Friday, February 20, 2015

^^^^කැන්ටින් එක^^^^



"තාම එකොලහා මාරයි නේ වෙලාව.දොළහටම කමු.බඩගිනිත් නෑනේ."

"එතකොට කට්ටිය පිරෙනවානේ"

"කට්ටිය එනකොට කෝමත් දොළහා පහු වෙනවනේ..අපි දොළහට යන්"

දොළහට කලින් අපේ වැඩ ඉවර උන වෙලාවට අපේ අය කරන්නේ ඉක්මනටම කැන්ටින් එකට ගිහින් දවල්ට කන එක.නැත්තන් හැම බැජ් එකකටම ඉවර උනාම කැන්ටින් එකේ ලොකු පෝළිමක් හැදෙනවා.ඊට කලින් නිදහසෙ කාලා කැන්ටින් එකෙන් ගිහින් ඔහේ කියෝ කියෝ ඉන්න එහෙමත් නැත්තන් ලයිබ්‍රි එකට ගිහින් බොගන්න තමයි අනිත් අයට ඕන කලේ..

ඒත් එක්කෙනෙක්ට ඕන උනේ අනිත් හැමෝම එනකන් ඉදලා කැන්ටින් එකට යන්න.මොකද ඒ හැමෝම අතරෙ එයාට ඕන උනා එයා හොයන ඇස් දෙක දකින්න.

"දොළහට පහයි අපි යමුද?" එහෙම අහන්නෙ එයාගෙ යාලුවා.

"හා යමු"

 ඉතින් එයා එයාගේ යාලුවත් එක්ක කැන්ටින් එකට යනකොට දොලහ පහුවෙනවා.හිතපු තරම් පෝළිමක් නැති උනත් තරමක පෝළිමක් තියෙනවා.සෙනග අඩු පෝළිමක් බලලා ඒ දෙන්නත් හිට ගන්නවා.පෝළිමේ ඉදගෙන වට පිට බලන්න බැරි නිසා එයා කොහොම හරි ඉවසගෙන ඉන්නවා  ඒ ඇස් දෙකේ අයිති කාරයව (අපි X කියමුකො) දකින්න .

ඉතින්..,

..............



සමහර දවසට.,

එයා එහෙම පෝළිමේ  ඉදන් එලිය බලන්  ඉද්දිම යාලුවො එක්ක හිනා වෙවි X ලැබ් කොර්ට් එකත් දාගෙන හොස්පිටල් එකෙන්(අපෙ හොස්පිටල් එක කැන්ටින් එක ළගනේ තියෙන්නේ)එනවා දකිනවා..

සමහර දවසට.,

එයා ඉන්න පෝළිමට එහා පෝළිමේ එයාට කලින් X ඇවිත් ඉන්නවා දකිනවා.,

සමහර දවසට.,

එයා ඉන්න පෝළිමට ලගම පෝළිමේ එයා ළගින්ම X ඇවිත් හිටගෙන ඉන්නවා දකිනවා.එතකොටනම් වචනයක් දෙකක් කතාත් කරනවා.,
...............

ඊට පස්සෙ එයයි එයාගේ යාලුවයි කෑම එකත් අරගෙන ඉඩ තියෙන තැනක් බලලා ඉද ගන්නවා.උදේ කරපු වැඩයි හවස කරන්න තියෙන වැඩයි තව කාගෙ හරි ඕපෙකුයි කියෝ ගෙන එයාල කෑම කනවා.ඒ අතරෙ එයා X ව හොයන්න ගන්නවා.

සමහර දවසට.,

එයා කන්න ඉද ගන්න මේසේට කෙළින්ම පේන තැනක X ඉදගෙන කනවා දකිනවා.(කොකා කෝලා එකකුත් මේසේ උඩ)

සමහර දවසට.,

එයාව දැක දැකත් නොදන්නවා වගේ ගිහින් X වෙන තැනකින් ඉද ගන්නවා දකිනවා.

සමහර දවසට.,
එයා කකා ඉන්නකොට X කැන්ටින් එකට එනවා දකිනවා.එයාව දැක්කොත් හිනා වෙලත් යනවා.

සමහර දවසට.,

එයා කන්න පටන්ගන්නකොට X කාල බීල ඉවරත් වෙලා රජ වීදියේ ඉදගෙන යාලුවොත් එක්ක කියෝ කියෝ ඉන්නවා දකිනවා.

...............

කොහොම හරි ගන්න පුලුවන් උපරිම වෙලාව අරන් කාලා යාලුවත් එක්කම නැගිටලා යනවා අත සෝදන්න.සීමාවක් නෑ එයාගේ ඇස් දෙකට ඉතින් එතනත් X ව හොයන්නවා.

සමහර දවසට.,

එයාට කලින් කාලා ඉවර වෙලා X ඇවිත් වතුරත් බීලා යනවා දකිනවා.එයාව දැක්කොත් හිනාත් වෙනවා.

සමහර දවසට.,

එයා අත සෝදන සින්ක් එකට එහා සින්ක් එකෙන් එයත් අත සෝදනවා දකිනවා.එතකොටනම් ටිකක් කතා කරනවා.යන්නම් කියලත් යනවා.

......................

ඊට පස්සෙ එයාට Xව හොයාගන්න එක ටිකක් අමාරු වෙනවා.ඒහින්දා හිතයි බඩයි පුරව ගෙන එයා යාලුවා එක්ක කැන්ටින් එකෙන් එළියට එනවා.

ඒත් .,
ඒ ඒ දවස් වල.

දැන් එයාට X එනක්න් බලන් ඉන්න වෙන්නෙත් නෑ.X කොහෙද කියලා හොයන්න වෙන්නෙත් නෑ.මොකද X ඒ කැන්ටින් එකට එන්නෙ නෑ ආයෙම.ඒ මතක විතරක් එයාට ඉතිරි කරලා X යන්න ගිහින්.

X හිටපු තැන් කියපු කරපු දේවල් හිනා වුන හැටි ඒ මතක එක්ක ඊළග අවුරුදු දෙක එයාට තනියම ඉන්න වෙනවා.ඔව් එයා ඉදීවි.. ඒ ඇස් ළග නොහිටියත් ඒ ඇස් එයා දිහා බලලා හිනා උන හැටි එයා එක්ක කතා කරපු හැටි කාටවත්ම හොරා ඒ මේස පුටු එයා ඒ කැන්ටින් එකට අඩිය තියන හැම මොහොතම එයාට මතක් කරලා දේවි..ඉතින් ඒ ඇති වෙයිද එයාට මේ අවුරුදු දෙක ගෙවන්න??

Wednesday, February 11, 2015

උදෙන්ම නුවර බලා



පහමාරට නැගගත් විට

දහය වෙද්දිවත් බහින්න

නුවරට යන බස් එකකට

ඇවිත් ගොඩ උනා


 

සෙනග ටිකක් පිරිලා හින්දා

ජනේලයක් හම්බුනෙ නෑ

ඔන්න ඔහේ තිබ්බ තැනක
වාඩිය ගත්තා

 

ටිකට් අරන් ඉවර කරන්
හරි බරි ගැහිලා ඉදගෙන
නින්දෙන් මිස් උන පැය ටික
නිදන්න හිතුවා

 

හිතපු ගමන් ඒ අදහස
ලොප් කරමින් යකඩ කටක්
රිදම් නයිට් කියලා පිස්සු
නටන්න ගත්තා

 

ඒ සද්දේ ඉවසා ගෙන
ඉන්න පුරුදු උන ගමන්ම
කෙලින් ඉන්න බැරි මිනිහෙක්
ජැක් එක ගැහුවා

 

එක පාරක් මූණ බලලා
ඉස්සරහට යනවකෝ කියලා
ඒ වදෙනුත් යාන්තමින්
මිදෙන්නට උනා

 

එහා පැත්තේ හිටපු සීයා
ඔහොම තමයි පුතෙ ඉතින්
මෙන්න මේ කොනට එන්න
කියලා කීව්වා

 

අනේ සීයේ කමක් නැද්ද
ස්තූති උදව්වට
එහෙම කියලා සැනසිල්ලේ
නිදන්නට උනා

Sunday, February 1, 2015

කාගෙන්ද මන් අහන්නේ..??


 

"පන්චු දොර අරින්න.. පන්චු ඉක්මනට"
"සදුන්.. නී..??? අයියෝ අම්මා මොකද උනා??කොහෙද මෙච්චර කල් හිටියා??"
"කතා කරන්න වෙලා නෑ පන්චු.අද රෑට හමුදාව මෙහෙට ඇටෑක් කරන්න ඉන්නෙ.මට ඕන ඔයයි පුතයි ඉක්මනටම මෙහෙන් පිට කරන්න."
"අයියෝ සදුන් එතකොට ඔයා..?"
"මටත් අද ඒ මිෂන් එකට යන්න වෙනවා.දැනටමත් මාව හොයනවා ඇති පන්චු.අපේ මේජර් ජෙනරල් හවස් වෙනකොට අපේ කෑම්ප් එකට එනවා කිව්වා.හිතන තරම් ලේසි වෙන එකක් නෑ පන්චු අද.සමහරවිට මන් අද මේ ඔයාව දකින්නේ අන්තිම වතාවට වෙන්න ඇති"
"සදුන්.."
කියගන්න බැරි උනාත් මොකද්ද අමුත්තක් මටත් දැනුනා.මන් එයාව බදාගත්තා.එයාත් මාව වෙනදට වඩා හයියෙන් බදාගත්තා.ඒ හැගීම දරාගන්න මට හයියක් කොහොම ආවද කියලා මන් දන්නෑ.ටික වෙලාවකින් එයා එයාගෙ අත් දෙකෙන් මගෙ මූණ අරගෙන මගේ නළලට සමුගැනීමේ හාදුව දුන්නා.මට මතක නෑ එවෙලේ කාගෙ ඇස් දෙකේද වැඩිපුරම කදුලු තිබ්බෙ කියලා.මොකද ඒ තරමටම අපි දෙන්නම ඇඩුවා..
"පන්චු ඔයා දැන්ම පුතත් එක්ක අපෙ අම්මලාගෙ ගෙදර යන්න."
"මට බෑ ඔයාව දාල යන්න..මන් මැරෙන්නම් ඔයා එක්කම.අයියෝ කඩවලේ ඔයා නැතුව මන් ජීවත් වෙන්න බෑ"
"අහන්න පන්චු ඔයා හිතන්න ඕන අපේ පුතා ගැන.අපිට මැරෙන එක ලේසි උනාට අපේ පැටියා එහෙම නෑ..එයා ජීවත් වෙන්න ඕන"
"අයියෝ සදුන් ඔයා මොකද්ද මට කරන්න කියනවා??"


"මේකයි පන්චු.දැන්ම පිටත් උනොත් ඔයාට 2ට ටවුමෙන් කොළබ බස් එක තියෙනවා..ඒක ගන්න.කොටුවට ගිහින් නුවර බස් එක අරන් අපේ අම්මලාගේ ගෙදර යන්න.මන් ඇඩ්‍රස් එක ලියලා දෙන්නම්.මේ කිසිම දෙයක් කාටවත් කියන්න එපා මන් ලගදිම එනවා කිව්වා කියන්න"
එයාම කාමරේට ගිහින් මගේ ඇදුම් ටික බෑග් එකට දැම්මා.කිසිම දෙයක් අදහ ගන්න බැරිව හිටපු මන් ඇද විට්ටමට හේත්තු වෙලා ඇඩුවා.දිගටම ඇඩුවා.සදුන් තව මොන මොනාද මන්දා කියෙව්වා.මට ඒ මුකුත් ඇහුනේ නෑ.මන් දැක්කේ පිස්සුවෙන් වගේ මුලු කාමරේ පුරාම එහාට මෙහාට දුවන මගේ රත්තරන්ගේ ඒ මූණ විතරයි.

එයා මෙහෙ ඩියුටි එනකොට මන් හිටියේ කෝවිල ළග මල් කඩේ.අම්මයි අප්පයි නැති උන දවස් වල ඉදන් පෙරිඅප්පා දාල දීපු මල් කඩෙ වැඩ කරගෙන මන් හිටියේ.කෝවිලට දවසක් ලොකු සින්හල ඇමති කෙනෙක් එනවා කියලා දවස් දෙකකට විතර කලින් ඉදලා හමුදාවෙන් හතර වටේටම දාලා හිටියා.මගේ මල් කඩේ ළගත් හතර පස් දෙනෙක්ම හිටියා.ඒ එක්කෙනෙක් තමයි සදුන්.ඒ දවස් දෙකට එයා මා එක්ක ගොඩාක් යාලු වුනා.අපි ගොඩාක් දේවල් කතා කලා.මන් එක්ක කතා කරනකොට එයාගේ යාලුවො සමහර අය විහිලු කලා සමහර අය එයාට තර්ජනයත් කලා.කොහොම හරි ඇමති එන දවසෙ මට කඩේ වහන්න උනා.ඊට පස්සේ පහුවෙනිදා එයා හිටියේ නෑ.එයා ගැන විස්තරයක් දැන ගන්න හමුදාවෙ කවුරුවත් හිටියෙත් නෑ.
ඒත් මාසෙකට විතර පස්සෙ ආයෙම එයා ආව.ඇවිත් වෙන කිසිම දෙයක් කිව්වෙ නෑ.එයා කිව්වේ මට ඔයා එක්ක හැමදාම ඉන්න ඕන කියලා විතරයි.අදටත් ඒ මොහොත මට මැවි මැවි පේනවා.අකැමැත්තක් නොතිබුනත් මන් එයාට කිව්වේ ඇවිත් පෙරිඅප්පගෙන් අහන්න කියලා.එයා එදා හවසම මාත් එක්ක පෙරිඅප්පා හම්බ වෙලා මේ ගැන කතා කරා.මහා ලොකු සල්ලියක් තිබ්බෙ නැති හින්දා පෙරිඅප්පටත් ඕන උනේ මගෙන් ඉක්මනට නිදහස් වෙන්න..ඉතින් ඊට හරියටම මාස දෙකකට පස්සෙ අපි දෙන්න පෙරිඅප්පත් එක්කම ඒ ගෙදර ජීවත් උනා.

 

"පන්චු මෙන්න මේ ඇඩ්‍රස් එකට යන්න"කියලා එයා කොලේක ඇඩ්‍රස් එක ලියලා ඒ කොලෙත් බෑග් එකට දැම්මා.
"පන්චු බබාගේ ඇදුම් ටිකත් දාගන්න ඉක්මනට නැත්තන් බස් එක..."
එයාට මන් තවත් කතා කරන්න දුන්නෑ.මන් ගිහින් ආයෙම සැරයක් එයාව බදාගත්තා.
"යන්න එපා සදුන්..මට බෑ ඔයා නැතුව ඉන්න.."
"අහන්න පන්චාලි...එළියේ වෙන දේවල් ඔයා දන්නේ නෑ.මේ දවස් වල හමුදාවට පස්ස ගහන්නැතුව ඉස්සරහටම යන්න කියලා ඕඩර්ස් හම්බෙලා තියෙන්නේ.ඉතින්  පන්චාලි මන් කියන දේ අහන්න හොද ළමයා වගේ..පුතත් එක්ක යන්න..මන් එන්නම්..ඔයාවයි පුතාවයි බලන්න ආයෙම එන්නම්."
"පොරොන්දු වෙනවද මට?"
"හ්ම්ම්..... පන්චු බබාගේ ඇදුම් දාගන්න ඉක්මනට ආ මෙන්න බෑග් එක" එයා කතාව මග අරින්න උනා.ආයෙම ඒ දේ අහන එකෙන් හිත රිදෙන්නෙ අපි දෙන්නගෙම හින්ද මන් බබාගේ ඇදුම් ටික බෑග් එකට දාගත්තා.

.................
 "මේ මොකද මෙහෙ? කෝ මගේ කොල්ලා"
"අම්මේ එයා ටික දවසකින් එන්නම් කිව්වා."
"ඇත්ත කියපන් ඌව එහෙ මැරෙන්න දාලා මෙහෙ ආවෙ මන් උඹවයි මේ අතදරුවවයි බාරගනී කියලා හිතලද?"
"අයියෝ අම්මා..ඒම කියන්නෙපා.සදුන් කියපු නිසා මන් ආවේ.මන් මෙහෙ කාවවත් දන්නෑ අම්මා..මට සමාවෙන්න"
"දැන් කෝ මගේ කොල්ලා?"
"එයාට ඊයේ ලොකු මිෂන් එකක් තිබ්බා.ඉතින් එක දරුණු වැඩි නිසා අපිට මෙහෙ එන්න කිව්වා..එයාට ඕන උනේ එයාගෙ පුතාව බේරගන්න අම්මා"
ඇත්ත කියන්න එපා කිව්වත් මට ඒ අම්මා ඉස්සරහ ඇත්ත නොකිය ඉන්න බැරි උනා.මන් වගේම එයත් පුතෙක් වෙනුවෙන් අඩන අම්ම කෙනෙක්. ඉතින් මාව එලෙව්වත් කමක් නෑ කියලා හිතලා මන් ඇත්තම කිව්වේ මාව බාර නොගත්තත් අපෙ පුතාවවත් බාරගත්තොත් ඇති කියලා හිතා ගෙන.සදුන්ට ඕන උනෙත් ඒදෙම නිසා.
"උබව බැදගත්තු දවසෙ ඉදන් මගේ පුතා මේ ගෙදරට එක අඩියක් තිබ්බෙ නෑ..එහෙව් එකේ උබ ඇවිත් ඕවා කිව්වම මන් උබව බාරගන්නොනද?උඹත් එපා මට උබේ ළමයත් එපා"
සදුන්ගෙ අම්මා එහෙම කියලා මගේ මූණටම දොර වැහුවා.කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරිව ඉද්දි සදුන්ගෙ තාත්තා කොහෙද ඉදන් ගෙදර ආවා.
"මේ ළමයා කවුදා?"
"අප්පා මන් සදුන්ගේ.."
"ආ දුවද ..යමු ඇතුළට ඇයි මේ දොර වහලා කතා කරලා බලුවෙ නැද්ද?"
"එපා අප්පා.... මන් යනවා.."
"ඇයි දුව අම්මා මොනා හරි කිව්වද?"
මට ඇඩුනා..අම්මට දුක ඇති අප්පා.මන් ඇවිත් තවත් දුක් දෙනවා.
"ඔයා ඔහොම ඉන්න මන් කතා කරන්නම් අම්මට"

.....................................

දවස් දෙකක් අප්පගේ මැදිහත් වීමෙන් රණ්ඩු සරුවල් දුරදිග නොයා නැවතුනා.අම්මා මට බනිනකොට ඒවා අහගෙන ඉන්න එක ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.මට හැමවෙලේම හිතුනේ සදුන් කියන්නේ මගේ වගේම අම්මගේත් පණ.සමහර විට අම්ම මට වඩා සදුන්ට ආදරෙ කරනවා ඇති.ඒ හැගීම නිසා හැමවෙලේම මන් නිහඩ උනා.

"මැණිකේ මෙන්න ප්‍රවෘත්ති යනවා"
"ටිකක් සද්දේ වැඩි කරන්න මන් උයනවා"
අප්පා ටිවි එකේ සද්දේ වැඩි කරද්දි මන් ගිහින් පුතත් එක්ක ටිවි එක ඉස්සරහ බිමින් වාඩි උනා.


"පෙරේදා පුදුකුඩිරුප්පු ප්‍රදේශයේ සිදුවූ දරුණු සටනකින් පසු හමුදාව එම ප්‍රදේශය සිය පාලනයට නතු කර ගනුලැබුවා.එහිදී මිය ගිය සෙබලුන් අතරින් දිගු දුර වෙඩික්කරුවන් වන චාමර හපුතන්ත්‍රි  සහ සදුන් රාජකරුණා යන සෙබලුන්ද වන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේය"

"සදුන් ...මයෙ අම්මා......." ළග හිටපු පුතාව තුරුල් කර ගෙනම පාදාන්තයේ සිට සෑම නහරයක් පාසම රිදුම් දුන් ඒ වේදනාව මගේ මුලු ගතම හිරි වැට්ටුවා කියලා මතකයි..ඒත් එක්කම අම්මගෙ විලාපයත් එක පාරටම ඇහිල නැතිඋනා වගේ මතකයි.

...........

අප්පා ඇරෙන්න අම්මගේ මල ගෙදර ආපු හැමෝම මන් දිහා බැලුවේ මහා අමුතු විදිහට.මහා අපරද කාරයෙක් දිහා බලන විදිහට.මන් මොනා කරන්නද කඩවලේ.සදුන්ගෙ මරනෙට අම්මගේ මරනෙට එකම  වැරැද්ද මන් සදුන්ට ආදරය කරපු එකද..සදුන් මන් මොකද්ද අපේ පුතාට කියන්නේ ඔයාගේ අප්පා යුද්දෙදි එයාගේ ජාතිය වෙනුවෙන් සටන් කරලා දිවි පිදුවා කියලද ? නැත්තන් මේ මිනිස්සුන් කියන විදිහට ඔයාගේ අප්පා නැති වුනේ මගේ ආදරේ හින්දද?

Monday, January 26, 2015

දින 100..

 

 

එක දවසක් හිත රහසින් මුමුණ මුමුණ මෙහෙම කිව්වා
දැක්කද මේ ළගකදි අර ලන්කාවේ ඡන්දෙ තිබ්බා
ඒකාධිපතිලු ඒ හිටියේ ඔහුව ගෙදර යැව්වා කිව්වා
යහ පාලනෙ රජ කොරන්න ගොවියෙක් රට බාර ගත්තා

 

ඉතින් අනේ මට මොකටද ඔයා ඉතින් ඕක කියලා
මන් ඇහුවා හිතෙන්ම වෙන වැඩ නැතිවද ඔහෙට කියලා
ටිකක් තරහා ගිහින් වගේ හිතත් ඉතින් මෙහෙම කිව්වා
මටත් ඕන යහ පාලනෙ මගේ රජා ගෙදර යවලා
 

හිත කිව් දේ ඇසූ සැණින් එක පැනයක් මට නැගුනා
තාම රැයක් ගෙවුනේ නැද්ද ආප්පෙකට වගකියලා
ඔහෙගෙ රජා පරදවන්න ලේසි වේවි යැයි කියලා
හිතුවේ ඇයි මොනාද ඔහෙ කරන්නෙ රජකම ලැබිලා

 

බයවෙන්නෙපා දින සීයක පොරොන්දු ටික මන් හැදුවා
විධායකය ඉවත් කොරලා මොළයට දෙන්නට සිතුවා
හැගීම් මතක හීන වලට ඉන්න ඇමතිලාව කපලා
එකම ධූරයක් හදනවා යාතර්තෙ ලෙස නම් කරලා

 

මනෝ ගහලා වැය කරවපු ජාතික තත්පර හොයලා
අල්ලස් කොමිසමට දෙනවා දිනත් එක්ක ගාන හදලා
වැල්ලේ හදපු රජ මාලිග කීයක් තියෙනවද කියලා
හොයන්න මන් බාර දෙනවා ලගදි ආපු නැවට නැගලා


 

හපොයි හපොයි ඔය ඇති දැන් තව පැනයක් මට නැගුනා
දින සීයක් ඔය විදිහට ගියා කියලා මන් හිතුවා
ඊට පස්සෙ මොකද වෙන්නේ තව පොරොන්දු නැතිද හැදුවා
අනේ අපොයි කියවෙයිදෝ මගේ හිසේ අත ගැසුනා

 

ඉන්න ඉන්න ඉවසන්නකො ඒකට උත්තර හෙව්වා
මැති සබයම විසුරුවලා පෙරලා ගන්න ආයෙ හිතුවා
විධායකය මොළේ හින්දා පාලනේ දැන් මට නැතුවා
යහ පාලනේ කොයිබ ගියත් මගේ නිදහසෙ මන් හිටියා

Saturday, January 17, 2015

ඔව් එයාලා හරි..!!!!

 

ඉස්සර බිත්තිය පොළවට ගෑවෙන තැන ඇද නැතුව ලස්සනට රතු පාටින් පාට කරපු තීන්ත පටියක් තිබ්බා.කාලෙකින් එහෙ ගිහාම දැක්කේ බිත්තියෙන් භාගයක්ම වහගෙන යන තරමටම වල් වැවිලා.ඉස්සර ලස්සනට තිබ්බ රතු තීන්ත පටිය ඒ කොල පාට වල් පැළ අතරින් යාන්තම් පෙනුනා.ඒත් රතු පාටට නෙමෙ දුඹුරු පාටට.වෙනදා හරිම ලස්සනට අතුගාලා හැමතිස්සෙම පොල් අත්තක රටාව ගත්තු මිදුලෙ වැලිකැට දැන් තැන් තැන් වල කල්ලි ගැහිලා.කට්ටියක් ඔහේ මැලවෙන්න ඔන්න මෙන්න ගිය කූඩලු පාත්තිය ළග.,කට්ටියක් බෑ බෑ කිය කිය මලක් දෙකක් පුප්පන ඉද්ද ගහ වටේට.,දවස් ගානකට කලින් වැටුන පොල් අත්තක් පුරාම තව කට්ටියක් කල්ලි ගැහිලා.,ඒ වගෙම තමයි මුලු මිදුල පුරාම සී සී කඩත් පුන්චි පුන්චි කල්ලි.තව ඒ දවස් වල ලස්සන්ට කප්පාදු කරලා තිබ්බ අන්දර වැට.අනේ ඒකට වෙලා තියෙන දේ.අන්දර ගස්වල අතු දැන් එයාලට ඕන ඕන පැත්තට හැරිලා,එයාලා එයාලගේ ලෝකයක් හදාගෙන.

ඉස්සර මට මතකයි ආච්චි අම්මා අපේ ගෙදර ආවම කිව්වේ,
'ළමයෝ ගෙදරකට ශ්‍රියා කාන්තාව වඩින්නේ ඒ ගෙයි මිදුලේ ඉදන්ම පිළිවෙලකට පිරිසිදුවට තිබ්බොත් තමයි', කියලා.
ඉතින් දැන් මේ මොකද වෙලා තියෙන්නේ අපේ ආච්චි අම්මා ශ්‍රියාකන්තාව එක්ක තරහා වෙලාවත්ද ?නැත්තන් ශ්‍රියා කාන්තාවට වැඩ වැඩි වෙලාද?මට එහෙම හිතුනා.

කාලෙකින් ආච්චිඅම්මලගේ ගෙදර ගිය නිසා එහෙ හැමදේම වෙනස්වෙලා කියලා හිතුනා.ඇත්තටම ඒක එහෙම තමයි ඉතින්.කොහොම හරි අපි එන සද්දේ ඇහිලා ගේ ඇතුලේ ඉදලා ආච්චිඅම්මා එළියට ආවා.
'කීයටද එහෙන් ආවේ? එනවා කියපු වෙලාවට ආවනම් දැන් මෙලහට දහ පාරක් එන්න වෙලා'
'උදේ අම්මේ ආවේ සාලිය වැඩට ගියාට පස්සෙ ඉතින් හෙමීට ආව'
එහෙම කිව්වේ අපේ අම්මා.
'හ්ම් දැන් කාලත් නෑ නේද?කෙල්ලට බඩගිනිත් ඇති'
මන් හිනා වෙල ගිහින් ආච්චිඅම්මගේ අතකින් එල්ලුනා..
ආහ් මගේ බර දරන්න දැන් ඒවට හයියක් නෑ කියලා මට හිතුනා.ඇටකටු වලට උඩින් නිකන් තියෙන්න ඕන නිසා තියෙනවා වගේ හම අහු උනා.ඒකත් රැලි වැටිලා

ඒ හින්දා මන් තවත් ඒ අතට බර දුන්නේ නෑ..
'කෝ සීයා ආච්චිඅම්මේ?'
'ඔය පුවක් වගයක් අහුලන් ඇවිත් ලෙලි ගගහා හිටියා ඉස්සෙල්ලා දැන් කොහෙද දන්නෑ..ඔය පිළිකන්න පැත්තේ බලන්න ඇති'
මන් ගියා සීයව හොයාගෙන.සීය හිටියේ වැට මායිමේ කොනකට වෙන්න තිබ්බ තලන බටු පාත්තිය ලග.ඒ වත්තේ සරුවට වැඩුනු එකම පාත්තිය උනේ ඒ තලන බටු පාත්තිය විතරයි.සීය අර පුවක් ලෙලි ටික ඒ පාත්තිය වට කරලා තිබ්බ තැඹිලි කෝම්බ වැටට ඇතුල් පැත්තෙන් අඩුක් කරකර හිටියේ.
මන් ළගට යනකන්ම දැනුනේ නෑ කවුරු හරි ආව කියලා.
'සීයේ'
ම්ම්... සද්දයක් නෑ..
'සියේ..'
ඒත් නෑ..
'සියේ....'
කළින් දෙපාරටම වඩා හයියෙන් මන් කතා කලා.
'ආ....'
යන්තන් වැඩේ නවත්තලා මන් දිහා බැලුවා.ඒත් අදුර ගත්තේ නෑ.
'කෝමද සියේ?'
'හොදයි හොදයි'
හිනාවෙවි පාත්තිය ළගින් නැගිට්ටේ කර කර හිටපු වැඩෙත් බාගෙටම නවත්තලා.හිනා වුනේ සතුටට වෙන්නැති කියලා මන් හිතුවා.ඒත් මාව හරියට අදුර ගන්නෙත් නැතුව ...
කමක් නෑ මන් වැඩිය මුකුත් හිතුවෙ නෑ..සිය ගෙ පස්සෙන්ම මාත් ගියා.
'දැන් ලෙඩ හොදයි නේ සීයේ?'
'ඒව හොදයි.දැන් මේ බෙහෙත් වල සැරට රත්තයා වගේ ඇගෙන් සැර පිට දානවා.ඒක තම්යි දැන් තියෙන්නෙ.නවත්තන්න ඕන බේත් ටික'
මුලු ගතින්ම දිරාඅ ගිය පාටක් පෙනුනත් ඒ හිත නම් තාමත් කොල්ලෙක්ගේ වගෙ කියල මට හිතුනා.තමන් ලෙඩින් කියලා පිලිගන්නෑ.තාම මුලු ලෝකෙම උනත් හොල්ලන්න පුලුවන් කියලා තමා එයා හිතන්නේ.

 

මාස දෙකකට විතර කලින් මොළේ ලේ කැටියක් හිරවුනා.එච්චර දරුණුවට උනේ නැති නිසා බෙහෙත් බිව්වම හරි ගියා.ඒත් එදා ඉදන් සීයගේ කල්පනාව එන්න එන්නම අඩු උනා.ආච්චිඅම්ම ඇස් දෙක වගේ සීයව බලා ගන්න හින්දා තමයි සීය තාම මේ විදිහට ඉන්නෙ කියලා මට හිතුනා.
මන් ඕවා හිත හිත යනකොට ආච්චිඅම්මා කතා කලා.
'එන්න කන්න.පස්සේ බැරියැයි මූණ සෝදගන්න'
ඒත් ගමන් මහන්සියත් නිසා වොශ් එකක් නොදා කන්න මට හිතුනෙම නෑ.
'බෑ ආච්චිඅම්මේ මන් නාලා එන්නම්'
'හා එහෙනම් ඉක්මනට එන්න.ඔය ලිදෙන් අදින්න බැරිනම් අරකෙන් නාගන්න,හැබැයි පාරේ වතුර තමයි'
'හා කමක් නෑ.. '

ඇදුම් මාරු කරලා බැරිමරගාතේ ආච්චිඅම්මගේ රෙද්දකුත් ඇදගෙන මන් ගියා නාන්න.ළිද ළගම වටේට අතු එහෙ මෙහෙ ගිය ලාඩප්ප ගස් වලින් වට වුන තැනක තිබ්බ ශවර් එකෙන් වතුර ටිකක් ඇගට වැටෙන කොට දැනුන සනීපෙ සිමෙන්ති බිත්ති හතරට කොටුවෙලා තියෙන වෙලා සුදු යකඩ ශවර් එකෙන් වැටෙන වතුරට වඩා සිය දහස් ගුණයක් කියලා දැනෙන්න මහා ලොකු වෙලාවක් ගියේ නෑ.
අව්වට කර වෙලා වගේ තිබ්බ හිස්මුදුනට සීතලට වතුර වැටෙද්දි එක එක ඒව කල්පනවෙන්න ගත්තා මට.

ඇත්තටම මේ ජීවිත තනිවෙලාද? නැත්තන් තනිවීම මෙයාලගෙ ජීවිතේ වෙලාද?

මෙයාලා තනිවෙලා කියලා කියන්න බෑ කොහොමවත්.නිතර නිතර ඇවිත් ගියේ නැති උනාට අපිත් එක්ක ඇවිත් ඉන්න කියලා අම්මා සැරින් සැරේ ෆෝන් එකෙන් කතා කරනවෙලාවටත් කියනවා මන් අහලා තියෙනවා.ඒ හැමවෙලේම මේ ගෙවල් දොරවල් පාලුවට යන්න දීල එන්න බෑ කියලලු ආච්චිඅම්ම කියන්නේ.ඉතින් එහෙනම් වෙලා තියෙන්නේ මෙයාල තනිවීම ජීවිතේ කරගෙන නෙමේද?? අනේ මන්ද මට හිතෙන්නෙ නම් එහෙමයි.

එයාලා හිතන්නේ පුන්චි කාලේ ඉදන් අඩුවක් නැතුව හැමදේම දීල ළමයි හැදුවා ඊට පස්සෙ බන්දලා දුන්නා.දැන් ඒ ළමයින්ගේ ලමයිනුත් ලොකු වෙලා බුදුන්ගෙ පිහිටෙන් දෙයියන්ගේ පිහිටෙන් ජීවත් වෙනවා ඉතින් අපි මොකටද කරදර කරන්නේ කියලා.ඒ වගෙම තමයි අනිත් පැත්තෙන් එයාල හිතනවා දුක් මහන්සියෙන් හම්බ කරලා ගත්තු ඉඩම්  හදපු ගෙවල් දොරවල් දාලා හිත හදාගෙන යන්නේ කොහොමද කියලා.හ්ම්..එයාල එක පැත්තකින් අත ඇරීම පුරුදු කරනවා ඒවගේම අනිත් පැත්තෙන් ඊට හරියන්න බැදීමුත් ඇති කර ගන්නවා.තම ආදරය කරන අයගේ සතුට ගැන හිතලා බැදීම් අත හරින්න එයාලා ලෑස්තියි.ඒත් ඒ අයගේ පුරුදු අත ඇරලා එතනින් එහාට අඩියක් තියන්න බැරි තරම් එයාල ඒ පුරුදු වලට බැදිලා.අනේ මන්දා ජීවිතේ හරි පුදුමයි.එයාල හරිද වැරදිද කියන්න මන් දන්නෑ.ඒවා ගැන තීරණේ කරන්නත් මට බෑ.මොකද එයාල මට වඩා දශක ගානක් මේ මහ පොළොවෙ පය ගහපු මිනිස්සු.අපිත් ඔය වයසට එනකන් හිටියොත් අපිත් ඔහොම නොවේවි කියල සහතික වෙන්න බෑනේ.ඉතින් නොහිත ඉන්න හිතුවා.


'ළමයො දැන් කීයටද නාන්න ආවෙ.අර හැමෝම කාලත් ඉවර වෙන්න යන්නෙ'

ආච්චිඅම්ම ඇවිත් කියනකන් මට වෙලාව යනවා දැනුනේ නෑ.

'හා ආච්චිඅම්මත් කන්නකො.මගේ බත් එක වහල තියන්න මන් හිමින් සැරේ ඇවිත් කන්නම්'

'ඉක්මනට ආවනම් කනවනේ ළමයෝ'

'අනේ අච්චිඅම්මියේ වහල තියන්න මන් පස්සේ කන්නම්'

'හා හා එහෙනම් මන් කනවා'


ආච්චිඅම්ම එහෙම කියලා ගියේ ටිකක් හිත රිදිලා කියලා මට නොතේරුනා නෙමේ.ඒත් මට එහෙම කියවුනා.

ආච්චිඅම්ම යන දිහා බලගෙන ඉද්දි මට තේරුණා..,

ඔව් එයාල හරි අපි හැමෝම තනිවීම ජීවිතේ කරගෙන...

 

(හැමදාම දකින හීනයට කොමාවක් දාලා කෙටි කතාවක් වගේ එකක් ලියන්න දරපු පොඩි උත්සහායක්.. වැරදි ඇති.කැමති පෙන්නලා දෙනවනම්)



Sunday, December 21, 2014

ඉතින් නුඹ ගියා.....




ගොඩ කාලෙක ඉදන් ඒ දවස එන්නෙප කිය කිය හිතින් හිතුවත් ඒ දවස දැන් ගෙවිල ගිහිනුත් ඉවරයි.කියන්න ගොඩක් දේවල් තිබ්බත් පිළිවෙලකට ගළපන්න බැහැ.ඒ හින්ද මුකුත් ලියවුනෙත් නෑ..

ඔව් 19 වෙනිදා හන්තාන තනි කරලා ඔයා යන්න ගියා..බැදීමක් නෑ කියල හිතුවට හන්තානත් එක්ක.,

මේ හන්තාන ඔයා එනකන් මග බලන් ඉන්නවා කියලා, පහුවෙනිදා පාන්දර වැහැපු මහ වැස්ස දිහා ඔහේ බලන් හිටපු මට සීතලම සීතල සුළන් රැල්ලක් ඇවිත් කියලා ගියා.

ඒ සුළග එහෙම කිව්වත් නැතත්.,

හන්තාන මග බැලුවත් නැතත්.,

එදා තරම්ම ආදරයක් අරන් එකම එක හිතක් මේ හන්තානයි මහවැලියයි අතරෙ හැමදාම ඉන්නවා කියලා කියන්න ඒ වැහැපු වැස්ස හොදටම සාක්කි..

මේ වැස්සම මහවැලිය දිගේ මූදට ගිහින් ආයෙම දවසක වහීවි..

ඉතින් නොතෙමි ඉන්න බලන්න

මොකද ඒ වැස්සට තෙමුනොත් ඔයාට දරාගන්න බැරි වේවි....

 

           හිමි නොවෙනා බව තවත් මන් හිතට කියන්නම්
           මන් කියන දේම යළි හිත මගෙන් අහනකම්
           හෙට දිනෙත් හිතට එය පිළිගන්න බැරිමනම්
           හීනෙකින් හෝ ඇවිත් ළග ඉන්න පැයක්වත්........



                     
                           

      

Sunday, November 30, 2014

අවබෝධතා ගිවිසුම...!!!





ඔයාට
විදේශීය අත පෙවීමක් තිබ්බා.,
එ හින්දා
මට
සම්බාධක පැනවුනා.,
ඉතින්
අපිට
ගිවිසුමක් අවශ්‍ය වුනා.,

ඔයා 

අත්සන් කලා.,
මන් 

අත්සන් කරන්න යද්දි.,

පෑනේ
තීන්ත ඉවර උනා....