Friday, April 17, 2015
****වළාකුලු බැම්ම **** (06)
අක්කා ගැන මට එහෙම අමුත්තක් දැනුනත් ඒක ටික දවසකට අමතක වෙලා ගියා මට තිබ්බ වැඩත් එක්කම.මන් හොදට වැඩ ටික කරගෙන ගියා.විභාග තියෙන දවස් වල මායි නිශානි එයාලගේ ගෙදර ගිහින් පාඩම් කලා.නිශානිගේ උදව්වෙන් අකවුන්ටින් පන්තියක් හම්බ උනා විතරක් නෙමේ මන් ඉගෙන ගන්න ගොඩක් උනන්දු වෙන බව දැකපු නිශානිගේ අම්මයි තාත්තයි අනිත් විශයන් දෙකටත් පන්ති යන්න මට වියදම් කලා.කොහොම හරි දෙවනි අවුරුද්දෙ මැද වාර විභාගෙන් මටයි නිශානිටයි හොදම ලකුණු තිබ්බා.නිශානිගේ ගෙදර අයටත් ගොඩාක් සතුටු උනා එදානම්.එයාලා මට කිව්වා,
Monday, April 13, 2015
****වළාකුලු බැම්ම **** (05)
අක්කගේ බල කිරීමට කොහොමහරි මන් ඒලෙවල් කරන්න ගත්ත.ඒ කොමර්ස් වලින්.ලොකු ඉස්කෝලෙකට
ගිහින් ඒ ළමයි එක්ක පෑහෙන්න බැරි වෙයි කියල හිතුන හින්දා අපේ වනාතමුල්ල කිට්ටුවම තිබ්බ ගෝතමියට ඇතුල් වුනා.
ඒක වෙනම ජීවිතයක් උනා.හිතට සැනසීමක් කියලා දෙයක් දැනෙන්න ගත්තා.යාලුවොත් එක්ක එකට හිනාවෙවි ඉද්දි මට තේරුනා අනේ මන් ජීවත් වෙනවා නේද කියලා.එක එක ජාතියේ යාලුවෝ හිටියා.ඒ යාලුවෝ අතරින් මාත් එක්කම හිටියේ නිශානි.මන් වගේ නෙමේ එයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඩොක්ටර්ස්ලා.ඕලෙවල් වලින් හොද ලකුණක් නොතිබුනත් එයා එක වසරේ ඉදලම ඉගෙන ගෙන තිබුනේ ගෝතමියේ..එයා තමා එයාගේ පවුලේ එකම ළමයා.එයාලගේ ගෙවල් වලින් එයාට එයාගෙම නෑදෑවෙන ඩොක්ටර් කෙනෙක්ව ප්‍රොපෝස් කරල තිබ්බා.ඒ හින්දා එයාට ඉගෙන ගන්න ඒ හැටි වුවමනාවක් තිබ්බේ නෑ.ගෙදරින් එහෙම බල කිරීමක් තිබ්බෙත් නෑ.ඒ මොනවා උනත් නිශානි මට හොද යාලුවෙක් උනා.මගේ ගැන හැමදෙයක්ම එයා දැනගත්තා.ඒ දෙවල් දැනගත්තට පස්සෙවත් එයාගේ යාලුකමෙ අඹමල් රේණුවක තරම් වෙනසක් උනේ නෑ.දුකටද අනුකම්පාවටද කියල දන්නෑ ඒත් එයා හැමවෙලෙම මගේ ළගින් හිටිය,හරියටම මගේ අක්කා වගේම.සමහර දවස් වල මටත් වඩා මගේ ප්‍රශ්න ගැන එයා හිතුවා.
ඒ දවස්වල අපිට අකවුන්ටින් වලට හිටපු මැඩම් මැටර්නල් ලීව් ගියා.ඒ නිසා මාස තුන හතරක් යනකන් කවුරුවත්ම ආවේ නෑ උගන්නන්න.හුගක් ළමයි අමතර පන්ති ගිය හින්දා ඒක එයාලට මහා ලොකු දෙයක් උනේ නෑ.එයාල ඉස්කෝලෙ ඒ වෙලාවෙදි හිනා වෙවි විහිලු කර කර හිටියා.ඒත් මට එහෙම ඉන්න බැරි උනා.මන් එක පන්තියකටවත් ගියෙ නැති නිසා මන් හුගක් බයෙන් හිටියේ ඒ මග ඇරෙන ටික අල්ලගන්නේ කොහොමද කියලා හිත හිත.
"සුලෝචනා ඇයි මේ? මන් හුග දවසක ඉදන් බලාගෙන හිටියෙ ඔයාගේ වෙනසක්.ඇයි මොකද්ද ප්‍රශ්නේ?"
නිශානි එක දවසක් මගෙන් එහෙම ඇහුවා.නිශානිත් අනිත් ළමයි වගේ ඒ පීරියඩ් එකේදි පිස්සු නට නට හිටපු නිසා මන් හිතුවෙ නෑ එයාට මේ ගැන කියන්න.ඒත් එයාට තේරිලා තිබ්බා..
"නිශානි මට බයයි"
"ඇයි ළමයෝ.?"
"මට බයයි මේ විදිහට මග ඇරෙන වැඩ ටික මට අල්ල ගන්න බැරි වෙයි කියලා.පන්ති යන්න මට සල්ලි ඉල්ලගන්නත් බෑ අක්කගෙන්.අනේ මන්දා"
"එහෙම වෙන එකක් නෑ සුලෝචනා.ඔයාට පුලුවන් වෙයි ඒ වැඩ ටික අල්ලගන්න"
"ඔව් නිශානි ඒත් දිගටම මෙහෙම කවුරුවත්ම අවෙ නැත්තන් අපිට උගන්නන්න."
"හ්ම්ම්.."
එවෙලේ නිශානිටත් උත්තර නැති උනා.එත් වෙලා ගියත් මගේ ප්‍රශ්න වලට නිශානි ලග මොකක්මහරි විසදුමක් තිබ්බා.
"සූ මෙහෙම කරමු.,මන් අපේ අම්මලට කියන්නම් ඔයාටත් එක්ක ටියුෂන් ෆීස් දෙන්න කියලා.එතකොට වැඩේ හරිනේ.ඔයාටත් පුලුවන් මාත් එක්කෙම පන්ති යන්නත්.අනික ඉතින් ඔයා එන එක මටත් හොදයි නේ මට ඕන දෙයක් ඔයාගෙන් අහගන්න පුලුවන්නේ"
යාලුවෙක් විදිහට දෙන්න පුලුවන් හොදම විසදුම එයා මට කිව්වා.ඒත් අපේ අක්ක කැමති වෙයිද කියන ප්‍රශ්නේ
මට තිබ්බා.සුමනේ අයියගෙන්වත් උදව් ගන්න අක්කා අකැමති උන එකේ නොදන්න කෙනෙක් මෙහෙමඋදව් කරන එකට අක්කා ඉඩ දෙන එකක් නැතිවෙයි කියලා මට හිතුනා.
"ඔයා දන්නවනේ නිශානි අපේ අක්ක ගැන එයා ඕකට කැමති වෙන එකක් නෑ.අනික ඔයා ගැන අක්ක වැඩිය දන්නෙත් නෑනේ එහෙම එකේ මන් හිතන්නෑ"
"අනේ බන් කවුද ඉතින් ඕවා අක්කට කියන්න යන්නේ.පන්ති තියෙන දවසට ඔයා කියන්න ඉස්කෝඅලේ හවස පන්තියක් තියෙනවා කියලා..එතකොට හරි නේ."
"ඒත් නිශානි"
"හරි බොරුවක් තමයි ඒත් ඉතින් බොරු කියලා අපි නරක දෙයක් නෙමේනේ කරන්නේ.ඒ හින්දා වැඩිය හිතන්නෙපා"
"මන් දන්නෑ නිශානි මන් ඔයාට කොහොම මේ ණය ගෙවන්නද කියලා"
මන් එහෙම කිව්වේ මගේ මුලු හිතින්ම ආපු ගෞරවයකින්.
"හා හා මේ ඒව පස්සේ දවසක ගෙවාගන්න බැරි යැ මෙන්න මෙ හිනා වෙලා ඉන්නවා ටිකක් පන්ඩිත කතා කියන්නැතුව"
****************************
කොහොමහරි හිතුවට වඩා කාලයක් මාස හයකට විතර කිට්ටු කාලයක් අපිට අකවුන්ටින් කෙරුනේ නෑ.නිශානිගේ උදව්වෙන් පන්ති යන්න පුලුවන් උන නිසා වැඩ ටික කරගෙන යන්න පුලුවන් උනා මට.ඒලෙවල් පන්තියේ පළවෙනි අවුරුද්ද ඉවර වෙන්න මාසයක් තියෙද්දි අක්කා මට කිව්වා ටවුන් එකට කිට්ටුව හිටපු අපේ ලොකු අම්මාලගේ ගෙදර ගිහින් නවතින්න කියලා.එයා සතියකට සැරයක් ඇවිත් බලලා යන්නම් කියලා.ඒක මටත් කලින් හිතිලා තිබ්බ දෙයක්.ඒත් මන් අක්කගෙන ඇහුවේ නැත්තේ අක්කට දුක හිතෙයි කියලා.ලොකු අම්මලාගේ ගෙදර ඉදන් මට ඉස්කෝලෙට යන්න විනාඩි පහයි යන්නේ.ඒ හින්දා බස් වියදමකුත් නෑනේ.
ලොකු අම්මලාගෙ ගෙදර හිටියේ ලොකු අම්මා විතරයි.එයාලට ළමයි නෑ ඉතින් ලොකු තාත්තා නැති උන දවසේ ඉදන් ලොකු අම්මා තනියම ඒ ලෑලි බිත්ති හතරට වෙලා හිටියා.මන් ගියාම ලොකු අම්මා හුගාක් සතුටු උනා.කෑම හදලා පාර්සල් කරලා කඩවල් වලට විකුණලා තමා ලොකු අම්ම ජීවත් උනේ.ඒ හින්දා ඉතින් මොනා නැතත් කටට රහට කෑම ටිකනම් ලැබුනා.ඉස්කෝලෙ ගෙනියන කෑම එක මට වඩා ආසවෙන් කෑවෙ නිශානි.
අක්කා මුලින් වැඩිය මාව බලන්න ආවෙ නැති උනාට මාස තුන හතරකට පස්සේ සතියකට සැරයක් බඩු ගොඩකුත් උස්සගෙන මාව බලන්න ආවා.ඒ විතරක් නෙමේ ආපහු යනකොට මට වෙනදට වඩා සල්ලිත් දීලා ගියා.කලින් අක්ක කිව්වේ "අනේ පොඩ්ඩියේ පිරිමහගෙන පාවිච්චි කරපන්" කියලා.ඒත් පහු වෙනකොට අක්කා කිව්වේ "උඹ හොදට කාල ඇදලා ඉන්න ඕන." කියලා.අක්කට එක පාර මෙහෙම සල්ලි හම්බෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැරි උනා.මන් ඒ ගැන නිශානි එක්කත් කිව්වා.
"නිශානි අපේ අක්කා ලගකදි ඉදලා වෙනස්"
"ඇයි ඒ..? ඒ අක්කා දන් අර බිස්නස් එක හොදට කරගෙන යනවා ඇති ඉතින්"
"ඔව් ඒකනම් එහෙම තමයි..ඒත් මට අමුත්තක් දැනෙනවා නිශානි.මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා"
"සූ මොනාද මේ හිතන්නේ.අක්කා ඔයාට කිව්වනේ ඉතින් අර ලයනල්ද කව්ද එයා එක්ක කරන වැඩේන් හෙන ලාබයි කියලා.ඉතින් එච්චරයි නේ"
"හ්ම්ම්..."
ඒත් මට මොකද්ද ලොකු අමුත්තක් දැනිලා තිබ්බා.
------------------නැවතත්--------
Sunday, April 12, 2015
****වළාකුලු බැම්ම **** (04)
ඕලෙවල් වල ප්‍රතිපල එනකන් මන් ගෙදරට වෙලා අක්කටයි අම්මටයි උදව් කරගෙන හිටියා.විභාගේ හොදට කලා උනත් අක්ක මන් ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන උන්නත් මට අනාගතයක් ගැන හීන මවන්න ඕන උනේ නෑ.ඔහොම ඉද්දි මාස තුනකට විතර පස්සෙ අපේ ප්‍රතිපල ආවා.එදා මුලු වනාතමුල්ලම සැණකෙලියක් වගේ වුනා.ඒ මගේ ප්‍රතිපල නිසා.විශයන් දෙකකට ඇරෙන්න අනිත් හැම එකකටම විශිෂ්ට සම්මාන තිබ්බා මට.මෙච්චර කාලෙකට ඒ වනාතමුල්ලෙන් ඔහොම හරි පාස් උන කෙනෙක්ට හිටියෙ මන් විතරයි.මාත් එදා පුදුමාකර සන්තෝසෙකින් හිටියේ.ඔක්කොටොම වඩා අක්කා මාව බදාගෙන පැයක් විතර ඇඩුවා.අම්මනම් එක පාරක් ඔලුව ඉඹලා ගියා.,ඒත් මන් දැක්කා කුස්සියට වෙලා සැරින් සැරෙ චීත්තේ කොනක් උස්සගෙන කදුලු පිහ දානවා.ඒ අපේ අම්මා ආදරේ කරපු හැටි.
"පොඩ්ඩියේ උඹ හරි වාසනාවන්තයි බන්...දැන් ඉතින් ලොකු ඉස්කෝලෙකට යන්න ලෑස්ති වෙයන්.අම්මලට බැරිනම් උඹේ වියදම් මන් බලාගන්නම්.උඹ කොහොම හරි ඉගෙන ගනින්"
එදා රෑ සුමනේ අයියා එහෙම කිව්වා.ඒත් අම්මයි අක්කයි කැමති උනේම නෑ එයාගෙන් ඕනවට වඩා උදව් ගන්න.ඔය කතාව සුමනේ අයියා කියද්දි අක්කත් මගේ ළග හිටියා.
"අනේ අනේ සුමනේ අපෙ එකීව බලාගන්න අපිට පුලුවන් උඹ හිටහන්කො නිකන් "
"ඔව් ඔව් උඹට පුලුවන් ඔය රෙදි කෑලි දෙක තුනක් මහලා මේකිව ලොක්කෙක් කරන්න.අනේ මේ නිකන් පුප්පන් නැතුව ඉදහන් බන්."
සුමනේ අයියට කතා කරපු විදිහ සැර වැඩි කියලා අක්කට තේරුනේ සුමනේ අයියා එහෙම කිව්වට පස්සේ.
"නෑ බන් මන් එහෙම දෙයක් නෙමේ කිව්වේ.උඹ උදව් කරනවා තමා ඒත් මේකි අපේ එකිනේ.ඉතින් අපි වියදන් නොකර කවුරු වියදම් කරන්නද.උඹ කරල තියෙන උදව් ඕනවටත් වැඩි සුමනයෝ"අක්කා එහෙම කිව්වේ සුමනේ අයියගේ කට හොදට හොදයි නරකට එහෙමයි කියලා දන්න නිසා.
අක්කා ලොකුවට කියෙව්වට මට වියදම් කරන්න අක්ක ළග සල්ලි නෑ.වත්කමක් කියල දෙයක් තිබ්බනම් තිබ්බේ අපේ ලෑලි ගේ තිබ්බ ඉඩම් කෑල්ල විතරයි.ඊට වඩා කිසිම දෙයක් අපි ළග තිබ්බේ නෑ.ප්‍රතිපල ආපු දවසට පහුවෙනිදා මන් අක්කට කතා කලා.
"අක්කේ හදිස්සිද ඔය වැඩේ?"
"ඔව් පොඩ්ඩියේ හෙටනේ සිරියගෙ කෙල්ලගෙ කොටහලු මගුල.ඒ කෙල්ලගෙ ගවුම මහන්නේ..ඇයි මොකො?"
"නෑ නිකන් කතා කරන්න ටිකක්"
"ඇයි පොඩ්ඩියේ?"
අක්කා මහන වැඩේ නවත්තලා මන් දිහාවට හැරුනා.
"නෑ නෑ ලොකු දෙයක් නෙමේ අක්කා ඕක මහන්න"
"කියන්නකෝ ඉතින්"
"අක්කේ මන් රස්සාවකට යන්නද?"
ඒක ඇහුනා විතරයි අක්කා මන් දිහා බැලුවේ පුදුමෙන් වගේ.ඒ බැල්මේ හැමතැනම වගේ කේන්තියත් ගෑවිලා තිබ්බා.මන් වෙන පැත්තක් බලාගත්තා.
"නෑ අක්කේ ම්මන් කිව්වේ මට හොද රස්සාවක්.."
"ඔව් ඔව් හම්බෙයි උඹට රස්සවක්.ඒලෙවල් කරපු එවුනුත් ගෙදර ඉන්න රටක උඹට හම්බවෙයි රස්සාවක් බලන් ඉදපන්"
"අක්කේ ම..."
"මේ මට මුකුත් අහන්න ඕන නෑ උබ කොහොම හරි ලොකු ඉස්කෝලෙකට ගිහින් ඒලෙවල් කරන්න ඕන එච්චරයි"
"අනේ අක්කේ කියන දේ අහන්න"එවෙලෙනම් මගේ කටත් ටිකක් සැර වුනා.
"මාත් එදා ඉදලම හිටියේ මේකේ.අපි ජීවත් උනේ මේකේ.ඉතින් එහෙම ජීවත් වෙන්න ඕන විදපු දුක මන් දැක්කා මේ ඇස් දෙකෙන්ම.මන් ඊයේ පෙරේදා මෙහෙට උඩින් පාත් උනේ නෑනේ අක්කේ.අපිට කියලා තියෙන්නෙ මේ ලෑලි ගහපු බිත්ති හතර විතරයි.ඔයා කොහොම කිව්වත් ඔයා ඔය හම්බ කරන එක මගේ ඇදුම් වලට පොත් වලට බස් වලට මදි වෙනවා නේද අක්කේ.ඉතින් කියන්න මන් වෙන මොනා කරන්නද අක්කේ?"මන් ඇඩුවත් වගේ මතකයි.
"පොඩ්ඩියේ මේ අහන්න මට පුලුවන් උඹට වියදම් කරන්න.මාව විශ්වාස කරන්න."
"ඒත් කොහොමද අක්කේ? කොහොමද?"
"මට ඊලග මාසේ ඉදන් ලොකු ඕඩර් එක හම්බෙනවා.යස්වති ඇන්ටි දවසක් මන් මහපු ඇදුම් වගයක් දැකලා ආස හිතිලා මට කිව්ව එයා දන්න ඇදුම් කඩයක් තිනවලු.ඒකේ ඇදුම් මහන්න තැනක් අල්ලල දෙන්න කියලා ඒ යසවති ඇන්ටිට ඒකෙ අයිතිකාරයා කියලා.ඉතින් මගෙන් ඇහුවම මන් එක පාරටම හා කිව්වා.මටත් ඉතින් ඇදුම් මහනවා ඇරෙන්න වෙන මොන වැඩක්ඩහ.වැඩ වැඩිවගේනම් ඔය ගෙවල් වලින් එන ඒව ටික අඩු කරලා ඒක කරන්න පුලුවන්නේ.අනික අතට හොද ගානක් එන වැඩක්.දවසක් මායි යසවති ඇන්ටි ගියා ඒ මනුස්සයා හම්බෙලා කතා කරන්න.හොද මනුස්සයෙක් ලයනල් කියලා.ඊළග මාසේ වැඩ තියෙයි.ඒ හින්දයි මන් උඹට කියන්නේ මන් හැමදේම හිතුවා පොඩ්ඩියේ.උබ හිතන්න ඕන ඒවත් එක්කම මන් හිතුවා.ඒ හින්දා දැන් අමුතුවෙන් උඹැට හිතන්න දෙයක් නෑ.ඒ හින්දා දැන් ගිහින් ඉස්සරහට කෙරෙන්න ඕන වැඩ කටයුතු මොනාද කියලා හොයලා බලපන්"
කිසිම දෙයක් කියාගන්න බැරුව මන් අක්කා දිහා ඔහේ බලාගෙන හිටියා.
--------------------නැවතත්----------------------
Saturday, April 11, 2015
****වළාකුලු බැම්ම **** (03)
මැගි ඇන්ටිගේ පුතා සුමනසිරි ඒ දවස්වල ලොකු සල්ලිකාරයෙක්.එයාට ලොකු ගෙයක් තිබ්බා වහන දෙක තුනකුත් තිබ්බා.ඒත් ඒ මුකුත් එයා පාවිච්චි කලේ නෑ.කුලියට දීල තිබ්බේ.මොකද ඒ ඔක්කොම හම්බ කරේ හොද අතකින් නෙමේ.අපි හිටපු පැත්තට ආයේ අමුතුවෙන්ම හදුන්වලා දෙන්න ඕන නැති කුඩු බිස්නස් කරලම තමා ඒ ඔක්කොම හම්බ කරේ.මැගි ඇන්ටිත් ඒ දේවල් වලට උල්පන්දම් දුන්නේ නැති උනාට සුමනසිරි ගේ වැඩ වලට විරුද්ධ උනේ නෑ.
දවසක් මැගි ඇන්ටි මට කිව්වා,
"කෙල්ලෙ උඹ ඔය ඉගෙන ගෙන මොනා කරන්නද බන්.?මොකෝ මහ අතු අල්ලනයැ.බලපන් අපේ කොල්ලත් දැන් පිලිවෙලක් වෙලා ඉන්න එකේ නරකද උබ ඒ ගැන හිතලා බැලුවොත්"
කියලා.
සුමනේ අයියා මොන ජරා රස්සාවක් කලත් එයා මටයි අක්කටයි හුගක් හොදින් සැලකුවා.බීලා බීලම අක්මාව නරක් වෙලා තාත්තා නැති උනාට පස්සේ අපි දෙන්නත් එක්ක ජීවත් වෙන්න අම්ම සුමනේ අයියගෙන් ගොඩාක් උදව් අරන් තිබ්බා.ඉතින් එහෙම තියෙද්දි මන් මැගී ඇන්ටි කියපු දේ අම්මට කිව්වම අම්මා ඔලුවේ අතගහ ගත්තේ "එහෙනම් ඌ මෙහෙමයි මගෙන් ණය ගන්න හදන්නෙ" කියලා.
"සුමනේ අයියා එහෙම නෑ අම්මේ ඔය මැගී ඇන්ටි මවාගන්න විකාර තමා..මන් සුමනේ අයියට කතා කරන්නම්"
මන් එහෙම කිව්වේ අම්මව ටිකක් හරි සනසන්න හිතාගෙන.
"උඹ මොනා කතාකරන්නද?පැහෙන් නැතුව හිටපන්."
අම්මා එවෙලේ හිටියේ දුකයි කේන්තියයි අසරණකමයි ඔක්කොම එකතුවෙලා හදපු තොණ්ඩුවකින් එල්ලිලා වගේ.
"නෑ අම්මේ සුමනේ අයියා මෙච්චර කාලෙකට මටයි අක්කටයි වරදක් කරලා නෑනේ.ඉතින් එයාගේ හිතේ එහෙම අදහසක් තියෙනවනම් මන් ඒක එයාට තේරුම් කරන්න බලන්නම්"
"නෑ ඕන නෑ උඹ හිටපන්කො.ඔය අම්මණ්ඩි ඔහොම දෙයක් තනි කැමැත්තට කියන්නෑ නේ.අපි බලමුකො..මට උගෙන් කිසි උදව්වක් ඕන නෑ මින් මතුවට.ඉදල හිටලා අත මාරුවක් ඉල්ලගත්ත පලියට මෙච්චර දෙයක් ඕනනම් ඊට හොදක් වහ ටිකක් කාලා මැරෙනවා"
අම්මා ඔහේ කටට ආපු ගොඩාක් ඒවා කියාගෙන ගියා.ඒත් මට හිතුනේ එතන එච්චර හිතන්න තරම් දෙයක් නෑ කියලා.මැගි ඇන්ටි කටට ආපු පලියට කියපු දෙයක් කියලා මට හිතුනේ..අපරාදේ මන් ඒක අම්මට කිව්වේ.
සුමනේ අයිය අනික ඔහොම දෙයක් මා එක්ක කතා කරල තිබ්බෙම නෑ.කතා කරන වෙලාවට කිව්වේ "පොඩ්ඩියේ උබ ඉගෙන ගනින් වියදම් ගැන මන් බලාගන්නම්" කියලා.අම්මලා නොදැකපු හොද පැත්තක් මන් ඒ මනුස්සයාගෙ දැක්ක.ඉතින් මට මේදේ මහා ලොකු ප්‍රශ්නයක් උනේ නෑ.
**************
එතකොට මන් ඕලෙවල් ඉවර කරලා ගෙදරට වෙලා හිටියේ..අක්කා ගෙදර ඉදගෙන ඇදුම් මැහුවා.අම්මට වැඩි දැනුමක් නැති උනාට අක්කට ඕන උනා මන් ඒලෙවලුත් කරනවා දකින්න.
"මෙ පොඩ්ඩියේ උඹ ගෙදර නවතින්න ලෑස්ති වෙන්න එපා හොදද?? කොහොම හරි ඊලග විභාගෙත් කරන්න ඕන.හරිද"
එක දවසක් මන් ඇද උඩ වැතිරිලා පොතක් බල බල ඉද්දි අක්ක මගෙ අළගට ඇවිත් කිව්ව.මන් එහෙම්මම ඇද උඩ ඉද ගත්ත.
"ඒත් අක්කේ ඕවට වියදම් කරන්න කෝ සල්ලි"
"ඒවා උඹට අදාල නෑ පොඩ්ඩියේ.උඹට තියෙන්නේ ඉගෙන ගන්න"
"ඒත් අක්කෙ..."
"ඒත් මේත් නෙම...හිතන්න පොඩ්ඩියේ උබවත් මේ නරකාදියෙන් ගොඩ එන්නෝන ළමයෝ.අපි මේ නරකාදියේ ඉපදිලා මේකෙම මැරිලා යාවි ඒත් උබ..උබට එහෙම වෙන්න ඕඅන නෑ..මන් උබ තරම් දස්ස නෑ.ඉතින් උබ ඉගෙන ගනින්.මෙතන ජීවිතේ කොයි වෙලේද කියන්න බෑ පොඩ්ඩියේ.ඒ හින්දා උබ හොදට ඉගෙන ගෙන මේ ජරාවෙන් පිට වෙයන්..මට පුලුවන් අම්මව බලාගෙන ඉන්න.මන් කියන්නේ එච්චරයි නොතේරුම් කමට අම්මා හිටියට අම්මත් ආසයි අපි දෙන්නගෙන් එකෙක් හරි හොද සැපට ඉන්නවා දකින්න.ඒ හින්දා පොඩ්ඩියේ මේ අක්කා කියන විදිහට කරනව නේද?"
"අනෙ අක්කේ.."
මන් අක්කගෙ බෙල්ල බදාගෙන ඇඩුවා.මාත් එක්කම එකට ලොකු වුනු අක්කා මට වඩා දැනුම් තේරුම් ඇති ලොකුම ලොකු රූස්ස ගහක් වෙලා.ඒ ගහ යට මට මගේ මාලිගාව හදා ගන්නලු.එච්චර කාලෙකට මගේ ජීවිතේට බලාපොරොත්තුවක් කියන පහන්සිල දල්වන්න පුලුවන් උන එකම කෙනා තමයි ඒ.ඒත් මන් බය උනා මාත් මෙරුවෙක් වගේ ගිහින් දැවිලා අලුවෙලා යයි කියලා.ඒත් මට එවෙලේ ඒ මොහොතේ ඒ බවක් පෙන්නන්න ඕන උනේ නෑ.ජීවිතේට බලාපොරොත්තුවක් ඇති කරපු ඒ වීරවරිය ලග අධිෂ්ටානයේ කදුලු මිසක බියගුලු කමේ කදුලකට ඉඩක් නොතිබිය යුතුයි කියලා මට හිතුනා..
-----නැවතත්-------------
Saturday, April 4, 2015
****වළාකුලු බැම්ම **** (02)
"සුලෝ"
රොහාන් මට කතා කලේ එහෙම.අපි ආදරෙ පටන් ගත්ත දවසෙ ඉදන් එයා මට කතා කලෙ එහෙම.අපේ ආදරේ අපි දෙන්නා අතරේ ගොඩාක් ලස්සනට ගලාගෙන ගියා.ඒත් ඒ ආදරේ ලස්සන උනේ අපි අතරේ විතරයි.අපි අපි දෙන්නගෙන් මිදිලා ඔලුව උස්සලා වට අපිට බැලුවොත් අපේ ආදරේට හරස් කපන්න බලාගෙන හිටපු අයව විතරයි අපි දැක්කේ.
රොහාන් ගොඩාක් පෝසත් පවුලක කෙනෙක්.එයාගේ තාත්තට නුවර එළියේ තේ අක්කර ගානක් තිබ්බා.අම්මා බැන්කුවක මැනේජර් කෙනෙක්.ඉතින් රොහාන්ට දුකක් කියන නාමයක්වත් දැනෙන්න ඒ දෙන්නා ඉඩ දීල තිබ්බෙ නෑ..එයාලත් එයාලට පුලුවන් උපරිමෙන්ම රොහාන්ට එයාලගේ ආදරේ දුන්නේ රොහාන් එයාලගේ එකම දරුව වුන නිසා.රොහාන්ට අම්මගෙනුයි තාත්තගෙනුයි ඒ තරම්ම ආදරයක් ලැබෙද්දිත් මගෙනුත් හෙන ගොඩාක් ආදරේ ඕන උනේ ඇයි කියන්න මන් දන්නෑ.ඒත් ඒ ගැන මතක් වෙනකොට මට ආඩම්බරෙකුත් නොදැනෙනවා නෙමේ.ඉතින් මන් එයාට ඒ ආදරේ දුන්නා.එයාට එකවගේම තුන් පැත්තකින් ආදරේ ගලාගෙන එද්දිත් එයා මගේ ආදරේට ගොඩාක් ලෝබකම් කලා.
"සුලෝ අපේ අම්මලා මේ සම්බන්ධෙට කැමති වෙන්නෑ කියලා මන් දන්නවා.කියන්න අපි දැන් මොකද කරන්නේ?"
"මොනවා කරන්නද රොහාන්?ඒ දෙන්නගේ හිත් වලට ගිනි තියලා අපි කොහොමද එකතු වෙන්නේ.?"
"කියන්න සුලෝ ඔයාට මන් නැතුව ඉන්න පුලුවන්ද?"
"අනේ සැරින් සැරේ ඔය ප්‍රශ්නේ අහලා මාව අසරණ කරන්න එපා රොහාන්."
"මට බෑ ඔයාට මෙහෙම යන්න දෙන්න.මන් ඔයාට ආදරෙයි සුලෝ.අපිට වෙන තීරණයක් ගන්න වෙනවා"
"මන් දන්නවා පැටියෝ.,ඒත් අපිට මොකද්ද වෙන ගන්න තියෙන තීරණේ?"
"අපි මැරි කරමු..අද උනත් කමක් නෑ ඔයා කැමතිනම්.අම්මලා මේකට අකමැති වෙන එකේ අද මේක කලත් පහුවෙලා මේක කලත් ඒකෙ කිසි වෙනසක් නෑ මට.කියන්න ඔයා මොකද කියන්නේ?"
"අනේ රොහාන් ඔයාගේ අම්මලා පව්.."
"හ්ම්..."
"අපි තව එක පාරක් මේක එයාලට කියමු.එයාල එච්චර නපුරු වෙන එකක් නෑ රොහාන්.එයාලට ඕන ඔයාගෙ සතුටනෙ."
"හරි එහෙම කියලත් එයාලගේ තීරණේ වෙනසක් නැත්තන්?"
"වෙනසක් නැත්තන්...... අනේ මන්දා රොහාන් මන් අම්ම කෙනෙකුගෙනුයි තාත්තෙක්ගෙනුයි පුතෙක් වෙන් කලා වගේ වෙයිද රොහාන්.මට බයයි..එයාලට දුක් දීල අපිට සතුටින් ඉන්න පුලුවන් වෙයිද?"
"සුලෝ මේ අහන්න.ඔච්චර අනුන්ගැන හිතන්නෙපා පැටියො.ඔයා ගැනත් ටිකක් හිතන්න.ඔයාට මන් නැතිව ඉන්න බෑ කියලා මන් දන්නවා.ඉතින් ඇයි ඔයාටම දුක් දීගන්න හදන්නේ?"
"ඒත් රො.."
"ඒත් මේත් නෙමේ..මේ අහන්න මන් අද ගිහින් ආයෙම මේ ගැන අම්මලගෙන් අහනවා.එයාල අකමැති උනොත් අපි අනිවාර්යෙන්ම මැරි කරනවා.තේරුනාද.?මන් ඔයාට පොරොන්දු උනා හැමදාම ඔයාව බලාගන්නවා කියලා.ඒ පොරොන්දුව මට ඉෂ්ට කරන්න දෙන්න.මුලින් මුලින් අම්මලා බැන්නත් පස්සෙ හරි යාවි.ඒ හින්දා සුලෝ හිත හදාගන්න..අපි ඉක්මනටම මේ ප්‍රශ්නෙට විසදුමක් ගේමු"
එදා අපි අතර ඇති උනේ තීරණාත්මක කතාවක්.කිසිම දෙයක් හිතාගන්න බැරිව මන් හිටියත් රොහාන් තදින්ම එක තීරණයක හිටියා.
නම ඇහුවම 'අපෝ ඒ පැත්ත මහ භයානක පැත්තක්නේ' කියලා හැමෝගෙම කටින් කියවෙන වනාත මුල්ල කියන්නේ මන් ජීවත් උන පළාත.දූලි නාගෙන ලෑලි ගෙවල අස්සෙන් රින්ග රින්ග සෙල්ලම් කරපු පුන්චි කාලයක් මට තිබුනේ.හැමදාම රෑට අම්මයි තාත්තයි රණ්ඩු වෙන හැටි බල බල නිදා ගත්තු පුන්චි කාලයක් මට තිබ්බේ.මහ රෑත් පොලිසියෙන් ගෙවල් වලට පනිද්දි අක්කට තුරුල් වෙලා අඩපු පුන්චි කාලයක් මට තිබ්බේ..
"මේ නරකාදියේ ඉදලා උඹලට කවදාවත් හරි යන්නෑ මයෙ පුතේ"කියලා නොකියපු එක දවසක්වත් නැතුව ඇති.අම්ම එහෙම කිව්වේ හිතේ කැකෑරිච්ච ලොකුම ලොකු වේදනාවකින් කියලා අක්කයි මායි හොදටම දැනගෙන හිටියා..ඒත් එක්කම අම්මට ලොකු බයක් තිබ්බා අපි දෙන්න ගැන.අම්මා නිතරම කිව්වේ,
"වැඩිය එළියට පහළට බහින්න එපා" කියලා.
"අපේ මුඩුක්කු ගෙවල් වලින් එක ගෙදරකවත් නැති තරම් සිරියාවන්ත කෙල්ලො දෙන්නෙක් බන් උඹට ඉන්නේ.ලෝබ කමේ බෑ බන් උන් දෙන්නව දැක්කම"දවසක් එහා ලේන් එකෙ හිටපු මැගී ඇන්ටි අපේ අම්මා එක්ක කියනවා මට ඇහුනා.එදා ඉදලා අම්ම අපිව ලොකුම ලොකු උවමනාවකට ඇරෙන්න ගෙදරින් තනියම එළියට යන්න දුන්නෙම නෑ.එදා රෑ අබ මිරිස් ලුණු දාලා ඇස්වහ කටවහත් පිච්චුවා මට මතකයි..
-----------------නැවතත්-----------
Saturday, March 21, 2015
****වළාකුලු බැම්ම **** (01)
"උපාසක අම්මා මොකද මේ අවේලාවේ මේ පැත්තේ?"
"ගෙදර ඉන්න කම්මැලි මෙහෙණින් වහන්ස., කවුරුත් නෑනේ ඉතින් කතා කරන්නවත්"
"ආ මාත් මේ බණ පොතක් අතට ගත්තා කියවන්න කියලා"
"මෙහෙණින් වහන්සෙට බාධාවක්නම් මන් ගිහින් එන්නම්"
"නෑ නෑ උපාසක අම්මා ඉන්නකෝ...ඉතින් පුතා කවද්ද රට ඉදන් එන්නේ?"
ගුණවති උපාසක අම්මගෙන් එහෙම අහගෙනම මන් ඇයත් සමගම බෝමලුව දිහාවට ඇවිද ගෙන ගියා.වැඩිපුර අව්වත් නැති හිරුගෙ රස්නෙ තරමක් පාලනය වෙලා තිබ්බ වෙලාවක් හින්දා බෝ සෙවණ යට ඉන්න අපහසු උනේ නෑ.බෝ මලුවේ වැලි කැට පයට පෑගෙනකොට දැනෙන සනීපයට මන් ආස කලා.ඒත් මහණ වුන මුල් දවස් වල ඒ වැලිකැටම මගේ කකුල් රිද්දපු හැටි තාම මතකයි.,ඒත් එදාට වඩා දැන් හැමදේම වෙනස් වෙලා.
බෝධින් වහන්සෙ වට කොට ඉදි කරල තිබ්බ අටවිසි බුදු වරුන්ගේ පිළිම දිහා බලාගෙන ගුණවතී උපාසක අම්මයි මායි එක පාරක් බෝධිය වටේ ගියා.ගුණවතී උපාසක අම්මනම් මල් ආසන වල තිබ්බ මල් වලට අත ගහලා වදිනවත් මන් දැක්කා..
පන්සල් මලුවෙන් බෝධි මලුව වෙන් කරලා තියෙන්න වලාකුලු බැම්මකින්.ඒ වලාකුල් බැම්මේ එක පැත්තකින් පන්සලේ එක මායිමක් වෙන්වෙලා තියෙනවා.එතනින් එහා තියෙන්නේ තරම පල්ලමක් එක්ක තියෙන කැළයක්.පන්සල් මලුවට ඒක කැලයක් වගේ පෙනුනට ලොකු මෙහෙණින් වහන්සෙනම් කිව්වෙ ඒක ගම්මානයක් කියලා.ඊට තරමක් ඈතින් ලා කොළ පාටට කුඹුරු යායක් පේනවා.ගිනිපෙට්ටි තුන හතරක් එකට තිබ්බා වගෙ තරමට පෙනුනට ඒක අක්කර ගානක කුඹුරු යායක් වෙන්න ඇති.ඊටත් ඈතින් පන්සල් වත්තෙන් බාගයක්ම වැහෙන තරමට එක දිගට දිවෙන කදු පන්තියක් තියෙනවා.හැමවෙලේම ඒ කදු මුදුන් මී දුමෙන් වැහිලා.ඉර පායනකොට ඒ මීදුම ඉරාගෙන හරිම අමාරුවෙන් වගේ හිරු රැස් දෙක තුනක් බෝමලුව පැත්තටත් වැටෙනවා.ලගදි මහණ වුන පොඩි මෙහෙණින් වහන්සේ නමක් හැමදාම මෙතනට ඇවිත් ඒහිරු රැස් වලට මූණ අල්ලන් ඉන්නවා.අවුරුදු පහළොවක් විතර ඇති මන් හිතන්නේ ඒත් කොහොම හරි ඒ මෙහෙණින් වහන්සෙ හින්ද තමයි මාත් මුලින්ම ඒ ලස්සන දර්ශනේ දැක්කේ.අපිට වඩා කොච්චර දෙවල් පොඩි අයගේ හිත් වලට පේනවද කියලා එදා මට දැනුනා.
"මොනවද මෙහෙණින් වහන්ස කල්පනා කරන්නේ?"
"ආ උපාසක අම්මා වැදලා ඉවරද? මන් මේ වට පිට දිහා බලන් හිටියා ටිකක් උපාසක අම්ම වැදලා ඉවර වෙනකන්"
මන් බණ පොතත් අත් දෙක අතරේ රදවගෙන බෝධින් වහන්සේ දිහාවට හැරිලා වළාකුලු බැම්මට හේත්තු වුනා.
"හරිම ලස්සනයි නේද මෙහෙණින් වහන්ස මේ පලාත?"
"ඔව් ඒක තමයි මන් මෙහෙට එන්න හිතුවේ..මෙ නිස්කලන්ක බව වෙන කොහෙවත් මට දැනිලා නෑ"
"මෙහෙණින් වහන්ස මහණ වෙන්න කළින් මොනාද කලේ කොළඹ?"
ඇය එහෙම ප්‍රශ්නයක් අහයි කියලා මට නිකමටවත් හිතුනෙ නෑ.එහෙම හිතුනනම් මන් මේ මාතෘකාවට කීයටත් මුලපුරන්නේ නෑ කියලා මන් මටම පොරොන්දු වෙලා හිටියේ.මොකද ඒ මන් තවමත් අමතක කරන්න උත්සහා කරන අතීතෙක ශේෂ වුනු මතකයන් ආපහු ගොඩ ගන්න හදන ප්‍රශ්නයක්.ඒත් ගුණවතී උපාසක අම්මගෙ පැනයේ තිබුනේ පිළිතුරක් අවශ්‍යම ස්වභාවයක්.
"මහණ වෙනකොට මන් කොළඹ පෞද්ගලික ආයතනයක රස්සවක් කලා."
"ඉතින් එතකොට මහන වුනේ?"
හිතපු කාරණාව හරියන බවක් මට හිතුනා.එක ප්‍රශ්නය දැන් දෙක තුනක් වී අවසන මගේ සම්පූර්ණම කතාව මා ලවා කියවගනීවි කියව ගනට යන බවක් මට දැනුනා.
මගේ කතාව කියන එක මට ගැටලුවක් නොවේ.නමුත් එහි හැම අස්සක් මුල්ලක් නෑරම නැවතත් ආවර්ජනය කිරීම හිතට හරිම වෙහෙසක්..
භාවනාවෙන් හිත දියුනු කරගෙන මේ තරමින් හරි නොසැලී ඉන්න පුලුවන් උනේ මේ සාසනේට ඇතුල් උනාට පස්සෙ.ඒත් මෙහෙණියක උනත් පෘතග්ජන ස්වභාවය නිසා නැවත් එකම කාරණා හිතට වද දීම පොදු කාරණයක්.ඒ බව එලෙසින් කියා මුල් දවස්වල මගේ හිත හදන්න හුගාක් උත්සහා කලේ මෙහෙ ලොකු මෙහෙණින් වහන්සෙ.ඉතින් මඩේ පිපුනත් නෙලුමක් වුවත් ජල තලයෙන් මතුවී මඩ නොගෑවී පිපෙනවා වගේ සියල්ල අමතක කරල කොහොම හරි මේ හිත දියුණු කරගන්න හදද්දි එක පාරටම මෙහෙම සුළිසුළන් හමා ගෙන යනකොට නෙලුම වුනත් ජල තලේ ගෑවෙනවා..
"ඒක දිග කතාවක් අම්මේ"
"දිග කතාවක් කිව්වේ?"
"උපාසක අම්මට රෑවෙයි ඒක අහගෙන හිටියොත්."
"අපෝ ඒකට මොනා වෙනවද ගෙදර කවුරුත් නෑනේ.අනික ඉතින් මහ දුරකුත් නෙමෙනේ මන් ඉන්නේ"
"හ්ම්ම්..එහෙමද?"
ගුණවතී උපාසක අම්මත් ඉතින් සාමන්‍ය කාන්තාවක් නේ.කාගේ හෝ කුමන කතාවක් අහගෙන ඉන්න අසා දැන ගන්න පුදුම ආසාවක් තියෙන්නේ කියලා මට හිතුනා.
------------නැවතත්-----------
Friday, February 20, 2015
^^^^කැන්ටින් එක^^^^
"තාම එකොලහා මාරයි නේ වෙලාව.දොළහටම කමු.බඩගිනිත් නෑනේ."
"එතකොට කට්ටිය පිරෙනවානේ"
"කට්ටිය එනකොට කෝමත් දොළහා පහු වෙනවනේ..අපි දොළහට යන්"
දොළහට කලින් අපේ වැඩ ඉවර උන වෙලාවට අපේ අය කරන්නේ ඉක්මනටම කැන්ටින් එකට ගිහින් දවල්ට කන එක.නැත්තන් හැම බැජ් එකකටම ඉවර උනාම කැන්ටින් එකේ ලොකු පෝළිමක් හැදෙනවා.ඊට කලින් නිදහසෙ කාලා කැන්ටින් එකෙන් ගිහින් ඔහේ කියෝ කියෝ ඉන්න එහෙමත් නැත්තන් ලයිබ්‍රි එකට ගිහින් බොගන්න තමයි අනිත් අයට ඕන කලේ..
ඒත් එක්කෙනෙක්ට ඕන උනේ අනිත් හැමෝම එනකන් ඉදලා කැන්ටින් එකට යන්න.මොකද ඒ හැමෝම අතරෙ එයාට ඕන උනා එයා හොයන ඇස් දෙක දකින්න.
"දොළහට පහයි අපි යමුද?" එහෙම අහන්නෙ එයාගෙ යාලුවා.
"හා යමු"
ඉතින් එයා එයාගේ යාලුවත් එක්ක කැන්ටින් එකට යනකොට දොලහ පහුවෙනවා.හිතපු තරම් පෝළිමක් නැති උනත් තරමක පෝළිමක් තියෙනවා.සෙනග අඩු පෝළිමක් බලලා ඒ දෙන්නත් හිට ගන්නවා.පෝළිමේ ඉදගෙන වට පිට බලන්න බැරි නිසා එයා කොහොම හරි ඉවසගෙන ඉන්නවා ඒ ඇස් දෙකේ අයිති කාරයව (අපි X කියමුකො) දකින්න .
ඉතින්..,
..............
සමහර දවසට.,
එයා එහෙම පෝළිමේ ඉදන් එලිය බලන් ඉද්දිම යාලුවො එක්ක හිනා වෙවි X ලැබ් කොර්ට් එකත් දාගෙන හොස්පිටල් එකෙන්(අපෙ හොස්පිටල් එක කැන්ටින් එක ළගනේ තියෙන්නේ)එනවා දකිනවා..
සමහර දවසට.,
එයා ඉන්න පෝළිමට එහා පෝළිමේ එයාට කලින් X ඇවිත් ඉන්නවා දකිනවා.,
සමහර දවසට.,
එයා ඉන්න පෝළිමට ලගම පෝළිමේ එයා ළගින්ම X ඇවිත් හිටගෙන ඉන්නවා දකිනවා.එතකොටනම් වචනයක් දෙකක් කතාත් කරනවා.,
...............
ඊට පස්සෙ එයයි එයාගේ යාලුවයි කෑම එකත් අරගෙන ඉඩ තියෙන තැනක් බලලා ඉද ගන්නවා.උදේ කරපු වැඩයි හවස කරන්න තියෙන වැඩයි තව කාගෙ හරි ඕපෙකුයි කියෝ ගෙන එයාල කෑම කනවා.ඒ අතරෙ එයා X ව හොයන්න ගන්නවා.
සමහර දවසට.,
එයා කන්න ඉද ගන්න මේසේට කෙළින්ම පේන තැනක X ඉදගෙන කනවා දකිනවා.(කොකා කෝලා එකකුත් මේසේ උඩ)
සමහර දවසට.,
එයාව දැක දැකත් නොදන්නවා වගේ ගිහින් X වෙන තැනකින් ඉද ගන්නවා දකිනවා.
සමහර දවසට.,
එයා කකා ඉන්නකොට X කැන්ටින් එකට එනවා දකිනවා.එයාව දැක්කොත් හිනා වෙලත් යනවා.
සමහර දවසට.,
එයා කන්න පටන්ගන්නකොට X කාල බීල ඉවරත් වෙලා රජ වීදියේ ඉදගෙන යාලුවොත් එක්ක කියෝ කියෝ ඉන්නවා දකිනවා.
...............
කොහොම හරි ගන්න පුලුවන් උපරිම වෙලාව අරන් කාලා යාලුවත් එක්කම නැගිටලා යනවා අත සෝදන්න.සීමාවක් නෑ එයාගේ ඇස් දෙකට ඉතින් එතනත් X ව හොයන්නවා.
සමහර දවසට.,
එයාට කලින් කාලා ඉවර වෙලා X ඇවිත් වතුරත් බීලා යනවා දකිනවා.එයාව දැක්කොත් හිනාත් වෙනවා.
සමහර දවසට.,
එයා අත සෝදන සින්ක් එකට එහා සින්ක් එකෙන් එයත් අත සෝදනවා දකිනවා.එතකොටනම් ටිකක් කතා කරනවා.යන්නම් කියලත් යනවා.
......................
ඊට පස්සෙ එයාට Xව හොයාගන්න එක ටිකක් අමාරු වෙනවා.ඒහින්දා හිතයි බඩයි පුරව ගෙන එයා යාලුවා එක්ක කැන්ටින් එකෙන් එළියට එනවා.
ඒත් .,
ඒ ඒ දවස් වල.
දැන් එයාට X එනක්න් බලන් ඉන්න වෙන්නෙත් නෑ.X කොහෙද කියලා හොයන්න වෙන්නෙත් නෑ.මොකද X ඒ කැන්ටින් එකට එන්නෙ නෑ ආයෙම.ඒ මතක විතරක් එයාට ඉතිරි කරලා X යන්න ගිහින්.
X හිටපු තැන් කියපු කරපු දේවල් හිනා වුන හැටි ඒ මතක එක්ක ඊළග අවුරුදු දෙක එයාට තනියම ඉන්න වෙනවා.ඔව් එයා ඉදීවි.. ඒ ඇස් ළග නොහිටියත් ඒ ඇස් එයා දිහා බලලා හිනා උන හැටි එයා එක්ක කතා කරපු හැටි කාටවත්ම හොරා ඒ මේස පුටු එයා ඒ කැන්ටින් එකට අඩිය තියන හැම මොහොතම එයාට මතක් කරලා දේවි..ඉතින් ඒ ඇති වෙයිද එයාට මේ අවුරුදු දෙක ගෙවන්න??
Subscribe to:
Posts (Atom)






