Tuesday, June 30, 2015

****වළාකුලු බැම්ම **** (14)

කොච්චර ලස්සනට හෙමින් හෙමින් අපේ ආදරේ ගලාගෙන ගියත් ඒ ආදරේට පියවරක් ඉදිරියට ගත යුතුම වෙලා තිබ්බා.කිසිම බාදාවක් නෑ කියන සුරන්ගනා ලෝකේ ඉදගෙන රොහාන් මගේ ආදරේ වින්දා.අවුරුදු දෙකකට කිට්ටු වෙන්න කාලයක් අපි ඒ සුරන්ගනා ලෝකේ පාවි පාවි හිටියා.පොලවේ පය ගහන්න මටත් රොහාන්ටවත් වුවමනාවක් තිබ්බේ නෑ.ඒ වුනත් රොහාන් මන් ගැන ගෙදරට කියලා තිබ්බා.මගේ ඔක්කොම විස්තර කිව්වද කියලා ඇහුවම රොහාන් හැමදාම කියන්නේ 'හරි බබා අපි පස්සේ හෙමීට කියමු' කියලා.ඒත් එදා නිශානිගේ වෙඩින් එක දවස වෙනකන් රොහාන් ඒ ගැන අම්මලාට කියලා තිබ්බේ නෑ.

නිශානි ෆයිනල් එක්සෑම් එක කරලා කොන්වකේශන් එකට කලින් මැරි කලා.ඒ උත්සවය ආන්ටියි අන්කලුයි ගන්න පුලුවන් උපරිම විදිහට ගත්තා.පුදුම විදිහේ සෙනගක් ආවේ.නිශානි ගොඩාක් පෝසත් පවුලක හින්දා වෙඩින් එකට ආපු අයත් ඊට දෙවනි උනේ නෑ.ඒ මිනිස්සු අතරේ එහෙ මෙහෙ යනකොට මගේ සුපුරුදු හීනමානේ මගේ හිස් මුදුනට වෙලා මගේ ඔලුව කොනිත්ත කොනිත්ත හිටියා.නිශානිගේ දෙවනි මනමාලි උනේ මම.රොහානුත් එදා ඇවිත් හිටියා.මට හොදටම මතකයි එදා රොහාන් එයාගෙ ඇස් දෙකෙන් මාව ගිලපු නැති ටික විතරයි.මට වඩා ගොඩාක් ලස්සන අය හිටියා.ඒත් ඉතින් මගේ මැට්ටට ඒවා පෙනුනේවත් නෑලු.පස්සෙ ඒ ගැන කතා කරපු වෙලාවක මගෙන් ඇහුවා 'අනේ වෙඩින් එකේ ඔයා විතරක් නෙමේද හිටියේ' කියලා..ඉතින් ලෝබකම් නොකර කෝමද මන්.



වෙඩින් එක අතරේ රොහාන්ට මාත් එක්ක තනියම කතා කරන්නම ඕන උනා.ඒ හින්ද ලන්ච් එකෙන් පස්සෙ මන් නිශානිගෙන් විනාඩි පහක් ඉල්ලගෙන රොහාන් එක්ක එළියට ආවා.අපි ඒ හොටෙල් එකේ බැල්කනි එකට ගියා.අපි යනකොට එතන ඕපන් ඒරියා එකේ ඕක්ශන් එකක් තිබ්බා.ටයි කෝට් දාගත්තු මිනිස්සු පිරිලා.එතන කිසිම නිදහසක් තිබ්බ නැති නිසා මායි රොහානුයි වෙන තැනකට යන්න කියලා හැරුනා.

"පුතා"
ඒ හඩ ඇහෙනවත් එක්කම රොහාන් හැරිලා බැලුවා.
"තාත්තා..අෆෝ අර ඇහැ ගහගෙන හිටපු ඉඩමටද මේ?"
මාවත් අතින් අල්ලගෙනම රොහාන් තාත්තා ළගට ගියා.උස මහතට හිටපු තාත්තාව දැක්කම මට බයක් හිතුනේ නැත්තෙමත් නෑ.ඒත් මන් හිනා වෙලා හිටියා.නුවර එලියේ ඉඩමක වෙන්දේසියක්ලු.තාත්තත් හෙනම ආසාවෙන් හිටියලු ගන්න.රොහාන්ලගේ ඉඩම් එක්කම තියෙන ඉඩමක්ලු.ඒක හම්බුනෝතින් ඉල්ලමක් පෑදුනා වගේ තියෙයිලු.මට එහෙම රොහාන් කලින් දවසක කියලා තිබ්බා.
"ඔව්  පුතා.. අපිට ගන්න බැරිවෙයි වගේ.. ඉන්දියන් කම්පැනි එකක් ලොකු ගානක් තිබ්බා.."
"අපරදෙනේ"
"ඔව් ඉතින් මොනා කරන්නද?පුස්සැල්ලාව එස්ටේට් එකත් නෙක්ස්ට් මන්ත් එකේ ඕක්ශන් එකට දානවලු...එකවත් බලනවා."
ඒක කියලා ඉවර වුනාඅම තමා තාත්තා මගේ පැත්තට හැරුනේ.
"මේ කවුද පුතා..අර අම්මා කියපු කෙනාද?"
රොහාන් අල්ලගේන හිටපු මගේ අත උඩට අරන් තාත්තට පේන්නම එයාගේ පපුවෙන් තියාගත්තා.එවෙලේ මන් හිටියෙම බිම බලාගෙන..

"ඔව් තාත්තා මේ එයා තමා. සුලෝචනා..සුලෝචනා වීරසිරි"
"දැන් කොච්චර කල් ඉදලද?"
"තාත්තා..මේ ..අවුරුදු දෙකකටත් වැඩි"
"ගෙදරට කියන්න ඕන කියලා හිතුනේ නෑ"
"මන් ඉතින් අම්මට කිව්වනේ."

රොහාන් තාත්තා ලග ටිකක් හුරතල් උනා.ඒත් තාත්තාගේ හඩ එකම විදිහට තිබ්බා.මට තේරුනේ එන්න එන්න ඒ හද සැර වෙනවදෝ කියලා..

"අපි ටිකක් කතා කරමු එහෙනම්"
තාත්තා එහෙම කිව්වම මගේ මුලු ඇගම සීතල වෙලා ගියා.ඇත්තටම මට පාපොච්චාරණයක් කරන්න උනොත් රොහාන්ගෙයි මගෙයි සම්බන්දෙට අවසානය තියන්න නියමිත වෙලා තිබ්බේ එදාමයි.එහෙම කිව්වම රොහානුත් ටිකක් කලබල උනා.
"තාත්තා පහල අපෙ යාලුවෙක්ගේ වෙඩින් එකක්  එකට අපි ආවේ.ඉක්මනට හොදේ."
"අහ් ඇයි මොකද ඔයාලා නැතුව දෙන්නා පිටවෙන එකක් නැද්ද?..හි හි හරි හරි මටත් වැඩි වෙලාවක් නෑ"

ඒ ඕපන් ඒරියා එකේ කොනක තිබ්බ මේසෙකට අපි තුන්දෙනා ගිහින් වාඩි උනා.කිසිම දේකට කලබල වෙන්න එපා කියන වගේඅ බැල්මකින් රොහාන් මන් දිහා බැලුවා.ලොකූ හුස්මක් අරගෙන ඒ මොහොතේ ඔලුව කෙලින් තියාගෙන ඉන්න ශක්තිය මන් දෙවියන්ගෙන් ඉල්ලගත්තා.

"මේ ළමයගේ ගෙවල් කොහෙද?"
"මන්...මන් ඉන්නේ..ව.."
"මෙයා වැඩි පුරම ඉන්නේ වැල්ලවත්තේ.අම්මලා ඉන්නේ නිශානිලාගේ ගෙවල් ළග"
ඒ රොහාන්

"කවුද නිශානි?"
"නිශානිගේ වෙඩින් එක තමා අන්කල් පහල තියෙන්නේ.මගේ හොදම යාලුවා."
ඒ මම

"ඇයි ඔය ළමයා වැල්ලවත්තේ ඉන්නේ?"
"මා..."
"වැඩට යන්න ලේසිනේ තාත්තා.ඒකයි ගෙයක් රෙන්ට් එකට අරන් එහෙ ඉන්නෙ"
ඒ රොහාන්

"තනියම?"
"නෑ නෑ නිශානිත් එහෙ ඉන්නේ.එයාට කැම්පස් යන්නත් ලේසි නිසා"
ඒ රොහාන්

"අම්මයි තාත්තයි මොකද කරන්නේ?අද එයාලත් ආවද?එහෙනම් මට අදම හම්බෙලා යන්න පුලුවන්"
"නෑ තාත්..."
ඒ රොහාන්
"පුතා මන් ප්‍රශ්න අහන්නෙ ඔයාගෙන් නෙමේ මේ ළමයගෙන්..ඔයාගෙන් විස්තර මන් ගෙදර ගිහින් අහගන්නම්. කියන්න ළමයෝ අම්මලා ඇවිත්ද?"

මට එවෙලාවෙ හැමදේම පෙරලලා දාල එතනින් පනලා දුවන්න ඕන උනා.මේ තරම් බොරු ගොඩාක් මැද මන් තනිවෙලා.මාත් එක්කම රොහානුත්..ඔලුව පුපුරන්න වගේ උනා.ඇත්ත කියනවද නැත්තන් රොහාන් කියපු බොරුවම දිගටම ගෙනියනවද.හිතට එකගව රොහාන්ගෙ පැත්ත ගන්න මට බැහැ කියලා මට දැනුනා.. සුරන්ගනා ලෝකෙන්  මාව ඇහැරවන්න නපුරු මායා කාරියක් ඇවිත් මගේ අත්වලින් කකුල් වලින් අදිනවා වගේ මට දැනුනා..

"ළමයෝ මන් ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා"
"මගේ තාත්තා නෑ....අම්මා.."

මට කියලා ඉවර කරන්න හම්බ උනේ නෑ..

"සුලෝ නිශානි ඔයාව හොයනවා කියලා මැසේජ් එකක් ආවා. අපි යමුද එහෙනම්..තාත්තා මන් ගෙදර ඇවිත් විස්තර කියන්නම්කො."

තාත්තාගේ මූනේ මොකද්දෝ මන්දා ප්‍රෙහේලිකාවක හරස් පද පේලි ඇදෙනවා මන් දැක්කා..ඒත් මන් රොහාන් එක්ක එන්න නැගිට්ටා..තාත්තත් අපිත් එක්කම නැගිට්ටා..

"හරි එහෙනම් යන්නකො.ඔයාලා අවේ වෙන වැඩකටනේ...පුතා අහන්න මට අදම මේක ඔයා එක්ක කතා කරන්න ඕන හවසට.."

අපි යන්න හැරුනා..ඒ වචන ටිකට ඉතුරු වෙලා තිබ්බ ශක්තිය සුනු විසුනු වෙලා ගියා.රොහාන් මගේ කරවටින් අත දාලා මාව අල්ලගත්තේ මට වෙන වාරුවක් තිබ්බෙ නැති නිසා..

අපි ආයෙම වෙඩින් හෝල් එකට ආව.නිශානි මට ඈත තියාම කතා කලා.රොහාන්ගෙන් ඈත් වෙලා  යද්දි මන් එයාට කිව්වා,
"මොන දේ ඇහුවත් අද ඔයා ඇත්තම කියන්න රොහාන්"
සෙනග අතරින් මන් නිශානිව හෙව්ව.
           
             -------------නැවතත්-------------------

Sunday, June 28, 2015

****වළාකුලු බැම්ම **** (13)

 

ඒ දවස් හරිම ලස්සනට ගෙවුනා.මට හිතා ගන්න බැරිතරම් ආදරයක් මට රොහාන්ගෙන් ලැබුනා.එයාට දෙවනි වෙන්න බැරි හින්දම රොහාන් ගැනත් මගේ හිතේ ඒ තරම්ම ලොකු ආදරයක් තිබ්බා.
අපි ගොඩාක් දේවල් කතා කරා.අපි දෙන්නා ගැන අපි නොදැන හිටපු කිසි දෙයක් තිබ්බේ නෑ.මගේ ගැන මන් කියපු දේවල් ගැන රොහාන් ආයෙ ආයෙ කවදාවත් ඇහුවේ නෑ.එයාට ඕන උනේ මන් එයාට ආදරේ කරනවා කියන දේ විතරයි.
"සුලෝ..."
"ම්ම්..."
"අපි අද කොහේ හරි යමු ?"
"හා"
"ඒත් කොහෙද යන්නේ.මේ කොළඹ අපිට වෙන යන්න තැනක් ඉතුරු වෙලා කියලා මන්නම් හිතන්නේ නෑ"
"එහෙනම් අපි රට යමු"
"මොකක් ? රට?"
"නෑ මන් කිව්වේ මේ උඩරට"
ඒක කියපු ගමන් රොහාන් හිනාවෙලා මගේ නහය හයියෙන් මිරිකුවා වගේ මතකයි.ඒක එයාගේ පුරුද්දක් වෙලා තිබ්බා.මොකක් හරි හිනා යන දෙයක් මගේ කටින් කියවුනොත් ඒකට විදවන්න වෙන්නේ මගේ අහින්සක නහයට තමා..ඊට පස්සේ රතු වෙච්ච නහය දිහා බල බල එයා හිනා වෙනවා මන් අඩනවා.

"ආව්.. නෑ නෑ ඕන නෑ කොහෙවත් යන්නෑ මන් ඉන්නවා මෙහෙටම වෙලා..එන්නෑ මන් කතා කරන්නෙපා"
"ඇයි එතකොට රට යන්න ඕන නෑ?"
"ඕන තමයි ඉතින්.ඒත් ඔහොම වද දෙනකොට...... ඕන්නෑ මට"
"හා එහෙනම් ඉතින් මොනව කරන්නද නේ?"
"අනේ ඉතින්"
"ඇයි මොකො?"
"එහෙම කිව්වම ඔහොමද කියන්නෝන ඉතින්?"
"නැත්තන් කොහොමද?"
"හා හා පැටියෝ ආයේ මන් එහෙම කරන්නෙ නෑ.. අපි එහෙනම් ඔයාට ඕන තැනකට යමුකො.එහෙම කියලනේ කියන්නෝන.ඒකවත් තේරෙන්නෑ"
"අපෝ බෑ..එහෙම කියන්න බෑ.මොකද මට ඕන ඔය නහය රතු වෙනවා බලන්න"
"අනේ ඉතින් මන් පව් නේ"
"හරි හරි බබා දැන් අපි කවද්ද යන්නේ? ඇයි එක පාරටම නුවර යන්න හිතුනේ?"
"නෑ මන් එහෙ ගිහින්ම නෑ.කැම්පස් එක බලන්නත් ආසයි.නුවර වැව රවුමේ ඇවිදින්නත්....."

මට ඒ පේලිය සම්පූර්ණ කරන්න හම්බුනේ නෑ.කොහේදෝ මන්දා තිබ්බ කදුලු කැටියක් ඇවිත් මගේ ඇස් දෙකම බොද කරා.ඒත් එක්කම ආපු ඉකියක් හරිම අමාරුවෙන් උගුරට ටිකක් උඩින් නවත්තගත්තා.

"අනේ සුලෝ ඇයි මේ?"

රොහාන් මගේ ළගට ඇවිත් මගේ මූණ එයාගේ අත් දෙකට ගත්තා.මට තවත් ඇඩුනා.මන් එහෙම්මම රොහාන්ව බදාගත්තා.මගේ හිස මන් ඒ පපුවට තියලා තද කරගත්තා.රොහාන් මට ඇතිවෙනකන් අඩන්න එයාගේ පපුවෙ ඉඩ දීලා ඔහේ බලාගෙන හිටියා.කොච්චරක් වෙලාවක් මන් එහෙම හිටියද කියලනම් මන් දන්නේ නෑ.

"සුලෝ..කියන්න දැන්වත් ඇයි මේ?"
"මන් ඔයාට ගොඩාක් ආඅදරෙයි රොහාන්"
"ඒක මන් දන්නවා සුලෝ.."
"මන් මෙච්චර ආදරයක් විදින්න සුදුසු නෑ රොහාන්.මට මගේ අතීතය අමතක කරන්න බෑ රොහාන්.ඒ අතීතය හින්දා කවදා හරි අපිට ගොඩාක් ප්‍රශ්න ඒවි."
"ඒවට අපි එතකොට මුහුණ දෙමු.ඒත් ඇයි මේ වෙලාවේ ඒව මතක් වුනේ?"
"ඉස්සර මට මේ වගේ ආසාවල් තිබ්බේ නෑ රොහාන්.වෙන දෙයක් බලාගෙන ඔහේ හිටියා.ඒත් දැන් මට අරෙහෙ යන්න ආසයි මෙහෙ යන්න ආසයි කියද්දි මට දැනුනා එහෙම කියන්න අයිතියක් මට තියෙනවද කියලා"

රොහාන් මාව එයාගේ පපුවෙන් ඈත් කරලා මගේ උරහිස් දෙකෙන් අල්ල ගත්තා.මන් ඒ ඇස් දිහා බලන්නැතුව බිම බලාගත්තා.

"මේ අහන්න සුලෝ.ඒ ජීවිතේ මොන විදිහේ උනත් මන් හැමදාම කියනවා වගේ මට ඒ කිසි දෙයක් වැඩක් නෑ.ඔයා ජීවත් වෙන්න ඕන දැන් මාත් එක්ක.මන් මගේ මුලු ජීවිතේම ඔයාට දීල ඉවරයි.එකේ අයිතිය දැන් තියෙන්නේ ඔයාට.ඔයා ඔයාගේ කලින් ජීවිතේ ගැන හිතලා දුක් වෙන එක ඔයාට විතරක් නෙමෙයි ඒක මටත් දුකක් සුලෝ.මට ඕන හැම මොහොතෙම මගේ පුන්චි කෙල්ලව සතුටින් තියන්න.ඒ හින්ද ඔහොම අඩන්න එපා පැටියෝ.නුවර විතරක් නෙමේ ඔයා කියන්න මේ ලෝකෙ ඔයා යන්න ආස ඕනම තැනක් මන් ඔයාව එක්කන් යන්නම්.ඒක මන් ඔයාට වෙන පොරොන්දුවක්."

රොහාන් ඒ කියපු දේවල් විද ගන්න මට මගේ හිත මදි උනා.දරාගන්න බැරි කමට තව තවත් කදුලු ඇස් දෙකෙන් එලියට එද්දි ආයෙම මන් රොහාන්ට තුරුල් වුනා.

*****************

අපි එක්ක නුවර යන ගමනට නිශානි එයාගේ ඩොක්ටර් අයියා සහනුත් ආවා.රොහාන්ටයි සහටයි කතා කරන්න ගොඩාක් දේවල් තිබ්බා.සමහර වෙලාවට ඒ දෙන්නට අපි ඉන්නවද කියලවත් මතක නෑ.

"සූ අර බලන්නකො අර දෙන්නා.. අපි ඉන්නවද නැද්ද නෑ නේ"
නුවර වැව රවුමේ වලාකුලු බැම්මට හේත්තු වෙලා වැව දිහා බලාගෙන ඉන්න රොහාන්වයි සහන්වයි පෙන්නලා නිශානි එහෙම කිව්වා.ඒ දෙන්නට ඕන තරම් කතා කරගන්න දීලා මන් නිශානිවත් එක්කගෙන ගිහින් ඒ ළගින් තිබ්බ බන්කුවක ඉද ගත්තා.

"කීයට හරි අපිව මතක් වෙලා ඒවිනේ නිශානි"
"ඒකත් ඇත්ත"
"ඇහැලේපොළ කුමාරි හාමි අදටත් මේ වැව් පතුලේ ඉන්නවා ඇති නේද නිශානි"

නිශානි මන් දිහා බැලුවා.එ බැල්මේ මොන විදිහේ හැගීමක් තිබ්බද කියලා මන් දන්නේ න.මොකද මන් හිටියේ වැව දිහා බලාගෙන.

"ඒ කොයි කාලෙද බන්.දැන් මොන හාමිලාද මේකේ?"
"ඒත් එක ගෑනියෙක්.තමන්ගෙ පවුල වෙනුවෙන් විලාප තියපු.එදත් එහෙම අය ඉදලා තියෙනවා."
"සූ මේ  මේ ඔන්න ඉතින් ඕන නැති ඒව හිතලා මූන නරක් කරගන්නෙපා ඒ පාර"
"නෑ නිශානි ඒක එහෙම නෙමේද ?"
"ඒක එහෙමද කොහොමද කියලා මන් දන්නෑ.. මේ මන් අර දෙන්නට කතා කරනවා ඔයා ඕන නැති ඒව ගැන ආයෙම කියෙව්වොත් හොදද?"

මට මගේ කදුලු හන්ගගන්න උදව් කරපු නිශානි එදත් මගේ කදුල නවත්ත ගත්තා.

"හරි හරි කැම්පස් එක හරි ලස්සනයි නේ.?"
"ඔව් මට හිතුනා අනේ සහන් එක්ක පේර එන්න තිබ්බනම් මරු කියලා.ඒත් ඉතින් කොහෙද මෙයා ඉතින් මට වඩා අවුරුදු ගානක් ලොකු අයියෙක් වෙලා නේ."
"හි හි එක තමයි නේද?"
"ඔයාට හරි එන්න තිබ්බේ සූ"
"අනේ මන් මෙහෙ ආවනම් මට රොහාන්ව හම්බෙන්නෑනේ."
"ආ ඇත්තද?"
"ඔව් රොහාන් මගේ ජීවිතේට ආපු එක මට හැමදේටම වඩා වටිනවා"
"හා හා ඒ බවනම් මට පේනවා දැන්"

අපි ගොඩාක් හිනා වුනා.අමතක කරන්න බැරි දවසක් ජීවිතේ පිටු අතර ලියවිලා තිබ්බා.

                                         -------- නැවතත්---------

Wednesday, June 17, 2015

බැම්මට ඉන්ටවල්...

හද ටාගට් කරලා තරු අතරට වැටුනට මොකද හරි හමන් විදිහට තරු ගනින්නේ දැන්..සරලව කිව්වොත් දත් ගලවන්න පටන් ගත්තේ අපි දැනුයි.ඉතින් ඒ ඩිපාර්ට්මන්ට් එකේ මාසයක් ඉන්නෝන.8ට ගිහින් ඉවර වෙන්නේ හවස 6ට.හොස්ටල් එන්නේ ඇද බලාගෙන.

ඇවිත් වොශ් දාලා ඇදට වැටුන ගමන් ඉතින් පුදුම සැපක් තියෙන්නේ.ඒ වෙලාවට හීනෙන් වගේ වලාකුලු බැම්මත් මතක් වෙනවා.ඒත් ඉතින් ලැප් එක අරගෙන නෙට් ගිහින් එක විදිහකට ඉදන් ලියන්න හෙනම කම්මැලි.නැපක් දාලා නැගිට්ටත් ලෙක්චර් නෝට් එකක් එහෙන් මෙහෙන් බලනවා මිසක් ඉතින් වලාකුලු බැම්ම මතක් වෙන්නෙත් නෑ..

ඒ හින්දා පොඩි ඉන්ටවල් එකක් දුන්න ඒ බැම්මට.තව සතියකින් දත් ගලවන මාසේ ඉවර උනාම ආයෙත් ලියන්නම්.එතකන් පොඩි ඉන්ටවල් එකක් දුන්නා ඔන්න....