Monday, August 17, 2015
****වළාකුලු බැම්ම **** (16)
මහේශ් වැල්ලවත්තට කිට්ටුවෙනැනෙක්ස් එකක් අපිට හොයලා දුන්නා.සාලෙකුයි කාමරයයි කුස්සියයි.මටනම් ඒක ඕනවටත් වැඩි උනා.ඒත් රොහාන්ටත් එහෙම්මම දැනුනද කියන්න මන් දන්නෑ.දැනුනත් එයා කවදාවත් එතන අඩු පාඩුවක් කිව්වේ නෑ.මුල් දවස් ටික අම්මලාගෙන් වෙන් වෙච්ච එක ගැන දුක් වුනත් පස්සේ දවස් ගෙවෙනවත් එක්ක ඒ දුක හෙමින් සැරේ තුනී වෙලා ගියා.නිශානි එයාලගේ අම්මලත් එක්ක ඉදල හිටලා ඇවිත් ගියා.කටු කම්බි උඩින් ඇවිදලා ආයෙම පිනි වැටුනු තණ බිස්සක පය තිබ්බා වගේ මට දැනුනා.ඉදලා හිටලා හීරුනු තුවාල රිදෙන්න ගත්තත් ඒ හැමදේම් ටික වෙලාවකට විතරක් සීමා උනා.
ඒ ගෙදර ආපු ගියපු අය අතරේ සුමනේ අය්යත් හිටියා.අම්මා ගැන විස්තර මන් දැන ගත්තේ එයාගෙන්.අම්මට මන් එක්ක නවතින්න එන්න කියලා මන් කිව්වත් අම්මට වනාත මුල්ලෙන් තොර ජීවිතයක් තිබ්බේ නෑ.සුමනේ අයියා ගෙදර ඇවිත් ගියාට මොන හේතුවක් හින්දද මන්දා රොහාන්ගෙනම් එයාට වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ.ඒ ඇයි කියලා ඇහුවම රොහාන් කිව්වේ 'ඒ මිනිහා මොන එහෙකට මෙහෙ එනවද?මිනිහගේ විදිහ මට අල්ලන්නෑ මහ කපටි මිනිහෙක්' කියලා..මන් වැඩි විස්තර අහන්න ගියේ නෑ.මොකද ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් වෙයි කියලා මට නිකමට හිතුන හින්දා..
රොහාන් මහන්සි වෙලා හැඩ කරපු ඒ කාමරේ අයිති කාරයව අත් දෙකෙන්ම අරන් ඒ කාමරේට එද්දි රොහාන්ගේ ඇස් දෙකෙ කදුලු පිරිලා තිබ්බා.ඒ කදුලු දැකපු මට රොහාන් ගැන ඇති උනේ පුදුම ආදරයක් ඒ වගේම ගෞරවයක්.'අනේ මගේ මහත්තයෝ මන් මොන පිනක්ද මේ කරලා තියෙන්නේ' කියලා මන් මගෙන්ම් ඇහුවා.
Saturday, August 15, 2015
****වළාකුලු බැම්ම **** (15)
හැම හීනයක්ම බොද වෙන්න ඔන්න මෙන්නම වගේ තිබ්බා.රොහානුත් හැමවෙලේම කල්පනා කරන්න උනා.ජීවිතේ ගැන කිසිම බරක් පතලක් නැතුව හිටපු රොහාන්ට මන් නිසා කරදර එක පිට එක එන්න ගත්තා.ඒත් එහෙමයි කියලා රොහාන්ව අතෑරලා මට යන්න ඕන උනේ නෑ.මොකද මන් දැනගෙන හිටියා මොන දේ උනත් රොහාන්ට තිබුන එකම සැනසීම මන් කියලා.
රොහාන් අම්මට කිව්වලු මාව කවදාවත් අතාරින්නේ නෑ කියලා.අම්ම එදා ඉදන් රොහාන් එක්ක කතා කරන එකත් අඩු කරාලු.ඒ දවස් වල රොහාන් වැඩ ඉවර වෙලා ගෙදර ගියේ ගොඩාක් රෑ වෙලා.ගෙදර මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දීලම ඇති වෙලා කියලා එයා කිව්වේ.
මාස දෙක තුනක් ගෙවිලා ගියා..රොහන්ගේ ගෙදරින් කිසිම බුරුලක් පෙන්නුවේ නෑ..දවසක් රොහාන්ගෙ අම්මා මට කෝල් කරලම බැන්නා රොහාන්ට ආදරයක් තියෙනවනම් එයාගේ ජීවිතෙන් ඈත් වෙනවා කියලා.ඒත් දෙයියනේ මන් කොහොමද කියන්නේ මට රොහාන්ගෙන් ඈත් වෙන්න බැරි ඒ ආදරේ හින්දමයි කියලා.
තීරණයක් ගත යුතුම කාලයක් වෙච්ච නිසා තමා එදා රොහාන් මට අපි බදිමු කියලා කිව්වේ.ඒත් මන් කිව්වේ තව එක පාරක් අම්මලාගෙන් අහන්න කියලා.ඒ ඇහුවත් අම්මලා කැමති උනේ නෑ කියලා රොහාන් මට කිව්වා.රොහාන් මන් හින්ද එයාගේ ගෙදර හැම දෙයක්ම නැති කරගත්තු එකේ රොහාන්ගේ ඒ ඉල්ලීම මට කල් දදා ඉන්න තවත් බැරි උනා.
"හා රොහාන්.අපි මැරි කරමු.."
"අනේ සුලෝ ඇත්තමද මේ?"
"ඔව් රොහාන් ඔයා මෙහෙම තනියම විදවනවා මට බලන් ඉන්න බෑ.එක්කො ඔයා ළග ගෙදර අය ඉන්නෝන නැත්තන් මන් ඉන්නෝන.ඉතින් අපි මැරි කරමු"
"හරි සුලෝ..අපි හෙට ගිහින් රෙජිස්ටර් කෙනෙක්ට කතා කරලා අනිද්දට මේ හැම ප්‍රශ්නයක් ඉවර කර ගමු"
"හැබැයි එකක්."
"මොකද්ද සුලෝඅ කියන්න ඕන එකක්"
"අපි මැරි කරලා මුලින්ම ඔයාගෙ ගෙදර ගිහින් අම්මටයි තාත්තටයි කියමු.අපිට බැන්නත් ගහලා පන්න ගත්තත් අපි ඒ දෙන්නට මේක කියන්නෝන.ඔයාව එයාලගෙන් වෙන් කරපු පව ටිකක් හරි ඒකෙන් අඩුවේ කියලා මට හිතෙනවා රොහාන්.හා නේද?"
"අනේ සුලෝ... ඇයි අපේ අම්මලාට තෙරුම් ගන්න බැරි උනේ ඔයා කොච්චර හොද කෙල්ලෙක්ද කියලා පැටියෝ"
"හ්ම්ම්.."
"යන් හෙට උදේම අපිට කරන්න වැඩ තියෙනවා.ඊට පස්සෙ ඔයා හැමදාම මගේ.දන්නවද මගේම විතරයි."
එදා රෑ මන් නිශානිගේ අම්මලත් එක්ක මේ ගැන කතා කලා.
"පුතේ මේ අහන්න.මෙතනදි කවුරු වැරදිද නැද්ද කියන්න මට තේරෙන්නෙ නෑ.එ ළමයගේ අම්මලා තාත්තලා හරි.එයාල බලාඅපොරොත්තු වෙන්න ඇති එයාගේ පුතාව එයාලගෙ පවුලට ගැලපෙන හොද සල්ලි තියෙන ගෑණු ලමයෙක්ට කතා කරන්න.ඒක ඕන අම්මෙක්ගෙ තාත්තෙක්ගෙම බලාපොරොත්තුවක්.අපිත් නිශානිට සහන්ව කතා කලේ ඒ හින්දනේ.ඒත් ඔය දෙන්නා එකිනෙකාට ගොඩාක් ආදරෙයි ඒ හින්දා ඔය දෙන්නට වෙන් වෙන්න කියන්නත් බෑ.ඉතින් දරුවෝ මන් කියන්නේ ඔයාලා දැන් තීරණයක් ගත්තනේ.මැරි කරලා ඉවර වෙලා ඔයාලා දෙන්නා හොදින් ඉන්න.එ ළමයගේ දෙමව්පියන්ට හිතෙන්න දෙන්න ඔයාල හුගාක් සතුටින් ජීවත් වෙනවා කියලා.දැන් තරහහින් හිටියත් ඔයා රොහාන් එක්ක සතුටින් ඉන්නවා කියලා දකිද්දි ඒ දෙන්නත් සතුටු වෙයි..ඔයාලට කරන්න පුලුවන් එකම දේ ඒකයි ඒ දෙන්නගේ හිත හැදෙන්න.ඒ හින්දා මන් කියපු දේ හිතේ තියාගෙන කරන දෙයක් කරන්න.මොනා උනත් ඔයා වෙනුවෙන් මායි අන්කලුයි හැමවෙලේම ඉන්නවා"
එදා රෑ මන් නිශානිගේ අම්මව බදාගෙන ගොඩාක් වෙලා ඇඩුවා.මට මගේ අම්ම ගැන දැනෙනවට වඩා ලොකූ හැගීමක් ඒ ආන්ටි ගැන ඇති උනා.මොකක් හරි පිනකට ඒ වගේ මිනිස්සු ටිකක් මට හම්බවෙලා තිබ්බ එකට මන් දස දහස් වරක් දෙවියන්ට ස්තූති වන්ත උනා.
*******************
"මුදියන්සේලාගෙ සුලෝචනා වීරසිරි වන මම අද පටන් දිසානායක බණ්ඩාරලාගේ රොහාන් ශ්‍රීමාල් තේනුවර නැමති මොහු මාගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා ලෙස භාරගමි"
"දිසානායක බණ්ඩාරලාගේ රොහාන් ශ්‍රීමාල් තේනුවර වන මම අද පටන් මුදියන්සේලාගේ සුලෝචනා වීරසිරි වන මැය මාගේ නීත්‍යානුකූල භාර්යාව ලෙස භාරගමි"
අපි අපේ ජීවිත වල අලුත් පිටුවක් ලිව්වා.මගේ පැත්තෙන් සාක්ෂියට අතසන් කලේ සුමනේ අයියා.රොහාන්ගේ පැත්තෙන් ආවේ එයාගේ හොදම යාලුවෙක් වෙච්ච මහේශ්.එයා රොහාන්ව ඉස්කෝලෙ යන දවස්වල ඉදන්ම දන්න කියන කෙනෙක්.
ඊට පස්සේ තිබ්බේ අමාරුම වැඩෙ කරන්න.රොහාන් මට පොරොන්දු වුන විදිහටම අපි රොහාන්ගේ ගෙදර ගියා..අම්මයි තාත්තයි දෙන්නම ගෙදර හිටියා.
"ඒ පාර ගෙදරටම එක්කගෙන ආවද?"
දොර ඇරපු ගමන් මාව දැකපු අම්මා රොහාන්ගෙන් එහෙම ඇහුවා.ගෙට එන්න කියන්නෙත් නැතුව අම්මා එළියට ආවා.තාත්තත් ඒ සද්දෙට ආව කවුද කියලා බලන්න.මන් බිම බලාගෙන හිටියේ ඇස් වල කදුලු පුරෝගෙන.මන් මී පැටියෙක්ටත් වඩා මහා ගොඩාක් බය වෙලා හිටියේ.
"අම්මේ දෙයක් කියන්න තියෙනවා"
"කියන්න තියෙන දෙයක් තනියම කියන්න බැරි මොකද?මොන එහෙකටද මෙයාව එක්කන් ආවේ?"
අම්මා මට රවනවා මන් හොරැහින් දක්කා.
"එළියේ ඉදන් කෑගහන්නැතුව ඔය දෙන්නව ගෙට එක්කන් එන්න මනෝරි..වට පිටේ මිනිස්සු ඉන්නවා"
තාත්තා සාලෙ මැද සෝෆාවේ ඉදගන්න ගමන් එහෙම කිව්වා.රොහාන් මගේ අතින් අල්ලගෙනම මාව ගේ ඇතුලට එක්ක ගෙන ගියා.
"අම්මේ මන් සුලෝව මැරි කලා"
ඒක කියලා ඉවර වෙනවත් එක්කම රොහාන්ගේ කම්මුල පුරා ලොකුම ලොකු අතුල් පහරක් වැදුනා.රොහාන්ගේ අම්මා ගිනි පිටවෙන ඇස් දෙකෙන් රොහන් දිහා බලාගෙන හිටියා.රොහාන් කම්මුලේ අත තියාගෙනම ආයෙම කතා කලා.
"ඒ එක්කම තවත් පාහරක් අනිත් කම්මුලට වැදුනා."
ඒත් එක්කම තාත්තා ඇවිත් අම්මගෙයි රොහාන්ගෙයි අතරෙන් හිට ගත්තා..හිර වෙලා තිබ්බ කදුලු හෝ ගාල මගේ ඇස් වලින් ගලන්න ගත්තා.ඒ හැම පහරකදිම රොහාඅන් තව තවත් තදින් මගේ අත අල්ල ගත්තා.මැද්දට පැනලා 'අනේ මගේ රොහාන්ට ගහන්නෙපා'කියන්න ලොකු උවමනාවක් තිබ්බත් එච්චර ශක්තියක් තිබ්බෙ නෑ මන් ළග..
"ඔක්කොම කරගෙන ඇයි දැන් මෙහෙ ආවේ?"
"තාත්තේ අපිට සමාවෙන්න මට සුලෝ නැතුව බෑ.මට එයාව අතාරින්නත් බ.ඉතින් ඔයාල මේකට කව්දාවත් කමති වෙන්නැති හින්දා මට තීරණයක් ගන්න උනා.."
"දැන් තමුන් කොහෙද නවතින්නේ?"
"තාත්තා?"
"ඔව් මන් තමයි මන් අහන්නේ දැන් තමුන් කසාදයක් එහෙම බැදපු ලොකු මිනිහෙක්නේ.දැන් කොහෙද නවතින්නේ.මේ වහල යට ඉඩක් තියේවි කියලා හිතා ගෙන හිටියේ නැතුව ඇතිනේ?"
"මගේ යාලුවෙක් අපිට ඇනෙක්ස් එකක් හොයලා දුන්නා"
රොහාන් ඒ කිව්වේ බොරුවක්.හැමදේම හදිස්සියට වෙච්ච නිසා අපි එහෙම දෙයක් ගැන හිතලා තිබ්බේ නෑ.
"හ්ම්... එහෙනම් යන්න ගිහින් ඇදුම් ටිකත් අරගෙන එන්න.අම්ම ගැනවත් මන් ගැනවත් මීට පස්සෙ නොබැලුවට කමක් නෑ.අපි අපේ පාඩුවේ ඉන්නම් අපිට පුතෙක් හිටියෙ නෑ කියල හිතාගෙන"
"තාත්තේ එක පාරක්..."
"නෑ නෑ මන් දැන් දහ පාරක් විතර කියලා ඇති මේක කරගත්තොත් මොකද වෙන්නේ කියලා ඒ හින්දා තවත් අම්මව අවුස්සන්නේ නැතුව දැන්ම ගිඔයොත් හොදයි"
රොහාන් මාවත් එක්කගෙන එයාගේ කාමරෙට ගියා ඇදුම් ටික ගන්න.අම්මා එයාගේ කාමරේට ගිහින් දොර වහගත්තමයි අපි යනකනුත් එළියට ආවෙ නෑ.තාත්තා අපි යනකන් ඉදලා ගෙදර දොර වහ ගත්තේ කිසිම දෙයක් කියන්නෙ නැතුව.
අන්තිමේදි මාත් එක්කම රොහානුත් ජීවිතේ තනි උනා.අලුත් දෙයක් නෙමේ ඇත්තටම ඒ අපි දෙන්නම බලාපොරොත්තු උන දෙයක්.
අපි කෙලින්ම ආවේ මහේශ්ගේ ගෙදරට.වෙච්ච සිද්දිය කිව්වට පස්සේ හෙට වෙද්දි ඇනෙක්ස් එකක් හොයලා දෙන්න මහේශ් පොරොන්දු උනා.එදා රෑ අපි හොටෙල් එකක් නැවතුනා.
------------------------නැවතත්-------------------
Tuesday, June 30, 2015
****වළාකුලු බැම්ම **** (14)
කොච්චර ලස්සනට හෙමින් හෙමින් අපේ ආදරේ ගලාගෙන ගියත් ඒ ආදරේට පියවරක් ඉදිරියට ගත යුතුම වෙලා තිබ්බා.කිසිම බාදාවක් නෑ කියන සුරන්ගනා ලෝකේ ඉදගෙන රොහාන් මගේ ආදරේ වින්දා.අවුරුදු දෙකකට කිට්ටු වෙන්න කාලයක් අපි ඒ සුරන්ගනා ලෝකේ පාවි පාවි හිටියා.පොලවේ පය ගහන්න මටත් රොහාන්ටවත් වුවමනාවක් තිබ්බේ නෑ.ඒ වුනත් රොහාන් මන් ගැන ගෙදරට කියලා තිබ්බා.මගේ ඔක්කොම විස්තර කිව්වද කියලා ඇහුවම රොහාන් හැමදාම කියන්නේ 'හරි බබා අපි පස්සේ හෙමීට කියමු' කියලා.ඒත් එදා නිශානිගේ වෙඩින් එක දවස වෙනකන් රොහාන් ඒ ගැන අම්මලාට කියලා තිබ්බේ නෑ.
නිශානි ෆයිනල් එක්සෑම් එක කරලා කොන්වකේශන් එකට කලින් මැරි කලා.ඒ උත්සවය ආන්ටියි අන්කලුයි ගන්න පුලුවන් උපරිම විදිහට ගත්තා.පුදුම විදිහේ සෙනගක් ආවේ.නිශානි ගොඩාක් පෝසත් පවුලක හින්දා වෙඩින් එකට ආපු අයත් ඊට දෙවනි උනේ නෑ.ඒ මිනිස්සු අතරේ එහෙ මෙහෙ යනකොට මගේ සුපුරුදු හීනමානේ මගේ හිස් මුදුනට වෙලා මගේ ඔලුව කොනිත්ත කොනිත්ත හිටියා.නිශානිගේ දෙවනි මනමාලි උනේ මම.රොහානුත් එදා ඇවිත් හිටියා.මට හොදටම මතකයි එදා රොහාන් එයාගෙ ඇස් දෙකෙන් මාව ගිලපු නැති ටික විතරයි.මට වඩා ගොඩාක් ලස්සන අය හිටියා.ඒත් ඉතින් මගේ මැට්ටට ඒවා පෙනුනේවත් නෑලු.පස්සෙ ඒ ගැන කතා කරපු වෙලාවක මගෙන් ඇහුවා 'අනේ වෙඩින් එකේ ඔයා විතරක් නෙමේද හිටියේ' කියලා..ඉතින් ලෝබකම් නොකර කෝමද මන්.
වෙඩින් එක අතරේ රොහාන්ට මාත් එක්ක තනියම කතා කරන්නම ඕන උනා.ඒ හින්ද ලන්ච් එකෙන් පස්සෙ මන් නිශානිගෙන් විනාඩි පහක් ඉල්ලගෙන රොහාන් එක්ක එළියට ආවා.අපි ඒ හොටෙල් එකේ බැල්කනි එකට ගියා.අපි යනකොට එතන ඕපන් ඒරියා එකේ ඕක්ශන් එකක් තිබ්බා.ටයි කෝට් දාගත්තු මිනිස්සු පිරිලා.එතන කිසිම නිදහසක් තිබ්බ නැති නිසා මායි රොහානුයි වෙන තැනකට යන්න කියලා හැරුනා.
"පුතා"
ඒ හඩ ඇහෙනවත් එක්කම රොහාන් හැරිලා බැලුවා.
"තාත්තා..අෆෝ අර ඇහැ ගහගෙන හිටපු ඉඩමටද මේ?"
මාවත් අතින් අල්ලගෙනම රොහාන් තාත්තා ළගට ගියා.උස මහතට හිටපු තාත්තාව දැක්කම මට බයක් හිතුනේ නැත්තෙමත් නෑ.ඒත් මන් හිනා වෙලා හිටියා.නුවර එලියේ ඉඩමක වෙන්දේසියක්ලු.තාත්තත් හෙනම ආසාවෙන් හිටියලු ගන්න.රොහාන්ලගේ ඉඩම් එක්කම තියෙන ඉඩමක්ලු.ඒක හම්බුනෝතින් ඉල්ලමක් පෑදුනා වගේ තියෙයිලු.මට එහෙම රොහාන් කලින් දවසක කියලා තිබ්බා.
"ඔව් පුතා.. අපිට ගන්න බැරිවෙයි වගේ.. ඉන්දියන් කම්පැනි එකක් ලොකු ගානක් තිබ්බා.."
"අපරදෙනේ"
"ඔව් ඉතින් මොනා කරන්නද?පුස්සැල්ලාව එස්ටේට් එකත් නෙක්ස්ට් මන්ත් එකේ ඕක්ශන් එකට දානවලු...එකවත් බලනවා."
ඒක කියලා ඉවර වුනාඅම තමා තාත්තා මගේ පැත්තට හැරුනේ.
"මේ කවුද පුතා..අර අම්මා කියපු කෙනාද?"
රොහාන් අල්ලගේන හිටපු මගේ අත උඩට අරන් තාත්තට පේන්නම එයාගේ පපුවෙන් තියාගත්තා.එවෙලේ මන් හිටියෙම බිම බලාගෙන..
"ඔව් තාත්තා මේ එයා තමා. සුලෝචනා..සුලෝචනා වීරසිරි"
"දැන් කොච්චර කල් ඉදලද?"
"තාත්තා..මේ ..අවුරුදු දෙකකටත් වැඩි"
"ගෙදරට කියන්න ඕන කියලා හිතුනේ නෑ"
"මන් ඉතින් අම්මට කිව්වනේ."
රොහාන් තාත්තා ලග ටිකක් හුරතල් උනා.ඒත් තාත්තාගේ හඩ එකම විදිහට තිබ්බා.මට තේරුනේ එන්න එන්න ඒ හද සැර වෙනවදෝ කියලා..
"අපි ටිකක් කතා කරමු එහෙනම්"
තාත්තා එහෙම කිව්වම මගේ මුලු ඇගම සීතල වෙලා ගියා.ඇත්තටම මට පාපොච්චාරණයක් කරන්න උනොත් රොහාන්ගෙයි මගෙයි සම්බන්දෙට අවසානය තියන්න නියමිත වෙලා තිබ්බේ එදාමයි.එහෙම කිව්වම රොහානුත් ටිකක් කලබල උනා.
"තාත්තා පහල අපෙ යාලුවෙක්ගේ වෙඩින් එකක් එකට අපි ආවේ.ඉක්මනට හොදේ."
"අහ් ඇයි මොකද ඔයාලා නැතුව දෙන්නා පිටවෙන එකක් නැද්ද?..හි හි හරි හරි මටත් වැඩි වෙලාවක් නෑ"
ඒ ඕපන් ඒරියා එකේ කොනක තිබ්බ මේසෙකට අපි තුන්දෙනා ගිහින් වාඩි උනා.කිසිම දේකට කලබල වෙන්න එපා කියන වගේඅ බැල්මකින් රොහාන් මන් දිහා බැලුවා.ලොකූ හුස්මක් අරගෙන ඒ මොහොතේ ඔලුව කෙලින් තියාගෙන ඉන්න ශක්තිය මන් දෙවියන්ගෙන් ඉල්ලගත්තා.
"මේ ළමයගේ ගෙවල් කොහෙද?"
"මන්...මන් ඉන්නේ..ව.."
"මෙයා වැඩි පුරම ඉන්නේ වැල්ලවත්තේ.අම්මලා ඉන්නේ නිශානිලාගේ ගෙවල් ළග"
ඒ රොහාන්
"කවුද නිශානි?"
"නිශානිගේ වෙඩින් එක තමා අන්කල් පහල තියෙන්නේ.මගේ හොදම යාලුවා."
ඒ මම
"ඇයි ඔය ළමයා වැල්ලවත්තේ ඉන්නේ?"
"මා..."
"වැඩට යන්න ලේසිනේ තාත්තා.ඒකයි ගෙයක් රෙන්ට් එකට අරන් එහෙ ඉන්නෙ"
ඒ රොහාන්
"තනියම?"
"නෑ නෑ නිශානිත් එහෙ ඉන්නේ.එයාට කැම්පස් යන්නත් ලේසි නිසා"
ඒ රොහාන්
"අම්මයි තාත්තයි මොකද කරන්නේ?අද එයාලත් ආවද?එහෙනම් මට අදම හම්බෙලා යන්න පුලුවන්"
"නෑ තාත්..."
ඒ රොහාන්
"පුතා මන් ප්‍රශ්න අහන්නෙ ඔයාගෙන් නෙමේ මේ ළමයගෙන්..ඔයාගෙන් විස්තර මන් ගෙදර ගිහින් අහගන්නම්. කියන්න ළමයෝ අම්මලා ඇවිත්ද?"
මට එවෙලාවෙ හැමදේම පෙරලලා දාල එතනින් පනලා දුවන්න ඕන උනා.මේ තරම් බොරු ගොඩාක් මැද මන් තනිවෙලා.මාත් එක්කම රොහානුත්..ඔලුව පුපුරන්න වගේ උනා.ඇත්ත කියනවද නැත්තන් රොහාන් කියපු බොරුවම දිගටම ගෙනියනවද.හිතට එකගව රොහාන්ගෙ පැත්ත ගන්න මට බැහැ කියලා මට දැනුනා.. සුරන්ගනා ලෝකෙන් මාව ඇහැරවන්න නපුරු මායා කාරියක් ඇවිත් මගේ අත්වලින් කකුල් වලින් අදිනවා වගේ මට දැනුනා..
"ළමයෝ මන් ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා"
"මගේ තාත්තා නෑ....අම්මා.."
මට කියලා ඉවර කරන්න හම්බ උනේ නෑ..
"සුලෝ නිශානි ඔයාව හොයනවා කියලා මැසේජ් එකක් ආවා. අපි යමුද එහෙනම්..තාත්තා මන් ගෙදර ඇවිත් විස්තර කියන්නම්කො."
තාත්තාගේ මූනේ මොකද්දෝ මන්දා ප්‍රෙහේලිකාවක හරස් පද පේලි ඇදෙනවා මන් දැක්කා..ඒත් මන් රොහාන් එක්ක එන්න නැගිට්ටා..තාත්තත් අපිත් එක්කම නැගිට්ටා..
"හරි එහෙනම් යන්නකො.ඔයාලා අවේ වෙන වැඩකටනේ...පුතා අහන්න මට අදම මේක ඔයා එක්ක කතා කරන්න ඕන හවසට.."
අපි යන්න හැරුනා..ඒ වචන ටිකට ඉතුරු වෙලා තිබ්බ ශක්තිය සුනු විසුනු වෙලා ගියා.රොහාන් මගේ කරවටින් අත දාලා මාව අල්ලගත්තේ මට වෙන වාරුවක් තිබ්බෙ නැති නිසා..
අපි ආයෙම වෙඩින් හෝල් එකට ආව.නිශානි මට ඈත තියාම කතා කලා.රොහාන්ගෙන් ඈත් වෙලා යද්දි මන් එයාට කිව්වා,
"මොන දේ ඇහුවත් අද ඔයා ඇත්තම කියන්න රොහාන්"
සෙනග අතරින් මන් නිශානිව හෙව්ව.
-------------නැවතත්-------------------
Sunday, June 28, 2015
****වළාකුලු බැම්ම **** (13)
ඒ දවස් හරිම ලස්සනට ගෙවුනා.මට හිතා ගන්න බැරිතරම් ආදරයක් මට රොහාන්ගෙන් ලැබුනා.එයාට දෙවනි වෙන්න බැරි හින්දම රොහාන් ගැනත් මගේ හිතේ ඒ තරම්ම ලොකු ආදරයක් තිබ්බා.
අපි ගොඩාක් දේවල් කතා කරා.අපි දෙන්නා ගැන අපි නොදැන හිටපු කිසි දෙයක් තිබ්බේ නෑ.මගේ ගැන මන් කියපු දේවල් ගැන රොහාන් ආයෙ ආයෙ කවදාවත් ඇහුවේ නෑ.එයාට ඕන උනේ මන් එයාට ආදරේ කරනවා කියන දේ විතරයි.
"සුලෝ..."
"ම්ම්..."
"අපි අද කොහේ හරි යමු ?"
"හා"
"ඒත් කොහෙද යන්නේ.මේ කොළඹ අපිට වෙන යන්න තැනක් ඉතුරු වෙලා කියලා මන්නම් හිතන්නේ නෑ"
"එහෙනම් අපි රට යමු"
"මොකක් ? රට?"
"නෑ මන් කිව්වේ මේ උඩරට"
ඒක කියපු ගමන් රොහාන් හිනාවෙලා මගේ නහය හයියෙන් මිරිකුවා වගේ මතකයි.ඒක එයාගේ පුරුද්දක් වෙලා තිබ්බා.මොකක් හරි හිනා යන දෙයක් මගේ කටින් කියවුනොත් ඒකට විදවන්න වෙන්නේ මගේ අහින්සක නහයට තමා..ඊට පස්සේ රතු වෙච්ච නහය දිහා බල බල එයා හිනා වෙනවා මන් අඩනවා.
"ආව්.. නෑ නෑ ඕන නෑ කොහෙවත් යන්නෑ මන් ඉන්නවා මෙහෙටම වෙලා..එන්නෑ මන් කතා කරන්නෙපා"
"ඇයි එතකොට රට යන්න ඕන නෑ?"
"ඕන තමයි ඉතින්.ඒත් ඔහොම වද දෙනකොට...... ඕන්නෑ මට"
"හා එහෙනම් ඉතින් මොනව කරන්නද නේ?"
"අනේ ඉතින්"
"ඇයි මොකො?"
"එහෙම කිව්වම ඔහොමද කියන්නෝන ඉතින්?"
"නැත්තන් කොහොමද?"
"හා හා පැටියෝ ආයේ මන් එහෙම කරන්නෙ නෑ.. අපි එහෙනම් ඔයාට ඕන තැනකට යමුකො.එහෙම කියලනේ කියන්නෝන.ඒකවත් තේරෙන්නෑ"
"අපෝ බෑ..එහෙම කියන්න බෑ.මොකද මට ඕන ඔය නහය රතු වෙනවා බලන්න"
"අනේ ඉතින් මන් පව් නේ"
"හරි හරි බබා දැන් අපි කවද්ද යන්නේ? ඇයි එක පාරටම නුවර යන්න හිතුනේ?"
"නෑ මන් එහෙ ගිහින්ම නෑ.කැම්පස් එක බලන්නත් ආසයි.නුවර වැව රවුමේ ඇවිදින්නත්....."
මට ඒ පේලිය සම්පූර්ණ කරන්න හම්බුනේ නෑ.කොහේදෝ මන්දා තිබ්බ කදුලු කැටියක් ඇවිත් මගේ ඇස් දෙකම බොද කරා.ඒත් එක්කම ආපු ඉකියක් හරිම අමාරුවෙන් උගුරට ටිකක් උඩින් නවත්තගත්තා.
"අනේ සුලෝ ඇයි මේ?"
රොහාන් මගේ ළගට ඇවිත් මගේ මූණ එයාගේ අත් දෙකට ගත්තා.මට තවත් ඇඩුනා.මන් එහෙම්මම රොහාන්ව බදාගත්තා.මගේ හිස මන් ඒ පපුවට තියලා තද කරගත්තා.රොහාන් මට ඇතිවෙනකන් අඩන්න එයාගේ පපුවෙ ඉඩ දීලා ඔහේ බලාගෙන හිටියා.කොච්චරක් වෙලාවක් මන් එහෙම හිටියද කියලනම් මන් දන්නේ නෑ.
"සුලෝ..කියන්න දැන්වත් ඇයි මේ?"
"මන් ඔයාට ගොඩාක් ආඅදරෙයි රොහාන්"
"ඒක මන් දන්නවා සුලෝ.."
"මන් මෙච්චර ආදරයක් විදින්න සුදුසු නෑ රොහාන්.මට මගේ අතීතය අමතක කරන්න බෑ රොහාන්.ඒ අතීතය හින්දා කවදා හරි අපිට ගොඩාක් ප්‍රශ්න ඒවි."
"ඒවට අපි එතකොට මුහුණ දෙමු.ඒත් ඇයි මේ වෙලාවේ ඒව මතක් වුනේ?"
"ඉස්සර මට මේ වගේ ආසාවල් තිබ්බේ නෑ රොහාන්.වෙන දෙයක් බලාගෙන ඔහේ හිටියා.ඒත් දැන් මට අරෙහෙ යන්න ආසයි මෙහෙ යන්න ආසයි කියද්දි මට දැනුනා එහෙම කියන්න අයිතියක් මට තියෙනවද කියලා"
රොහාන් මාව එයාගේ පපුවෙන් ඈත් කරලා මගේ උරහිස් දෙකෙන් අල්ල ගත්තා.මන් ඒ ඇස් දිහා බලන්නැතුව බිම බලාගත්තා.
"මේ අහන්න සුලෝ.ඒ ජීවිතේ මොන විදිහේ උනත් මන් හැමදාම කියනවා වගේ මට ඒ කිසි දෙයක් වැඩක් නෑ.ඔයා ජීවත් වෙන්න ඕන දැන් මාත් එක්ක.මන් මගේ මුලු ජීවිතේම ඔයාට දීල ඉවරයි.එකේ අයිතිය දැන් තියෙන්නේ ඔයාට.ඔයා ඔයාගේ කලින් ජීවිතේ ගැන හිතලා දුක් වෙන එක ඔයාට විතරක් නෙමෙයි ඒක මටත් දුකක් සුලෝ.මට ඕන හැම මොහොතෙම මගේ පුන්චි කෙල්ලව සතුටින් තියන්න.ඒ හින්ද ඔහොම අඩන්න එපා පැටියෝ.නුවර විතරක් නෙමේ ඔයා කියන්න මේ ලෝකෙ ඔයා යන්න ආස ඕනම තැනක් මන් ඔයාව එක්කන් යන්නම්.ඒක මන් ඔයාට වෙන පොරොන්දුවක්."
රොහාන් ඒ කියපු දේවල් විද ගන්න මට මගේ හිත මදි උනා.දරාගන්න බැරි කමට තව තවත් කදුලු ඇස් දෙකෙන් එලියට එද්දි ආයෙම මන් රොහාන්ට තුරුල් වුනා.
*****************
අපි එක්ක නුවර යන ගමනට නිශානි එයාගේ ඩොක්ටර් අයියා සහනුත් ආවා.රොහාන්ටයි සහටයි කතා කරන්න ගොඩාක් දේවල් තිබ්බා.සමහර වෙලාවට ඒ දෙන්නට අපි ඉන්නවද කියලවත් මතක නෑ.
"සූ අර බලන්නකො අර දෙන්නා.. අපි ඉන්නවද නැද්ද නෑ නේ"
නුවර වැව රවුමේ වලාකුලු බැම්මට හේත්තු වෙලා වැව දිහා බලාගෙන ඉන්න රොහාන්වයි සහන්වයි පෙන්නලා නිශානි එහෙම කිව්වා.ඒ දෙන්නට ඕන තරම් කතා කරගන්න දීලා මන් නිශානිවත් එක්කගෙන ගිහින් ඒ ළගින් තිබ්බ බන්කුවක ඉද ගත්තා.
"කීයට හරි අපිව මතක් වෙලා ඒවිනේ නිශානි"
"ඒකත් ඇත්ත"
"ඇහැලේපොළ කුමාරි හාමි අදටත් මේ වැව් පතුලේ ඉන්නවා ඇති නේද නිශානි"
නිශානි මන් දිහා බැලුවා.එ බැල්මේ මොන විදිහේ හැගීමක් තිබ්බද කියලා මන් දන්නේ න.මොකද මන් හිටියේ වැව දිහා බලාගෙන.
"ඒ කොයි කාලෙද බන්.දැන් මොන හාමිලාද මේකේ?"
"ඒත් එක ගෑනියෙක්.තමන්ගෙ පවුල වෙනුවෙන් විලාප තියපු.එදත් එහෙම අය ඉදලා තියෙනවා."
"සූ මේ මේ ඔන්න ඉතින් ඕන නැති ඒව හිතලා මූන නරක් කරගන්නෙපා ඒ පාර"
"නෑ නිශානි ඒක එහෙම නෙමේද ?"
"ඒක එහෙමද කොහොමද කියලා මන් දන්නෑ.. මේ මන් අර දෙන්නට කතා කරනවා ඔයා ඕන නැති ඒව ගැන ආයෙම කියෙව්වොත් හොදද?"
මට මගේ කදුලු හන්ගගන්න උදව් කරපු නිශානි එදත් මගේ කදුල නවත්ත ගත්තා.
"හරි හරි කැම්පස් එක හරි ලස්සනයි නේ.?"
"ඔව් මට හිතුනා අනේ සහන් එක්ක පේර එන්න තිබ්බනම් මරු කියලා.ඒත් ඉතින් කොහෙද මෙයා ඉතින් මට වඩා අවුරුදු ගානක් ලොකු අයියෙක් වෙලා නේ."
"හි හි එක තමයි නේද?"
"ඔයාට හරි එන්න තිබ්බේ සූ"
"අනේ මන් මෙහෙ ආවනම් මට රොහාන්ව හම්බෙන්නෑනේ."
"ආ ඇත්තද?"
"ඔව් රොහාන් මගේ ජීවිතේට ආපු එක මට හැමදේටම වඩා වටිනවා"
"හා හා ඒ බවනම් මට පේනවා දැන්"
අපි ගොඩාක් හිනා වුනා.අමතක කරන්න බැරි දවසක් ජීවිතේ පිටු අතර ලියවිලා තිබ්බා.
-------- නැවතත්---------
Wednesday, June 17, 2015
බැම්මට ඉන්ටවල්...
හද ටාගට් කරලා තරු අතරට වැටුනට මොකද හරි හමන් විදිහට තරු ගනින්නේ දැන්..සරලව කිව්වොත් දත් ගලවන්න පටන් ගත්තේ අපි දැනුයි.ඉතින් ඒ ඩිපාර්ට්මන්ට් එකේ මාසයක් ඉන්නෝන.8ට ගිහින් ඉවර වෙන්නේ හවස 6ට.හොස්ටල් එන්නේ ඇද බලාගෙන.
ඇවිත් වොශ් දාලා ඇදට වැටුන ගමන් ඉතින් පුදුම සැපක් තියෙන්නේ.ඒ වෙලාවට හීනෙන් වගේ වලාකුලු බැම්මත් මතක් වෙනවා.ඒත් ඉතින් ලැප් එක අරගෙන නෙට් ගිහින් එක විදිහකට ඉදන් ලියන්න හෙනම කම්මැලි.නැපක් දාලා නැගිට්ටත් ලෙක්චර් නෝට් එකක් එහෙන් මෙහෙන් බලනවා මිසක් ඉතින් වලාකුලු බැම්ම මතක් වෙන්නෙත් නෑ..
ඒ හින්දා පොඩි ඉන්ටවල් එකක් දුන්න ඒ බැම්මට.තව සතියකින් දත් ගලවන මාසේ ඉවර උනාම ආයෙත් ලියන්නම්.එතකන් පොඩි ඉන්ටවල් එකක් දුන්නා ඔන්න....
ඇවිත් වොශ් දාලා ඇදට වැටුන ගමන් ඉතින් පුදුම සැපක් තියෙන්නේ.ඒ වෙලාවට හීනෙන් වගේ වලාකුලු බැම්මත් මතක් වෙනවා.ඒත් ඉතින් ලැප් එක අරගෙන නෙට් ගිහින් එක විදිහකට ඉදන් ලියන්න හෙනම කම්මැලි.නැපක් දාලා නැගිට්ටත් ලෙක්චර් නෝට් එකක් එහෙන් මෙහෙන් බලනවා මිසක් ඉතින් වලාකුලු බැම්ම මතක් වෙන්නෙත් නෑ..
ඒ හින්දා පොඩි ඉන්ටවල් එකක් දුන්න ඒ බැම්මට.තව සතියකින් දත් ගලවන මාසේ ඉවර උනාම ආයෙත් ලියන්නම්.එතකන් පොඩි ඉන්ටවල් එකක් දුන්නා ඔන්න....
Sunday, May 24, 2015
****වළාකුලු බැම්ම **** (12)
එදා රෑ මන් නිශානිට හැම දේම කිව්වා.නිශානි කිව්වේ හදිස්සි වෙන්නෙ නැතුව හොදට හිතලා බලලා තීරණය කරන්න කියලා.මොකද එයා දන්නවා කොච්චර කාලයක් මන් දුක් වින්දද කියලා.රොහාන් ගැන මටත් අමුත්තක් නොහිතුනම නෙමේ.ඒත් ඒ හැගීම ආදරයක් තරම් දෙයක් ද කියලා මන් දැනගෙන හිටියෙ නෑ.ඒක එහෙම වුනත් මට එහෙම ආදරේකට අයිතියක් තියෙනවද කියලත් මට හිතුනා.
එදා ඉදලා රොහාන් හුගක් වෙලාවට වැඩ ඉවර උනාම මාව ගෙනත් ඇරලුවා.ඒ අතර මගදි එයා මගෙන් අහපු දේට උත්තර ඉල්ලුවත් මන් අදි මදි කරන කොට ඒක එයාම මග ඇරියා.මාස තුන හතරක් විතර අපි අතරේ එහෙම කිසිම දෙයක් කතා උනේ නෑ.මාව ඇරලවන්න ගෙදරට එන නිසා රොහාන් නිශානි එක්කත් හොදට යාලු වුනා.ඒ හින්දම රොහාන් හොද කෙනෙක් කියලා නිශානි මට හැමවෙලේම කිව්වා.ඒ වගේම තමයි ඒ මාස ටිකේදි රොහාන් මන් ගැන ඔක්කොම වගේ දැනගත්තා.රොහාන් ගැනත් එහෙම්මමයි.මන් ගැන දැන් ගත්තට පස්සෙ එයා මට අනුකම්පා කරන්නත් ඇති.ඒත් ඒ ගැන පෙන්නුවේ නෑ.එයා හැමදාම නිශානි වගේ මන් කියන හැමදේම අහගෙන ඉදලා මගේ හිත හැදුවා.ඒ හැම තැනදිම එයාගේ ආදරේ මට දැනුනා.ඉතින් එහෙම තියෙද්දි මටත් ආදරේ නොකර ඉන්න බැරි උනා.ඒත් අපි දෙන්නට රොහාන්ගෙ ගෙදරින් අකමැති වෙනවා කියලා දන්න හින්දා මන් මගේ ආදරේ හිතේම තියෙන්න ඇරියා.
එක දවසක් රොහාන් බෑන්ක් එකට ආවෙ නෑ.වෙනදානම් එන්නැති උනාම මට කිව්වා.ඒත් එදා මට කිව්වෙවත් නෑ.ඒ දවස් වෙද්දි අපේ බෑන්ක් එකේ කට්ටිය දැන ගෙන හිටියා රොහාන් මට කැමති කියලා.ඉතින් එදා එයාලත් මගෙන් ඇහුවා සර් කෝ කියලා.ඒත් මන් දැනන් හිටියෙත් නෑනේ.මොනවා වුනත් එදා මට මහා අමුත්තකුත් දැනුනා.හරියට රොහාන්ට මොකක් හරි කරදරයක් වෙලා වගේ.
ලන්ච් අවර් එක වෙනකන් බලන් හිටියා පණිවිඩයක් එයිද කියලා.ඒත් නැති හින්දා රොහාන්ගේ කාර්ඩ් එකේ තිබ්බ නම්බර් එකට මන් බෑන්ක් එකේ ෆෝන් එකෙන්ම කෝල් එකක් ගත්තා.
"හෙලෝ" කතා කලේ ගෑනු කෙනෙක්.හිත ටිකක් ගැස්සුනා වගේ මතකයි.
"මිස්ටර් රොහාන් ප්ලීස්"
"කවුද කතා කරන්නේ?රොහන්ට කතා කරන්න නම් වෙන්නේ නෑ.එයාට පොඩි කරදරයක් වෙලා"
මට එක පාරටම ඉදගෙන හිටපු පුටුවෙන් නැගිට්ට උනා.
"ඇයි මොකද වෙලා තියෙන්නේ?"
"රොහාන් අද උදේ බෑන්ක් එකට එද්දි පොඩි ඇක්සිඩන්ට් වෙලා.හොස්පිටල් එකේ ඉන්නෙ දැන්"
"මොන හොස්පිටල් එකේද?ගොඩාක් අමාරුද?"
මට ඇඩෙන්න වගේ උනා.ඒක අහපු ගමන් මට ඕන උනේ ඉක්මනටම ගිහින් රොහාන්ව බලන්න.
"නව ලෝක හොස්පිටල් එකෙ.න එච්චර අමාරු නෑ.මේ මිස් කවුද?"
ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට ඕන කමක් තිබ්බෙම නෑ.මන් ෆෝන් එක තිබ්බා.මන් හදිස්සියෙම කොහෙද යන්න හදනව දැකපු නයෝමි මගේ ළගට ඇවිත් හේතුව අහද්දි මන් කිව්වේ කතා කරන්න වෙලාවක් නෑ නයෝමි මන් ගිහින් එන්නම් කියලා විතරලු.මට පාසේ නයෝමිමයි ඒක කිව්වේ.කොහොම් හරි එදා නයෝමිත් මාත් එක්ක ආවා.
රොහාන් හිටපු රූම් එක හොයාගෙන් අපි යනකොට රූම් එකේ කවුරුවත් හිටියේ නෑ.රොහාන්ට නින්ද ගිහින් තිබ්බා.ඔලුව වටේට බැන්ඩේජ් එකකින් ඔතල තිබ්බා.තව දකුණු අතේ තැනින් තැන ප්ලාස්ටර් අලවලා තිබ්බා.කවදාවත් නැති විදිහට හොස්පිටල් එකේ ඇදක් උඩ රොහාන් එහෙම ඉන්නවා දැක්කම මට වාවගන්න බැරි උනා.මට අමතක උනා මන් ආවේ නයෝමි එක්ක කියලා.මන් ගිහින් ඇද ළග තිබ්බ පුටුවෙන් වාඩි වෙලා රොහාන්ගේ දකුණු අතින් අල්ල ගත්තා.කොහෙදෝ මන්දා තිබ්බ ලොකූ කදුලු ගුලියක් මගේ ඇස් දෙකෙන්
එලියට පැන්නේ ලොකුම ලොකු ඉකියකුත් එක්ක.රොහානුත් ගැස්සිලා ඇහැරුනා.මාව දැකපු ගමන් රොහාන් ගොඩාක් සතුටු උනා.එයා හරිම අහින්සක විදිහට හිනා වුනා.ඒ හිනාව මාව තවත් අසරණ කරා.
"අඩන්න එපා සුලෝ.එච්චර අමාරුවක් නෑ මට" රොහාන් හෙමීට ඒ වචන ටික කියද්දි මන් ඒ මූණ දිහාම බලාගෙන හිටියා.
"මන් ගොඩාක් බය උනා රොහාන්."
"ඇයි ඔයා බය උනේ.මන් මැරෙයි කියලා හිතුවද?"
"අනේ දෙයියනේ මොනාද ඔය කියන්නේ.මාව දාල ඔයාට කොහෙවත් යන්න බෑ"
"සුලෝ..."
"ඔව් රොහාන් යන තැනක යන්නොන අපි දෙන්න එකට"
"ඕ මයි ගෝඩ් සුලෝ ඒ කියන්නේ.."
"ඒ කියන්නේ මන් ඔයාට ආදරෙයි රොහාන්.මට තවත් මේක හිර කරගෙන ඉන්න බෑ"
මන් නොකියා ඉන්න බවට හිතට පොරොන්දු දීපු දේ මටත් නොදැනිම මන්ම රොහාන්ට කියලා.එවෙලේ රොහාන්ගේ මූණේ තිබ්බ සතුට මට තාම මතකයි.රොහාන් අමාරුවෙන් නැගිටින්න හැදුවා.
"සුලෝ ඔයා දන්නවද අද තමා මන් ජීවිතේ අහපු ලස්සනම දේ ඇහුවේ"
"එක්ස්කියුස්මි සුලෝචනා මන් එළියෙන් ඉන්නම් ඔයා එන්න" නයෝමි එහෙම කියලා එළියට ගියේ එවෙලේ එතන උන දේ ගැන හොදටම තේරුම් අරගෙන වෙන්න ඇති.
"හ්ම්ම්"
"මාස ගාණක් මට හැමදේම නැති කරලා මෙතන"
"හැමදේම කිව්වෙ?"
"හැමදේම කිව්වේ මට නින්ද නෑ.හරියට කන්න බොන්න බෑ.වැඩක් කරන්න බෑ එක විදිහකට"
"මන් හින්දා?"
"ඔව් ඔව් ඔයා හින්දා තමා"
"හරි ඉතින්"
"මොනා වුනත් අන්තිමේදි මගේ කෙල්ල මට ලැබුනනේ"
රොහාන් එහෙම කියලා වම් අතින් මගේ කම්මුලක් මිරිකුවා.
අපි දෙන්නා පැයක් විතර කතා කර කර හිටියා.ගොඩාක් හිනා වුනා.කවදාවත් දැනුනෙ නැති හැගීම් ගොඩාරියක් හිතේ පෙරළි පෙරළි තිබ්බා.ඒ හැගීම අස්සේ ආදරෙත් මහ ගොඩාක් තිබ්බා.
කෑම පැය පහුවෙලත් පැයකුත් ගිහින් තිබ්බ හින්දා මට යන්න උනා.මන් යද්දි රොහාන් අතින් එයාගේ නළල පෙන්නුවා.දෙපාරක් නොහිතම මන් අපේ ආදරේ පළවෙනි හාදුව රොහාන්ගේ නළල උඩින් හරි පරෙස්සමට තිබ්බා.මන් දැනගෙන හිටියා රොහාන් හාදුව හැමදාම පරෙස්සම් කරගන්නවා කියලා.ඒ ගෙවුන තත්පරය රොහාන්ගෙයි මගෙයි ජීවිතවල තදින්ම සටහන් වුනා.
රොහාන්ට සමු දීලා මන් එළියට එද්දි නයෝමි මන් දිහා හිනා වෙවි බලා ගෙන හිටියා.මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුනා කියලා එදා හැමෝම දැනගත්තා.
-------- නැවතත්---------
Saturday, May 23, 2015
ඒකත් සැපකි...
මගේ විලේ උන්නු ගෙම්බො
ගෙම්බියො ටික යාලු කරන්
ඒ මදිවට විලේ තියෙන
නෙලුම් කොළත් අයිති කරන්
එහා විලෙන්වත් හොයලා
අරන් වරෙන් හනික කෙනෙක්
කින්ඩි දානකොට යාලුවො
දෙන්න හිතෙනො පයින් දෙකක්
හිතේ අමාරුවෙන් ඉද්දි
ඇහැ ගැටුනා මරු බඩුවක්
සෝබන බින්දුවක් ඉතිරි
බ්ලැක් ලේබල් බෝතලයක්
රටක් වටින ඒ බින්දුව
දාගත්තා දිවෙන් අරන්
සුර ලෝකය පෙනි පෙනි රෑ
නැටුවා ඉතින් සුරා මතින්
දිලිසි දිලිසි රන් පාටට
එනු දුටුවා ඈත ඉදන්
ගෙබි කුමරගේ කතාවෙ එන
රන් බෝලය වගේ එකක්
මගෙ ඉරණම විසදන්නට
කුමාරියක් ඔය පස්සෙන්
ෂුවර් එකට එනවා ඔන්න
මහ පාරට පැන්නා මන්
පැන්න ගමන් වෙරි හිදුනා
ඇග තැලුවා රබර් කදක්
ඒත් ඉතින් සැපක් දැනුනා
ස්කූටියේ කුමාරියක්...
Subscribe to:
Posts (Atom)





