Monday, April 13, 2015

****වළාකුලු බැම්ම **** (05)

අක්කගේ බල කිරීමට කොහොමහරි  මන් ඒලෙවල් කරන්න ගත්ත.ඒ කොමර්ස් වලින්.ලොකු ඉස්කෝලෙකට
 ගිහින් ඒ ළමයි එක්ක පෑහෙන්න බැරි වෙයි කියල හිතුන හින්දා අපේ වනාතමුල්ල කිට්ටුවම තිබ්බ ගෝතමියට ඇතුල් වුනා.

                               

  ඒක වෙනම ජීවිතයක් උනා.හිතට සැනසීමක් කියලා දෙයක් දැනෙන්න ගත්තා.යාලුවොත් එක්ක එකට හිනාවෙවි ඉද්දි මට තේරුනා අනේ මන් ජීවත් වෙනවා නේද කියලා.එක එක ජාතියේ යාලුවෝ හිටියා.ඒ යාලුවෝ අතරින් මාත් එක්කම හිටියේ නිශානි.මන් වගේ නෙමේ එයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඩොක්ටර්ස්ලා.ඕලෙවල් වලින් හොද ලකුණක් නොතිබුනත් එයා එක වසරේ ඉදලම ඉගෙන ගෙන තිබුනේ ගෝතමියේ..එයා තමා එයාගේ පවුලේ එකම ළමයා.එයාලගේ ගෙවල් වලින් එයාට එයාගෙම නෑදෑවෙන ඩොක්ටර් කෙනෙක්ව ප්‍රොපෝස් කරල තිබ්බා.ඒ හින්දා එයාට ඉගෙන ගන්න ඒ හැටි වුවමනාවක් තිබ්බේ නෑ.ගෙදරින් එහෙම බල කිරීමක් තිබ්බෙත් නෑ.ඒ මොනවා උනත් නිශානි මට හොද යාලුවෙක් උනා.මගේ ගැන හැමදෙයක්ම එයා දැනගත්තා.ඒ දෙවල් දැනගත්තට පස්සෙවත්  එයාගේ යාලුකමෙ අඹමල් රේණුවක තරම් වෙනසක් උනේ නෑ.දුකටද අනුකම්පාවටද කියල දන්නෑ ඒත් එයා හැමවෙලෙම මගේ ළගින් හිටිය,හරියටම මගේ අක්කා වගේම.සමහර දවස් වල මටත් වඩා මගේ ප්‍රශ්න ගැන එයා හිතුවා.


ඒ දවස්වල අපිට අකවුන්ටින් වලට හිටපු මැඩම් මැටර්නල් ලීව් ගියා.ඒ නිසා මාස තුන හතරක් යනකන් කවුරුවත්ම ආවේ නෑ උගන්නන්න.හුගක් ළමයි අමතර පන්ති ගිය හින්දා ඒක එයාලට මහා ලොකු දෙයක් උනේ නෑ.එයාල ඉස්කෝලෙ ඒ වෙලාවෙදි හිනා වෙවි විහිලු කර කර හිටියා.ඒත් මට එහෙම ඉන්න බැරි උනා.මන් එක පන්තියකටවත් ගියෙ නැති නිසා මන් හුගක් බයෙන් හිටියේ ඒ මග ඇරෙන ටික අල්ලගන්නේ කොහොමද කියලා හිත හිත.

"සුලෝචනා ඇයි මේ? මන් හුග දවසක ඉදන් බලාගෙන හිටියෙ ඔයාගේ වෙනසක්.ඇයි මොකද්ද ප්‍රශ්නේ?"
නිශානි එක දවසක් මගෙන් එහෙම ඇහුවා.නිශානිත් අනිත් ළමයි වගේ ඒ පීරියඩ් එකේදි පිස්සු නට නට හිටපු නිසා මන් හිතුවෙ නෑ එයාට මේ ගැන කියන්න.ඒත් එයාට තේරිලා තිබ්බා..

"නිශානි මට බයයි"
"ඇයි ළමයෝ.?"
"මට බයයි මේ විදිහට මග ඇරෙන වැඩ ටික මට අල්ල ගන්න බැරි වෙයි කියලා.පන්ති යන්න මට සල්ලි ඉල්ලගන්නත් බෑ අක්කගෙන්.අනේ මන්දා"
"එහෙම වෙන එකක් නෑ සුලෝචනා.ඔයාට පුලුවන් වෙයි ඒ වැඩ ටික අල්ලගන්න"
"ඔව් නිශානි ඒත් දිගටම මෙහෙම කවුරුවත්ම අවෙ නැත්තන් අපිට උගන්නන්න."
"හ්ම්ම්.."
එවෙලේ නිශානිටත් උත්තර නැති උනා.එත් වෙලා ගියත් මගේ ප්‍රශ්න වලට නිශානි ලග මොකක්මහරි විසදුමක් තිබ්බා.
"සූ මෙහෙම කරමු.,මන් අපේ අම්මලට කියන්නම් ඔයාටත් එක්ක ටියුෂන් ෆීස් දෙන්න කියලා.එතකොට වැඩේ හරිනේ.ඔයාටත් පුලුවන් මාත් එක්කෙම පන්ති යන්නත්.අනික ඉතින් ඔයා එන එක මටත් හොදයි නේ මට ඕන දෙයක් ඔයාගෙන් අහගන්න පුලුවන්නේ" 

යාලුවෙක් විදිහට දෙන්න පුලුවන් හොදම විසදුම එයා මට කිව්වා.ඒත් අපේ අක්ක කැමති වෙයිද කියන ප්‍රශ්නේ
 මට තිබ්බා.සුමනේ අයියගෙන්වත් උදව් ගන්න අක්කා අකැමති උන එකේ නොදන්න කෙනෙක් මෙහෙමඋදව් කරන එකට අක්කා ඉඩ දෙන එකක් නැතිවෙයි කියලා මට හිතුනා.

"ඔයා දන්නවනේ නිශානි අපේ අක්ක ගැන එයා ඕකට කැමති වෙන එකක් නෑ.අනික ඔයා ගැන අක්ක වැඩිය දන්නෙත් නෑනේ එහෙම එකේ මන් හිතන්නෑ"
"අනේ බන් කවුද ඉතින් ඕවා අක්කට කියන්න යන්නේ.පන්ති තියෙන දවසට ඔයා කියන්න ඉස්කෝඅලේ හවස පන්තියක් තියෙනවා කියලා..එතකොට හරි නේ."
"ඒත් නිශානි"
"හරි බොරුවක් තමයි ඒත් ඉතින් බොරු කියලා අපි නරක දෙයක් නෙමේනේ කරන්නේ.ඒ හින්දා වැඩිය හිතන්නෙපා"
"මන් දන්නෑ නිශානි මන් ඔයාට කොහොම මේ ණය ගෙවන්නද කියලා"
මන් එහෙම කිව්වේ මගේ මුලු හිතින්ම ආපු ගෞරවයකින්.
"හා හා මේ ඒව පස්සේ දවසක ගෙවාගන්න බැරි යැ මෙන්න මෙ හිනා වෙලා  ඉන්නවා ටිකක් පන්ඩිත කතා කියන්නැතුව"
****************************


කොහොමහරි හිතුවට වඩා කාලයක් මාස හයකට විතර කිට්ටු කාලයක් අපිට අකවුන්ටින් කෙරුනේ නෑ.නිශානිගේ උදව්වෙන් පන්ති යන්න පුලුවන් උන නිසා වැඩ ටික කරගෙන යන්න පුලුවන් උනා මට.ඒලෙවල් පන්තියේ පළවෙනි අවුරුද්ද ඉවර වෙන්න මාසයක් තියෙද්දි අක්කා මට කිව්වා ටවුන් එකට කිට්ටුව හිටපු අපේ ලොකු අම්මාලගේ ගෙදර ගිහින් නවතින්න කියලා.එයා සතියකට සැරයක් ඇවිත් බලලා යන්නම් කියලා.ඒක මටත් කලින් හිතිලා තිබ්බ දෙයක්.ඒත් මන් අක්කගෙන ඇහුවේ නැත්තේ අක්කට දුක හිතෙයි කියලා.ලොකු අම්මලාගේ ගෙදර ඉදන් මට ඉස්කෝලෙට යන්න විනාඩි පහයි යන්නේ.ඒ හින්දා බස් වියදමකුත් නෑනේ.

ලොකු අම්මලාගෙ ගෙදර හිටියේ ලොකු අම්මා විතරයි.එයාලට ළමයි නෑ ඉතින් ලොකු තාත්තා නැති උන දවසේ ඉදන් ලොකු අම්මා තනියම ඒ ලෑලි බිත්ති හතරට වෙලා හිටියා.මන් ගියාම ලොකු අම්මා හුගාක් සතුටු උනා.කෑම හදලා පාර්සල් කරලා කඩවල් වලට විකුණලා තමා ලොකු අම්ම ජීවත් උනේ.ඒ හින්දා ඉතින් මොනා නැතත් කටට රහට කෑම ටිකනම් ලැබුනා.ඉස්කෝලෙ ගෙනියන කෑම එක මට වඩා ආසවෙන් කෑවෙ නිශානි.

 

අක්කා මුලින් වැඩිය මාව බලන්න ආවෙ නැති උනාට මාස තුන හතරකට පස්සේ සතියකට සැරයක් බඩු ගොඩකුත් උස්සගෙන මාව බලන්න ආවා.ඒ විතරක් නෙමේ ආපහු යනකොට මට වෙනදට වඩා සල්ලිත් දීලා ගියා.කලින් අක්ක කිව්වේ "අනේ පොඩ්ඩියේ පිරිමහගෙන පාවිච්චි කරපන්" කියලා.ඒත් පහු වෙනකොට අක්කා කිව්වේ "උඹ හොදට කාල ඇදලා ඉන්න ඕන." කියලා.අක්කට එක පාර මෙහෙම සල්ලි හම්බෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැරි උනා.මන් ඒ ගැන නිශානි එක්කත් කිව්වා.


"නිශානි අපේ අක්කා ලගකදි ඉදලා වෙනස්"

"ඇයි ඒ..? ඒ අක්කා දන් අර බිස්නස් එක හොදට කරගෙන යනවා ඇති ඉතින්"

"ඔව් ඒකනම් එහෙම තමයි..ඒත් මට අමුත්තක් දැනෙනවා නිශානි.මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා"

"සූ මොනාද මේ හිතන්නේ.අක්කා ඔයාට කිව්වනේ ඉතින් අර ලයනල්ද කව්ද එයා එක්ක කරන වැඩේන් හෙන ලාබයි කියලා.ඉතින් එච්චරයි නේ"

"හ්ම්ම්..."


ඒත් මට මොකද්ද ලොකු අමුත්තක් දැනිලා තිබ්බා.


------------------නැවතත්--------



2 comments:

  1. අක්කා ලයනල් එක්ක නොමග ගිහිං වගේ.

    ReplyDelete
    Replies
    1. හෆොයි එහෙමද දන්නෑ ඔන්න මන් නම්...... :D

      Delete