රොහාන් මන් තීරණයක් ගත්තා.එක අතකට ඒක හරිම ආත්මාර්ථකාමි කියලා ඔයාට හිතෙයි.ඒත් රොහාන්..."

"ඒ කියන්නේ අර මිනිහා නවතින පාටක් නෑ....ඕකට මම...."රොහාන් හිටියේ හොදටම කේන්තියෙන්.ඒත් රොහාන් මොනවා කියලා කරන්නද.

"මේ අවුරුදු නමය ඒ මිනිහගේ කරදරෙත් එක්ක මට ජීවත් වෙන්න බෑ රොහාන්.ඔයා වෙනුවෙන් සාගරයක් තරම් ආදරයක් හිතේ තියන් අර මිනිහාට ඕන ඕන විදිහට ඉන්න මට බෑ රොහාන්"

"කියන්න සුලෝ ඔයා මොකද්ද හිතුවෙ?"

"මන් මහණ වෙනවා.."

දෝරේ ගලාගෙන යන්නම ආදරේ පිරුණු ඇස් දෙකක් දිහා බලාගෙන ආයේ ඒ ඇස් නොදකින දුරකට යනවා කියන්න වෙන එක මට ඇරෙන්න මේ ලෝකෙ වෙන කාටවත්ම සිද්ද වෙන්න එපා කියලා මන් ප්‍රාර්තනා කලා.ඒක ඒ තරමටම හිත රිද්දනවා.රොහාන්ට මන් කියපු දේ අදහාගන්න බැරි උනා.

"අනේ සුලෝ ඊට කලින් ඔයා සන්තෝශ්ට කතා කරලා ඉන්න."

"මන් එයාට කිව්වා රොහාන්.මන් එයාට කිව්වේ යාලුවෙක් විදිහට ගිහින් ටිකක් ඔයා එක්ක කතා කරලා එන්න කියලා.එවෙලේ හා කිව්වට එයාගේ කටහඩේ මොකද්දෝ අකමැත්තක් මට තේරුනා.ඉතින් එයා ආවේ නෑ නේද?"

"සුලෝ මේ තීරණේ..."

"මන් දන්නවා රොහාන් මේක ඔයාට දරාගන්න ගොඩාක් අමරුයි කියලා.ඒත් රත්තරන් මන් වෙන මොනා කරන්නද.ඔයා නිදහස් වෙනකන් ඒ මිනිහගේ ගෑනි විදිහට ජීවත් වෙන්නද.ඒක මන් ඔයාට කරපු ආදරේට ලොකු කැළලක් රොහාන්.මට ඕන උනේ ඔයා එනකන් මේ ආදරේ හරි පරෙස්සමට තියාගන්න.ඒත් මන් මේ තීරණේ නොගත්තොත් මේ ආදරේ පරෙස්සම් කරලා තියාගත්තත් මන් ජීවත් වෙලා ඉන්න එකක් නැති වෙයි රොහාන්."

"මන් මොනාද කියන්නෙ සුලෝ?"


රොහාන්ට කිසිම දෙයක් කියාගන්න බැරි උනා.මටත් ඊටපස්සෙ මුකුත්ම කියාගන්න බැරි උනා.ඒ නිහඩව ගෙවුනු හැම තත්පරේම මන් රොහාන්ගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.ඒත් ඒ ඇස් දකින් අන්තිම මොහොත ඒකයි කියලා මට නිකමටවත් හිතුනේ නෑ.


එදා රොහාන්ව බලලා ගෙදර යනකොට සුමනේ අයියා ඇවිත් හිටියා.එයාව දකිද්දි ආපු අප්පිරියාවත් එක්ක මන් මගේ තීරණේ වෙනස් කරන්නෙ නෑ කියලා හිතා ගත්තා. 'රොහාන් මට සමාවෙන්න.මන් මේ වෙලාවේ ඔයාට කියනවා මන් මගේ තීරණේ වෙනස කරන්නේ නෑ.පුලුවන්නම් මට සමාව දෙන්න ඔයාව තනි කරනවට.මේක දරුණු තීරනයක්නම් කමක් නෑ රොහාන් ඔයා මට වයිර කරන්න.ඒත් මන් මේ තීරණේ ගන්නවා මගේ ආදරේ වෙනුවෙන්.'මන් එහෙම හිතලා හිතින් සිය දහස් වාරයක් රොහාන්ගෙන් සමාව ඇයැදසිටියා.


"අනේ සුමනේ අයියේ මගේ ඔලුව පැලෙන්න වගේ.ගමන් මහන්සියටත් එක්ක මන් පොඩ්ඩක් නිදා ගන්නද?ඔයා හෙට එන්න"

මට ඕන උනේ සුමනේ අයියව කොහොම හරි යවාගන්න.අන්තිම දවසෙ හරි හිත සතුටින් ඉන්න.

"ඔන්න ඔහොම හිටපන්කො පොඩ්ඩියේ.ඔහොම ඉන්නවනම් මොනා කරන්න බැරිද බන් උඹටයි මටයි.හරි එහෙනම් උඹ රෙස්ට් කරපන් මන් වෙන වෙලාවක එන්නම්."

මන් සැනසුම් සුසුමක් හෙළුවා.ආයේ ඒ මූණ දකින්න නොලැබේවා කියන ප්‍රාර්ථනාව කරද්දි පුදුම සැනසිල්ලක් දැනුනේ මට.


මන් දවස් තුන හතරකට විතර ඇදුම් අරගෙන නිශානිලාගෙ අම්මලාගෙ ගෙදර ගියා.කරන්න වැඩ ගොඩාක් තිබ්බා.

මුලින්ම මන් නිශානිගෙ තාත්තගේ උදව්වෙන් අපේ ගෙදරයි කාර් එකයි විකුණුවා බයින් ඇන්ඩ් සෙලින්ග් කම්පනි එකකට.හිතපු තරම් ගානක් හම්බ උනේ නැති උනත් ලැබුනු ගානෙන් මන් සෑහුනා.තව රොහාන් මන් වෙනුවෙන් ඉතිරි කරපු සල්ලි වගෙකුත් තිබ්බ.ඒකයි ගේයි කාර් එකයි විකුණලා ගත්ත සල්ලි ඔක්කොම ලක්ෂ පනහක් විතර තිබ්බා.මන් ඒ සල්ලි ටික රොහාන්ගේ අකවුන්ට් එකට දැම්මා..රොහාන් වෙනුවෙන් මට කරන්න පුලුවන් උනේ එච්චරයි.


එදා රෑ නිශානිත් එහෙ ආවා.

"මන් හෙට ආයෙම යනවා නිශානි.සමහර විට ඔයාලව ආයෙ මුණ ගැහෙන එකක් නෑ."

"මට කියන්න කිසිම දෙයක් නෑ සූ"

"එක උදව්වක් කරන්න නිශානි මට"

"කියන්න"

"රොහාන්ව අමතක කරන්න එපා නිශානි.එයා ආයෙ ආවම අම්මලා ළගට යන එකක් නෑ.පුලුවන්ද මෙහෙ නවත්ත ගන්න?"

"ඒ ගැන ඔයා හිතන්න එපා සූ.රොහාන් කියන්නේ මගෙම අයියා කෙනෙක් වගේ.එයාට ඕන තරම් කාලයක් අපේ දිහා ඉන්න පුලුවන්"

"පින් සිද්ද වෙයි නිශානි.රොහාන්ට කියන්න පුලුවන්නම් මට සමාව දෙන්න කියලා."

"මොනාද මැට්ටියේ ඔයා මේ කියන්නේ?"

"නිශානි පෙර ආත්මෙක ඔයා මගේ සහෝදරියෙක් වෙන්න ඇති..මට ඔයාලා වෙනුවෙන් දෙන්න කිසිම දෙයක් නෑ නිශානි"


එදා රෑ අපි දෙන්නා ගොඩාක් දේවල් කතා කලා.හුගාක් ඇඩුවා.නිශානිගෙන් සහන්ගෙන් ආන්ටිගෙන් අන්කල්ගෙන් සමුගත්තා.

සියලුම බැදීම් අත ඇරලා දාන්න කලින් රොහාන් වෙනුවෙන් මගේ අතින් අන්තිම ලිපිය ලියවුනා.


ආදරණීය රොහාන්,

ආයෙම පාරක් ඔයාව බලන්න ඇවිත් ඔයාගෙ හිත රිද්දන්න මට බෑ.මන් ඔයාට ගොඩාක් දුක් දීල ඇති.මට තියෙන ආදරේ හින්දම ඔයා නෑ කිව්වට මන් ඔයාගේ ජීවිතේට ආපු එකම දුකක් කියලා මන් දන්නවා.මෙච්චර දේවල් වෙනවා කියලා දන්නවනම් මන් කවදාවත් ඔයාගේ ජීවිතේට එන්න හිතන්නෙවත් නෑ රොහාන්.ඒත් මේ දේවල් මෙහෙම උනා.අනේ මට සමාවෙන්න රත්තරන්.

එදා ඔයා බෑන්ක් එකට ආඅපු මුල්ම දවසේ මන් දිහා නොබලා මාව මග ඇරලා ගිය මොහොතේ ඉදන් ඔය මුලු හිතින්ම මට ආදරෙ කරන මේ මොහොත වෙනකන් හැම මතකයක්ම මගේ හිතේ එහෙම්මමයි.පුන්චි කාලේ ඉදන් දුක් විදපු මන් හිනාවෙන්න ගත්තෙ ඔයා හින්දා.ඔය හිතින් මට දීපු ආදරේ හින්දා.ජීවිතේට මන් ලෝබකම් කරන්න ගත්තා.හීන මාළිගා හදන්න ගත්තා.කොටින්ම කිව්වොත් මන් ජීවත් වෙන්න ගත්තා.ඒ හැමදේම ඔයා හින්දා රොහාන්.මන් ආදරෙයි මගේ මහත්තයෝ මන් ගොඩාක් ආදරෙයි.ඒත් මන් අද අසරණයි.ඔව්... ගොඩාක්.මැරෙන්න පවා හිතුනු මොහොතක ඔයාගේ ආදරෙ මතක් කරගත්තට තවත් කෙලින් හිටගන්න හයියක් නෑ මගෙ මහත්තයෝ.

ඒ හින්දා ඔයාගෙන් දුර යන්න හදන මට සමාව දෙන්න..ඒත්.,

මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න මන් ගත්ත තීරණේ හරි කියලා මන් මේක ලියන මොහොතෙත් විශ්වාස කරනවා රොහාන්.මට වෙන විසදුමක් තිබ්බේ නෑ.මැරෙන්න තරම් ප්‍රශ්න ආවත් ඔයා ඔහොම හිර කූඩුවකට වෙලා දුක් විදිද්දි මට හිත හදාගෙන මැරෙන්නවත් බෑ රොහාන්.මට ජීවත් වෙන්න ඕන උනා ඒ හින්දා.ඉතින් මන් දැන් ජීවත් වෙනවා.ඒත් රත්තරන් මට හෙටින් පස්සේ කියන්න බෑ මන් ඒ ජීවත් වෙන්නේ ඔයා වෙනුවෙන් කියලා.මොකද මන් සියලුම බැදීම් අතාරින්න හදන්නෙ.මන් හිතන් ඉන්නවට වඩා ඒක අමාරු වෙයි.ඒත් මට ඒ දේ කරන්නම වෙනවා.ලේසියෙන් මැරෙනවට වඩා දුක් විදගෙන හරි මේ බැදීම් අතෑරලා දාන එක වටිනවා කියලා මන් පැවිදි වෙන්න ඉන්න ආරාමේ ලොකු මෙහෙණින් වහන්සේ මට කිව්වා.

තව ලියන්න බෑ රොහාන් මගේ පපුව පැලෙන්න වගේ.මට අඩන්න ඕන.අපිට මේ ආත්මෙ කොහේ හරි වැරදිලා රොහාන්.ඒ වැරැද්ද එහෙම්මම තියෙන්න අරිමු අපි.නැත්තන් අපිට මේ වැරැද්ද ඊළග ආත්මෙටත් ගෙනියන්න වෙයි.ඊළග ආත්මේ මන් ඔයාගෙම වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්න මට ආසයි.ඒත් මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න ඉන්න මන් ඒ ප්‍රාර්ථනාව කරන්නේ කොහොමද?හැබැයි උපදින උපදින හැම ආත්මෙකම ඔයාට කිසිම දුකක් ඇතිවෙන්න එපා කියන ප්‍රාර්ථනාව මන් හැමදාම කරනවා.

මන් නවතිනවා රොහාන්.ඔයාගේ සුලෝ හෙට ඔයාගෙන් ගොඩාක් දුර යනවා පණටත් වඩා ඔයාට ආදරෙ කරපු හිතත් අරගෙනම.සිය දහස් වාරයක් මට සමාවෙන්න මගේ මහත්තයෝ.

ඔයාගෙම

සුලෝ....



****************

උදෑසන භාවනාවට අනික් මෙහෙණින් වහන්සේලා ලොකු මෙහෙණින් වහන්සේගේ කුටියට යනවා දැක්කේ යන්තන් විවර වෙලා තිබ්බ මගේ කුටීරයේ ජනෙල් පළු දෙක අතරින්.පුරා රැයක් ගෙවිලා.අතීතය වළදැමිය යුතුමය.යහනෙන් බැසගත් මාද පිරිසිදු වී අනෙක් මෙහෙණින් හා එක් විය යුතුවිය.


-----------------------------------නිමි.---------------------------


ප.ලි.

මගේ පෑනද හති ලමින් සිටින්නට විය.බියෙන් ගැහි ගැහි අකුරු අමුණපු මගේ පෑනද මේ සා කරදර හමුවේ ජීවිතෙන් ඇය පලා යා යුතු බව සැරෙන් සැරේ මට මතක් කරන්නට විය.නමුදු දැන් ඇගේ පණ රැක දුන්නාට මගේ පෑන මට සිය දහස් වාරයක් ස්තූති කරමින් සිටී...






2 comments: