Thursday, May 7, 2015
****වළාකුලු බැම්ම **** (11)
රොහාන්ට ඒ වෙලාවේ මොනවා හිතුනද මම දන්නෑ.මොකද මන් එයාගේ මූණ දිහා බැලුවෙ නෑ.මට එහෙම බලන්න තරම් හයියක් තිබ්බේ නෑ.රොහාන් කිසිම දෙයක් ඇහුවේ නෑ.එයා මට ඔහේ අඩන්න දීලා කිසිම කතාවක් බහක් නැතුව වාහනේ ඩ්‍රයිව් කලා.මන් බහින තැන හරියටම දන්නෙ නැති නිසා රොහාන් බොරැල්ල පහු කරලා 174 පාරේ රේල් ගේට් එක ලග කාර් එක නතර කලා.
Saturday, May 2, 2015
****වළාකුලු බැම්ම **** (10)
"ගුඩ් මොර්නින් සර්"
"ආ ගුඩ් මොර්නින්... කට්ටිය ඔය ඉඩ තියෙන තැන් වලින් ඉද ගන්නකෝ..මිස්ටර් බස්නායක ඔයා ගිහින් ඒ රෙපෝට්ස් ටික අද හවස් වෙද්දි රෙඩි කරලා තියන්න එහෙනම්.මට දැන් මෙයාලට ටිකක් කතා කරන්න ඕන"
රොහාන් තේනුවර.අපේ අලුත් මැනේජර්.පෙනුමින් කෙලිලොල් බවක් පේන්න තිබ්බත් හරිම නීට් එකට ඇදගෙන හිටියා.මට මතකයි ලා නිල් පාට ෂර්ට් එකකුයි කලු කලිසමකුයි ඇදගෙන හිටියේ. ආ තව කලු පාටම ටයි එකකුත් දාලා හිටියා.ඒ රූම් එකට යන්න කලින් මට මතකයි යාලුවෙක් කිව්වා 'පොර හරියට සයිෆ් අලි ඛාන් වගේ ' කියලා.ඇත්තටම ඒ කියපු දේ ඔව් කියලා එයාව දැක්ක ගමන් මටත් හිතුනා.අපි ඔක්කොම පහළොස් දෙනෙක් විතර හිටියා.අලුත් සර්ට වහ වැටුනු කෙල්ලො දෙතුන් දෙනෙක් ඉස්සරහටම ගිහින් ඉද ගත්තා.මන් ඉතින් ඒ අයට ඉඩ දීලා පිටිපස්සෙ තිබ්බ විසිටර්ස්ලගේ චෙයාර් එකේ ඉදගත්තා.මිස්ටර් බස්නායක ගියාට පස්සේ අපේ මැනේජර් අපි හැමෝ දිහාම එක හුස්මටම බලාගෙන ගිහින් එයාගේ ටේබල් එකේ කොනකින් වාඩි උනා.ඒ වාඩි වෙන ගමන් එයා හොරෙන් වගේ මන් දිහා බැලුවා.ඒ බැල්ම මන් විතරක් නෙමේ මාත් එක්ක ඒ චෙයාර් එකේ ඉදගෙන හිටපු මනෝජුයි සදුනුයි දෙන්නම දැක්කා.ඒ මොනවා උනත් හේතුව මොකක් උනත් ඒ බැල්ම මගේ හිතේ තදින්ම ඇදුනා.
"හරි ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ මාව.මන් රොහාන්.,රොහාන් තේනුවර.ඔයාලගේ අලුත් මැනේජර්.ඇත්තටම මැනේජර් කෙනෙක් විදියට මේ තමයි මගේ ෆස්ට් අපොයින්ට්මන්ට් එක.ලාස්ට් යියර් එකේ තමයි මන් මගේ මැනේජ්මෙන්ට් ට්‍රේනී එක්සෑම් එක ලිව්වේ.ඉතින් as a manager this is my first experience.so what i want you guys to co-op with me.actually I don't want to be your big boss.I just want to be friendly with you in every aspects හරිද?මටත් මේ ෆීල්ඩ් එකේ තව ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා.ඉතින් ඔයාලගෙන් උනත් ඔපීනියන්ස් ගන්න මන් කැමති ඕනම දේකට.මොකද මේ සෙට් අප් එක ගැන ඔයාලා මට වඩා දන්නවනේ මෙච්චර කාලයක් මෙතන ඉදලා.so let's start from the beginning.ඒත් එක්කම i strictly want to tell you this thing that I care about the discipline a lot හරිද? no cheating no gossiping no betraying no blaming.we should work as a team....."
අපේ අලුත් මනේජර් ලොකූ කතාවක් කලා.කොච්චර වෙලාවක් ගියත් එයා කතා කරන එක අහන් ඉන්න එක මට විතරක් නෙමේ අපි කාටවත් එපා වෙලා තිබ්බේ නෑ.'තව කතා කලානම් අහන් ඉන්න තිබ්බ' කියලා රූම් එකෙන් එලියට ආවට පස්සේ නයෝමි කිව්වා.ඒ කතාව කරනකම් ම එයා මන් දිහා බැලුවෙ නෑ.ඒත් ඒකෙ විශේෂයක් මට දැනුනේ නෑ.ඊට පස්සේ අපි ශේක් හෑන්ඩ් කලා.
"wish you all the best sir"
"thank you..may I know your name please?"
"සුලෝචනා"
"සුලෝචනා විතරද?"
"සුලෝචනා වීරසිරි"
"හ්ම්.. නයිස්.. "
අපේ දෙබස අහගෙන හිටපු යාලුවො ගොඩ දෙනෙක් අපිට විහිලු කලා.ඒත් ඒවා ගැන වැඩිය හිතන්න ඕන කමක් මට තිබ්බේ නෑ.වෙනදා වගේම මන් මගේ පාඩුවේ ඔහේ වැඩ කරගෙන ගියා.අලුත් සර්ත් අපිත් එක්ක හොදට කතා බහ කරලා හිටියා.ඒත් මාත් එක්ක ටිකක් වඩි පුර කතාවට එනවා කියලා මට නොතේරුනෙමත් නෑ.
ඒ කාලේ ගොඩාක් හෙමින් ලස්සනට ගලාගෙන ගියා.යාලුවොත් එක්ක ගෙවන ජීවිතේ පුදුමාකාර සැනසීමක් තිබ්බා.වනාත මුල්ලේ ගෙවපු ජීවිතේ ගැන මට අමතකම වෙලා තිබ්බා.නිශානි එයාගේ කැම්පස් එකේ වැඩ වලට හිර වෙලා හිටියා.අසයින්මන්ට්,ප්‍රසන්ටේෂන්,ටියුට්,ලෙක්චර්ස් කිය කියා හැමදාම යුනිවසිටි සිස්ටම් එකට බැන බැන හිටියා.ඒත් එයා ආසාවෙන් ඒ වැඩ ටික කරගෙන ගියා.කැම්පස් එකේ දෙවනි අවුරුද්ද පටන් ගෙන මාසයක් විතර ගියාම නිශානි එන්ගේජ් උනා එයාගේ කසින් එක්ක.ඒ වැඩ වලට උදව් වෙන්න ඕන හින්දා මන් දවස් තුනක්ම නිවාඩු දැම්මා.වැඩට ගිය දවසේ ඉදලා මන් මුලින්ම නිවාඩු ගත්තේ ඒකට.නිශානිනම් ගෙදර නැවතුනේ එන්ගේජ්මන්ට් එක දවසේ විතරයි.ඒත් මායි නිශානිගේ අම්මයි තාත්තයි අපි තුන් දෙනා හැමදේම හොදටම කලා.
කොහොම හරි එන්ගේජ්මන්ට් එකට පස්සේ දවසේ අපි ඩෙකරේෂන්ස් බාර දීපු ශොප් එකට බලන්ස් එක පේ කරන්න මන් ගියා.ඒක තිබ්බේ බම්බලපිටියේ.ගෙදර අස් පස් කරන වැඩ ටික කරලා මන් එහෙට යද්දි හවස් උනා.ඒවෙලාවේ ට්‍රැෆික් එකත් වැඩි හින්දා මන් එහෙ ගිහින් බිල් එක ගෙවලා ඉවර වෙනකොට හතහාමාර විතර වෙලා තිබ්බා.ඒ වැඩ ඉවර වෙලා ශොප් එක ඉස්සරහම තිබ්බ බස් හෝල්ට් එකට වෙලා බස් එකක් එනකන් ඉද්දි මගේ ඉස්සරහින් දැකලා පුරුදු කාර් එකක් නැවැත්තුවා.මන් හිටපු පැත්තේ ෂටර් එක පහත් කරලා කෙනෙක් මට කතා කලා.
"සුලෝචනා නගින්න"
ඒ අපේ සර්.
"නෑ සර් කමක් නෑ.දැන් බස් එකක් එයි."
"බස් ඉතින් ඕන තරම් එනවනෑ ළමයෝ.කෝ නගින්න ඉතින් මෙතන වඩි වෙලා නවත්තන් ඉන්න බෑ"
මට ඒ ආරාධනාව මග අරින්න මහා ලොකු හේතුවක් තිබ්බෙත් නැති නිසා මන් නැග්ගා.
"කොහෙද මේ රෑ?දැන් දවස් තුනක්ම ආවෙත් නෑ"
"මගේ යාලුවාගේ එන්ගේජ්මන්ට් එක තිබ්බා සර්.ඒකයි"
"අම්මෝ එන්ගේජ්මන්ට් එකට මෙහෙමනම් වෙඩින් එකට මාසයක්ම නිවාඩු දායි නේ මෙයා"
"එයා මගේ හොදම යාලුවා සර්.හරියට මගේම නන්ගි කෙනෙක් වගේ"
"සුලෝචනා අද දවල් ඉදලා මන් මුකුත් කාලා නෑ.අපි මොනවා හරි කාලා යමුද?"
"සර් දැන්"
"ඔව් ළමයො දැන් තමයි බඩගිනි මට"
එක පාරටම ඒ කරපු යෝජනාවට කොහොම ප්‍රතිචාර දක්වන්නද කියලා මට හිතාගන්න බැරි උනා.ඒත් සර් බඩගිනි කිව්වේ ඇත්තටමනම් ඒ යෝජනාව අහක දාන එක හරි නෑ කියලත් හිතුනා.ඒත් එක්කම 'එහෙනම් සර් කන්න මන් මෙතනින් බස් එකක් ගන්නම්' කියන්නත් හිතුනා.එහෙම හිතුනට ඒක කියාගන්න තරම් හයියක් තිබ්බේ නෑ..ඒ කොහොම උනත් මන් උත්තරයක් දෙන්නත් කලින්ම සර් රෙස්ටුරන්ට් එකක් ළග කාර් එක නතර කලත් එක්ක.
පැය භාගයක් විතර අපි එතන ඉදලා ආයෙම ආවා.සර් ගේ විස්තර ගොඩාක් මට කිව්වා.තව ආයෙම සර්ට සර් කියන්න එපාලු.රොහාන් කියන්නලු.මන් ගොඩාක් වෙලාවට කලේ අහන් හිටපු එක විතරයි.මගේ ගැනත් එක එක ඒවා ඇහුවා.ඒත් මන් කොහොම හරි මග ඇරියා.කටක් ඇරලා කියන්න පුලුවන් අතීතයක් මට නෑ කියලා දන්නේ මායි නිශානිලාගේ ගෙදර අයයි විතරනේ.
ආයෙම එන අතරේ ට්‍රැෆික් එකට හුග වෙලාවක් කාර් එක නවත්තන් ඉන්න උනා.එහෙම නවත්තපු එක තැනකදි අවුරුදු ගානකින් නොදැකපු කෙනෙක්ව මන් දැක්කා.ඒ මගේ අක්කා.එයා හිටියේ පාරෙන් එහා පැත්තේ තව කවුද පිරිමි කෙනෙක් එක්ක මොනවද මන්දා කියව කියව.හොදට දන්න කියන කෙනෙක් එක්ක වගේ කතා කර කර හිටියේ.ටිකක් වෙලා කතා කර කර ඉදලා අක්කා එතනම තිබ්බ කලු පාට බෙන්ස් එකට නැග්ගා.අනේ දයියනේ අක්ක තාමත් මේ ජරා රස්සවම කරනවද?මට ඇඩෙන්න වගේ උනා.ඒත් මගේ ජීවිතේන් මන් අක්කව ඈත් කරලා ගොඩාක් කල්.ආයෙම මන් එයා වෙනුවෙන් අඩන්නේ නෑ කියලා මන් එවෙලෙත් මගේ හිත පොරොන්දු කරගත්තා.පපුව ඇතුලේ හිර වෙලා තිබ්බ හැගීම් ලොකුම ලොකු සුසුමකින් පිට කරලා මන් ශීට් එකට හේත්තු වෙලා අනිත් පැත්ත බලාගත්තා. මන් ඉස්සීගෙන පුදුමෙන් වගේ බලාගෙන හිටපු නිසා සර්ත් සද්ද නැතුවම එතන වුන හැමදේම බලාගෙන ඉදලා.
"ඇයි සුලෝචනා පුදුමෙන් වගේ.ඕවා ඉතින් මේ පැත්තේ කොහොමත් තියෙනවානේ"
"හ්ම්ම්"
"සුලෝචනා මොකද හිතන්නේ ඒ වගේ තැන් වලදි කවුද වැරදි?"
"මන් දන්නෑ සර්"
"සර් නෙමේ රොහාන්..මන් කිව්වනේ ඔයාට"
"සොරි රොහාන්.මන් දන්නෑ.කවුරු වැරදි උනත් හරි උනත් ඒ දේ වැරදි"
"මන්නම් හිතන්නේ ඔතන සම්පූර්ණ වැරැද්ද ගෑණු අය."
"ඒ වුනාට එයාල කවුරුත් ආසාවෙන් ඕවා පටන්ගත්තා කියන්න බෑ රොහාන්.වැරදි ඒ ගෑණුන්ගේ අසරණකම්
වලදි බොරු මවලා ඕවට ඇදලා ගන්න හිතක් පපුවක් නැති මිනිස්සු"
මන් ආපු ආවේගෙන් එහෙම්මම කියාගෙන ගියා.
"සුලෝචනා ඇයි මේ නර්වස් වෙලා.කාල්ම් ඩවුන්.ඇයි මේ කොහෙවත් යන ගෑණු ගැන හිතලා ඔයා අප්සට්
යන්නේ."
"කොහෙවත් යන ගෑනියෙක් නෙමෙයි සර් එයා මගේ අක්කා"
මට ඉකිගැහුනා.
------------නැවතත්----------
Friday, May 1, 2015
****වළාකුලු බැම්ම **** (09)
"මෙහෙණින් වහන්ස බර කල්පනාවක වගේ?"
මිහිදන් කරන්න හදන අතීතෙක එක් ඉසව්වක නතර වෙලා හිටපු මන් පියවි සිහියට ආවෙ ගුණවතී උපාසක අම්මා එහෙම ඇහුවට පස්සේ.අවුරුදු දහයකට පෙර අතීතයේ වෙච්ච හැම දෙයක්ම පටිගත කරලා තිබ්බා වගේ මගේ හිතේ ඇදෙන්න ගත්තා.මෙහෙණියක වෙලා පාරමිතා පුරන්න හිතාගත්තත් අදටත් ඒ මතකය නිසා මේ හිතට දුක කලකිරීම බය දැනෙනවා.ඒත් අද ආයෙම ඒ වැලලුනු ගිනි ගොඩ ඇවිලෙන්න කලින් මෙ බෝ සෙවණ මට පුදුමාකාර සැනසීමක් ගෙනාවා.ඒත් දැන් මේ හිත මට මුල ඉදන්ම හදාගන්න වෙනවා.හැමදේම අත ඇරලා මන් මහණ වුනේ මට තවදුරටත් ඒ ජීවිතේට මුහුණ දීගන්න තරම් ශක්තියක් ඉතිරි වෙලා තිබ්බ නැති නිසා.ඒත් අපේ අක්කට රොහාන්ට මගේ පැටියට උන දේවල් එක්ක මන් මෙහෙම පැත්තකට වෙලා මගේ ජීවිතේ විතරක් හදාගන්න එක වැරදි කියන හැගීමත් මගේ හිතට වද දෙන සිතුවිලි අතරේ තාමත් තියෙනවා.ඒත් මැරෙන්න තරම් ප්‍රශ්න එද්දි මට මෙහෙම හරි තීරණයක් ගන්න පුලුවන් වෙච්ච එක ගැන මටම පුදුමයි.සමහරවිට ඒ හයිය මට එන්න ඇත්තේ රොහාන්ගේ ආදරේ හින්දා.මන් දන්නවා මන් මැරුනොත් රොහාන්ට ඒ දුක දරාගන්න බැරි වෙයි.ඉතින් ඒ හිතට එච්චර දුකක් දෙන්නේ කොහොමද මන්.අදට උනත් රොහාන් හිත හදාගෙන ඉන්නේ කොහේ හරි තැනක මන් හොදින් ඉන්නවා කියන විශ්වාසෙන්.
"ආ උපාසක අම්මා තාමත් මෙතනද?"
ඇස් අගට මෝදු වෙච්ච කදුලක් අතින් පිහදන ගමන් මෙන් ගුණවතී උපාසක අම්මගෙන එහෙම ඇහුවේ ගොඩාක් වෙලා ගිහින් කියලා හිතුන නිසා.ඒත් ගතවෙලා තිබ්බේ විනාඩි කිහිපයක් විතරයි.
"ඇයි මෙහෙණින් වහන්ස මන් මේ කාතාව අහන්න බලන් උන්නේ..ඒත් මට දැන් හිතෙනවා මොනවා උනත් ඒ කතාව එච්චර සරල නැතුව ඇති කියලා"
මන් දිහා ආදරණීය බැල්මක් හෙලපු ගුණවතී අම්ම එහෙම කිව්වා.සමහර විට මගේ නිහඩ බව උපාසක අම්මට ගොඩාක් දේවල් තේරුම් කරන්න ඇති.
"ඒවා අනවශ්‍ය කතා උපාසක අම්මේ.ජීවිතේ මිනිස්සුන්ට මුණ ගැහෙන වර්තමානෙම අතීතයක් වෙලා ගිහාම ආයෙම ඒ ගැන තැවෙන එක තේරුමක් නෑ.ඒ අතීතෙන් ගන්න පුලුවන් හොද දෙයක් තියෙනවනම් අන්න ඒ දේ අරගෙන වර්තමානයේ හොදින් ජීවත් වෙන එකයි කරන්න ඕන."
"ඒක හරි මෙහෙණින් වහන්ස.මාත් අපේ ළමයින්ට ප්‍රශ්නයක් ආවම ඕකමයි කියන්නේ.නිකන් වැලපි වැලපි ඉන්නෙ නැතුව කරන්න තියෙන දේවල් වලට මුහුන දෙන්න කියලා.කොහෙද ඒව අහන්නෑනේ දැන් ඉන්න ළමයි.පවුල පිටින්ම රට ගියෙත් මෙහෙ ඉදන් ප්‍රශ්න විසදන්න බෑ කියලනේ ඔය."
ගුණවතී උපාසක අම්මා ගොඩාක් දේවල් කියාගෙන ගියා.ඒත් එක්කම මන් ගැන දැන ගන්න තිබ්බ ඕන කමත් එහෙම්මම අමතක වෙලා ගියා.
"දැන් ගොඩාක් රෑ වෙලානේ උපාසක අම්මේ.අම්මා දැන් යන්න එහෙනම් තව රෑ වෙන්න කලින්"
"ඔව් ගෙදරත් කවුරුත් නෑනේ මන් ගොහින් එන්නම් එහෙනම්"
මිනිස්සු කියන කරන දේවල් කොච්චර ඉක්මනට වෙනස් වෙනවද.මට යන්තම් හිනාවකුත් ගියා.
"හා එහෙනම් කලුවරේ යන්න බෑනේ ටෝර්ච් එකක් දෙන්නද උපාසක අම්මට?"
"තිබ්බොත් හොදයි නේදා?රෑ ජාමේ සතා සර්පයෙක් එහෙම පෑගුනොත්..කම්මැලි කමට ආවට මෙච්චර රෑ වෙයි කියලා හිතුවේ නෑනේ"
"හා එහෙනම් ඉන්නකෝ මන් ගෙනත් දෙන්න"
ගුණවතී උපාසක අම්මා ආවේ කීයට හරි කමක් නෑ කතාව අහල යනවා කියලා.ඒත් දැන් රෑ වුන එක ලොකු ප්‍රශ්නයක් වෙලා.අපි හැමෝම පෘතගජනේ මිනිස්සුනේ.මන් මගේ කුටියට ගියා ටෝර්ච් එක ගේන්න.
**************
අතීතය වර්තමාණය ගැන ඇත්තටම හිතෙන දේවල් කිව්වට ඒ ඇත්ත තුළ ජීවත් වීම ගුණවතී උපාසක අම්මගේ දරුවොන්ට වගේ මටත් තාම අමාරුයි.ඒත් ඒ අයට වගේ නෙමේ මේ බුද්ධ සාසනය ඇතුලේ බුදු හාමුදුරුවන්ගේ යතාවදී තථාකාරි ගුණය ආදර්ශයට ගැනීම මා විසින් කළ යුත්තක්.ඉතින් මේ උත්සහාය ඒ වෙනුවෙන්ම තමයි.
ලොකු මෙහෙණින් වහන්සේගේ අභිධර්ම පාඩම තියෙන්නේ හැමදාම රෑ 8ට.ඒ පැයෙන් පස්සෙ හැකි උපරිම කාලයක් භාවනා කරලා නින්දට යන එක තමයි සාමන්‍ය පිළිවෙත.අදත් අභිධර්ම පාඩම ඉවර වෙලා ම්හෙණින් වහන්සේලා ඔක්කොම තම තමන්ට වෙන් වුන කුටි වලට වඩින්නට උනා.මාත් මගේ කුටියට ගිහින් භාවනා කරන්න පටන් ගත්තා.
ඇස් දෙක පියාගෙන එක ආශ්වාසෙකින් පෙනහැලි පුරවාගෙන ආයෙම හෙමින් ඒ හුස්ම ප්‍රාශ්වාස කලා.දෙපාරක් තුන් පාරක් එහෙම කරද්දි මුලු හිතම හිරිවට්ටගෙන එක පාරටම හුරු පුරුදු හුස්මක මතකයක් මුලු හිතම වෙලා ගත්තා.
"රොහාන්"
මගේ හිත කියනවා ඇහුනා.මාස හයක් තිස්සේ මේ වගේ හැගීම් එක්ක භාවනාව පුරුදු කරන්න ගොඩාක් මහන්සි වෙන්න උනා මට.ඒත් යම් ප්‍රගතියක් තිබ්බා මගේ හිතේ.ඒත් අද.සමහර විට හවස ගුණවතී අම්මා එක්ක ආපු වෙලාවේ කියපුවා හිතුන ඒවා හින්දා වෙන්න ඇති.
ඒ හැගීම අමතක කරලා ආයෙම පාරක් භාවනාවට හිත යෙදෙව්වත් දිගටම එකම අරමුණක ඉන්න බෑ කියලා හිතුනා.ඒ හින්දා මන් ඇදට ගියා.නිදාගන්න ඕන උනත් ඒ මතකය නින්ද අහලකටවත් ගෙනාවෙ නෑ.
**************
මායි නිශානියි ඒලෙවල් හොදටම පාස් උනා.කම්පස් යන්න ආසාවක් තිබ්බත් මන් ඒ අදහස අත ඇරියා.නිශානිට ඕන උනා අපි දෙන්නම එකට කැම්පස් යන්නත්.ඒත් නිශානි කියපු හැමදේටම කමැති උන මම ඒ දේටනම් කොහොමවත් කැමති උනේ නෑ.නිශානි ගේ අම්මටයි තාත්ටයි ගොඩාක් සතුටුයි නිශානි කැම්පස් සෙලෙක්ට් උන එකට.එයාලා ඒකට ස්තූති කලේ මට.ඒලෙවල් කරද්දි මන් නැවතිලා හිටියේ නිශානි එක්ක එයාලගේ ගෙදර.මන් කැම්පස් යන්න බෑ කිව්වම අන්කල් මට ප්‍රයිවට් බෑන්ක් එකක ජොබ් එකක් අරන් දුන්නා.මන් ඒ ජොබ් එකට ගියා.නිශානි කැම්පස් ගියා.නිශානිලගේ ගෙදර මගේ ගෙදර උනා.එයාගෙ අම්මයි තාත්තයි මට එයාලගෙම ළමයෙක්ට වගේ සැලකුවා.හිනාව සතුට කියන දේවල් මගේ ජීවිතේට ඇතුලු වෙන්න ගත්තා.දුක කියන දේ ඈතින් ඈතට යද්දි මට ජීවිතේට ආදරේ කරන්න හිතුනා.
ඒවගෙම තමයි එක දවසකින් පස්සෙ මට ජීවිතේට ආදරේ නොකර බැරි උනා.එදා තමයි අපේ බැන්කුවට අලුතින් මැනේජර් කෙනෙක් ආවේ.
"අපෝ යන්තන් ඇති නැත්තන් මන් හිතුවේ මේ පාරත් කවුරු හරි වයසක ඩයල් එකක් ඒවි කියලා"
"ඒකන්ම් ඇත්ත පොර හැන්ඩියා"
"සිරාවට හෙන දතක්ද කොහෙද"
"වෙන්නැති බන් පේන්නැද්ද මූණෙන්ම"
අපෙ බෑන්ක් එකේ යාලුවෝ ටික අලුත් මැනේජර් ගැන කියවන්න ගත්තා.මට ඔහොම කියවන එක පුරුදු නැති හින්දා මන් පැත්තකට වෙලා එයාලා කියන ඒවට හිනාවෙවී හිටියා.
"මේ සුලෝචනා ඔයා දැක්කද අලුත් ඩයල් එකව?"
"නෑ තාම දැක්කේ නෑ"
එදා මන් බෑන්ක් එකට යනකොට ටිකක් පරක්කු උනා.නිශානිලගේ රැග් පීරියඩ් එක නිසා එයාලට කොන්ඩ දෙකක් ගොතාගෙන එන්න කියලා තිබ්බා.ඉතින් ලේයර් කරපු කොන්ඩේ කෑලි එකතු කර කර ගොතල දෙන්න ගිහින් මට පරක්කු උනා.ඒ හින්දා අලුත් මැනේජර්ව මන් දැක්කේ නෑ.
අපේ අය මැනේජර් ගැන කියව කියව ඉද්දි අපේ සෙක්ශන් එකේ හෙඩ් ආවා.
"අන්න මිස්ටර් රොහාන් ඔයාල ඔක්කොටම කතා කරනවා.ඇතුලට යන්න"
Friday, April 24, 2015
****වළාකුලු බැම්ම **** (08)
මගේ ජීවිතේ පුදුමාකාර විදිහට උඩු යටි කුරු වෙමින් තිබුනා.හීන මවාගෙන විභාගෙ කරගන්න තිබ්බ උනන්දුව සැඩ පහරකට අහු වෙලා ගියා.ආයේ ඉස්කෝලෙ යනවා තියා ඒ ගැන හිතන්නවත් මන් කැමති උනේ නෑ.මන් වෙනුවෙන් කියලා අක්කා කරන හැම දෙයක්ම හරි නෑ කියලා දැනගත්තම හොදින් හරි නරකින් හරි මට ඕන උනේ ඒ දේවල් වලට නැවතීමක් තියන්න.අම්මා බලාගත්ත අත බලාගෙන හිටියා.එක අතකට අම්මාටත් කරන්න දෙයක් තියෙන්නැතුව ඇති.අක්කා පොඩි කාලේ ඉදන්ම එයාට ඕන දේ කලේ කියලා හැමෝටම වඩා දන්නේ අම්මානේ.ඉතින් අක්කා කරන හැමදේම දිහා බලාගෙන ඉන්න ඇති.මන් අක්කා එක්ක කතා කලේ නෑ ඊට පස්සේ.එයාටත් මා එක්ක කතා කරන්න වුවමනාවක් තිබ්බෙත් නෑ.'ආයෙම මන් ඒ රස්සවට යන්නෑ නන්ගි.උඹ කොහොම හරි ඉගෙන ගනින් මන් වෙනදා වගේ ඇදුමක් මහල උඹට වියදම් කරන්නම්' කියලා අක්කා මට ඇවිත් කියනකන් මන් බලාගෙන හිටියා.ඒත් එහෙම දේවල් වෙන්නේ ෆිල්ම් වල විතරයි කියලා හිතුනම හැමදේම අතෑරලා ඔලුව හැරුනු අතේ යන්නත් හිතුනා.කාටමහරි මේ දුක කියන්න ඕන උනා.ඒත් කාටද?නිශානිට මේ දේවල් කිව්වොත් මට ඒ යාලුකමවත් නැති වෙයි කියලා මට ගොඩාක් බය හිතුනා.ඒ හින්දා මන් කිසිම දෙයක් එයාට කිව්වෙ නෑ.
ආයෙම ඉස්කෝලෙ යන්න ඕනකමක් තිබ්බෙ නැති නිසා මන් රස්සා දෙක තුනකටම ඇප්ලයි කලා.ඒත් සුමනේ අයියා අදුරන කෙනෙක් වනාතමුල්ල කිට්ටුව තිබ්බ ටියුෂන් පන්ති කරන තැනක ඇසිස්ටන්ට් අකවුන්ටන්ට් විදිහට මට එන්න කියලා තිබ්බා.එතන හොදයි කියලා සුමනේ අයියම තමා ඒ රස්සාව අල්ලලා දෙන්න ගොඩාක් මහන්සි උනේ.අන්තිමට මන් ඒ රස්සවට යන්න තීරණය කලා.අක්කගෙන් මන් ඇහුවෙත් නෑ.අම්මට රස්සාවට යන්න කලින් දවසේ කිව්වා මෙහෙම යනවා කියලා එච්චරයි.ඉස්සර අක්කා ගැන මට තරහක් නොහිතුනත් ඒක වෙනස් වුනා.අක්කා එහෙම දෙයකට ගියේ මට උගන්නන්නනම් ඒත් මන් ඒ දේ හින්දම ඉගෙන ගන්න එක අත අරිනවනම් ඇයි අක්කාට බැරි ඒ ජරා රස්සාව අත අරින්න.අඩුම තරමින් අක්කට මන් ඉස්කෝලෙ ගමන නවත්තපු එක ගැන දොස් කියන්නවත් තිබ්බා.ඒත් එයා එහෙම කලේ නෑ.එයාට ඒවෙනකොට මන් කරන කිසි දෙයක් ගැන කිසිම ගානක් තිබ්බේ නෑ.සුමනේ අයියත් එක්ක මන් ඒ ගැන කිය කිය අඩද්දි අයියා කිව්වේ 'ඕවා ඔහොම තමයි බන් සල්ලි අතේ පයේ ගෑවෙනකොට ඔහොම වෙනවා' කියලා.මට එදා ඇත්තටම අක්කා ගැන ලොකු පිළිකුලක් දැනුනා..
අපේ අලුත් වාරෙ ඉස්කෝලෙ පටන් ගන්න තිබ්බ දවසෙ මන් මගේ අලුත් ජොබ් එකට ගියා.සතියක්ම එක දිගට මන් එතන ජොබ් එක කරගෙන හිටියා.ඒත් දවසක් මන් වැඩ ඇරිලා ගෙදර යද්දි නිශානි අපේ ගෙදර ඇවිත් හිටියා.කවදාවත් අපේ ගෙදර ඇවිත් තිබ්බේ නැති නිසා එයාව දැක්කම මන් පුදුම උනා.ඒවගේම බය උනා.දුකත් දැනුනා.ඕලෙවල් වලින් මන් පාස් උන සිද්දිය හින්දා වනාතමුල්ලට ඇවිත් මගෙ නම කියලා ඇහුවොත් මාව නොදන්න කෙනෙක් හිටියෙ නෑ.ඒහින්දම නිශානි අපේ ගෙදර හොයාගත්ත හැටි අහන්න මට ඕන උනේ නෑ.
මුලින් මුලින් බොරුවක් ගොතාගන්න හැදුවත් නිශානි ඉස්සරහා මට එහෙම බොරුවක් කියන්න බැරි උනා.නිශානි මන් ගැන මොනවා හිතයිද කියන එක පැත්තකින් තියලා මන් නිශානිට වෙච්ච හැමදේම මුල ඉදන් අගටම කිව්වා.මන් ඇඩුවා.තරහෙන් පිපිරුනා.බොරුවට හිනා වුනා.ආයෙම ඇඩුවා.ඒ හැමදේම නිශානි හරිම උනන්දුවෙන් අහගෙන හිටියා.ඒත් එක තැනකදි එයා මට හොදටම බැන්නා.ඒ ආයෙත් ඉස්කෝලෙ එන්නෙ නෑ කියලා මන් කිව්වම.ඔක්කොම වියදම් එයා බලාගන්නම් කිව්වා.නිශානි එයාගෙ අම්මලට කියන්නම් කිව්වා.ඒත් මට ඒකට හිත හදාගන්න බැරි උනා.මන් නිශානිට මගේ අන්තිම තීරණය කිව්වා.ඒ ආයෙම ඉස්කෝලෙ යන්නෙ නෑ කියලා.ඒත් නිශානි ඒකට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.
"එක්සෑම් එකට තව මාස 6යි සූ.එතනින් පස්සෙ ඔයාට පුලුවන් ඔය ජොබ් එක කරගෙන ඉන්න.පණ්ඩිත වැඩ කරන්නෙ නැතුව ඉස්කෝලෙ එන්න"
"කොහොමද නිශානි මන් හිත හදාගෙන එන්නෙ.මේ නරකාදියෙම මාවත් එරිලා වගේ මට දැනෙන්නේ"
"මෙහෙමයි සූ., ඔයා මෙ හැමදේම අතරමග නවත්තලා දාල පැත්තකට වෙන්නේ අක්කාගෙ වැඩ හින්දනම් ඔයා ටිකක් හිතන්න.කොච්චර තිත්ත උනත් අක්කා මේ තත්වෙට වැටෙන්න ඇත්තෙ ඔයා හින්දා.ඔයාට උගන්නන්න එයාට ලොකූ වුවමනාවක් තිබ්බනේ.එයාට වෙන කරන්න දෙයක් නැති පාර මෙහෙම කරා වෙන්න ඇති.ඒ හින්දා ඒ අක්කගේ ජීවිතෙ දැන් පෙනි පෙනි විනාස වෙද්දි ඔයා ඔහොම වැඩ කලොත් කවදහරි අක්කටම එයා ගැන කලකිරෙන දවසක අක්කගෙ හිත හැදෙන්නවත් ඔයා හොදට ඉන්න ඕන.ඒක තේරුම් ගන්න.අක්ක ගැන හිතන්න එපා දැන් ඔයා.ඒක ඔයාට වදයක් නම් අක්කා කෙනෙක් නොහිටිය ගානට ඔයා ඉන්න."
නිශානි මගේ හිත හදන්න ගොඩාක් උත්සහා කලා.ඔව් ඇත්ත එයා කිව්වේ සම්පූර්ණ ඇත්ත.ඒත් මන් කොහොමද දැන් ඉස්සරහට යන්නේ.හැමදේම පැටලිලා වගේ දැනුනා.
නිශානි එදා මාත් එක්ක ගොඩාක් වෙලා කතා කර කර හිටියා.එයා එදා අපේ ගෙදරින් ගියේ ඊළගට එන සදුදා ඉදලා මට ඉස්කෝලෙ එන්නමයි කියලා බල කරලා.එයා යද්දි මට සල්ලිත් දීලා ගියා.නිශානි ගියාට පස්සේ මන් එයා කියපු හැම දේම මුල ඉදලා ආයෙම හිතන්න ගත්තා.ආයෙම ඉස්කෝලෙ යන්න හිතුනත් මන් ඒ ගැන සුමනේ අයියගෙනුත් ඇහුවා.සුමනේ අයියා මන් කියන ඕන දේකට මට උදව් කරන නිසා එයා කිව්වේ 'උඹ හිතලා බලලා හොද දෙයක් කරපන්' කියලා.
මේ ජීවිතේ අයිති මට විතරක්නම් මට ඕන ඕන දෙවල් කරන්න තිබ්බා.ඒත් මන් නිසා වෙන අයගේ ජීවිත අවුල් වෙනවනම් ඒ අයව මට වෙනස් කරන්නත් බැරිනම් මන් වෙනස වෙන්න ඕන.
මන් සදුදා ඉස්කෝලේ ගියා.
-------නැවතත්----------
Monday, April 20, 2015
****වළාකුලු බැම්ම **** (07)
මට ඕන උනේ හැමදේම සුමනේ අයියගෙන් අහගන්න.ඒ හින්දම මන් කෙලින්ම සුමනේ අයියගෙන් අක්කා ගැන ඇහුවා.තැන් තැන් වල තමන්ගෙම අක්කා ගැන විස්තර අහන එක හරි නැති උනත් හැමදෙයක්ම හොද හැටි තේරුම් ගන්න පුලුවන් වයසක හිටපු මට අක්කා ඉන්නේ වැරදි පාරක කියන එක තේරිලා තිබ්බා.සුමනේ අයියා එදා ඉදන්ම අපි ගැන දන්න හින්දා ඒ දේ ගැන එයාගෙන් අහන එක මට එච්චර ගානක් උනෙත් නෑ.
"අහපන් අහපන් ඕන එකක්"
"මට දැන ගන්න ඕන අපේ අක්කා ගැන"
"අහ් ලොක්කි ගැනද?" එයා ඒක කිව්වෙ හරිම සමච්චලේට.
"ලොක්කි ගැන දැන් මොනා කියන්නද බන්.ඕවා උඹ දැනගත්තා කියලා දැන් වැඩක් වෙන්නෑ බන්"
"මට මේක ලොකු ප්‍රශ්නයක් අයියේ.අක්කා දැන් වෙනදාට වඩා මට සල්ලිත් දෙනවා.ඒත් ගෙදර කිසි පිළිවෙලක් නෑ.කතා කරන්න හදද්දි ඒකත් මග අරිනවා.අම්මාත් එහෙමයි."
"වෙන්න ඇති බන්.එක අතකට ඒකි උඹ එක්ක මොනවා කතා කරන්නද?මොකද ඒකි එක එක දවසට එක එක මිනිස්සු එක්ක යනවා කියලා උඹට කියන්නද?"
"මොනවා....???"
මගේ මුලු ඇගම හිරි වැටීගෙන ගියා.තව අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි තරමටම කකුල් දෙක වාරු නැති උනා.සුමනේ අයියා මගේ කරවටින් අතක් දාලා මාව අල්ලගත්තා වගේ මතකයි.කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටිය මට ඕන උනේ කෑ ගහලා අඩන්න.,අක්කා ඉන්න තැනකට දුවලා ගිහින් ඇයි මෙහෙම කරන්නේ කියලා අහන්න.
"දැන් ඉතින් උඹ ඇඩුවා කියලා මොනා කරන්නද බන්.ඕක අදක ඊයෙක පටන් ගත්ත එකක් නෙමේ නේ.දැන්ඒකිට ඕන උනත් දැන් ඕක අත අරින්න බැරුව ඇත්තේ"
"අනේ ඇයි අයියේ අක්කා එහෙම දෙයක් කරගත්තේ?"
"මන් දන්නෑ බන්..ඒත් අර ලයනල් කාරයෙක්ව අල්ලගෙන බිස්නස් එකක් පටන්ගත්තනේ.ඌ අක්කට ලොකු පොල්ලක් තිබ්බා.අන්න ඒ දවස් ඉදලා ඒකි හෙන හිතේ අමාරුවෙන් හිටියේ.දෙතුන් පාරක්ම මගෙනුත් සල්ලි ඉල්ලගත්තා උඹට යවන්නවත් අතේ සල්ලි නෑ කියලා.මන් මාස දෙක තුනක් විතර උඹට යවන්න කියලා සල්ලි දුන්නා.ඊටපස්සේ දවසක් මටම මතක්වෙලා උඹට යවන්නෝන නේද කියලා සල්ලි අරන් උඹලාගේ ගෙදර ගියා.එදා ගෙදර වෙන කවුද මිනිහෙක් හිටියා.මේ වනත මුල්ලේ ඉතින් මන් නොදන්න උන් නෑනේ ඉතින් ඒකත් මන් දන්න එකෙක්.මිනිහට බම්බලපිටියේ ලොකු ක්ලබ් එකක් තියෙනවා.උඹට කියන්න ඕන නෑනේ පොඩ්ඩියේ එකේ ඕන ඒවයි එපා එවයි හැම දේම වෙනවා.ඉතින් මිනිහව දකිද්දිම මට තේරුනා මොකක් හරි දෙයක් වෙන්න යනව කියලා."
සුමනේ අයියේ කිසිම ගානක් නැතුව ඔහේ කියව ගෙන ගියා.මාත් කිසිම හැලහොල්මනක් නැතුව අහගෙන හිටියා.අහන් ඉන්න අමාරු උනත් මට ඕන උනේ අගක් මුලක් ඇතිව මොකද්ද උනේ කියලා දැන ගන්න.හිමින් සැරේ ඇවිද ඇවිද අපි කඩේ ළගටම ඇවිත් තිබුනා.අම්මා කඩේ ඇන්ටිත් එක්ක කියව කියව ඉන්නවා මන් දැක්කා.ඒත් මට අම්ම ළගට යන්න ඕන උනේ නෑ.කඩේට යන පාරේ කඩේට කලින් හම්බුන අතුරු පාරකට මන් එක පාරටම සුමනේ අයියගේ අතින් ඇදගෙන හැරුනා අම්මා අපිව දකින්න කලින්.
"මොකද පොඩ්ඩියේ?"
එකපාරටම කලබල උන සුමනේ අයියා ඇහුවේ එයාගේ ඉනේ තියෙන සුපුරුදු පිස්තෝලෙට අත ගෙනියන ගමන්.
"නෑ නෑ අම්ම දකී කියලා.අම්මා හිටියා කඩේ"
"ආ මන් හිතුවා වෙන මොකක් හරි කේස් එකක් කියලා"
මන් ඒ පාර අයිනේ තිබ්බ තාප්පෙට හේත්තු උනා.හතරවටිම්න කලුවර වැටීගෙන ආවත් මට ගෙදර යන්න ඕන උනේම නෑ.
"ඉතින් අක්කට මොකද්ද ඒ මිනිහත් එක්ක තිබ්බ ගනුදෙනුව?"
"හිටපන්කො ඉතින් කියනකන්.එදා කොහොමහරි ලොක්කි මගෙන් සල්ලි ගත්තෙත් නෑ.පස්සෙ දවසක මට අර මිනිහව හම්බුනා.උඹ වැරදියට හිතන්නෙපා පොඩ්ඩියේ එදා උඹලගේ ගෙදර ගිය වෙලාවේ මට යමක් තේරුන නිසා මන් ඉතින් එදා උගෙන් ඇහුවා අලුත් බඩුවක් හම්බුනා නේද කියලා.ඌ ඉතින් මට මුල ඉදන්ම විස්තර කරන්න ගත්තා.ඒව උඹ දැන ගන්න ඕන නෑ.දැන් ඉතින් ඒකිට ගොඩයනවා බොරු."
"එතකොට අයියේ අක්කා මේ හැමදේම කලේ මට උගන්නන්නද?"
"මේ උඹ ඕවා හිතන්නැතුව ඉදපන්.ඒ එකිගේ වෙලාව."සුමනේ අයියා එහෙම කිව්වේ කතාව මග අරින්න කියලා මට හිතුනා.'දෙයියනේ එහෙනම් මේ හැමදේම උනේ මන් හින්දද?මගේ අක්ක මෙහෙම නරකාදියකට වැටුනෙ මන් හින්දද?මේ හැමදේම මගේ පව්කාරකම හින්දද?'
මගේ ඔලුව පුපුරන්න වගේ උනා.තවත් ඒ කතාව අහගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.
"සුමනේ අයියේ මන් යනවා"
එකපාරටම මට ඕන උනා තනිවෙන්න.තනිවෙලා හැමදේම හිතන්න.සුමනේ අයියා මාත් එක්ක එන්න හැදුවා.මන් එපා කියපු නිසාම ටික දුරක් ඇවිත් හැරිලා ගියා.ගෙදර ගිහින් මන් කෙලින්ම ගියේ මගේ ඇදට.හිරකරගෙන හිටපු හැම දුකක්ම යන්තමට හරි තුනී කරගන්න හිතාගෙන මන් ඇඩුවා.හොදටම ඇඩුවා.අම්මා ඇවිත් සැරින් සැරේ බලලා යනවා මන් දැක්කා.ඒත් ඇයි කියලවත් ඇහුවේ නෑ.එක අතකට එහෙම අහපු නැති එකත් හොදයි.
පැයක් දෙකක් විතර අඩලා අඩලා මන් තීරණේ කලා අක්කා එක්ක කොහොම හරි කතා කරන්න.ඒකට මුලු රෑම උනත් නැගිටලා ඉන්නවා කියලා හිතාගත්තා.
ඇත්තටම මට අක්කා ගැන තරහක් හිතුනෙ නෑ.මොකද මට අක්කා ගැන තරහා හිතන්න බෑ.ඉස්සර අක්කයි මායි අම්මයි අතට හම්බවෙන සතෙන් ජීවත් උනා.ඒත් දැන් මන් නිසා එහෙම ඉන්න බෑ.මට වියදම වැඩි.ඉතින් අක්කා ඔහොම දේකට අකමැත්තෙන් උනත් යන්න ඇත්තේ මන් හින්දා කියලා මට තදේටම හිතුනා.ඉතින් මන් කොහොමද අක්කා ගැන අහිතක් හිතන්නේ.ලෝකෙට අක්ක වැරදි උනත් එයා ජීවිතේ තමන්ගේ නන්ගි වෙනුවෙන් බිල්ලට දුන්නා කියලා කවුද හිතන්නේ.හැමෝම අක්කට බනීවි.ඒත් ඇත්තටම වැරැද්ද කලේ මම නේද?මන් ගොඩාක් දේවල් හිතුවා.ගොඩාක් කල්පනා කලා.අන්තිමේදි මන් හිතාගත්තා මේ විදිහට හම්බකරන සල්ලි වලින් ආයෙම මන් ඉගෙන ගන්නෙ නෑ කියලා.අක්කා ජීවිතේ වරද්ද ගත්තා තමයි .ඒත් ඉස්සරහටත් ඒ වැරැද්දම කරන්න මට ඉඩ දෙන්න බෑ.ඔව් අක්කා ඕක අත අරිනකම් මන් ආයෙම ඉස්කෝලේ යන්නේ නෑ.මන් හිතුවා.
එදා රෑ 2ට විතර අක්කා ආවා.මන් ඇහැරිලා හිටියේ.අක්කම දොර ඇර ගෙන ඇතුලට ආවා.මාව දැකලා බයත් උනා.
"පොඩ්ඩියේ මොකෝ මේ ඇහැරගෙන?"කිසිම වෙනසක් නැතුව අක්කා කතා කලා.
"ඇයි පරක්කු?"
"වැඩ තිබ්බනේ.මේ දවස්වල මොකද්ද ලොකු ඔර්ඩර් එකක් හම්බෙලා නේ"
"ගොඩාක් ලොකු එකක් වෙන්නැති"
"පොඩ්ඩි මොකද මේ?"
"ඇයි ?"
මට ඕන උනේ මන් ඉන්නේ තරහින් කියලා පෙන්නන්න.ඒ වගේම මන් හැමදේම දන්නවා කියලා අගවන්න.
"මොකද ඔය හරහට කතා කරන්නේ?"
"හැමදේම වෙලා තියෙන හැටියට කෙලින් කතා කරන්න බෑ දැන්"
"ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ?"
"ඒක මට වඩා හොදට දන්නේ ඔයා.මිනිස්සු තැන් තැන් වල කියන කතා මට වඩා දන්නේ ඔයා.අතට පයට සල්ලි එන්නෙ කොහොමද කියලත් හොදට දන්නේ ඔයා."
"මොකද්ද මොකද්ද ඒ කියපු කතාව?"
"ඇහුන දේ තමා කිව්වේ.කිසිම දෙයක් නොදැන්නවා වගේ හිටියට හිතන්නෙප ඒක් එහෙමයි කියලා.හැමදේම මන් දන්නවා.මට අක්කේ වෙන කියන්න දෙයක් නෑ.මන් කියන්නෙ අමෙච්චරයි ඔයා ඉස්සරහටත් ඉන්න හදන්නෙ ඔහොම්මමනම් ඔය ජරා සල්ලි වලින් ඉගෙන ගන්න මට ඕන නෑ.එච්චරයි.ආයේ මට මුකුත් කියන්න එපා."
අක්කට කිසිම දෙයක් කියන්න ඉඩ දෙන්නෙ නැතුව මන් හැමදේම කිව්වා.අක්කට මොනවා හිතුනද මොනවා දැනුනද කියන්න මන් දන්නෑ.ඒත් එහෙම කියන්නැතුව අක්කා එක්ක දුක බෙදාගන්න මට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ.
---------නැවතත්-------
Friday, April 17, 2015
****වළාකුලු බැම්ම **** (06)
අක්කා ගැන මට එහෙම අමුත්තක් දැනුනත් ඒක ටික දවසකට අමතක වෙලා ගියා මට තිබ්බ වැඩත් එක්කම.මන් හොදට වැඩ ටික කරගෙන ගියා.විභාග තියෙන දවස් වල මායි නිශානි එයාලගේ ගෙදර ගිහින් පාඩම් කලා.නිශානිගේ උදව්වෙන් අකවුන්ටින් පන්තියක් හම්බ උනා විතරක් නෙමේ මන් ඉගෙන ගන්න ගොඩක් උනන්දු වෙන බව දැකපු නිශානිගේ අම්මයි තාත්තයි අනිත් විශයන් දෙකටත් පන්ති යන්න මට වියදම් කලා.කොහොම හරි දෙවනි අවුරුද්දෙ මැද වාර විභාගෙන් මටයි නිශානිටයි හොදම ලකුණු තිබ්බා.නිශානිගේ ගෙදර අයටත් ගොඩාක් සතුටු උනා එදානම්.එයාලා මට කිව්වා,
"ඔයා නැත්තන් මේ ළමයා තාම පිස්සු නට නට ඉදිවි" කියලා.
විභාගේ ඉවර වෙලා මන් අවුරුද්දකට විතර පස්සෙ ගෙදර ගියා.මන් හිටපු දවස් වලට වඩා අපේ ගේ ජරා වාස වෙලා තිබ්බා.අක්කා මට හොදට වියදම් කරන්න සල්ලි දෙන හින්ද මන් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේම නෑ.මන් ගෙදර යද්දි හිටියේ අම්මා විතරයි..
"අම්මේ"
මන් එහෙම කියාගෙනම කුස්සියට ගියේ ඒ අම්මගේ සුපුරුදු තැන හින්දා.මොකද වැඩක් තිබ්බත් නැතත් අම්ම හුග වෙලාවට ඉන්නේ කුස්සියේ.මාව දක්ක ගමන් අම්ම පුදුම උනා.ඒවගේම අම්ම බයත් උනා.
"පොඩ්ඩියේ ඇයි මේ හදිස්සියේ?"
අම්ම එහෙම ඇහුවේ වචන පැටලි පැටලි.ඇත්තටම මන් කිසිසේත්ම බලාපොරොත්තු උනෙ නැති දෙයක් බලාපොරොත්තු උනෙ නැති විදිහට අහද්දි මටත් ලොකු අමුත්තක් දනුනා.කාලෙකට පස්සෙ ආපු මාව තුරුල් කරගෙන ටිකක් ඔලුව අතගාන්න එහෙම පුරුද්දක් අපේ අම්මගේ ආදරේ තිබ්බෙ නෑ.ඒත් නිශානිගේ අම්මාට නම් නිශානි ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන වෙලාවට ගෙදර හිටියොත් 'කොමද පැටියො' කියලා ඔලුව ඉබින පුරුද්දක් තිබ්බා.හ්ම්..මට අම්මලා දෙන්නෙක්ගේ ආදරේ සන්සන්දනය කරන්න ඕන උනේ නෑ.ඒත් හිතට අඩුවක් කියන දේ දැනෙද්දි නොදැනුවත්ම ඒවගේ දේවල් වෙනවා.
"ඇයි අම්මේ හදිස්සියක් නෑ.අද ඉදන් ඉස්කෝලෙ නිවාඩු මාසයක්"
"ඒ කියන්නේ ඒ මාසෙටම ඔයා මෙහෙ ඉන්නවද පොඩ්ඩියේ?"
"ඔව් අම්මේ ඇයි?"
අම්මා මගෙන් මොකද්ද හන්ගනවා වගේ මට දැනුනා.
"අම්මේ කෝ අක්කා.මෙහෙ නෙමේද මහන්නේ?"
"ම්ම්... මේ.. අක්කා.. මේ.. නෑ...ඔව්... නෑ නෑ අක්කා දැන් ගාර්මන්ට් එකකට යනවනේ.එනකොට රෑ වෙනවා.මේ දවස් වල නයිට් වැටිලලු"
"ආ..."
එහෙම කියලා මන් මගේ ඇද තිබ්බ තැනට ගියා.'ඇයි අම්මා එහෙම හැසිරුනේ.ඇයි අක්ක ගැන ඇහුවම නිකන් ගොත ගැහුවේ.මොකද්ද මෙයාල මට හන්ගන්නේ.අක්කා තාම මහනවද?ඒත් එහෙම පාටක් පේන්න නෑ.අඩුම ගානේ එක නූල් පොටක්වත් ගේ හරියේ පේන්න තිබ්බෙ නෑ.ඇත්තටම මොකද්ද මෙතන වෙන්නේ..අක්කගෙන්මයි මේ හැමදේම දැනගන්න වෙන්නේ.බලමුකො හදිස්සි වෙන්නැතුව.'එහෙම හිත හිත මන් ගියා නාගන්න.
එදා මන් ගෙදර ගියාට සතියක් යනකන්ම මට අක්කව හම්බුනේ එක දවසක් උදේ පාන්දර විතරයි.ඒත් දඩි බිඩියේ කොහෙද යන්න ලෑස්තිවෙන ගමන්.මන් කතා කරන්න හැදුවම පොඩ්ඩියේ අපි රෑට කතා කරමු කියලා යන්න ගියා.ඒ දවස් ටිකේ අම්මා මා එක්ක වැඩිය කතා කලෙත් නෑ.හුගක් වෙලාවට මග ඇරියා මාව.ලොකු පාලුවක් තනිකමක් දැනෙන්න ගත්තා.එහෙම වෙලාවට මන් නිශානිත් එක්ක කරපු පිස්සු වැඩ ගැන මතක් කර කර හිනා වුනා.
නිශානිලාගේ ගෙවල් තිබ්බේ බොරැල්ලේ ගෝතමී පාරේ.ඉතින් ඉස්කෝලේ ඉවරවෙලා එයා බොරැල්ලට ඇවිත් ආයෙම රුපියල් හතක් දීල තමා ගෝතමී පාර ළගින් බහින්නේ.දවසක් මන් එයත් එක්ක එයාලගේ ගෙදර යන්න හවස බොරැල්ලට ඇවිත් 174 බැස් එකකට නැග්ගා.වැඩිය සෙනගත් හිටපු නැති නිසා කොන්දත් හිනා වීගෙනමයි හිටියේ.නිශානි මටත් එක්කම රුපියල් විස්සෙ කොලයක් දිග් කරලා ගෝතමි රෝඩ් එක ළගට ටිකට් දෙකක් ඉල්ලුවා.
"අයියෝ නන්ගි ඔයාලා මේ පොඩි දුරත් බස් එකේ යනවද පයින් යන්න තිබ්බනේ" කොන්දොස්තර මනමාල හිනාවකුත් දාල එහෙම කිව්වා.
"ඒක තමයි අන්කල් ඔයාල මේ පොඩි දුරට රුපියල් හතක්ම ගන්නවනේ" නිශානිගේ කටට එහෙම උත්තරයක් කොහොම ආවද මන්දන්නෑ.කොන්දා ඔලුවත් කස කස ඉස්සරහට ගියා අපි බහිනකන් ආයෙම පිටිපස්ස බැලුවෙම නෑ.එදා අපි දෙන්නා හිනා වුන තරමක්.තව තව වෙච්ච නැති දේවලුත් මව මව අපි හිනා වුනා.ඇත්තටම නිශානි එක්ක ඉන්න එක මට සතුටක් උනා.
*******************
ගෙදර ගිහින් සති දෙකකුත් උනා.දවසක් හවස සුමනේ අයියා අපේ ගෙදර ආවා.අම්මව හම්බ වෙලා මොකද්ද තෙලක් ඉල්ල ගන්න මැගි ඇන්ටිගේ කකුලේ අමාරුවකට.අම්මා එවෙලේ ගෙදර හිටියේ නෑ.ඉතින් සුමනේ අයියා මට කතා කලා ටිකක් ඇවිදින්න.අම්මත් කඩේට ගිය නිසා සුමනේ අයියත් එක්කම කඩේට ගිහින් ආයෙම අම්ම එක්ක එන්න පුලුවන් නිසා මාත් ගියා.එවෙලේ හවස හයට විතර ඇති වෙලාව.
"ඒක නෙමේ පොඩ්ඩියේ උඹ දැන් හරි හැඩයි නේ බන්"
මන් හිනා වුනා විතරයි.
"කොහොමද පොඩ්ඩියේ උඹේ වැඩ කටයුතු දැන් හොදට කරගෙන යනවා නේද?"
"ඔව් සුමනේ අයියේ හිතුව තරම් අමාරු නෑ වැඩ ටික.පොඩි විශ්වාසයක් තියෙනවා හොදට විභාගෙනම් කරගන්න පුලුවන් වෙයි කියලා."
"අන්න හරි පොඩ්ඩියේ ඔහොම්මම හිතපන්.උඹට වරදින එකක් නෑ."
"බලන්නෝන ඉතින්"
"බලන්න දෙයක් නෑ.ඒකනෙමේ කොහෙද ඉතින් උඹලට උදව්වක් කරන්න ලොක්කි ඉඩ දෙන එකක්යැයි.ඔය හම්බ කරන්නේ දැන් මහ ලොකුවට සල්ලි"
ඒක කියපු විදිහෙන් සුමනේ අයියා ලග මගේ ප්‍රශ්න වලට උත්තර තියෙන බවක් මට දැනුනා.මන් අපේ වේගය ටිකක් අඩු කරා.
"අයියේ මට දෙයක් අහන්නෝන"
--------------නැවතත්----------
Monday, April 13, 2015
****වළාකුලු බැම්ම **** (05)
අක්කගේ බල කිරීමට කොහොමහරි මන් ඒලෙවල් කරන්න ගත්ත.ඒ කොමර්ස් වලින්.ලොකු ඉස්කෝලෙකට
ගිහින් ඒ ළමයි එක්ක පෑහෙන්න බැරි වෙයි කියල හිතුන හින්දා අපේ වනාතමුල්ල කිට්ටුවම තිබ්බ ගෝතමියට ඇතුල් වුනා.
ඒක වෙනම ජීවිතයක් උනා.හිතට සැනසීමක් කියලා දෙයක් දැනෙන්න ගත්තා.යාලුවොත් එක්ක එකට හිනාවෙවි ඉද්දි මට තේරුනා අනේ මන් ජීවත් වෙනවා නේද කියලා.එක එක ජාතියේ යාලුවෝ හිටියා.ඒ යාලුවෝ අතරින් මාත් එක්කම හිටියේ නිශානි.මන් වගේ නෙමේ එයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඩොක්ටර්ස්ලා.ඕලෙවල් වලින් හොද ලකුණක් නොතිබුනත් එයා එක වසරේ ඉදලම ඉගෙන ගෙන තිබුනේ ගෝතමියේ..එයා තමා එයාගේ පවුලේ එකම ළමයා.එයාලගේ ගෙවල් වලින් එයාට එයාගෙම නෑදෑවෙන ඩොක්ටර් කෙනෙක්ව ප්‍රොපෝස් කරල තිබ්බා.ඒ හින්දා එයාට ඉගෙන ගන්න ඒ හැටි වුවමනාවක් තිබ්බේ නෑ.ගෙදරින් එහෙම බල කිරීමක් තිබ්බෙත් නෑ.ඒ මොනවා උනත් නිශානි මට හොද යාලුවෙක් උනා.මගේ ගැන හැමදෙයක්ම එයා දැනගත්තා.ඒ දෙවල් දැනගත්තට පස්සෙවත් එයාගේ යාලුකමෙ අඹමල් රේණුවක තරම් වෙනසක් උනේ නෑ.දුකටද අනුකම්පාවටද කියල දන්නෑ ඒත් එයා හැමවෙලෙම මගේ ළගින් හිටිය,හරියටම මගේ අක්කා වගේම.සමහර දවස් වල මටත් වඩා මගේ ප්‍රශ්න ගැන එයා හිතුවා.
ඒ දවස්වල අපිට අකවුන්ටින් වලට හිටපු මැඩම් මැටර්නල් ලීව් ගියා.ඒ නිසා මාස තුන හතරක් යනකන් කවුරුවත්ම ආවේ නෑ උගන්නන්න.හුගක් ළමයි අමතර පන්ති ගිය හින්දා ඒක එයාලට මහා ලොකු දෙයක් උනේ නෑ.එයාල ඉස්කෝලෙ ඒ වෙලාවෙදි හිනා වෙවි විහිලු කර කර හිටියා.ඒත් මට එහෙම ඉන්න බැරි උනා.මන් එක පන්තියකටවත් ගියෙ නැති නිසා මන් හුගක් බයෙන් හිටියේ ඒ මග ඇරෙන ටික අල්ලගන්නේ කොහොමද කියලා හිත හිත.
"සුලෝචනා ඇයි මේ? මන් හුග දවසක ඉදන් බලාගෙන හිටියෙ ඔයාගේ වෙනසක්.ඇයි මොකද්ද ප්‍රශ්නේ?"
නිශානි එක දවසක් මගෙන් එහෙම ඇහුවා.නිශානිත් අනිත් ළමයි වගේ ඒ පීරියඩ් එකේදි පිස්සු නට නට හිටපු නිසා මන් හිතුවෙ නෑ එයාට මේ ගැන කියන්න.ඒත් එයාට තේරිලා තිබ්බා..
"නිශානි මට බයයි"
"ඇයි ළමයෝ.?"
"මට බයයි මේ විදිහට මග ඇරෙන වැඩ ටික මට අල්ල ගන්න බැරි වෙයි කියලා.පන්ති යන්න මට සල්ලි ඉල්ලගන්නත් බෑ අක්කගෙන්.අනේ මන්දා"
"එහෙම වෙන එකක් නෑ සුලෝචනා.ඔයාට පුලුවන් වෙයි ඒ වැඩ ටික අල්ලගන්න"
"ඔව් නිශානි ඒත් දිගටම මෙහෙම කවුරුවත්ම අවෙ නැත්තන් අපිට උගන්නන්න."
"හ්ම්ම්.."
එවෙලේ නිශානිටත් උත්තර නැති උනා.එත් වෙලා ගියත් මගේ ප්‍රශ්න වලට නිශානි ලග මොකක්මහරි විසදුමක් තිබ්බා.
"සූ මෙහෙම කරමු.,මන් අපේ අම්මලට කියන්නම් ඔයාටත් එක්ක ටියුෂන් ෆීස් දෙන්න කියලා.එතකොට වැඩේ හරිනේ.ඔයාටත් පුලුවන් මාත් එක්කෙම පන්ති යන්නත්.අනික ඉතින් ඔයා එන එක මටත් හොදයි නේ මට ඕන දෙයක් ඔයාගෙන් අහගන්න පුලුවන්නේ"
යාලුවෙක් විදිහට දෙන්න පුලුවන් හොදම විසදුම එයා මට කිව්වා.ඒත් අපේ අක්ක කැමති වෙයිද කියන ප්‍රශ්නේ
මට තිබ්බා.සුමනේ අයියගෙන්වත් උදව් ගන්න අක්කා අකැමති උන එකේ නොදන්න කෙනෙක් මෙහෙමඋදව් කරන එකට අක්කා ඉඩ දෙන එකක් නැතිවෙයි කියලා මට හිතුනා.
"ඔයා දන්නවනේ නිශානි අපේ අක්ක ගැන එයා ඕකට කැමති වෙන එකක් නෑ.අනික ඔයා ගැන අක්ක වැඩිය දන්නෙත් නෑනේ එහෙම එකේ මන් හිතන්නෑ"
"අනේ බන් කවුද ඉතින් ඕවා අක්කට කියන්න යන්නේ.පන්ති තියෙන දවසට ඔයා කියන්න ඉස්කෝඅලේ හවස පන්තියක් තියෙනවා කියලා..එතකොට හරි නේ."
"ඒත් නිශානි"
"හරි බොරුවක් තමයි ඒත් ඉතින් බොරු කියලා අපි නරක දෙයක් නෙමේනේ කරන්නේ.ඒ හින්දා වැඩිය හිතන්නෙපා"
"මන් දන්නෑ නිශානි මන් ඔයාට කොහොම මේ ණය ගෙවන්නද කියලා"
මන් එහෙම කිව්වේ මගේ මුලු හිතින්ම ආපු ගෞරවයකින්.
"හා හා මේ ඒව පස්සේ දවසක ගෙවාගන්න බැරි යැ මෙන්න මෙ හිනා වෙලා ඉන්නවා ටිකක් පන්ඩිත කතා කියන්නැතුව"
****************************
කොහොමහරි හිතුවට වඩා කාලයක් මාස හයකට විතර කිට්ටු කාලයක් අපිට අකවුන්ටින් කෙරුනේ නෑ.නිශානිගේ උදව්වෙන් පන්ති යන්න පුලුවන් උන නිසා වැඩ ටික කරගෙන යන්න පුලුවන් උනා මට.ඒලෙවල් පන්තියේ පළවෙනි අවුරුද්ද ඉවර වෙන්න මාසයක් තියෙද්දි අක්කා මට කිව්වා ටවුන් එකට කිට්ටුව හිටපු අපේ ලොකු අම්මාලගේ ගෙදර ගිහින් නවතින්න කියලා.එයා සතියකට සැරයක් ඇවිත් බලලා යන්නම් කියලා.ඒක මටත් කලින් හිතිලා තිබ්බ දෙයක්.ඒත් මන් අක්කගෙන ඇහුවේ නැත්තේ අක්කට දුක හිතෙයි කියලා.ලොකු අම්මලාගේ ගෙදර ඉදන් මට ඉස්කෝලෙට යන්න විනාඩි පහයි යන්නේ.ඒ හින්දා බස් වියදමකුත් නෑනේ.
ලොකු අම්මලාගෙ ගෙදර හිටියේ ලොකු අම්මා විතරයි.එයාලට ළමයි නෑ ඉතින් ලොකු තාත්තා නැති උන දවසේ ඉදන් ලොකු අම්මා තනියම ඒ ලෑලි බිත්ති හතරට වෙලා හිටියා.මන් ගියාම ලොකු අම්මා හුගාක් සතුටු උනා.කෑම හදලා පාර්සල් කරලා කඩවල් වලට විකුණලා තමා ලොකු අම්ම ජීවත් උනේ.ඒ හින්දා ඉතින් මොනා නැතත් කටට රහට කෑම ටිකනම් ලැබුනා.ඉස්කෝලෙ ගෙනියන කෑම එක මට වඩා ආසවෙන් කෑවෙ නිශානි.
අක්කා මුලින් වැඩිය මාව බලන්න ආවෙ නැති උනාට මාස තුන හතරකට පස්සේ සතියකට සැරයක් බඩු ගොඩකුත් උස්සගෙන මාව බලන්න ආවා.ඒ විතරක් නෙමේ ආපහු යනකොට මට වෙනදට වඩා සල්ලිත් දීලා ගියා.කලින් අක්ක කිව්වේ "අනේ පොඩ්ඩියේ පිරිමහගෙන පාවිච්චි කරපන්" කියලා.ඒත් පහු වෙනකොට අක්කා කිව්වේ "උඹ හොදට කාල ඇදලා ඉන්න ඕන." කියලා.අක්කට එක පාර මෙහෙම සල්ලි හම්බෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැරි උනා.මන් ඒ ගැන නිශානි එක්කත් කිව්වා.
"නිශානි අපේ අක්කා ලගකදි ඉදලා වෙනස්"
"ඇයි ඒ..? ඒ අක්කා දන් අර බිස්නස් එක හොදට කරගෙන යනවා ඇති ඉතින්"
"ඔව් ඒකනම් එහෙම තමයි..ඒත් මට අමුත්තක් දැනෙනවා නිශානි.මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා"
"සූ මොනාද මේ හිතන්නේ.අක්කා ඔයාට කිව්වනේ ඉතින් අර ලයනල්ද කව්ද එයා එක්ක කරන වැඩේන් හෙන ලාබයි කියලා.ඉතින් එච්චරයි නේ"
"හ්ම්ම්..."
ඒත් මට මොකද්ද ලොකු අමුත්තක් දැනිලා තිබ්බා.
------------------නැවතත්--------
Subscribe to:
Posts (Atom)






