Sunday, January 24, 2016
Tuesday, January 5, 2016
****වළාකුලු බැම්ම **** (22-අවසාන කොටස)
"ඇයි සුලෝ පහුගිය දවස් වල ආවේ නැත්තේ?"
"වැඩ වගයක් තිබුනා රොහාන්" මන් ඒක කිව්වේ රොහාන්ගෙ ඇස් මග අරින ගමන්.
"රොහාන් මන් තීරණයක් ගත්තා.එක අතකට ඒක හරිම ආත්මාර්ථකාමි කියලා ඔයාට හිතෙයි.ඒත් රොහාන්..."
"ඒ කියන්නේ අර මිනිහා නවතින පාටක් නෑ....ඕකට මම...."රොහාන් හිටියේ හොදටම කේන්තියෙන්.ඒත් රොහාන් මොනවා කියලා කරන්නද.
"මේ අවුරුදු නමය ඒ මිනිහගේ කරදරෙත් එක්ක මට ජීවත් වෙන්න බෑ රොහාන්.ඔයා වෙනුවෙන් සාගරයක් තරම් ආදරයක් හිතේ තියන් අර මිනිහාට ඕන ඕන විදිහට ඉන්න මට බෑ රොහාන්"
"කියන්න සුලෝ ඔයා මොකද්ද හිතුවෙ?"
"මන් මහණ වෙනවා.."
දෝරේ ගලාගෙන යන්නම ආදරේ පිරුණු ඇස් දෙකක් දිහා බලාගෙන ආයේ ඒ ඇස් නොදකින දුරකට යනවා කියන්න වෙන එක මට ඇරෙන්න මේ ලෝකෙ වෙන කාටවත්ම සිද්ද වෙන්න එපා කියලා මන් ප්‍රාර්තනා කලා.ඒක ඒ තරමටම හිත රිද්දනවා.රොහාන්ට මන් කියපු දේ අදහාගන්න බැරි උනා.
"අනේ සුලෝ ඊට කලින් ඔයා සන්තෝශ්ට කතා කරලා ඉන්න."
"මන් එයාට කිව්වා රොහාන්.මන් එයාට කිව්වේ යාලුවෙක් විදිහට ගිහින් ටිකක් ඔයා එක්ක කතා කරලා එන්න කියලා.එවෙලේ හා කිව්වට එයාගේ කටහඩේ මොකද්දෝ අකමැත්තක් මට තේරුනා.ඉතින් එයා ආවේ නෑ නේද?"
"සුලෝ මේ තීරණේ..."
"මන් දන්නවා රොහාන් මේක ඔයාට දරාගන්න ගොඩාක් අමරුයි කියලා.ඒත් රත්තරන් මන් වෙන මොනා කරන්නද.ඔයා නිදහස් වෙනකන් ඒ මිනිහගේ ගෑනි විදිහට ජීවත් වෙන්නද.ඒක මන් ඔයාට කරපු ආදරේට ලොකු කැළලක් රොහාන්.මට ඕන උනේ ඔයා එනකන් මේ ආදරේ හරි පරෙස්සමට තියාගන්න.ඒත් මන් මේ තීරණේ නොගත්තොත් මේ ආදරේ පරෙස්සම් කරලා තියාගත්තත් මන් ජීවත් වෙලා ඉන්න එකක් නැති වෙයි රොහාන්."
"මන් මොනාද කියන්නෙ සුලෝ?"
රොහාන්ට කිසිම දෙයක් කියාගන්න බැරි උනා.මටත් ඊටපස්සෙ මුකුත්ම කියාගන්න බැරි උනා.ඒ නිහඩව ගෙවුනු හැම තත්පරේම මන් රොහාන්ගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.ඒත් ඒ ඇස් දකින් අන්තිම මොහොත ඒකයි කියලා මට නිකමටවත් හිතුනේ නෑ.
එදා රොහාන්ව බලලා ගෙදර යනකොට සුමනේ අයියා ඇවිත් හිටියා.එයාව දකිද්දි ආපු අප්පිරියාවත් එක්ක මන් මගේ තීරණේ වෙනස් කරන්නෙ නෑ කියලා හිතා ගත්තා. 'රොහාන් මට සමාවෙන්න.මන් මේ වෙලාවේ ඔයාට කියනවා මන් මගේ තීරණේ වෙනස කරන්නේ නෑ.පුලුවන්නම් මට සමාව දෙන්න ඔයාව තනි කරනවට.මේක දරුණු තීරනයක්නම් කමක් නෑ රොහාන් ඔයා මට වයිර කරන්න.ඒත් මන් මේ තීරණේ ගන්නවා මගේ ආදරේ වෙනුවෙන්.'මන් එහෙම හිතලා හිතින් සිය දහස් වාරයක් රොහාන්ගෙන් සමාව ඇයැදසිටියා.
"අනේ සුමනේ අයියේ මගේ ඔලුව පැලෙන්න වගේ.ගමන් මහන්සියටත් එක්ක මන් පොඩ්ඩක් නිදා ගන්නද?ඔයා හෙට එන්න"
මට ඕන උනේ සුමනේ අයියව කොහොම හරි යවාගන්න.අන්තිම දවසෙ හරි හිත සතුටින් ඉන්න.
"ඔන්න ඔහොම හිටපන්කො පොඩ්ඩියේ.ඔහොම ඉන්නවනම් මොනා කරන්න බැරිද බන් උඹටයි මටයි.හරි එහෙනම් උඹ රෙස්ට් කරපන් මන් වෙන වෙලාවක එන්නම්."
මන් සැනසුම් සුසුමක් හෙළුවා.ආයේ ඒ මූණ දකින්න නොලැබේවා කියන ප්‍රාර්ථනාව කරද්දි පුදුම සැනසිල්ලක් දැනුනේ මට.
මන් දවස් තුන හතරකට විතර ඇදුම් අරගෙන නිශානිලාගෙ අම්මලාගෙ ගෙදර ගියා.කරන්න වැඩ ගොඩාක් තිබ්බා.
මුලින්ම මන් නිශානිගෙ තාත්තගේ උදව්වෙන් අපේ ගෙදරයි කාර් එකයි විකුණුවා බයින් ඇන්ඩ් සෙලින්ග් කම්පනි එකකට.හිතපු තරම් ගානක් හම්බ උනේ නැති උනත් ලැබුනු ගානෙන් මන් සෑහුනා.තව රොහාන් මන් වෙනුවෙන් ඉතිරි කරපු සල්ලි වගෙකුත් තිබ්බ.ඒකයි ගේයි කාර් එකයි විකුණලා ගත්ත සල්ලි ඔක්කොම ලක්ෂ පනහක් විතර තිබ්බා.මන් ඒ සල්ලි ටික රොහාන්ගේ අකවුන්ට් එකට දැම්මා..රොහාන් වෙනුවෙන් මට කරන්න පුලුවන් උනේ එච්චරයි.
එදා රෑ නිශානිත් එහෙ ආවා.
"මන් හෙට ආයෙම යනවා නිශානි.සමහර විට ඔයාලව ආයෙ මුණ ගැහෙන එකක් නෑ."
"මට කියන්න කිසිම දෙයක් නෑ සූ"
"එක උදව්වක් කරන්න නිශානි මට"
"කියන්න"
"රොහාන්ව අමතක කරන්න එපා නිශානි.එයා ආයෙ ආවම අම්මලා ළගට යන එකක් නෑ.පුලුවන්ද මෙහෙ නවත්ත ගන්න?"
"ඒ ගැන ඔයා හිතන්න එපා සූ.රොහාන් කියන්නේ මගෙම අයියා කෙනෙක් වගේ.එයාට ඕන තරම් කාලයක් අපේ දිහා ඉන්න පුලුවන්"
"පින් සිද්ද වෙයි නිශානි.රොහාන්ට කියන්න පුලුවන්නම් මට සමාව දෙන්න කියලා."
"මොනාද මැට්ටියේ ඔයා මේ කියන්නේ?"
"නිශානි පෙර ආත්මෙක ඔයා මගේ සහෝදරියෙක් වෙන්න ඇති..මට ඔයාලා වෙනුවෙන් දෙන්න කිසිම දෙයක් නෑ නිශානි"
එදා රෑ අපි දෙන්නා ගොඩාක් දේවල් කතා කලා.හුගාක් ඇඩුවා.නිශානිගෙන් සහන්ගෙන් ආන්ටිගෙන් අන්කල්ගෙන් සමුගත්තා.
සියලුම බැදීම් අත ඇරලා දාන්න කලින් රොහාන් වෙනුවෙන් මගේ අතින් අන්තිම ලිපිය ලියවුනා.
ආදරණීය රොහාන්,
ආයෙම පාරක් ඔයාව බලන්න ඇවිත් ඔයාගෙ හිත රිද්දන්න මට බෑ.මන් ඔයාට ගොඩාක් දුක් දීල ඇති.මට තියෙන ආදරේ හින්දම ඔයා නෑ කිව්වට මන් ඔයාගේ ජීවිතේට ආපු එකම දුකක් කියලා මන් දන්නවා.මෙච්චර දේවල් වෙනවා කියලා දන්නවනම් මන් කවදාවත් ඔයාගේ ජීවිතේට එන්න හිතන්නෙවත් නෑ රොහාන්.ඒත් මේ දේවල් මෙහෙම උනා.අනේ මට සමාවෙන්න රත්තරන්.
එදා ඔයා බෑන්ක් එකට ආඅපු මුල්ම දවසේ මන් දිහා නොබලා මාව මග ඇරලා ගිය මොහොතේ ඉදන් ඔය මුලු හිතින්ම මට ආදරෙ කරන මේ මොහොත වෙනකන් හැම මතකයක්ම මගේ හිතේ එහෙම්මමයි.පුන්චි කාලේ ඉදන් දුක් විදපු මන් හිනාවෙන්න ගත්තෙ ඔයා හින්දා.ඔය හිතින් මට දීපු ආදරේ හින්දා.ජීවිතේට මන් ලෝබකම් කරන්න ගත්තා.හීන මාළිගා හදන්න ගත්තා.කොටින්ම කිව්වොත් මන් ජීවත් වෙන්න ගත්තා.ඒ හැමදේම ඔයා හින්දා රොහාන්.මන් ආදරෙයි මගේ මහත්තයෝ මන් ගොඩාක් ආදරෙයි.ඒත් මන් අද අසරණයි.ඔව්... ගොඩාක්.මැරෙන්න පවා හිතුනු මොහොතක ඔයාගේ ආදරෙ මතක් කරගත්තට තවත් කෙලින් හිටගන්න හයියක් නෑ මගෙ මහත්තයෝ.
ඒ හින්දා ඔයාගෙන් දුර යන්න හදන මට සමාව දෙන්න..ඒත්.,
මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න මන් ගත්ත තීරණේ හරි කියලා මන් මේක ලියන මොහොතෙත් විශ්වාස කරනවා රොහාන්.මට වෙන විසදුමක් තිබ්බේ නෑ.මැරෙන්න තරම් ප්‍රශ්න ආවත් ඔයා ඔහොම හිර කූඩුවකට වෙලා දුක් විදිද්දි මට හිත හදාගෙන මැරෙන්නවත් බෑ රොහාන්.මට ජීවත් වෙන්න ඕන උනා ඒ හින්දා.ඉතින් මන් දැන් ජීවත් වෙනවා.ඒත් රත්තරන් මට හෙටින් පස්සේ කියන්න බෑ මන් ඒ ජීවත් වෙන්නේ ඔයා වෙනුවෙන් කියලා.මොකද මන් සියලුම බැදීම් අතාරින්න හදන්නෙ.මන් හිතන් ඉන්නවට වඩා ඒක අමාරු වෙයි.ඒත් මට ඒ දේ කරන්නම වෙනවා.ලේසියෙන් මැරෙනවට වඩා දුක් විදගෙන හරි මේ බැදීම් අතෑරලා දාන එක වටිනවා කියලා මන් පැවිදි වෙන්න ඉන්න ආරාමේ ලොකු මෙහෙණින් වහන්සේ මට කිව්වා.
තව ලියන්න බෑ රොහාන් මගේ පපුව පැලෙන්න වගේ.මට අඩන්න ඕන.අපිට මේ ආත්මෙ කොහේ හරි වැරදිලා රොහාන්.ඒ වැරැද්ද එහෙම්මම තියෙන්න අරිමු අපි.නැත්තන් අපිට මේ වැරැද්ද ඊළග ආත්මෙටත් ගෙනියන්න වෙයි.ඊළග ආත්මේ මන් ඔයාගෙම වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්න මට ආසයි.ඒත් මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න ඉන්න මන් ඒ ප්‍රාර්ථනාව කරන්නේ කොහොමද?හැබැයි උපදින උපදින හැම ආත්මෙකම ඔයාට කිසිම දුකක් ඇතිවෙන්න එපා කියන ප්‍රාර්ථනාව මන් හැමදාම කරනවා.
මන් නවතිනවා රොහාන්.ඔයාගේ සුලෝ හෙට ඔයාගෙන් ගොඩාක් දුර යනවා පණටත් වඩා ඔයාට ආදරෙ කරපු හිතත් අරගෙනම.සිය දහස් වාරයක් මට සමාවෙන්න මගේ මහත්තයෝ.
ඔයාගෙම
සුලෝ....
****************
උදෑසන භාවනාවට අනික් මෙහෙණින් වහන්සේලා ලොකු මෙහෙණින් වහන්සේගේ කුටියට යනවා දැක්කේ යන්තන් විවර වෙලා තිබ්බ මගේ කුටීරයේ ජනෙල් පළු දෙක අතරින්.පුරා රැයක් ගෙවිලා.අතීතය වළදැමිය යුතුමය.යහනෙන් බැසගත් මාද පිරිසිදු වී අනෙක් මෙහෙණින් හා එක් විය යුතුවිය.
-----------------------------------නිමි.---------------------------
ප.ලි.
මගේ පෑනද හති ලමින් සිටින්නට විය.බියෙන් ගැහි ගැහි අකුරු අමුණපු මගේ පෑනද මේ සා කරදර හමුවේ ජීවිතෙන් ඇය පලා යා යුතු බව සැරෙන් සැරේ මට මතක් කරන්නට විය.නමුදු දැන් ඇගේ පණ රැක දුන්නාට මගේ පෑන මට සිය දහස් වාරයක් ස්තූති කරමින් සිටී...
Monday, January 4, 2016
****වළාකුලු බැම්ම **** (21)
එදා මන් රොහාන්ව බලන්න ගියේ නිශානිත් එක්ක.නිශානි එළියෙන් ඉද්දි මන් රොහාන්ව බලන්න ඇතුළට ගියේ සුමනේ අයිය ගැන කියනවා කියලා හිතා ගෙන.ඒත් මට රොහාන්ට ඒක කියන්න කළින් මට ඇඩුනා.ඒ මූණ දිහා බලන් වචනයක්වත් කියන්න බැරි උනා මට.එහෙම්මම මන් එළියට දුවගෙන ආවා.මාව දැකපු නිශානි කලබලෙන් වගේ මගේ ළගට ඇවිත් මාව පුටුවකින් වාඩි කරවලා රොහාන්ව බලන්න ගියා.ටික වෙලාවකට පස්සේ නිශානි ආයෙම මන් ළගට ආවා.
"සූ යන්න.මේක තවත් හන්ගන එක තේරුමක් නැති හින්දා මන් රොහාන්ට හැමදේම කිව්වා..ඔයා ගිහින් ටිකක් කතා කරලා එන්න."
මන් හෙමින් හෙමින් ගිහින් රොහාන්ට ඉස්සරහින් වාඩි වුනා.
"ඔයා කොහොමද සුලෝ මෙච්චර ප්‍රශ්නෙකට තනියම මූණ දෙන්න.අනේ මට මේකේ ඉදන් කරන්න කිසිම දෙයක් නෑනේ මගේ රත්තරන්.මන් නිසා තමයි මේ ඔක්කොම.මන් නිසා තමයි....." රොහාන් අත් දෙකෙන් එයාගෙම ඔලුවට ගහ ගෙන ගහ ගෙන ගියා.
"අනේ රොහාන් ඔහොම කතා කරන්න එපා.මේ හැමදේම මගේ වැරදි මන් ඔයාගේ ජීවිතේට ආවේ නැත්තන් මේ මුකුත් නෑ රොහාන් එහෙනම් අද ඔයා කොච්චර හොද ජීවිතයක් ගෙවනවද..මට සමා වෙන්න රොහාන්"
"දන්නවද දැන් මොන දේ වුනත් මගේ ජීවිතේ වැදගත්ම දේ තමයි ඔයා මගේ ජීවිතේට ආපු එක."
"අනේ රොහාන්"
"මේ අහන්න සුලෝ.ඔයා මෙහෙ ඉන්න එපා.ඔයා පිටරටකට යන්න.ඔයාට සන්තෝශ්ව මතකද?එයා මගේ හොදම යාලුවෙක්.පුලුවන්නම් එයාට එක දවසක් මෙහෙ එන්න කියන්න.මන් විස්තර ඔක්කොම එයාට කියලා වැඩේ හරි ගස්සලා දෙන්නම්."
"ඒත් රොහාන් අපිට සල්ලි කොහෙන්ද?එහෙ ගිහින් ජීවත් වෙන්න සල්ලි ඕන රොහාන්.මට තවත් මිනිස්සු ඉස්සරහා බාල්දු වෙන්න බෑ.ඊට වඩා සැපැයි මන් මැරිලා යනවා."
"සුලෝ අහන්න ඔය මිනිහා ඔයාට දිගටම කරදර කරන්න තියාගත්තොත් ?"
"එහෙම වුනොත් එක්කො මන් මැරෙයි නැත්තන් මගේ අතින් ඒ මිනිහා මැරෙයි"
"සුලෝ පිස්සු කතා කියන්නැතුව ඔයා සන්තෝශ්ට කතා කරන්නකො"
"මට මේ හැමදේම් අත ඇරල දාල කොහේ හරි යන්න හිතෙනවා රොහාන්"
"ඔයා කොහේ කියලා යන්නද පැටියෝ" මේ රොහාන්ගේ ආදරය.හිත හදාගෙන මැරෙන්නවත් පුලුවන්ද මෙච්චර ආදරයක් මන් වෙනුවෙන් ඉතිරි වෙලා තියෙද්දි.
සුමනේ අයියාගේ කරදර එන්න එන්නම වැඩි උනා.රොහාන්ව බලන්න යන එක මන් හිතලම අඩු කලා.ජීවිතේ වැටෙන්න පුලුවන් අඩියටම මන් ඇදගෙන වැටුනා.සුමනේ අයියා ගෙදර එනකොට මලකදක් වගේ ගිහින් ඇද උඩ මන්ම වැතිරුනා.ඒ තරමටම මට හති වැටිලා තිබ්බා.ජීවිතේ ගැන මට මහා අප්පිරියාවක් ඇති වෙලා තිබ්බා.රොහාන් හිරේට නියම වෙලා අවුරුද්දක් යද්දි සුමනේ අයියා කියන නොසණ්ඩාලයගේ හිර කූඩුවේ මාත් හිර වෙලා හිටියා.තව අවුරුදු නමයක් මම ජීවත් වෙන්නේ කොහොමද කියන එක මට තියා උඩ ඉන්න දෙයියන්ටවත් හිතා ගන්න බැරි වෙන්න ඇති.විසදුම් දෙකයි.එක්කො මන් මැරෙන්න ඕන.නැත්තන් සුමනේ අයියා මැරෙන්න ඕන.
ආයෙම දවසක සුමනේ අයියා ආවා.එදා එයා වැඩි වෙලා හිටියේ නෑ.ආපු ගමන්ම ගියා.වෙව්ල වෙව්ල තිබුන මගේ කකුල් වලට යන්තන් පණක් ආපු ගමන් මන් වාහනේ අරගෙන කෙලින්ම දෙවුරම් වෙහෙරට ආවා.ඇයි මට එහෙම හිතුනේ කියන්න මට දන්නෑ.ඒත් මන් ගියා.
බෝ මලුවෙ ඉදගෙන ඔහේ බෝ කොල වල සිලි සිලි හඩට කන් දී ගෙන හිටියා.
ටික වෙලාවක් බෝ මලුවට වෙලා ඉද්දි පන්සලේ ලොකු හාමුදුරුවො ආවාස ගෙයි ඉදලා බෝ මලුව පැත්තට වඩිනවා දැක්කා.මන් ගිහින් ලොකු හාමුදුරුවන්ට කතා කලා.මගේ ප්‍රශ්නේ ගැන නෙමේ ජීවිතේ ගැන.ප්‍රශ්න වලට මූණ දෙන්නෝන කොමද කියන හැටි ගැන.
"මට දැනෙන විදිහටනම් මේ දරුවා සෑහෙන්න ලොකු ප්‍රශ්නෙක ඉන්නවා වගේ"
"එහෙම නැහැයි කියන්න බෑ ලොකු හාමුදුරුවනේ."
"හ්ම්.....මේ සන්සාරේ අපි මැරි මැරී ඉපදෙනකන්ම අපිට ප්‍රශ්න එක පිට එක එනවා දරුවෝ.පෙර ආත්ම වල කරන ලද කුසල් අකුසල් අනුව ඒ ප්‍රශ්න අඩු වැඩි විදිහට බෙදිලා යනවා.හේතු ඵල දහම කියන්නේ අන්න ඒකයි."
"එහෙමයි ලොකු හාමුදුරුවනේ"
"පෙර ආත්ම වල අපි කොච්චර කුසල් කලාද අකුසල් කලාද කියලා අපි දන්නේ නෑ නොවෑ.මේ ආත්මේ එන ප්‍රශ්න වලින් තමා අපි ඒවා තේරුම් ගන්නෝන.ඒ හින්දා අපි කරන්න ඕන ඒ එන ප්‍රශ්න වලට හිතේ හයියෙන් මූණ දීලා මේ ආත්මේ කිසිම කෙනෙකුට කිසිම විදිහකට අවැඩක් නොකර ඉන්න අධිෂ්ටාන කරගන්න එක තමයි"
"එහෙමයි ලොකු හාමුදුරුවනේ"
මගේ ඇස් දෙකේ කදුලු පිරිලා තිබුනා.ලොකු හාමුදුරුවොත් මන් දිහා අනුකම්පා සහගත් බැල්මකින් බැලුව මන් දක්කා.
"ඔය ළමයගේ හිතේ තියෙන ප්‍රශ්නේට මන් මෙහෙම විසදුමක් දෙන්නම්."
"අනේ ඔබවහන්සේට පින් අයිති වෙයි"
"ඔය දරුවගේ හිතේ සැනසීම ඇති කරගන්න බලන්න මුලින්ම.ඒකට ටිකක් මෙහෙන් ඈත් වෙන්න.මාතලේ පැත්තේ මෙහෙණින් ආරමයක් තියෙනවා.මන් ඕන නම් ඇඩ්‍රස් එක දෙන්නම්.පුලුවන්නම් එහෙ ගිහින් දවස් දෙක තුනක් ඒ මෙහෙණින් වහන්සේලාට ඇප උපස්තාන කරගෙන ඉන්න.ඔයා හිතේ තියෙන වික්ෂිපතභාවය අඩුවෙලා යාවි.අනික ඔය දරුව භාවනාවක් කරන්න පුරුදු වෙන්න.ඒ මෙහෙණින් වහන්සේලගෙන් කමටහන් අරගන්නත් පුලුවන් වෙයි"
ලොකු හාමුදුරුවො මට අලුත් බලාපොරොත්තුවක් දුන්නා.දෙපාරක් හිතන්න ඕන උනේ නෑ.අමුතුම හුස්මකින් හිතම පුරොගෙන ඇඩ්‍රස් එකත් ඉල්ලගෙන ලොකු හාමුදුරුවන්ට වැදලා මන් ගෙදර ආවෙ ඊළග දවසේ උදෙන්ම යන්න බලාගෙන.
පහුවෙනිදා පාන්දරම මෙහෙණින් ආරමය හොයා ගෙන පිටත් උනා.යන අතර මගදි තමයි නිශානිට කෝල් කරලා කිව්වෙත්.නිශානිනම් ඒ ගැන ගොඩාක් සතුටු උනා.
ආරමයක් උනාට එහේ පන්සලක තියෙන්න ඕන හැම දේම තිබ්බා.ඒක් පුන්චි පන්සලක් වගේ තිබ්බා.මන් එහෙට යද්දි ලොකු මෙහෙණින් වහන්සේට මන් ගැන ලොකු හාමුදුරුවෝ දන්වලා තිබුනා.මෙහෙණින් වහන්සේලාගේ කුටි වලට අල්ලලාම තිබ්බ එක හිස් කුටියක් අස් පස් කරලා ගන්න කියලා මට යතුර බාර දුන්නේ ආරමේ හිටපෞ තවත් මෙහෙණින් වහන්සේ නමක්.
මෙහෙණින් වහන්සේලාට ගිලන්පස පිළිගන්වන එක, බෝ මලුව අමදින එක, මල් ආසන පිරිසිදු කරන එක,බුද්ද පුජාව පූජා කරලා ඉවර උනාම ඒව අස් පස් කරන එක වගේ පුන්චි පුන්චි වැඩ මට කරන්න නියම කෙරුනා.ඒ අතරේ ලොකු මෙහෙණින් වහන්සේගෙන් කමටහන් අරගෙන අනාපානසතිය වඩන්නත් මන් පුරුදු උනා.ඒකනම් හැබැයි හිතන තරම් ලේසි උනේ නෑ.
දවස් දෙක තුනක්ම ගෙවිලා ගියා.ඒ පරිසරය දාල එන්න බැරි අමුතු හැගීමක් මට දැනුනා.නැවත පැමිණිය යුතුයි කියලා මන් හිතාගත්ත දිනයට කලින් දවසේ ලොකු මෙහෙණින් වහන්ස මගේ මුලු කතාවම අහන් හිටියා..ඒ කතාව අවසානේ මන් තීරණයක් අරගෙනත් තිබුනා.ඒක මට හොරා මගේ හිත ගත්ත තීරණයක් විය යුතුයි.ඉතින් වරදින්න බෑ.
"මෙහෙණින් වහන්ස මන් මහණ වෙනවා"
"එහෙම හිතෙන එකත් පිනක්.ඒත් දරුවා හොදට හිතලා බලන්න.ඔයා ඒ අඩිය ඉස්සරහට ගත්තොත් ආයෙ ආපස්සට තියන්න බෑ.ඒ හින්දා හිතන්න හොදට"
"මැරෙන්න තරම් ප්‍රශ්න ආපු මට මේ තීරණය ගැන ආයෙම හිතන්න කරුණු කාරණා නෑ මෙහෙණින් වහන්ස."
"එතකොට ඔය දරුවගේ මහත්තයා මේකට කැමති වෙයිද?"
මම ටිකක් නිහඩ උනා...ඇත්තටම අන්න එතන මට හිතන්න ඕනම තැනක් කියලා මට හිතුනා.
"ඒක තම්යි දරුවා.දැන් හෙට ඔය ළමයා ආයෙම යනවනේ.ඒ ගිහින් හොදට හිතලා බලලා තීරණයක් ගන්න."
මන් පහු වෙනිදා ආයෙම ගෙදර ආවා.
-----------------------නැවතත්-----------------
Sunday, January 3, 2016
****වළාකුලු බැම්ම **** (20)
"අනේ සුමනේ අයියේ මට මගේ පාඩුවේ ඉන්න දීලා යන්න.මට ඔය මූණවත් බලන්න හිතෙන්නේ නෑ."
"උඹට බෑ පොඩ්ඩියේ මාව එහෙම ලේසියෙන් එලවලා දාන්න."
"කියන්නෙපා ආයෙම පොඩ්ඩියේ කියලා මට.මන් මගේ අයියා කෙනෙක්ට වගේ තමුන්ට සැලකුවේ.ඒ හින්දද මගේ රොහාන්ව අච්චර ලොකු කරදරේක පැටලුවේ?"
"අනේ මේ ඌට ඒවෙලාවේ මොන ලෝකෙකින් හරි සල්ලි ඕන වෙලා තිබ්බේ.මන් වෙස්සන්තරද ඌට ඕන ඕන වෙලාවට මගේ සල්ලි දෙන්න.මට කරන්න තිබ්බ උදව්ව තමයි මන් කලේ."
"චිහ්..... තමුසේ මහ පහත් මිනිහෙක් අයිසේ යනවා යන්න මෙතනින්.නැත්තන් මන් කෑගහනවා හැමෝටම ඇහෙන්න"
"උඹට එච්චර හයියක් නෑ පොඩ්ඩියේ..උඹට එච්චර හයියක් නෑ.."
සුමනේ අයියා එහෙම්මම කියාගෙන ඉදගෙන හිටපු පුටුවෙන් නැගිට්ටා.මහා කැත හිනාවක් ඒ මූණේ තිබ්බේ.
"යන...." මට කියන්න හම්බ වුනේ එච්චරයි.සුමනේ අයියා මගේ උරහිසින් අල්ලගෙන එහෙම්මම බිත්තියට හේත්තු කරගත්තා.මගේ ඇස් දෙකෙන් ගිනි පිටවෙන තරම් කේන්තියක් ආවා.මන් අත ඇරපන් කිය කිය කෑ ගැහුවා.ඒත් ඒ මිනිහාගේ යකඩ වගේ අත් පය එක්ක හරඹ කරන්න මට හයියක් නැති උනා.කදුලු හෝ ගාල මගේ ඇස් දෙකෙන් කඩාගෙන වැටෙද්දි ඒ සතාගෙ රැවුල් කොට මගේ බෙල්ලේ ගෑවෙනවා මට දැනුනා.සිහියක් පතක් නැතුව මාව එහෙම්මම ඇද ගෙන වැටුනා කියලා මට මතකයි.සිහිය එද්දි මන් හිටියේ මගේ කාමරේ.මන් එතනට ආවේ කොහොමද මොනා වුනාද කියන්න මට දැනගන්න ඕන උනත් ඒ උන දේවල් වලට මූණ දෙන්න මන් බය උනා.
'කාටද මේක කියන්නේ.රොහාන්ට?බෑ ඒ මනුස්සයා පිච්චෙයි මේක දැන ගත්තම.නිශානිට?ඔව් වෙන කවුද මට ඉන්නේ.ඒත් සුමනේ අයියා නිශානිලටත් ප්‍රශ්න ඇති කලොත්.දෙයියනේ මන් කොමද මේ දේවල් තනියම දරාගන්නේ.' මගේ හිත සිය දහස් වාරයක් අඩා වැටුනා.
ඒ සිද්දියට පස්සෙ මන් රොහාන්ව බලන්න ගිහාම මට පුදුම විදිහට ඇඩුනා.රොහාන් බයත් උනා.රොහාන්ට තේරුනා මන් ඉන්නේ ප්‍රශ්නෙක කියලත්.ඒත් මට ඒක එයාට කියන්න හිතුනෙම නෑ.
ආයෙම දවසක මන් වඩ ඉවර වෙලා ගෙදර එද්දි සුමනේ අයියා ගේ ඉස්සරහට වෙලා හිටියා.මගේ කකුල් දෙකේ ඉදලා ගැහෙන්න ගත්තා.
"තමුසේ මොන එහෙකට ආයෙම ආවේ.තව් ගන්න දේවල් ඉතිරි වෙලා තිනවද තමුසෙට.?"
"පොඩ්ඩියේ මේ අහපන්.යමන් මාත් එක්ක.අරූ මත්තෙම නැහිලා උඹට මොනාද ලැබෙන්නේ?"
"අරූ මූ කියන්න එපා එ අමගේ මහත්තයා.මැරෙනකන් හරි මන් ආදරේ කරන මගෙ අමහත්තයා."
"හරි හරි උඹේ ඔය මහත්තයා ඕකෙන් එයිද කියන්න කවුද දන්නේ?"
"මොකද්ද තමුසේ කිව්වේ?"
"උඹ පොඩ්ඩියේ මට වැඩිය සද්ද දැම්මොත් ඒකව ඇතුලේ ඉද්දිම ඉවරයක් කරන හැටි මන් දන්නවා.උඹ අන්න ඒක මතක තියාගනඉන්."
"වචනයක් කතා කරන්නෙපා අයින් වෙනවා ඔතනින්" මන් එහෙම්මම කියාගෙන ගෙදර දොර ඇරියා.සුමනේ අයියගේ මූණටම දොර වහලා දාන්නයි මට ඕන උනේ.ඒත් මට කලින් සුමනේ අයියා ඉකමන් උනා.දොර තල්ලු කරගෙනම එයා ඇතුලට ආවා.මන් ආයෙම ඒ මිනිහගේ දැලට අහු උනා.
"අනේ පින්සිද්ද වෙයි මට ඉන්න දෙන්න සුමනේ අයියේ.පුන්චි කාලේ ඉදන් එකට හිටපු මට මෙහෙම වද දෙන්න පව් කියල හිතෙන්නැද්ද මන්?"
මන් සුමනේ අයියා ළග බැගෑපත් උනා.
"ඒකතමයි උඹට කියන්නේ වරෙන් මාත් එක්ක මේකට වෙලා හූල්ල හූල්ල ඉන්නෙ නැතුව."
"කියන දේ තේරුම් ගන්නවා මිනිහෝ" මට කේන්තියි.
එදත් එයා මට කරදර කරන්න ආවා.වාසනාවකටද අවාසනාවකටද මන්දා මට අතට අහු උන පිත්තල මල් පෝච්චියකින් මන් සුමනේ අයියගේ ඔලුවට ගැහුවා.ඒත් එක්කම එයාත් මට ලොකු කම්මුල් පාරක් ගැහුවා.මාව කැරකිලා ගිහින් පුටුවක් උඩට වැටුනා.
"උඹ සුදනා වෙන්න හදන්න එපා.උබ දන ගනින් උඹට නොකිව්වට උඹේ අක්කත් මුලින්ම ගියේ මන් එක්ක තමයි බොල.ඉතින් උඹ කවුද බන් මට. මන් මේක ලේසියෙන් අත් අරින්නේ නෑ අන්න ඒක මතක තියාගනින්."
"වනචරයා" මන් එහෙම හිතද්දි ඒ මිනිහා යනවා මන් දැක්කා.
මන් එහෙම්මම නිශානිව හොයා ගෙන ගියා නිශානි වැඩ කරන තැනට.නිශානි නිවාඩුවක් දාලා මා එක්ක ආවා.මන් මුල ඉදන්ම විස්තරේ කියන්න ගත්තා.මගේ කතාව ඔහේ අහගෙන අපි ඇවිදල ඇවිදලා අන්තිමට ගන්ගාරාමේ පන්සලට ගියා හිතට ටිකක් සහනයක් ලබා ගන්න හිතලා.
"ඔයා ඔය ගෙදර ඉන්න එක බයානකයි සූ.අපේ ගෙදර එන්න.නැත්තන් අම්මලාගේ ගෙදර යන්න.අපේ ගෙදරට වඩා එහේ හොදයි.අපේ දිහා දවල්ට කවුරුත් නෑනෙ.අම්මයි තාත්තයි දැන් රිටයර් හින්දා හැම වෙලේම වගේ ගෙදරනේ."
"අනේ බෑ නිශානි ඒ මිනිහා එහෙටත් හොයන් ඒවි.ඔයාලටත් කරදර කරාවි"
"එහෙම කියලා හැමදාම ඒ මිනිහට බයේ ඉන්න පුලුවන්ද සූ.මේකට විසදුමක් තියෙන්න එපැයි."
"විසදුමක් නෑ නිශානි.මන් දවසක් කිව්වම මන් පොලීසියට කියනවා කියලා.ඒ මිනිහා අහනවා ඇයි පොලිසියට කියලා මාව කූඩුවේ දාන්නද කියලා.අනික නිශානි එයාට පුලුවන්ලු රොහන්ට කරදරයක් කරන්නත්.දවසක් මට කෙලින්ම කිව්වා.ඉතින් මන් කොහොමද ඒ මිනිහට බය නොවී ඉන්නේ."
"කොහේ හරි මේකට විසදුමක් ඇති සූ.ඔයා හිත හයිය කරගන්න මේ හැම ප්‍රශ්නෙකටම මූණ දෙන්න."
"මට හිතක් ඉතිරි වෙලා නෑ නිශානි"
"රොහාන්ට කිව්වද?'
"නෑ..රොහාන්ට කිව්වා කියලා මොනා කරන්නද නිශානි?රොහාන්ගේ හිතේ තියෙන සැනසීමත් නැති වෙයි"
"ඒත් මේක දිගටම මේ ප්‍රශ්නේ ආවොත් රොහාන්ට කියන්න වෙනවා නේද?"
"ඔව් ඒත් මන් කොහොමද කටක් ඇරලා කියන්නේ ඔයා නැති අතරේ වෙන මිනිහෙක් ඇවිත් මට කරදර කරනවා කියලා.රොහාන්ගේ පපුව පැලෙයි"
මායි නිශානියි පන්සලට වෙලා හුගාල් වෙලා හිටියා.ටික මොහොතක්ට හිතට සැනසිල්ලක් දැනුනා.බෝ කොළ වල සිලි සිලි හඩට ඔහේ ඇහුන්කන් දීගෙන හිටපු මට අලුත් හුස්මක් ගන්න පුලුවන් උනා.පන්සලට ඇතුලු වෙද්දි හිටපු මට වඩා පන්සලෙන් ආයෙම එද්දි හිටපු මන් හිතින් ගොඩාක් නිවිලා හිටියා.
මට නිශානිලාගේ ගෙදර යනවද නැද්ද කියන එක ආයෙම පාරක් හිතන්නෝන උනා.නිශානිලාගෙ ගෙදර යන්න මට හොදටම වුවමනා වුනත් මන් හින්දා එයාලත් කරදරයක් උනොත් කියන බය නිසා මන් ඒක ටික ටික කල් දැම්මා.
සුමනේ අයියාගේ කරදරේ අඩුවන පාටක් තිබ්බෙ නෑ.ඉවසලා ඉවසලා බැරිම තැන මන් හැමදේම නැති උනත් මේ ප්‍රශ්නේ ගැන යන්තන් හරි රොහාන්ට කියනව කියලා හිතුවා.
-------------------------නැවතත්----------------
Saturday, January 2, 2016
****වළාකුලු බැම්ම **** (19)
රනුක වෙනුවෙන් වැටෙන්න පුලුවන් හැම කදුලම අපේ ඇස් වලින් වැටුනා.නිශානියි සහනුයි නිශානිගේ අම්මයි තාත්තයි හැමදේම හොයලා බලලා කලේ මායි රොහානුයි හිටියේ හොද සිහියෙන් නෙමේ නිසා.
සුමනේ අයියත් ඇවිත් හිටියා.රොහාන් වෙනදට වඩා සුමනේ අයියත් එක්ක කතා කලා කියලා මන් දැක්කා.
හැමදේම ඉවර වෙලා අපේ පුන්චි ගෙදර ආයෙම අපි දෙන්නා තනි උනා.හිනා හඩක්වත් ඇහෙන්න කලින්,අම්මෙ කියලා කතා කරන්න කලින් ඒ බලාපොරොත්තු හැම එකක්ම අරගෙන අපේ පැටියා යන්න ගියා.ජීවිතේ ඔහේ ගෙවුනා.ජීවිතේට කොහොම හරි මුහුණ දිය යුතුව තිබ්බා.
එදා මායි රොහානුයි දෙන්නම බෑන්ක් එකට යන්නේ නැතිව ගෙදර නැවතුනා. ඒ නිශානිලාගේ ගෙදර ලන්ච් එකකට අපිට එන්න කියලා තිබ්බ හින්දා.
"සුලෝ බෙල් එක වැදුනා නේද?බලන්න කවුද කියලා" රොහාන් එහෙම කිව්වේ මන් ඇදගෙන ඉවරවෙලා හිටපු නිසා.මන් ඉතින් ගිහින් දොර ඇරියා.
"මිස්ටර් රොහාන් තේනුවර ඉන්නේ මෙහෙද?"
"ඔව් ඉන්ස්පෙක්ටර්..ඇයි එයාව හොයන්නේ?"
"තමුන් කවුද?"
"මන් එයාගේ වයිෆ්"
"අහ් අපි ආවේ එයාව...."
"සුලෝ කවුද?"රොහාන් එහෙම අහගෙනම ඉස්සරහට ආවා.රොහාන් පොලිසිය දැකලා ගොඩාක් කලබල උනා.
"ආ තමුන්ද රොහාන් තේනුවර?"
"ඕ...ඕ..ඔවු ඉන්ස්පෙක්ටර්"
"යමු අපිත් එක්ක.පොලීසියට ගිහින් ඉතුරු විස්තර දැන ගමු"
"රොහාන් ඇයි මේ?" පොලීසිය කියපු දේට රොහාන් එකග උනා වගේ පෙනුමක් තිබ්බා.රතු වෙච්ච ඇස් දෙකේ කදුලු පුරෝගෙන මන් දිහා ටික වෙලාවක් බල ඉදලා රොහාන්ම ගිහින් ජීප් එකට නැග්ගා.
ඇයි මේ? මොකද්ද මෙතන වෙන්නේ? මට ඔක්කොම පැටලිලා තිබ්බා.හැමදේටම මට ඉන්න නිශානිත් එක්ක මන් පොලීසියට ගියා.මන් යනකොට රොහාන් හිටියෙ හිර කූඩුවක.වට පිටේ කිසි දෙයක් ගැන බලන් නැතුව මන් කෙලින්ම රොහාන් ළගට ගියා.මාව දැක්ක ගමන් රොහාන්ට ඇඩුනා.
"ඇයි පැටියො මෙ මිනිස්සු ඔයාව මෙහෙම හිර කරන් ඉන්නේ?"
මන් එහෙම අහද්දි රොහාන් බිත්තියට හේත්තු වෙලා එහෙම්මම බිම වාඩි උනේ අඩාගෙනමයි.
"මට සමාවෙන්න සුලෝ...මට සමාවෙන්න"
මාත් එහෙම්මම බිම වාඩි උනා
"ඇයි දෙයියනේ මේ ඔයා මොකද්ද කරපු වැරැද්ද?කියන්න ඔයා මුකුත් කරලා නෑ කියලා"
"නෑ සුලෝ මන් ලොකු වැරැද්දක් කලා."
"අනේ රොහාන්...?"
"අපේ පුතාට ඇමරිකා යන්න සල්ලි ඕන උන වෙලාවේ මන් ගියේ ඔයාලගේ සුමනේ අයියා ළගට.අපිට ඕන වෙලා තිබ්බ තරම් ඉක්මනට සල්ලි හොයා ගන්න පුලුවන් නේද කියලා මට මතක් උනේ එයාගෙන් විතරයි.
"අනේ දෙයියනේ...."
"මොකද වුනේ කියලා හිතා ගන්න පුලුවන්නේද සුලෝ ඔයාට?"
"කියන්න ඉතින් මොකද වුනේ?" ලෝන් ගන්න පුලුවන් කම තියෙද්දි,සල්ලි තියෙන යාලුවොත් ගොඩ දෙනෙක් ඉද්දි,අම්මලා ළග දනින් වැටිලා හරි සල්ලි ඉල්ලගන්න පුලුවන් කම තියෙද්දි රොහාන් මොන එහෙකටද ඒ මනුස්සයා ළගට ගියේ කියලා මතක් වෙද්දි මට පුදුම කේන්තියක් ආවා.මගේ ජීවිතේට දෙයියනේ සැනසීම කියන වචනෙ එනවා යනවා විතරයි.මුලු ජීවිතේම ප්‍රශ්න වලින් පිරිල.
ඒ මොනවා වුනත් රොහාන් පුතාගේ ප්‍රශ්නේ තිබ්බ දවස් වල හිටියේ හරි හමන් සිහියකින් නෙමේ.සමහර විට ඒ දුක වෙන්නැති රොහාන්ව ඒ තීරණේ ගන්න පොලඹවන්න ඇත්තේ.රොහාන් පව්.රොහාන්ට ඕන උනෙත් අපේ පුතා එක දවසක් හරි වැඩිපුර අපි දෙන්නා ළග ඉන්නවා දකින්න.
"සුමනේ අයියාට අරාබියෙ වල ලොකු කස්ටමර් කෙනෙක් හම්බුනා කියලා එයාට කුඩු යවන්න බ්‍රෝකර් කෙනෙක් හොය හොය හිටියේ ඒ දවස් වල.ඉතින් මගේ ප්‍රශ්නේ මන් කිව්වම සුමනේ අයියා මට කිව්වා ඒ වැඩේට නම දෙන්න කැමතිනම් ඉල්ලන ඕන ගානක් සතියක් ඇතුලත දෙන්නම් කියලා.මන් ඇහුවම ප්‍රශ්නයක් වෙයිද කියලා එයා කිව්වා සම්පූර්ණ වගකීම එයා ගන්නවා කියලත්.මට ඒ වෙලාවේ ඒක ඇත්තද බොරුද කියලා හොය හොය ඉන්න තරම් සිහියක් තිබ්බේ නෑ සුලෝ."
"හ්ම්ම්...... දැන් මට මොකද්ද කරන්න පුලුවන් රොහාන්?"
"අනේ ඔහොම අහන්න එපා සුලෝ.මට බනින්න ඇයි මෙහෙම දෙයක් කරගත්තේ කියලා මට බනින්න..ඔහොම කතා කරද්දි මට මැරෙන්න හිතෙනවා සුලෝ."
"ඔයා එවෙලේ ඉන්න ඇති තත්වෙයි දැන් ඉන්න තත්වෙයි මට තෙරුම් ගන්න පුලුවන් රොහාන්.ඉතින් මන් කොහොමද ඔයාට මුකුත් කියන්නේ.ඔයා හැමදේම කලේ මන් වෙනුවෙනුයි පුතා වෙනුවෙනුයි කියලා කියන්න මන් හොදටම දන්නවා රොහාන්.ඔයා බය නොවී ඉන්න.මන් කොහොම හරි විසදුමක් හොයා ගන්නම්".
මන් නිශානිත් එක්ක එදා රෑ නිශානිලාගේ අම්මලගේ ගෙදර නැවතුනා.ඒ මිනිස්සු එදත් මාව දුවෙක් විදිහටම පිළිගත්තා.ඒක මගේ හිතට ලොකු සැනසීමක් උනා.
නිශානිගේ තාත්තගේ මාර්ගයෙන් අපි ලෝයර් කෙනෙක්ව කතා කරගත්තා.ඒ ලෝයර් කියපු විදිහටනම් රොහාන්ට එළියට එන්න තියෙන චාන්ස් එක ගොඩාක් අඩුයි කියලා කිව්වා.විස්තර හොයලා බැලුවම සුමනේ අයියා හැම තැනටම දාලා තිබ්බේ රොහාන්ගේ නම.කුඩු අයිති කෙනත් රොහාන්,පිටරටට යවපු කෙනත් රොහාන්,පිටරටින් ආපු සල්ලි ලැබුන කෙනත් රොහාන්..සුමනේ අයියගේ නම් කොහෙවත් ගෑවිලා තිබ්බේ නෑ.ඒ මනුස්සය මගේ අසරණ රොහාන්ව රවට්ටලා.ආයෙ අවුරුදු ගානකටම ගොඩ එන්න බැරි වෙන්න.
නඩුවෙදි උනත් අපිට රොහාන් නිර්දෝෂි කියන්න තරම් සාක්ෂි තිබ්බේ නෑ.සුමනේ අයියා උසාවිය පැත්ත පලාතේ ආවේ නෑ.මන් දහ පාරකට වඩා සුමනේ අයියා ළග බැගෑපත් වෙන්න ඇති මගේ රොහාන්ව බේරලා දෙන්න කියලා.ඒත් ඒ මිනිහට තිබ්බේ ගල් හිතක්.රනුකගේ සිද්දියත් එක්ක අල්ලලා ගත්ත මානුෂීය පැත්තක් විතරයි අපිට තිබ්බේ.ඒත් උසාවියකට මොකටද ඒවා සාක්ෂි නැතුව.
අවුරුදු දහයක්...ඔව් අවුරුදු දහයක්..ඒ රොහාන්ගේ දඩුවම.දරුවෙක් වෙනුවෙන් හීන බලපු තාත්තෙකුට හම්බ උන දඩුවම.
මට දැනුනේ මම පාවෙන මළ කදක් වගේ.අඩන්න කදුලක්වත් ඉතිරි වෙලා තිබ්බේ නෑ.පණ කෙන්දක් ඇගේ ඉතිරි වෙලා තිබ්බේ නෑ.නිශානි එයාගේ ගෙදර එන්න කිව්වත් රොහාන් මටයි අපේ පුතාටයි අරන් දීපු ගෙදර දාල යන්න මට හිතුනෙම නෑ.
සතියක් විතර නිශානි මා එක්කම හිටියා.ආයෙම බෑන්ක් එක ජොබ් එකට යන්න මට මගේ හිත ඉඩ දුන්නෙ නෑ.බෑන්ක් එකේ යාලුවෙක්ට කියලා කොළඹ ටෙක්ස්ටයිල් ෂොප් එකක ජොබ් එකක් හොයා ගත්තා. බෑනක් එකේ එක්ස්පීරිඅන්ස් එක හින්දා අකවුන්ටන්ට් කෙනෙක් විදිහට ජොබ් ලැබුනා.
සතියකට සෙරයක් මන් රොහාන්ව බලන්න ගියා.මන් තනියම අපේ ගෙදරට වෙලා ඔහේ හිටියා.බලාපොරොත්තුවක් නෑ.සතුටක් නෑ.ඒත් මන් ජීවත් උනා.රොහාන් වෙනුවෙන්.
රොහාන් රිමාන්ඩ් කරලා මාස පහකට විතර පස්සෙ සුමනේ අයියා අපේ ගෙදර ආවා.එදා මන් හොදටම බැනලා එයාව එලවගත්තා. එදා කර බාගෙන ගියාට ආයෙම ආවා සතියකට විතර පස්සේ.
-------------------------නැවතත්----------------
Thursday, December 31, 2015
****වළාකුලු බැම්ම **** (18)
චෙක් අප්ස් ඔක්කොම කරගෙන ඉවර වෙලා මාසෙකට පස්සේ ඒ කියන්නේ රනුකට මාස හයයි සති දෙකක් වුනහම එයාගේ සර්ජරි එක කලා.කිසි ප්‍රශ්නයක් උනේ නෑ.සර්ජරි එකෙන් පස්සේ අපි රනුකවත් එක්කගෙන ගෙදර අවේ හැමදෙයක්ම හොදින් විසදුනා කියලා හිතාගෙන.පුතා ගෙදර ආපු දවසෙ තමයි අපි හරියකට කෑමක්වත් කෑවේ.
ඒත් මාසයක් විතර යද්දි සර්ජරි එක කරද්දි කැපුම දාපු තැනින් සැරව ගෙඩි දෙක තුනක් ඇවිත් තිබ්බා.සහන්ට කෝල් කරලා ඒ ගැන කිව්වම සහන් කිව්වා ඉක්මනටම ඇවිත් ඒ ඩොක්ටර්ටම පෙන්නන්න කියලා.
"දැන් දවස් කීයක ඉදන්ද මෙහෙම තියෙන්නේ?"
"ඊයේ ඉදන් තමයි ඩොක්ටර් මෙහෙම තිබුනේ?"මන් කිව්වා.
"අපි බබාගෙ බ්ලඩ් කල්චර් එකක් කරලා බලමු..."
"ඩොක්ටර්..තුවාලේ පැහැවලා වගේද?"
"එහෙම තත්වයක් තමයි තියෙන්නේ.ඇන්ටි බයොටික් එකක් දෙන්නම්.බබාව හොදට බලාගන්න වෙනවා.තුවාලේ තියෙන තැන පිරිසිදුවට තියාගන්න.දැන් ටෙස්ට් එක කරගෙන රිපොර්ට් එකත් අරන් ආයෙම ඇවිත් මට පෙන්නන්න".
බෙහෙත් බිව්වට පස්සෙ නම් ආපු සැරව ගෙඩි එහෙම්මම බැහැලා ගියා.කරපු ටෙස්ට් එකෙත් කියන්න තරම් දෙයක් නෑ කියලා ඩොක්ටර් කිව්වා.
ඉතින් මායි රොහානුයි අපේ පැටියව හැම තප්පරේම ඇස් දෙක වගේ බලාගත්තා.තාම මාස හතයි ඒත් මොන තරම්නම් දේවල් වලට මූණ දුන්නද මේ පැටියා.ඒ ගැන මතක් වෙද්දි පුදුමාකාර දුකක් හිතට ආවේ.මේ පැටියට තවත්නම් දුක් දෙන්න එපා කියලා මන් දෙයියන්ගෙන් අනේක වාරයක් ඉල්ලන්න ඇති.ඒත් දෙවියෝ නිකමටවත් මන් කියපු දේ ඇහුවේ නෑ.
බෙහෙත් නවත්තලා සතියකින් විතර ආයෙම සැරව ගෙඩි එන්න ගත්තා.කලින්ට වඩා ලොකුවට.මගේ හිතට මොකද්දෝ බයක් දැනෙන්නත් ගත්තා.
ස්කෑන් කලා,ආපු සැරව ගෙඩියකින් සැරව අරගෙන ඒකත් පරික්ෂා කරල බැලුවා.
"මේකයි මිස්ටර් ඇන්ඩ් මිසිස් තේනුවර ප්‍රශ්නේ ටිකක් බරපතලයි.බබාගේ තුවාලේ ආසාදනය වෙලා දැන් ඒක තුවාලෙට යටින් තියෙන අස්ථියට පවා ආසාදනය වෙලා තියෙන්නේ".
"කොහොමද එහෙම දෙයක් වෙන්නේ.?" රොහාන්ගේ හඩේ තිබ්බේ දුකක්ද කේන්තියක්ද මන් දන්නෙ නෑ.
"මේකයි මිස්ටර් තේනුවර මෙ බබාගේ ප්‍රතිශක්තිය සාමන්‍ය බබෙක්ගේ තියෙනවට වඩා ටිකක් මන්දගාමීව තමයි වර්දනය වෙන්නේ.ඒ හින්දා තමයි මෙහෙම දෙයක් සිද්ද වුනේ."
"ඉතින් ඒක එහෙමනම් මොන එහෙකටද කලින් සර්ජරි එක කලේ?"රොහාන් අත් දෙකෙන්ම මේසෙට ගහගෙනම නැගිට්ටේ කේන්තියෙන්.සහන් ඒ ළගම හිටපු නිසා සහන් රොහාන්ව බදාගත්තේ අවශ්‍යම වෙලාවෙ.
"මට තේරෙනවා මිස්ටර් තේනුවර..ඒත් අපි එවෙලේ කලේ ඒ මොහොතේ කරන්න තිබ්බ උපරිම දේ."
"දැන්...දැන් අපි මොකද කරන්න ඕන?" ඇඩුම් අතරින් මන් ඇහුවා.
"බබාගේ වයස එක්ක අපිට ලොකු දෙයක් කරන්න බෑ මිසිස් තේනුවර.ඒත් ලොකු දෙයක් නොකර ඉන්නත් බෑ."
"අනේ...."
"සහන් විල් යූ??"
"ඕකේ සර්..අයි විල් මැනේජ්"
සහනුයි නිශානි එදා රෑ අපේ ගෙදර ආවා.ඒ ඩොක්ටර් සහන්ට කියලා තිබ්බා ආයෙම සර්ජරි එකක් කරන එක රිස්ක් එකක් කියලා.සර්ජරි එක කලත් ඒක් මෙහෙ කරන්න බැහැලු.ඇමරිකා යන්න වෙනවලු.ඒ ඩොක්ටර්ත් ගොඩාක් බබා ගැන දුක් උනාලු.එයාගේ යාලුවොන්ටත් කෝල් කරලා නෙට් එකෙනුත් ගොඩාක් විස්තර හොයලා බැලුවලු.
අපිට තීරණයක් ගතයුතුම වෙලා තිබුනා..
"රොහාන් අපි මොකද දැන් කරන්නේ?"
"අපි ඇමරිකා එක්කන් යමු පුතාව."
"රොහාන් සල්ලි...?"
"හ්ම්ම්... මොනවා හරි කරලා හොයා ගන්න වෙනවා.අත ඇරලා දාන්නෙ කොහොමද මේ අපේ පැටියගේ ජීවිතෙනේ"
"ඔව් රත්තරන් ඔව්... අපි කොහොමද මෙච්චර සල්ලියක් හොයන්නේ?"
"ඔයා ඒක ගැන හිතන්න එපා.ඒක මට බාර දෙන්න.ඔයා අපේ පැටියව බලාගන්න සුලෝ.ඒ ඇති"
"අම්මලගෙන් අහන්න"
"ආයෙනම් ඕක කියන්න එපා.මට එයාලගෙන් කිසි දෙයක් ඕන නෑ.නිකමටවත් ආවෙ නෑ මගේ කොල්ලව බලන්න මන් අච්චර කියලත්."
රොහාන් එහෙම කියාගෙනම නැගිටලා කාමරේට ගිහින් ශර්ට් එකක් දාගෙන කාර් එකෙ නැගලා කොහෙද යන්න ගියා.මන් ඇහුවට කිවෙත් නෑ.
.........
ඇමරිකා යන්න හැමදේම ලෑස්ති කෙරුනා.ඒ මාස දෙකකටත් වඩා අඩු කාලයකින්.බබාගෙ පෙනුමත් එන්න එන්නම දුර්වල උනා.හැම තිස්සෙම උණ හැදුනා.එක වරුවකට බෙහෙත් ගොඩාරියක් බොන්න උනා මගේ පැටියට.රනුක දිහා බලද්දි මට වාවගන්න බැරිව ගියා.ඒ තරමටම ඒ පොඩි දරුවා අසරණ වෙලා හිටියා.
ඇමරිකා යන්න සහනුත් අපිත් එක්ක එන්නම් කියලා කිව්වා.ඒක රොහාන්ටයි මටයි සෑහෙන්න ලොකු උදව්වක් උනා.ඒත් රොහාන් ඒ ගමනට සල්ලි හොයා ගත්තෙ කොහොමද කියලනම් කිව්වෙ නෑ.හැම තප්පරේම රනුක ගැන හිතපු නිසා මට ඒක රොහාන්ගෙන් අහන්න මතක් වුනෙත් නෑ.
හැමදේම පිලිවෙලකට වෙද්දි එක දවසක් රෑ රනුක පුදුම විදිහට අඩන්න ගත්තා.සහලෝල උණ අරන් තිබ්බා.එවෙලෙම අපි එයාව එක්කන් හොස්පිටල් එකට ගියා.රොහාන් හොදටම බය වෙලා හිටියේ.මට...මට මෙලෝ සිහියක් නැතිව හිටියේ.ගිය ගමන් රනුකව අයි.සී.යූ. එකට ගත්තා.ඒ අපේ පැටියා අපි එක්ක හිටපු අන්තිම මොහොත කියලා අදටත් මට හිතාගන්න බෑ.ආසාදනය ඇති කරපු බැක්ටීරියාව ලේ වලට ගිහින් සෙප්සිස් කියන තත්වය ඇති වෙලාලු..
-------------------------නැවතත්----------------
Wednesday, November 11, 2015
මේ කතාව මගේ.....
කාලයක් තිබ්බා කිසිම දෙයක් හිතන්නැතුව ඔහේ ජීවිතේ ගලාගෙන ගියපු.ඒ දවස්වල මට මන් ගැන හිතන්න ගොඩාක් දේවල් තිබ්බා.ඒත් ෆිල්ම් වල වෙනවා වගේ කොහෙද මන්දා ඉදන් කෙනෙක් මගේ ජීවිතේටත් ආවා.හැමදේම නැති උනත් ගොඩාක් දේවල් වෙනස් වුනා.මට මාව මගහැරුනා වගේ දැනුනා.ඒත් මන් ඒකට ආස කරන්න ගත්තා.මගෙන් මාව අත ඇරිලා ඔයාව හොයන කොට ඔයා ලගින් වෙන කෙනෙක් හිටියා.හ්ම්..ආයේ යන්නේ කොහොමද මට මාව හොයා ගන්න බැරි උනා.මන් ඔයා ලගම ඔයාට නොපෙනෙන්න හැන්ගිලා හිටියා...ඒත් එක පාරටම ඔයා මාව දැක්කා.ඉතින් මට ආයේම ඔයා එක්ක හැන්ගි මුත්තන් සෙල්ලම් කරන්න ඕන උනේ නෑ.
ඊට පසේ මට ඔක්කොම නීති රීති ටික කියලා දීලා,තවත් සෙල්ලම් කලොත් මොකද වෙන්නෙ කියලත් කියලා දීලා,ඔයාගේ සෙල්ලමට කාවවත් අඩු නෑ කියලත් කියලා දීල ඔයා ඔයාගේ සෙල්ලමම කරා.ඔයා දිව්වා.ඔයා දිව්වේ රවුමක.මන් ඔයා පස්සෙන් ඒ රවුමෙම දිව්වා.ඔයාට තරමක් කිට්ටු වෙද්දි මන් හිතුවේ මන් ඔයාව ඇල්ලුව කියලා.ඒත් ඒක රවුමක් ඔයා දිව්වේ ඔයාගේ දහවෙනි වටේනම් මන් ඒ දිව්වේ පලවෙනි වටේ.ඉතින් කිට්ටු උනා කියලා පෙනුනට ඔයා මට වඩා ගොඩාක් දුරින්.
හ්ම්..
මට රවුමේ දුවන්න ඕන නෑ.හති වැටෙන්න ඕනත් නෑ.මොකද මන් ජීවිතේ කාගෙවත් පස්සෙන් මෙච්චර දුවලා නැති හින්දා.ඒත් මේ ඔයා.නවතිනවද දුවනවද කියලා මට තාම හිතාගන්න බෑ.ඒත් නවතින එක තමයි එකම විසදුම කියලා මට ඇරෙන්න අපි දුවන දිහා බලන් ඉන්න ඔක්කොම දන්නවා කියලා මන් දන්නවා.ඔව් ඔයත් දන්නවා.
ඉතින්...
මේක මහා අමුතු දෙයක්.ඒක මේ විදිහට දැනෙයි කියලා මන් හිතුවෙම නෑ.නිහඩ කැපකිරීම් ළග මට නවතින්න බැරි උනා.ඒ හින්ද වෙන්න ඇති මන් හිතේ තියෙන හැම දේම ඔයාට කිව්වේ.ඔයාට කරන්න කිසිම දෙයක් නෑ.මන් දන්නවා අයියේ.
මේ බැදීමට නමක් දෙන්න මන් දන්නෙ නෑ.ඒත් මේ බැදීම ඇතුලේ තියෙන්නේ ආදරේ විතරයි කියලා මන් කියනවා.දැනෙනවනම් ඔයාට විශ්වාස කරන්න..
කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව මන් මගේ මුලු හිතින්ම ඔයා ගැන හිතුවේ කොහොමද කියලා අදටත් මට පුදුමයි.ඉතින් ඔයා ගැන හිතන්න පුලුවන් මට ඉස්සරහටත්..අක්කි ආවත් අක්කිව මැරි කලත් ඒ එකකටවත් බෑ මන් ඔයා ගැන හිතන එක නවත්තන්න.මොකද මේ කතාවෙදි ආදරේ කලේ මo,මoම විතරයි.
ඉතින් මේ කතාව මගේ..
Wednesday, August 26, 2015
****වළාකුලු බැම්ම **** (17)
රොහාන්ට මේ හැම දෙයක්ම කියනවද නැද්ද කියන එක ගැන මන් හුග සැරයක් හිතුවා.ඒත් මට හදිස්සි වෙන්න හිතුනේ නෑ.සුමනේ අයියා එහෙම දෙයක් කිව්වා කියලාවත් මට තාම හිතාගන්න බෑ.හිතේ තිබ්බ දේ කිව්වට පස්සෙවත් එයා මට මගේ පාඩුවේ ඉන්න දේවි කියලා මට හිතුනා.ඒ හින්දා මන් රොහාන්ට මේ දේ ගැන නොකියා ඉන්න තීරනේ කලා..
අපි අපේ පැටියට රනුක සත්සර තියලා නම තිබ්බා.රොහාන්ට ඕන උනේ අපි දෙන්නගෙම නම් වල අකුරු වලින් අපේ පැටියගේ නම තියන්න.රනුකත් එක්ක අපි ගොඩාක් සෙල්ලම් කලා.රොහාන් වැඩ ඉවර වෙලා ගෙදර එන්නෙ දුවගෙන වගේ.අපේ පැටියා ටික ටික ලොකු වුනා..ඒත් එක දවසක් රනුකට උණ හැදුනා.අපි අපේ ඩොක්ටර්ගෙන් එයාට බෙහෙත් අරන් ආවට පස්සේ හොද උනා.ඒත් එදා ඉදලා එයා කළින් වගේ හොදින් හිටියේ නෑ.හැම තිස්සෙම සෙම වගෙත් තිබ්බා.හුස්ම ගද්දිත් එයාගෙන් පපුවෙන් සද්දයක් වගේ එන්න ගත්තා..අපේ ඩොක්ටර් හැම වෙලේම එයාට සෙම සෙම කියලා බෙහෙත් දුන්නට රොහාන් එයාව නවලෝකේ ලොකු ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා.ඒ ඩොක්ටර් පුතාව පරීක්ෂා කරලා බැලුවා.වෙදනලාව පැටියගේ පපුවෙන් තියද්දි ඒ ඩොක්ටර්ගේ මූණ වෙනස් වුන හැටි මට තාමත් මැවෙනවා දෙයියනේ.
"අපි මෙයාගේ පපුවෙ ස්කෑන් එකක් කරලා බලමු.තව එකෝ එකකුත් ගන්න වෙයි"
"ඇයි ඩොක්ටර් මොකද්ද වෙලා තියෙන්නේ පුතාට?"
රොහාන් එහෙම ඇහුවේ මගේ ඇස් දෙකට කදුළු පිරෙද්දිමයි.
"මෙහෙමයි.. කලබල වෙන්න එපා..මේ වගේ බබාල හුග දෙනෙක් මෙහෙට ඇවිත් තියෙනවා.ඒ වගේමයි මේ වගේ අයව හොද කරලත් තියෙනවා.ඒ හින්ද මේ ගැන හිතලා කලබල වෙන්න එපා ඔයාලා.අපි ටෙස්ට් ටික කරලා හරියටම කන්ෆර්ම් කරගමු.අපි සාමාන්‍යෙන් කියන පපුවේ හිලක් කියන තත්තවය මන් හිතන්නේ ඔයාලගේ බබාගෙත් තියෙනවා."
එතනින් පස්සේ ඩොක්ට කිව්වේ මොනවද කියලා මට ඇහුනේ නෑ.මන් එතන පුටුවෙන් නැගිටලා එළියාට ආවේ මගේ පැටියවත් තුරුල් කරගෙනමයි.
තවම අම්මේ කියලවත් නොකියපු මගේ පැටියට ඇයි දෙයියනේ මෙහෙම දෙයක් උනේ කියලා මන් කාගෙන් අහන්නද...මන් එලියට ගිහින් ටික වෙලාවකට පස්සේ රොහානුත් ආවා.රොහාන් කිව්වා පුලුවන් ඉක්මනට ටෙස්ට් ටික කරගන්න කියලා ඩොක්ටර් කිව්වලු.ඩොක්ටර් කියපු දේ ගැන ඩොක්ටර්ට ගොඩාක් දුරට ශුවර් කියලත් කිව්වලු.රොහාන් ටික වෙලාවක් මාත් එක්කම එතන ඉදගෙන හිටියේ පුන්චි පුතා දිහා බලාගෙනමයි.
"සුලෝ හෙට වෙනකන් මේක කල් දාන්න ඕන නෑ අපි අදම ටෙස්ට් ටික කරගමු."
"රොහාන් සහන් දැන් ඉන්නේ මේ හොස්පිටල් එකේ.අපි එයාට කියමු.."
"හරි සුලෝ මන් උඩට ගිහින් ටෙස්ට් ටික කරන්න පුලුවන්ද බලන්නම් ඔයාට පුලුවන්නම් සහන්ව හම්බ වෙනවද?"
"හා"
"මට කෝල් එකක් දෙන්න මන් එන්නම් එතනට"
රෙසිප්ෂන් එකෙන් සහන් ඉන්න වෝර්ඩ් එක අහගෙන මන් සහන්ව හම්බ වෙන්න ගියා.එයා හිටියේ මැටර්නල් වෝර්ඩ් එකේ.
"සුලෝචනා මේ කොහෙද මේ?"
"අනේ සහන්.."
සහන් හිටපු තැන තව ඩොක්ටර්ස්ල දෙතුන් දෙනෙකුත් හිටියා.ඒත් මට ඇඩුනා.මට මතකයි සහන් පුදුම වෙලා මන් දිහා බලාගෙන හිටියා..
"හරි සුලෝචනා ටිකක් ඉන්නකෝ....එක්ස්කියුස්මී මචන් මන් එන්නම්"
සහන් මාවත් එක්ක ගෙන එයාලගේ රූම් එකට ගියා.එවෙලේ වෝර්ඩ් රවුන්ඩ් නිසා කවුරුත් වැඩිය හිටියේ නෑ.
"හරි සුලෝචනා කියන්න දැන් මොකද්ද වෙලා තියෙන්නේ?"
"සහන්..රනුකගේ පපුවේ හිලක් ලු සහන්..අනේ අපි දැන් මොකද කරන්නේ"
සහන් තරමක් කලබල උනා..ඒත් මාව සනසන්න ඕන හින්දා එයා ඒ බවක් පෙන්නුවේ නෑ.
"ස්කෑන් කලාද?"
"නෑ ඩොක්ටර් බලලා කිව්වේ.ස්කෑන් එකකුයි එකෝ එකකුයි කරන්න කිව්වා."
"හ්ම්ම්... බය වෙන්න එපා සුලෝචනා ඔය වගේ පේෂන්ට්ස්ලා ගොඩාක් එනවා.සමහර අයට වැඩි දෙයක් කරන්න ඕන වෙන්නේ නෑ එයාලට නිකන්ම ඉන්න අරිනවා..ඒවගේම සමහර අයට සර්ජරි එකක් කරලා ඒක හරි ගස්සන්න වෙනවා.අපි බලමුකෝ ටෙස්ට් ටික කරලා ඉවර උනාට පස්සේ.බය නොවී ඉන්න.මන් නිශානිටත් කියන්නම් ඇවිත් ඔයා එක්ක ඉන්න කියලා"
"එතකොට සහන් සර්ජරි එකක් කරන්න උනොත්?"
"මෙහෙමයි සුලෝචනා..ඒක බබාගේ තත්ත්වේ අනුව වෙනස් වෙනවානේ..එ හින්දා සුලෝචනා අපි ටෙස්ට් රෙසල්ට්ස් ආවම බලමුකො..රොහානුත් ආවද?"
"ඔව් එයා ගියා දැන් එ ටෙස්ට් ටික කරගන්න පුලුවන්ද අහන්න."
"හා හරි..එතන සෙනගනම් මට කියන්නකො මන් කියලා කරලා දෙන්නම් අදම"
අපි එදා හවස් වෙනකොට සහන්ගේ උදව්වෙන් ස්කෑන් එකයි එකෝ එකයි කරගත්තා.ඩොක්ටර් හවස හිටපු නැති නිසා පහු වෙනිදා උදේ තමයි අපිට රිපෝට්ස් ටික පෙන්නන්න උනේ.එදා උදේ සහනුත් ආවා අපිත් එක්ක ඩොක්ටර්ව හම්බ වෙන්න.
"හ්ම්ම්... කලබල වෙන්න එපා.මිස්ටර් ඇන්ඩ් මිසිස් තේනුවර.රිපෝර්ට්ස් වලිනුත් කියන්නේ මන් ඊයේ කියපු දේම තමයි."
"අපි දැන් මොකද කරන්න ඕන ඩොක්ටර්?"
එහෙම ඇහුවේ රොහාන්.
"මෙහෙමයි..මේකට සර්ජරි එකක් කරන්න වෙනවා."
හැමදේටම බොදවෙන මගේ ඇස් ආයෙ අයෙම බොදවෙන්න ගත්තා.සහන් රොහාන්ට කිව්වා මාව එක්කන් එලියට යන්න කියලා.එයා විස්තර අහගන්නම් කියලා.රොහානුයි මායි රනුකවත් අරගෙන එළියට ආවා.මට ඇවිද ගන්න පනක් තිබ්බේ නෑ.මේ චූටි සිනිදු ඇග කපන්න දෙන්නේ කොහොමද මන්.මට වාවගන්න බැරි උනා.ඩොක්ටර් එක්ක කතා කරාට පස්සේ සහන් අපි හිටපු තැනට ආවා.
"අනේ අපි දැන් මොකද කරන්නෝන සහන්" ඇඩුම් මැද්දෙන් මන් ඇහුවා.
"සර්ජරි එක නම් කරන්න වෙනවා."
"ගොඩාක් ලොකු එකක් වෙයිද ඒක?"
"හ්ම් ටිකක් විතර..මෙහෙ ඉන්නෙ හොදම කොලිෆයිඩ් ඩොක්ටර්ස්ලා.ඔයාලට බය වෙන්න කිසි දෙයක් නෑ රොහාන්."
"කවදාවගේ කරන්න වෙයිද එතකොට?"
"බබාට මාස හය සම්පූර්ණ වෙන්නේ කවදටද?"
"තව සති දෙකකින්..ඇයි?"
"නෑ මාස හයක් පහු උනාම තමයි අඩු රිස්ක් එකකින් මේ වගේ සර්ජරි එකක් අපි කරන්නේ.ඒකයි."
"එතකොට තව සති දෙකකින් මේක කරනවද?"
"හ්ම් ඔව්.සති දෙක පන්නලා අපි මාසයක් ඇතුලත කරමු.හැබැයි..."
"ඇයි සහන් මොකද්ද ප්‍රශ්නේ?"
"ඔයා ළග සල්ලි එහෙම තියෙනවද මේ දවස්වල?"
"කීයක් යාවිද?"
"10 ලැක්ස් විතර යාවි.හොදම ස්පෙෂලිස්ට්ලා අල්ලනකොට ගාන වැඩි"
"කමක් නෑ සහන්..ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.ඒ ගාන ගෙවන්න මට පුලුවන්.අනේ ප්ලීස් මගේ පැටියව සනීප කරලා දෙන්න සහන්.තාත්තා කෙනෙක් විදිහට ලක්ශ දහයට සීයක් උනත් හොයලා දෙන්නම් මට මගේ පුතාව සනීප කරලා දෙන්න"
-------------------------නැවතත්----------------
Monday, August 17, 2015
****වළාකුලු බැම්ම **** (16)
මහේශ් වැල්ලවත්තට කිට්ටුවෙනැනෙක්ස් එකක් අපිට හොයලා දුන්නා.සාලෙකුයි කාමරයයි කුස්සියයි.මටනම් ඒක ඕනවටත් වැඩි උනා.ඒත් රොහාන්ටත් එහෙම්මම දැනුනද කියන්න මන් දන්නෑ.දැනුනත් එයා කවදාවත් එතන අඩු පාඩුවක් කිව්වේ නෑ.මුල් දවස් ටික අම්මලාගෙන් වෙන් වෙච්ච එක ගැන දුක් වුනත් පස්සේ දවස් ගෙවෙනවත් එක්ක ඒ දුක හෙමින් සැරේ තුනී වෙලා ගියා.නිශානි එයාලගේ අම්මලත් එක්ක ඉදල හිටලා ඇවිත් ගියා.කටු කම්බි උඩින් ඇවිදලා ආයෙම පිනි වැටුනු තණ බිස්සක පය තිබ්බා වගේ මට දැනුනා.ඉදලා හිටලා හීරුනු තුවාල රිදෙන්න ගත්තත් ඒ හැමදේම් ටික වෙලාවකට විතරක් සීමා උනා.
ඒ පුන්චි ගේ පුරාම තිබ්බේ ආදරේ විතරයි.රොහාන් එක්ක මාත් උදේට වැඩට ගියා.මුලු දවසෙමත් රොහාන් එක්ක ඉදලා ආයෙම රෑට එයා එක්කම ගෙදර ආවා.පුලුවන් හැමවෙලාවකම අපි එක එක තැන් වල ඇවිද්දා.අපේ ලෝකේ අපි දෙන්න ඇතිතරම් තනි වුනා.හිත් රිදීම් පසුතැවිලි තිබ්බෙම නැති තරම්.
බෑන්ක් එකේ තිබ්බ ගෙට් එකකදි රොහාන්ට එයාගේ අම්මව හම්බවෙලා තිබ්බ දවසක්.ඒ අපි මැරි කරලා මාස 5ක් විතර ගියාට පස්සේ දවසක.රොහාන් අමා ළගට කතා කරන්න ගිහාම මග ඇරලා ගියේ හරියට මූණ දිහාවත් බලන්නැතුවලු.එදා රොහාන් පාටි එකත් මග දාලා ගෙදර ආවා.ඒ මාස ගානට රොහාන් දුකින් ඉන්නවා මන් දැක්කේ එදා.
මාස හයකට පස්සේ අපි අලුතෙන් ගෙයක් ගත්තා.ඒක තිබ්බේ කොළබ කිට්ටුවම නෙමේ.පන්නිපිටිය පැත්තේ.නිස්කලන්ක පැත්තක පුන්චි ගෙයක්..කාමර තුනයි කෙම කාමරයයි,කුස්සියයි,වොශ් රූම් එකකුයි,තරමක ලොකු මිදුලකුයි තිබ්බා.අහල පහල කට්ටියත් ගොඩාක් හොද උනා.උඩේ පාන්දරම බෑන්ක් එකට යද්දි ට්‍රැෆික් සෙට් වෙන හින්දා හැබැයි අපිට වෙනදට වඩා ටිකක් උදෙන් නැගිටින්නනම් උනා.
ඒ ගෙදර ආපු ගියපු අය අතරේ සුමනේ අය්යත් හිටියා.අම්මා ගැන විස්තර මන් දැන ගත්තේ එයාගෙන්.අම්මට මන් එක්ක නවතින්න එන්න කියලා මන් කිව්වත් අම්මට වනාත මුල්ලෙන් තොර ජීවිතයක් තිබ්බේ නෑ.සුමනේ අයියා ගෙදර ඇවිත් ගියාට මොන හේතුවක් හින්දද මන්දා රොහාන්ගෙනම් එයාට වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ.ඒ ඇයි කියලා ඇහුවම රොහාන් කිව්වේ 'ඒ මිනිහා මොන එහෙකට මෙහෙ එනවද?මිනිහගේ විදිහ මට අල්ලන්නෑ මහ කපටි මිනිහෙක්' කියලා..මන් වැඩි විස්තර අහන්න ගියේ නෑ.මොකද ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් වෙයි කියලා මට නිකමට හිතුන හින්දා..
අපි මැරි කරලා අවුරුදු එකහාමාරකට විතර පස්සේ රොහාන්ට එයාගෙ ජීවිතේ වටිනම තෑග්ග මන් දුන්නා.ඒ රොහාන් තාත්තා කෙනෙක් වෙන්න යන ආර0චිය.මට මතකයි එදා රොහාන් හැසිරුනේ පුදුම සතුටකින්.කෑගැහුවා හිනා වුනා දකින දකින සැරේට මාව අල්ලගෙන ඉම්බා.ඇත්තටම රොහාන්ගේ ආදරේ එදා ඉදන් ආයෙම අලුත් උනා වගේ මට දැනුනා.අපි දෙන්න අපේ පුන්චි පැටිය එනකන් හීන බැලුවා.සාම්ප්‍රදායික විදිහටම දුවෙක්ද පුතෙක්ද කියලා අපි තර්ක කලා,කවුරු වගේ වෙන්න ඕනද කියලා මැව්වා,තියන නම් ගැන හිතුවා,එයා වෙනුවෙන්ම කාමරේකුත් හැදුවා,රොහාන් හුගක් වෙලාවට ගෙදරට බඩු ගේන ගමන් සෙල්ලම් බඩුවකුත් ගෙනාවා අපේ පැටියගේ කාමරේ තියන්න.බබා ලැබෙන්න ළන් වෙනකොට මුලු කාමරයක් පුරෝලම බඩු පිරිලා තිබ්බා.
කොහොම හරි රොහාන් වගේම ලස්සන චූටි පුතෙක් අපේ ජීවිත වලට එකතු වුනා.වෙන මොනවාද අපිට ඕන වෙලා තිබ්බේ.මුකුත්ම නෑ.අපි සර්වසම්පූර්ණයි කියලා අපිට හිතුනා.
රොහාන් මහන්සි වෙලා හැඩ කරපු ඒ කාමරේ අයිති කාරයව අත් දෙකෙන්ම අරන් ඒ කාමරේට එද්දි රොහාන්ගේ ඇස් දෙකෙ කදුලු පිරිලා තිබ්බා.ඒ කදුලු දැකපු මට රොහාන් ගැන ඇති උනේ පුදුම ආදරයක් ඒ වගේම ගෞරවයක්.'අනේ මගේ මහත්තයෝ මන් මොන පිනක්ද මේ කරලා තියෙන්නේ' කියලා මන් මගෙන්ම් ඇහුවා.
අපේ පැටියව බලන්න ගොඩාක් අය ආවා.ඒ අතරේ සුමනේ අයියත් හිටියා.
හැමදේම හොද විදිහට සිද්ද වෙලා තියෙද්දි එක දවසක් සුමනේ අයියා කියපු කතාවක් මගේ මුලු හිතම හිරිවට්ටන්න උනා.
"උබ එහෙනම් මාව ඇතෑරලා ගොඩාක් දුර ගියා පොඩ්ඩියේ"
මට කිසි දෙයක් හිතා ගන්න බැරි උනා.එවෙලේ රොහාන් ගෙදර හිටියෙත් නෑ.
"අයියේ?"
සුමනේ යියා කිසිම අමුත්තක් නැතිව දිගටම කතා කලා.
"උඹට දැන් සුරලෝකෙ පහල වෙලානේ.ඒත් අපි තාම අර නරකාදියේ."
"මට තේරෙන්නෑ අයියා කියන එක?"
"උඹට මට මේක කියන්න තිබ්බේ කලින්.දැන් ඉතින් උඹට තේරුනත් නොතේරුනා වගේ ඉදීවි"
"කියන දෙයක් කෙලින් කියන්න අයියේ"
"අහ් කෙලින්නම් ඕන මෙකයි කතාව.උඹ හිතන්නෙපා පොඩි කාලේ ඉදලා මන් උඹලට උදව් කලේ මන් මේ දන් දෙන්න බලන් ඉපදුන නිසා කියලා.මට ඕන උනේ උඹව.අපේ අම්මා මුලින්ම උඹ ගැන උඹලගේ අම්මා එක්ක කතා කලේ මන් කියපු හින්දම තමා."
මට කිසි දෙයක් හිතා ගන්න බැරි උනා.මුලු ඇගම හිරි වැටී ගෙන ගියා.මන් මගේ අතේ හිටපු පැටියව ඇද උඩින් තිබ්බේ මගේ අත්වල වාරුව නැති වෙලා ගිය හින්දා.
"ඇයි දැන් ඕක කියන්නේ?"
මන් වචන ගැලපුවා.මොකද්දෝ අමුතු බයක් මගේ හිතට ඇවිත් තිබ්බා.
"දැන් කියන්නෙද? දැන් කියන්නේ උඹ අර මැනේජරයත් එක්ක පවුල් කන එක බලන් ඉන්න බරි හින්දා?"
"අනේ සුමනේ අයියේ පව් කතා කියන්නෙපා.මන් ඔයාගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ දෙයියනේ..?"
"පුලුවන්ද උඹට මන් එක්ක එන්න?"
ඒ වචන ටිකට උත්තර දෙන්න මගේ වචන වලට ව්සඩා ඉක්මන් උනේ මගේ අත.හැමදාම අයියා කෙනෙක්ට වගේ සලකපු සුමනේ අය්යට එහෙම කැත යෝජනවක් කරන්න පුලුවන් කියලා මන් තුන් හිතකින්වත් හිතුවෙ නෑ.සුමනේ අය්යගේ කම්මුල හරහා ගියා පාරට එයාට මොනවා හිතුනද මන් දන්නේ නෑ.
"බහිනවා එළියට..ආයේ මේ පැත්තේ එන්න තියා හිතන්නවත් එපා.මෙච්චර කාලෙකට මන් අයියෙක්ට වගේ සැලකුවා දැන් ඒ මුකුත් නෑ..යනවා."
-------------------------නැවතත්-------------------------
Saturday, August 15, 2015
****වළාකුලු බැම්ම **** (15)
හැම හීනයක්ම බොද වෙන්න ඔන්න මෙන්නම වගේ තිබ්බා.රොහානුත් හැමවෙලේම කල්පනා කරන්න උනා.ජීවිතේ ගැන කිසිම බරක් පතලක් නැතුව හිටපු රොහාන්ට මන් නිසා කරදර එක පිට එක එන්න ගත්තා.ඒත් එහෙමයි කියලා රොහාන්ව අතෑරලා මට යන්න ඕන උනේ නෑ.මොකද මන් දැනගෙන හිටියා මොන දේ උනත් රොහාන්ට තිබුන එකම සැනසීම මන් කියලා.
රොහාන් අම්මට කිව්වලු මාව කවදාවත් අතාරින්නේ නෑ කියලා.අම්ම එදා ඉදන් රොහාන් එක්ක කතා කරන එකත් අඩු කරාලු.ඒ දවස් වල රොහාන් වැඩ ඉවර වෙලා ගෙදර ගියේ ගොඩාක් රෑ වෙලා.ගෙදර මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දීලම ඇති වෙලා කියලා එයා කිව්වේ.
මාස දෙක තුනක් ගෙවිලා ගියා..රොහන්ගේ ගෙදරින් කිසිම බුරුලක් පෙන්නුවේ නෑ..දවසක් රොහාන්ගෙ අම්මා මට කෝල් කරලම බැන්නා රොහාන්ට ආදරයක් තියෙනවනම් එයාගේ ජීවිතෙන් ඈත් වෙනවා කියලා.ඒත් දෙයියනේ මන් කොහොමද කියන්නේ මට රොහාන්ගෙන් ඈත් වෙන්න බැරි ඒ ආදරේ හින්දමයි කියලා.
තීරණයක් ගත යුතුම කාලයක් වෙච්ච නිසා තමා එදා රොහාන් මට අපි බදිමු කියලා කිව්වේ.ඒත් මන් කිව්වේ තව එක පාරක් අම්මලාගෙන් අහන්න කියලා.ඒ ඇහුවත් අම්මලා කැමති උනේ නෑ කියලා රොහාන් මට කිව්වා.රොහාන් මන් හින්ද එයාගේ ගෙදර හැම දෙයක්ම නැති කරගත්තු එකේ රොහාන්ගේ ඒ ඉල්ලීම මට කල් දදා ඉන්න තවත් බැරි උනා.
"හා රොහාන්.අපි මැරි කරමු.."
"අනේ සුලෝ ඇත්තමද මේ?"
"ඔව් රොහාන් ඔයා මෙහෙම තනියම විදවනවා මට බලන් ඉන්න බෑ.එක්කො ඔයා ළග ගෙදර අය ඉන්නෝන නැත්තන් මන් ඉන්නෝන.ඉතින් අපි මැරි කරමු"
"හරි සුලෝ..අපි හෙට ගිහින් රෙජිස්ටර් කෙනෙක්ට කතා කරලා අනිද්දට මේ හැම ප්‍රශ්නයක් ඉවර කර ගමු"
"හැබැයි එකක්."
"මොකද්ද සුලෝඅ කියන්න ඕන එකක්"
"අපි මැරි කරලා මුලින්ම ඔයාගෙ ගෙදර ගිහින් අම්මටයි තාත්තටයි කියමු.අපිට බැන්නත් ගහලා පන්න ගත්තත් අපි ඒ දෙන්නට මේක කියන්නෝන.ඔයාව එයාලගෙන් වෙන් කරපු පව ටිකක් හරි ඒකෙන් අඩුවේ කියලා මට හිතෙනවා රොහාන්.හා නේද?"
"අනේ සුලෝ... ඇයි අපේ අම්මලාට තෙරුම් ගන්න බැරි උනේ ඔයා කොච්චර හොද කෙල්ලෙක්ද කියලා පැටියෝ"
"හ්ම්ම්.."
"යන් හෙට උදේම අපිට කරන්න වැඩ තියෙනවා.ඊට පස්සෙ ඔයා හැමදාම මගේ.දන්නවද මගේම විතරයි."
එදා රෑ මන් නිශානිගේ අම්මලත් එක්ක මේ ගැන කතා කලා.
"පුතේ මේ අහන්න.මෙතනදි කවුරු වැරදිද නැද්ද කියන්න මට තේරෙන්නෙ නෑ.එ ළමයගේ අම්මලා තාත්තලා හරි.එයාල බලාඅපොරොත්තු වෙන්න ඇති එයාගේ පුතාව එයාලගෙ පවුලට ගැලපෙන හොද සල්ලි තියෙන ගෑණු ලමයෙක්ට කතා කරන්න.ඒක ඕන අම්මෙක්ගෙ තාත්තෙක්ගෙම බලාපොරොත්තුවක්.අපිත් නිශානිට සහන්ව කතා කලේ ඒ හින්දනේ.ඒත් ඔය දෙන්නා එකිනෙකාට ගොඩාක් ආදරෙයි ඒ හින්දා ඔය දෙන්නට වෙන් වෙන්න කියන්නත් බෑ.ඉතින් දරුවෝ මන් කියන්නේ ඔයාලා දැන් තීරණයක් ගත්තනේ.මැරි කරලා ඉවර වෙලා ඔයාලා දෙන්නා හොදින් ඉන්න.එ ළමයගේ දෙමව්පියන්ට හිතෙන්න දෙන්න ඔයාල හුගාක් සතුටින් ජීවත් වෙනවා කියලා.දැන් තරහහින් හිටියත් ඔයා රොහාන් එක්ක සතුටින් ඉන්නවා කියලා දකිද්දි ඒ දෙන්නත් සතුටු වෙයි..ඔයාලට කරන්න පුලුවන් එකම දේ ඒකයි ඒ දෙන්නගේ හිත හැදෙන්න.ඒ හින්දා මන් කියපු දේ හිතේ තියාගෙන කරන දෙයක් කරන්න.මොනා උනත් ඔයා වෙනුවෙන් මායි අන්කලුයි හැමවෙලේම ඉන්නවා"
එදා රෑ මන් නිශානිගේ අම්මව බදාගෙන ගොඩාක් වෙලා ඇඩුවා.මට මගේ අම්ම ගැන දැනෙනවට වඩා ලොකූ හැගීමක් ඒ ආන්ටි ගැන ඇති උනා.මොකක් හරි පිනකට ඒ වගේ මිනිස්සු ටිකක් මට හම්බවෙලා තිබ්බ එකට මන් දස දහස් වරක් දෙවියන්ට ස්තූති වන්ත උනා.
*******************
"මුදියන්සේලාගෙ සුලෝචනා වීරසිරි වන මම අද පටන් දිසානායක බණ්ඩාරලාගේ රොහාන් ශ්‍රීමාල් තේනුවර නැමති මොහු මාගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා ලෙස භාරගමි"
"දිසානායක බණ්ඩාරලාගේ රොහාන් ශ්‍රීමාල් තේනුවර වන මම අද පටන් මුදියන්සේලාගේ සුලෝචනා වීරසිරි වන මැය මාගේ නීත්‍යානුකූල භාර්යාව ලෙස භාරගමි"
අපි අපේ ජීවිත වල අලුත් පිටුවක් ලිව්වා.මගේ පැත්තෙන් සාක්ෂියට අතසන් කලේ සුමනේ අයියා.රොහාන්ගේ පැත්තෙන් ආවේ එයාගේ හොදම යාලුවෙක් වෙච්ච මහේශ්.එයා රොහාන්ව ඉස්කෝලෙ යන දවස්වල ඉදන්ම දන්න කියන කෙනෙක්.
ඊට පස්සේ තිබ්බේ අමාරුම වැඩෙ කරන්න.රොහාන් මට පොරොන්දු වුන විදිහටම අපි රොහාන්ගේ ගෙදර ගියා..අම්මයි තාත්තයි දෙන්නම ගෙදර හිටියා.
"ඒ පාර ගෙදරටම එක්කගෙන ආවද?"
දොර ඇරපු ගමන් මාව දැකපු අම්මා රොහාන්ගෙන් එහෙම ඇහුවා.ගෙට එන්න කියන්නෙත් නැතුව අම්මා එළියට ආවා.තාත්තත් ඒ සද්දෙට ආව කවුද කියලා බලන්න.මන් බිම බලාගෙන හිටියේ ඇස් වල කදුලු පුරෝගෙන.මන් මී පැටියෙක්ටත් වඩා මහා ගොඩාක් බය වෙලා හිටියේ.
"අම්මේ දෙයක් කියන්න තියෙනවා"
"කියන්න තියෙන දෙයක් තනියම කියන්න බැරි මොකද?මොන එහෙකටද මෙයාව එක්කන් ආවේ?"
අම්මා මට රවනවා මන් හොරැහින් දක්කා.
"එළියේ ඉදන් කෑගහන්නැතුව ඔය දෙන්නව ගෙට එක්කන් එන්න මනෝරි..වට පිටේ මිනිස්සු ඉන්නවා"
තාත්තා සාලෙ මැද සෝෆාවේ ඉදගන්න ගමන් එහෙම කිව්වා.රොහාන් මගේ අතින් අල්ලගෙනම මාව ගේ ඇතුලට එක්ක ගෙන ගියා.
"අම්මේ මන් සුලෝව මැරි කලා"
ඒක කියලා ඉවර වෙනවත් එක්කම රොහාන්ගේ කම්මුල පුරා ලොකුම ලොකු අතුල් පහරක් වැදුනා.රොහාන්ගේ අම්මා ගිනි පිටවෙන ඇස් දෙකෙන් රොහන් දිහා බලාගෙන හිටියා.රොහාන් කම්මුලේ අත තියාගෙනම ආයෙම කතා කලා.
"ඒ එක්කම තවත් පාහරක් අනිත් කම්මුලට වැදුනා."
ඒත් එක්කම තාත්තා ඇවිත් අම්මගෙයි රොහාන්ගෙයි අතරෙන් හිට ගත්තා..හිර වෙලා තිබ්බ කදුලු හෝ ගාල මගේ ඇස් වලින් ගලන්න ගත්තා.ඒ හැම පහරකදිම රොහාඅන් තව තවත් තදින් මගේ අත අල්ල ගත්තා.මැද්දට පැනලා 'අනේ මගේ රොහාන්ට ගහන්නෙපා'කියන්න ලොකු උවමනාවක් තිබ්බත් එච්චර ශක්තියක් තිබ්බෙ නෑ මන් ළග..
"ඔක්කොම කරගෙන ඇයි දැන් මෙහෙ ආවේ?"
"තාත්තේ අපිට සමාවෙන්න මට සුලෝ නැතුව බෑ.මට එයාව අතාරින්නත් බ.ඉතින් ඔයාල මේකට කව්දාවත් කමති වෙන්නැති හින්දා මට තීරණයක් ගන්න උනා.."
"දැන් තමුන් කොහෙද නවතින්නේ?"
"තාත්තා?"
"ඔව් මන් තමයි මන් අහන්නේ දැන් තමුන් කසාදයක් එහෙම බැදපු ලොකු මිනිහෙක්නේ.දැන් කොහෙද නවතින්නේ.මේ වහල යට ඉඩක් තියේවි කියලා හිතා ගෙන හිටියේ නැතුව ඇතිනේ?"
"මගේ යාලුවෙක් අපිට ඇනෙක්ස් එකක් හොයලා දුන්නා"
රොහාන් ඒ කිව්වේ බොරුවක්.හැමදේම හදිස්සියට වෙච්ච නිසා අපි එහෙම දෙයක් ගැන හිතලා තිබ්බේ නෑ.
"හ්ම්... එහෙනම් යන්න ගිහින් ඇදුම් ටිකත් අරගෙන එන්න.අම්ම ගැනවත් මන් ගැනවත් මීට පස්සෙ නොබැලුවට කමක් නෑ.අපි අපේ පාඩුවේ ඉන්නම් අපිට පුතෙක් හිටියෙ නෑ කියල හිතාගෙන"
"තාත්තේ එක පාරක්..."
"නෑ නෑ මන් දැන් දහ පාරක් විතර කියලා ඇති මේක කරගත්තොත් මොකද වෙන්නේ කියලා ඒ හින්දා තවත් අම්මව අවුස්සන්නේ නැතුව දැන්ම ගිඔයොත් හොදයි"
රොහාන් මාවත් එක්කගෙන එයාගේ කාමරෙට ගියා ඇදුම් ටික ගන්න.අම්මා එයාගේ කාමරේට ගිහින් දොර වහගත්තමයි අපි යනකනුත් එළියට ආවෙ නෑ.තාත්තා අපි යනකන් ඉදලා ගෙදර දොර වහ ගත්තේ කිසිම දෙයක් කියන්නෙ නැතුව.
අන්තිමේදි මාත් එක්කම රොහානුත් ජීවිතේ තනි උනා.අලුත් දෙයක් නෙමේ ඇත්තටම ඒ අපි දෙන්නම බලාපොරොත්තු උන දෙයක්.
අපි කෙලින්ම ආවේ මහේශ්ගේ ගෙදරට.වෙච්ච සිද්දිය කිව්වට පස්සේ හෙට වෙද්දි ඇනෙක්ස් එකක් හොයලා දෙන්න මහේශ් පොරොන්දු උනා.එදා රෑ අපි හොටෙල් එකක් නැවතුනා.
------------------------නැවතත්-------------------
Tuesday, June 30, 2015
****වළාකුලු බැම්ම **** (14)
කොච්චර ලස්සනට හෙමින් හෙමින් අපේ ආදරේ ගලාගෙන ගියත් ඒ ආදරේට පියවරක් ඉදිරියට ගත යුතුම වෙලා තිබ්බා.කිසිම බාදාවක් නෑ කියන සුරන්ගනා ලෝකේ ඉදගෙන රොහාන් මගේ ආදරේ වින්දා.අවුරුදු දෙකකට කිට්ටු වෙන්න කාලයක් අපි ඒ සුරන්ගනා ලෝකේ පාවි පාවි හිටියා.පොලවේ පය ගහන්න මටත් රොහාන්ටවත් වුවමනාවක් තිබ්බේ නෑ.ඒ වුනත් රොහාන් මන් ගැන ගෙදරට කියලා තිබ්බා.මගේ ඔක්කොම විස්තර කිව්වද කියලා ඇහුවම රොහාන් හැමදාම කියන්නේ 'හරි බබා අපි පස්සේ හෙමීට කියමු' කියලා.ඒත් එදා නිශානිගේ වෙඩින් එක දවස වෙනකන් රොහාන් ඒ ගැන අම්මලාට කියලා තිබ්බේ නෑ.
නිශානි ෆයිනල් එක්සෑම් එක කරලා කොන්වකේශන් එකට කලින් මැරි කලා.ඒ උත්සවය ආන්ටියි අන්කලුයි ගන්න පුලුවන් උපරිම විදිහට ගත්තා.පුදුම විදිහේ සෙනගක් ආවේ.නිශානි ගොඩාක් පෝසත් පවුලක හින්දා වෙඩින් එකට ආපු අයත් ඊට දෙවනි උනේ නෑ.ඒ මිනිස්සු අතරේ එහෙ මෙහෙ යනකොට මගේ සුපුරුදු හීනමානේ මගේ හිස් මුදුනට වෙලා මගේ ඔලුව කොනිත්ත කොනිත්ත හිටියා.නිශානිගේ දෙවනි මනමාලි උනේ මම.රොහානුත් එදා ඇවිත් හිටියා.මට හොදටම මතකයි එදා රොහාන් එයාගෙ ඇස් දෙකෙන් මාව ගිලපු නැති ටික විතරයි.මට වඩා ගොඩාක් ලස්සන අය හිටියා.ඒත් ඉතින් මගේ මැට්ටට ඒවා පෙනුනේවත් නෑලු.පස්සෙ ඒ ගැන කතා කරපු වෙලාවක මගෙන් ඇහුවා 'අනේ වෙඩින් එකේ ඔයා විතරක් නෙමේද හිටියේ' කියලා..ඉතින් ලෝබකම් නොකර කෝමද මන්.
වෙඩින් එක අතරේ රොහාන්ට මාත් එක්ක තනියම කතා කරන්නම ඕන උනා.ඒ හින්ද ලන්ච් එකෙන් පස්සෙ මන් නිශානිගෙන් විනාඩි පහක් ඉල්ලගෙන රොහාන් එක්ක එළියට ආවා.අපි ඒ හොටෙල් එකේ බැල්කනි එකට ගියා.අපි යනකොට එතන ඕපන් ඒරියා එකේ ඕක්ශන් එකක් තිබ්බා.ටයි කෝට් දාගත්තු මිනිස්සු පිරිලා.එතන කිසිම නිදහසක් තිබ්බ නැති නිසා මායි රොහානුයි වෙන තැනකට යන්න කියලා හැරුනා.
"පුතා"
ඒ හඩ ඇහෙනවත් එක්කම රොහාන් හැරිලා බැලුවා.
"තාත්තා..අෆෝ අර ඇහැ ගහගෙන හිටපු ඉඩමටද මේ?"
මාවත් අතින් අල්ලගෙනම රොහාන් තාත්තා ළගට ගියා.උස මහතට හිටපු තාත්තාව දැක්කම මට බයක් හිතුනේ නැත්තෙමත් නෑ.ඒත් මන් හිනා වෙලා හිටියා.නුවර එලියේ ඉඩමක වෙන්දේසියක්ලු.තාත්තත් හෙනම ආසාවෙන් හිටියලු ගන්න.රොහාන්ලගේ ඉඩම් එක්කම තියෙන ඉඩමක්ලු.ඒක හම්බුනෝතින් ඉල්ලමක් පෑදුනා වගේ තියෙයිලු.මට එහෙම රොහාන් කලින් දවසක කියලා තිබ්බා.
"ඔව් පුතා.. අපිට ගන්න බැරිවෙයි වගේ.. ඉන්දියන් කම්පැනි එකක් ලොකු ගානක් තිබ්බා.."
"අපරදෙනේ"
"ඔව් ඉතින් මොනා කරන්නද?පුස්සැල්ලාව එස්ටේට් එකත් නෙක්ස්ට් මන්ත් එකේ ඕක්ශන් එකට දානවලු...එකවත් බලනවා."
ඒක කියලා ඉවර වුනාඅම තමා තාත්තා මගේ පැත්තට හැරුනේ.
"මේ කවුද පුතා..අර අම්මා කියපු කෙනාද?"
රොහාන් අල්ලගේන හිටපු මගේ අත උඩට අරන් තාත්තට පේන්නම එයාගේ පපුවෙන් තියාගත්තා.එවෙලේ මන් හිටියෙම බිම බලාගෙන..
"ඔව් තාත්තා මේ එයා තමා. සුලෝචනා..සුලෝචනා වීරසිරි"
"දැන් කොච්චර කල් ඉදලද?"
"තාත්තා..මේ ..අවුරුදු දෙකකටත් වැඩි"
"ගෙදරට කියන්න ඕන කියලා හිතුනේ නෑ"
"මන් ඉතින් අම්මට කිව්වනේ."
රොහාන් තාත්තා ලග ටිකක් හුරතල් උනා.ඒත් තාත්තාගේ හඩ එකම විදිහට තිබ්බා.මට තේරුනේ එන්න එන්න ඒ හද සැර වෙනවදෝ කියලා..
"අපි ටිකක් කතා කරමු එහෙනම්"
තාත්තා එහෙම කිව්වම මගේ මුලු ඇගම සීතල වෙලා ගියා.ඇත්තටම මට පාපොච්චාරණයක් කරන්න උනොත් රොහාන්ගෙයි මගෙයි සම්බන්දෙට අවසානය තියන්න නියමිත වෙලා තිබ්බේ එදාමයි.එහෙම කිව්වම රොහානුත් ටිකක් කලබල උනා.
"තාත්තා පහල අපෙ යාලුවෙක්ගේ වෙඩින් එකක් එකට අපි ආවේ.ඉක්මනට හොදේ."
"අහ් ඇයි මොකද ඔයාලා නැතුව දෙන්නා පිටවෙන එකක් නැද්ද?..හි හි හරි හරි මටත් වැඩි වෙලාවක් නෑ"
ඒ ඕපන් ඒරියා එකේ කොනක තිබ්බ මේසෙකට අපි තුන්දෙනා ගිහින් වාඩි උනා.කිසිම දේකට කලබල වෙන්න එපා කියන වගේඅ බැල්මකින් රොහාන් මන් දිහා බැලුවා.ලොකූ හුස්මක් අරගෙන ඒ මොහොතේ ඔලුව කෙලින් තියාගෙන ඉන්න ශක්තිය මන් දෙවියන්ගෙන් ඉල්ලගත්තා.
"මේ ළමයගේ ගෙවල් කොහෙද?"
"මන්...මන් ඉන්නේ..ව.."
"මෙයා වැඩි පුරම ඉන්නේ වැල්ලවත්තේ.අම්මලා ඉන්නේ නිශානිලාගේ ගෙවල් ළග"
ඒ රොහාන්
"කවුද නිශානි?"
"නිශානිගේ වෙඩින් එක තමා අන්කල් පහල තියෙන්නේ.මගේ හොදම යාලුවා."
ඒ මම
"ඇයි ඔය ළමයා වැල්ලවත්තේ ඉන්නේ?"
"මා..."
"වැඩට යන්න ලේසිනේ තාත්තා.ඒකයි ගෙයක් රෙන්ට් එකට අරන් එහෙ ඉන්නෙ"
ඒ රොහාන්
"තනියම?"
"නෑ නෑ නිශානිත් එහෙ ඉන්නේ.එයාට කැම්පස් යන්නත් ලේසි නිසා"
ඒ රොහාන්
"අම්මයි තාත්තයි මොකද කරන්නේ?අද එයාලත් ආවද?එහෙනම් මට අදම හම්බෙලා යන්න පුලුවන්"
"නෑ තාත්..."
ඒ රොහාන්
"පුතා මන් ප්‍රශ්න අහන්නෙ ඔයාගෙන් නෙමේ මේ ළමයගෙන්..ඔයාගෙන් විස්තර මන් ගෙදර ගිහින් අහගන්නම්. කියන්න ළමයෝ අම්මලා ඇවිත්ද?"
මට එවෙලාවෙ හැමදේම පෙරලලා දාල එතනින් පනලා දුවන්න ඕන උනා.මේ තරම් බොරු ගොඩාක් මැද මන් තනිවෙලා.මාත් එක්කම රොහානුත්..ඔලුව පුපුරන්න වගේ උනා.ඇත්ත කියනවද නැත්තන් රොහාන් කියපු බොරුවම දිගටම ගෙනියනවද.හිතට එකගව රොහාන්ගෙ පැත්ත ගන්න මට බැහැ කියලා මට දැනුනා.. සුරන්ගනා ලෝකෙන් මාව ඇහැරවන්න නපුරු මායා කාරියක් ඇවිත් මගේ අත්වලින් කකුල් වලින් අදිනවා වගේ මට දැනුනා..
"ළමයෝ මන් ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා"
"මගේ තාත්තා නෑ....අම්මා.."
මට කියලා ඉවර කරන්න හම්බ උනේ නෑ..
"සුලෝ නිශානි ඔයාව හොයනවා කියලා මැසේජ් එකක් ආවා. අපි යමුද එහෙනම්..තාත්තා මන් ගෙදර ඇවිත් විස්තර කියන්නම්කො."
තාත්තාගේ මූනේ මොකද්දෝ මන්දා ප්‍රෙහේලිකාවක හරස් පද පේලි ඇදෙනවා මන් දැක්කා..ඒත් මන් රොහාන් එක්ක එන්න නැගිට්ටා..තාත්තත් අපිත් එක්කම නැගිට්ටා..
"හරි එහෙනම් යන්නකො.ඔයාලා අවේ වෙන වැඩකටනේ...පුතා අහන්න මට අදම මේක ඔයා එක්ක කතා කරන්න ඕන හවසට.."
අපි යන්න හැරුනා..ඒ වචන ටිකට ඉතුරු වෙලා තිබ්බ ශක්තිය සුනු විසුනු වෙලා ගියා.රොහාන් මගේ කරවටින් අත දාලා මාව අල්ලගත්තේ මට වෙන වාරුවක් තිබ්බෙ නැති නිසා..
අපි ආයෙම වෙඩින් හෝල් එකට ආව.නිශානි මට ඈත තියාම කතා කලා.රොහාන්ගෙන් ඈත් වෙලා යද්දි මන් එයාට කිව්වා,
"මොන දේ ඇහුවත් අද ඔයා ඇත්තම කියන්න රොහාන්"
සෙනග අතරින් මන් නිශානිව හෙව්ව.
-------------නැවතත්-------------------
Sunday, June 28, 2015
****වළාකුලු බැම්ම **** (13)
ඒ දවස් හරිම ලස්සනට ගෙවුනා.මට හිතා ගන්න බැරිතරම් ආදරයක් මට රොහාන්ගෙන් ලැබුනා.එයාට දෙවනි වෙන්න බැරි හින්දම රොහාන් ගැනත් මගේ හිතේ ඒ තරම්ම ලොකු ආදරයක් තිබ්බා.
අපි ගොඩාක් දේවල් කතා කරා.අපි දෙන්නා ගැන අපි නොදැන හිටපු කිසි දෙයක් තිබ්බේ නෑ.මගේ ගැන මන් කියපු දේවල් ගැන රොහාන් ආයෙ ආයෙ කවදාවත් ඇහුවේ නෑ.එයාට ඕන උනේ මන් එයාට ආදරේ කරනවා කියන දේ විතරයි.
"සුලෝ..."
"ම්ම්..."
"අපි අද කොහේ හරි යමු ?"
"හා"
"ඒත් කොහෙද යන්නේ.මේ කොළඹ අපිට වෙන යන්න තැනක් ඉතුරු වෙලා කියලා මන්නම් හිතන්නේ නෑ"
"එහෙනම් අපි රට යමු"
"මොකක් ? රට?"
"නෑ මන් කිව්වේ මේ උඩරට"
ඒක කියපු ගමන් රොහාන් හිනාවෙලා මගේ නහය හයියෙන් මිරිකුවා වගේ මතකයි.ඒක එයාගේ පුරුද්දක් වෙලා තිබ්බා.මොකක් හරි හිනා යන දෙයක් මගේ කටින් කියවුනොත් ඒකට විදවන්න වෙන්නේ මගේ අහින්සක නහයට තමා..ඊට පස්සේ රතු වෙච්ච නහය දිහා බල බල එයා හිනා වෙනවා මන් අඩනවා.
"ආව්.. නෑ නෑ ඕන නෑ කොහෙවත් යන්නෑ මන් ඉන්නවා මෙහෙටම වෙලා..එන්නෑ මන් කතා කරන්නෙපා"
"ඇයි එතකොට රට යන්න ඕන නෑ?"
"ඕන තමයි ඉතින්.ඒත් ඔහොම වද දෙනකොට...... ඕන්නෑ මට"
"හා එහෙනම් ඉතින් මොනව කරන්නද නේ?"
"අනේ ඉතින්"
"ඇයි මොකො?"
"එහෙම කිව්වම ඔහොමද කියන්නෝන ඉතින්?"
"නැත්තන් කොහොමද?"
"හා හා පැටියෝ ආයේ මන් එහෙම කරන්නෙ නෑ.. අපි එහෙනම් ඔයාට ඕන තැනකට යමුකො.එහෙම කියලනේ කියන්නෝන.ඒකවත් තේරෙන්නෑ"
"අපෝ බෑ..එහෙම කියන්න බෑ.මොකද මට ඕන ඔය නහය රතු වෙනවා බලන්න"
"අනේ ඉතින් මන් පව් නේ"
"හරි හරි බබා දැන් අපි කවද්ද යන්නේ? ඇයි එක පාරටම නුවර යන්න හිතුනේ?"
"නෑ මන් එහෙ ගිහින්ම නෑ.කැම්පස් එක බලන්නත් ආසයි.නුවර වැව රවුමේ ඇවිදින්නත්....."
මට ඒ පේලිය සම්පූර්ණ කරන්න හම්බුනේ නෑ.කොහේදෝ මන්දා තිබ්බ කදුලු කැටියක් ඇවිත් මගේ ඇස් දෙකම බොද කරා.ඒත් එක්කම ආපු ඉකියක් හරිම අමාරුවෙන් උගුරට ටිකක් උඩින් නවත්තගත්තා.
"අනේ සුලෝ ඇයි මේ?"
රොහාන් මගේ ළගට ඇවිත් මගේ මූණ එයාගේ අත් දෙකට ගත්තා.මට තවත් ඇඩුනා.මන් එහෙම්මම රොහාන්ව බදාගත්තා.මගේ හිස මන් ඒ පපුවට තියලා තද කරගත්තා.රොහාන් මට ඇතිවෙනකන් අඩන්න එයාගේ පපුවෙ ඉඩ දීලා ඔහේ බලාගෙන හිටියා.කොච්චරක් වෙලාවක් මන් එහෙම හිටියද කියලනම් මන් දන්නේ නෑ.
"සුලෝ..කියන්න දැන්වත් ඇයි මේ?"
"මන් ඔයාට ගොඩාක් ආඅදරෙයි රොහාන්"
"ඒක මන් දන්නවා සුලෝ.."
"මන් මෙච්චර ආදරයක් විදින්න සුදුසු නෑ රොහාන්.මට මගේ අතීතය අමතක කරන්න බෑ රොහාන්.ඒ අතීතය හින්දා කවදා හරි අපිට ගොඩාක් ප්‍රශ්න ඒවි."
"ඒවට අපි එතකොට මුහුණ දෙමු.ඒත් ඇයි මේ වෙලාවේ ඒව මතක් වුනේ?"
"ඉස්සර මට මේ වගේ ආසාවල් තිබ්බේ නෑ රොහාන්.වෙන දෙයක් බලාගෙන ඔහේ හිටියා.ඒත් දැන් මට අරෙහෙ යන්න ආසයි මෙහෙ යන්න ආසයි කියද්දි මට දැනුනා එහෙම කියන්න අයිතියක් මට තියෙනවද කියලා"
රොහාන් මාව එයාගේ පපුවෙන් ඈත් කරලා මගේ උරහිස් දෙකෙන් අල්ල ගත්තා.මන් ඒ ඇස් දිහා බලන්නැතුව බිම බලාගත්තා.
"මේ අහන්න සුලෝ.ඒ ජීවිතේ මොන විදිහේ උනත් මන් හැමදාම කියනවා වගේ මට ඒ කිසි දෙයක් වැඩක් නෑ.ඔයා ජීවත් වෙන්න ඕන දැන් මාත් එක්ක.මන් මගේ මුලු ජීවිතේම ඔයාට දීල ඉවරයි.එකේ අයිතිය දැන් තියෙන්නේ ඔයාට.ඔයා ඔයාගේ කලින් ජීවිතේ ගැන හිතලා දුක් වෙන එක ඔයාට විතරක් නෙමෙයි ඒක මටත් දුකක් සුලෝ.මට ඕන හැම මොහොතෙම මගේ පුන්චි කෙල්ලව සතුටින් තියන්න.ඒ හින්ද ඔහොම අඩන්න එපා පැටියෝ.නුවර විතරක් නෙමේ ඔයා කියන්න මේ ලෝකෙ ඔයා යන්න ආස ඕනම තැනක් මන් ඔයාව එක්කන් යන්නම්.ඒක මන් ඔයාට වෙන පොරොන්දුවක්."
රොහාන් ඒ කියපු දේවල් විද ගන්න මට මගේ හිත මදි උනා.දරාගන්න බැරි කමට තව තවත් කදුලු ඇස් දෙකෙන් එලියට එද්දි ආයෙම මන් රොහාන්ට තුරුල් වුනා.
*****************
අපි එක්ක නුවර යන ගමනට නිශානි එයාගේ ඩොක්ටර් අයියා සහනුත් ආවා.රොහාන්ටයි සහටයි කතා කරන්න ගොඩාක් දේවල් තිබ්බා.සමහර වෙලාවට ඒ දෙන්නට අපි ඉන්නවද කියලවත් මතක නෑ.
"සූ අර බලන්නකො අර දෙන්නා.. අපි ඉන්නවද නැද්ද නෑ නේ"
නුවර වැව රවුමේ වලාකුලු බැම්මට හේත්තු වෙලා වැව දිහා බලාගෙන ඉන්න රොහාන්වයි සහන්වයි පෙන්නලා නිශානි එහෙම කිව්වා.ඒ දෙන්නට ඕන තරම් කතා කරගන්න දීලා මන් නිශානිවත් එක්කගෙන ගිහින් ඒ ළගින් තිබ්බ බන්කුවක ඉද ගත්තා.
"කීයට හරි අපිව මතක් වෙලා ඒවිනේ නිශානි"
"ඒකත් ඇත්ත"
"ඇහැලේපොළ කුමාරි හාමි අදටත් මේ වැව් පතුලේ ඉන්නවා ඇති නේද නිශානි"
නිශානි මන් දිහා බැලුවා.එ බැල්මේ මොන විදිහේ හැගීමක් තිබ්බද කියලා මන් දන්නේ න.මොකද මන් හිටියේ වැව දිහා බලාගෙන.
"ඒ කොයි කාලෙද බන්.දැන් මොන හාමිලාද මේකේ?"
"ඒත් එක ගෑනියෙක්.තමන්ගෙ පවුල වෙනුවෙන් විලාප තියපු.එදත් එහෙම අය ඉදලා තියෙනවා."
"සූ මේ මේ ඔන්න ඉතින් ඕන නැති ඒව හිතලා මූන නරක් කරගන්නෙපා ඒ පාර"
"නෑ නිශානි ඒක එහෙම නෙමේද ?"
"ඒක එහෙමද කොහොමද කියලා මන් දන්නෑ.. මේ මන් අර දෙන්නට කතා කරනවා ඔයා ඕන නැති ඒව ගැන ආයෙම කියෙව්වොත් හොදද?"
මට මගේ කදුලු හන්ගගන්න උදව් කරපු නිශානි එදත් මගේ කදුල නවත්ත ගත්තා.
"හරි හරි කැම්පස් එක හරි ලස්සනයි නේ.?"
"ඔව් මට හිතුනා අනේ සහන් එක්ක පේර එන්න තිබ්බනම් මරු කියලා.ඒත් ඉතින් කොහෙද මෙයා ඉතින් මට වඩා අවුරුදු ගානක් ලොකු අයියෙක් වෙලා නේ."
"හි හි එක තමයි නේද?"
"ඔයාට හරි එන්න තිබ්බේ සූ"
"අනේ මන් මෙහෙ ආවනම් මට රොහාන්ව හම්බෙන්නෑනේ."
"ආ ඇත්තද?"
"ඔව් රොහාන් මගේ ජීවිතේට ආපු එක මට හැමදේටම වඩා වටිනවා"
"හා හා ඒ බවනම් මට පේනවා දැන්"
අපි ගොඩාක් හිනා වුනා.අමතක කරන්න බැරි දවසක් ජීවිතේ පිටු අතර ලියවිලා තිබ්බා.
-------- නැවතත්---------
Wednesday, June 17, 2015
බැම්මට ඉන්ටවල්...
හද ටාගට් කරලා තරු අතරට වැටුනට මොකද හරි හමන් විදිහට තරු ගනින්නේ දැන්..සරලව කිව්වොත් දත් ගලවන්න පටන් ගත්තේ අපි දැනුයි.ඉතින් ඒ ඩිපාර්ට්මන්ට් එකේ මාසයක් ඉන්නෝන.8ට ගිහින් ඉවර වෙන්නේ හවස 6ට.හොස්ටල් එන්නේ ඇද බලාගෙන.
ඇවිත් වොශ් දාලා ඇදට වැටුන ගමන් ඉතින් පුදුම සැපක් තියෙන්නේ.ඒ වෙලාවට හීනෙන් වගේ වලාකුලු බැම්මත් මතක් වෙනවා.ඒත් ඉතින් ලැප් එක අරගෙන නෙට් ගිහින් එක විදිහකට ඉදන් ලියන්න හෙනම කම්මැලි.නැපක් දාලා නැගිට්ටත් ලෙක්චර් නෝට් එකක් එහෙන් මෙහෙන් බලනවා මිසක් ඉතින් වලාකුලු බැම්ම මතක් වෙන්නෙත් නෑ..
ඒ හින්දා පොඩි ඉන්ටවල් එකක් දුන්න ඒ බැම්මට.තව සතියකින් දත් ගලවන මාසේ ඉවර උනාම ආයෙත් ලියන්නම්.එතකන් පොඩි ඉන්ටවල් එකක් දුන්නා ඔන්න....
ඇවිත් වොශ් දාලා ඇදට වැටුන ගමන් ඉතින් පුදුම සැපක් තියෙන්නේ.ඒ වෙලාවට හීනෙන් වගේ වලාකුලු බැම්මත් මතක් වෙනවා.ඒත් ඉතින් ලැප් එක අරගෙන නෙට් ගිහින් එක විදිහකට ඉදන් ලියන්න හෙනම කම්මැලි.නැපක් දාලා නැගිට්ටත් ලෙක්චර් නෝට් එකක් එහෙන් මෙහෙන් බලනවා මිසක් ඉතින් වලාකුලු බැම්ම මතක් වෙන්නෙත් නෑ..
ඒ හින්දා පොඩි ඉන්ටවල් එකක් දුන්න ඒ බැම්මට.තව සතියකින් දත් ගලවන මාසේ ඉවර උනාම ආයෙත් ලියන්නම්.එතකන් පොඩි ඉන්ටවල් එකක් දුන්නා ඔන්න....
Sunday, May 24, 2015
****වළාකුලු බැම්ම **** (12)
එදා රෑ මන් නිශානිට හැම දේම කිව්වා.නිශානි කිව්වේ හදිස්සි වෙන්නෙ නැතුව හොදට හිතලා බලලා තීරණය කරන්න කියලා.මොකද එයා දන්නවා කොච්චර කාලයක් මන් දුක් වින්දද කියලා.රොහාන් ගැන මටත් අමුත්තක් නොහිතුනම නෙමේ.ඒත් ඒ හැගීම ආදරයක් තරම් දෙයක් ද කියලා මන් දැනගෙන හිටියෙ නෑ.ඒක එහෙම වුනත් මට එහෙම ආදරේකට අයිතියක් තියෙනවද කියලත් මට හිතුනා.
එදා ඉදලා රොහාන් හුගක් වෙලාවට වැඩ ඉවර උනාම මාව ගෙනත් ඇරලුවා.ඒ අතර මගදි එයා මගෙන් අහපු දේට උත්තර ඉල්ලුවත් මන් අදි මදි කරන කොට ඒක එයාම මග ඇරියා.මාස තුන හතරක් විතර අපි අතරේ එහෙම කිසිම දෙයක් කතා උනේ නෑ.මාව ඇරලවන්න ගෙදරට එන නිසා රොහාන් නිශානි එක්කත් හොදට යාලු වුනා.ඒ හින්දම රොහාන් හොද කෙනෙක් කියලා නිශානි මට හැමවෙලේම කිව්වා.ඒ වගේම තමයි ඒ මාස ටිකේදි රොහාන් මන් ගැන ඔක්කොම වගේ දැනගත්තා.රොහාන් ගැනත් එහෙම්මමයි.මන් ගැන දැන් ගත්තට පස්සෙ එයා මට අනුකම්පා කරන්නත් ඇති.ඒත් ඒ ගැන පෙන්නුවේ නෑ.එයා හැමදාම නිශානි වගේ මන් කියන හැමදේම අහගෙන ඉදලා මගේ හිත හැදුවා.ඒ හැම තැනදිම එයාගේ ආදරේ මට දැනුනා.ඉතින් එහෙම තියෙද්දි මටත් ආදරේ නොකර ඉන්න බැරි උනා.ඒත් අපි දෙන්නට රොහාන්ගෙ ගෙදරින් අකමැති වෙනවා කියලා දන්න හින්දා මන් මගේ ආදරේ හිතේම තියෙන්න ඇරියා.
එක දවසක් රොහාන් බෑන්ක් එකට ආවෙ නෑ.වෙනදානම් එන්නැති උනාම මට කිව්වා.ඒත් එදා මට කිව්වෙවත් නෑ.ඒ දවස් වෙද්දි අපේ බෑන්ක් එකේ කට්ටිය දැන ගෙන හිටියා රොහාන් මට කැමති කියලා.ඉතින් එදා එයාලත් මගෙන් ඇහුවා සර් කෝ කියලා.ඒත් මන් දැනන් හිටියෙත් නෑනේ.මොනවා වුනත් එදා මට මහා අමුත්තකුත් දැනුනා.හරියට රොහාන්ට මොකක් හරි කරදරයක් වෙලා වගේ.
ලන්ච් අවර් එක වෙනකන් බලන් හිටියා පණිවිඩයක් එයිද කියලා.ඒත් නැති හින්දා රොහාන්ගේ කාර්ඩ් එකේ තිබ්බ නම්බර් එකට මන් බෑන්ක් එකේ ෆෝන් එකෙන්ම කෝල් එකක් ගත්තා.
"හෙලෝ" කතා කලේ ගෑනු කෙනෙක්.හිත ටිකක් ගැස්සුනා වගේ මතකයි.
"මිස්ටර් රොහාන් ප්ලීස්"
"කවුද කතා කරන්නේ?රොහන්ට කතා කරන්න නම් වෙන්නේ නෑ.එයාට පොඩි කරදරයක් වෙලා"
මට එක පාරටම ඉදගෙන හිටපු පුටුවෙන් නැගිට්ට උනා.
"ඇයි මොකද වෙලා තියෙන්නේ?"
"රොහාන් අද උදේ බෑන්ක් එකට එද්දි පොඩි ඇක්සිඩන්ට් වෙලා.හොස්පිටල් එකේ ඉන්නෙ දැන්"
"මොන හොස්පිටල් එකේද?ගොඩාක් අමාරුද?"
මට ඇඩෙන්න වගේ උනා.ඒක අහපු ගමන් මට ඕන උනේ ඉක්මනටම ගිහින් රොහාන්ව බලන්න.
"නව ලෝක හොස්පිටල් එකෙ.න එච්චර අමාරු නෑ.මේ මිස් කවුද?"
ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට ඕන කමක් තිබ්බෙම නෑ.මන් ෆෝන් එක තිබ්බා.මන් හදිස්සියෙම කොහෙද යන්න හදනව දැකපු නයෝමි මගේ ළගට ඇවිත් හේතුව අහද්දි මන් කිව්වේ කතා කරන්න වෙලාවක් නෑ නයෝමි මන් ගිහින් එන්නම් කියලා විතරලු.මට පාසේ නයෝමිමයි ඒක කිව්වේ.කොහොම් හරි එදා නයෝමිත් මාත් එක්ක ආවා.
රොහාන් හිටපු රූම් එක හොයාගෙන් අපි යනකොට රූම් එකේ කවුරුවත් හිටියේ නෑ.රොහාන්ට නින්ද ගිහින් තිබ්බා.ඔලුව වටේට බැන්ඩේජ් එකකින් ඔතල තිබ්බා.තව දකුණු අතේ තැනින් තැන ප්ලාස්ටර් අලවලා තිබ්බා.කවදාවත් නැති විදිහට හොස්පිටල් එකේ ඇදක් උඩ රොහාන් එහෙම ඉන්නවා දැක්කම මට වාවගන්න බැරි උනා.මට අමතක උනා මන් ආවේ නයෝමි එක්ක කියලා.මන් ගිහින් ඇද ළග තිබ්බ පුටුවෙන් වාඩි වෙලා රොහාන්ගේ දකුණු අතින් අල්ල ගත්තා.කොහෙදෝ මන්දා තිබ්බ ලොකූ කදුලු ගුලියක් මගේ ඇස් දෙකෙන්
එලියට පැන්නේ ලොකුම ලොකු ඉකියකුත් එක්ක.රොහානුත් ගැස්සිලා ඇහැරුනා.මාව දැකපු ගමන් රොහාන් ගොඩාක් සතුටු උනා.එයා හරිම අහින්සක විදිහට හිනා වුනා.ඒ හිනාව මාව තවත් අසරණ කරා.
"අඩන්න එපා සුලෝ.එච්චර අමාරුවක් නෑ මට" රොහාන් හෙමීට ඒ වචන ටික කියද්දි මන් ඒ මූණ දිහාම බලාගෙන හිටියා.
"මන් ගොඩාක් බය උනා රොහාන්."
"ඇයි ඔයා බය උනේ.මන් මැරෙයි කියලා හිතුවද?"
"අනේ දෙයියනේ මොනාද ඔය කියන්නේ.මාව දාල ඔයාට කොහෙවත් යන්න බෑ"
"සුලෝ..."
"ඔව් රොහාන් යන තැනක යන්නොන අපි දෙන්න එකට"
"ඕ මයි ගෝඩ් සුලෝ ඒ කියන්නේ.."
"ඒ කියන්නේ මන් ඔයාට ආදරෙයි රොහාන්.මට තවත් මේක හිර කරගෙන ඉන්න බෑ"
මන් නොකියා ඉන්න බවට හිතට පොරොන්දු දීපු දේ මටත් නොදැනිම මන්ම රොහාන්ට කියලා.එවෙලේ රොහාන්ගේ මූණේ තිබ්බ සතුට මට තාම මතකයි.රොහාන් අමාරුවෙන් නැගිටින්න හැදුවා.
"සුලෝ ඔයා දන්නවද අද තමා මන් ජීවිතේ අහපු ලස්සනම දේ ඇහුවේ"
"එක්ස්කියුස්මි සුලෝචනා මන් එළියෙන් ඉන්නම් ඔයා එන්න" නයෝමි එහෙම කියලා එළියට ගියේ එවෙලේ එතන උන දේ ගැන හොදටම තේරුම් අරගෙන වෙන්න ඇති.
"හ්ම්ම්"
"මාස ගාණක් මට හැමදේම නැති කරලා මෙතන"
"හැමදේම කිව්වෙ?"
"හැමදේම කිව්වේ මට නින්ද නෑ.හරියට කන්න බොන්න බෑ.වැඩක් කරන්න බෑ එක විදිහකට"
"මන් හින්දා?"
"ඔව් ඔව් ඔයා හින්දා තමා"
"හරි ඉතින්"
"මොනා වුනත් අන්තිමේදි මගේ කෙල්ල මට ලැබුනනේ"
රොහාන් එහෙම කියලා වම් අතින් මගේ කම්මුලක් මිරිකුවා.
අපි දෙන්නා පැයක් විතර කතා කර කර හිටියා.ගොඩාක් හිනා වුනා.කවදාවත් දැනුනෙ නැති හැගීම් ගොඩාරියක් හිතේ පෙරළි පෙරළි තිබ්බා.ඒ හැගීම අස්සේ ආදරෙත් මහ ගොඩාක් තිබ්බා.
කෑම පැය පහුවෙලත් පැයකුත් ගිහින් තිබ්බ හින්දා මට යන්න උනා.මන් යද්දි රොහාන් අතින් එයාගේ නළල පෙන්නුවා.දෙපාරක් නොහිතම මන් අපේ ආදරේ පළවෙනි හාදුව රොහාන්ගේ නළල උඩින් හරි පරෙස්සමට තිබ්බා.මන් දැනගෙන හිටියා රොහාන් හාදුව හැමදාම පරෙස්සම් කරගන්නවා කියලා.ඒ ගෙවුන තත්පරය රොහාන්ගෙයි මගෙයි ජීවිතවල තදින්ම සටහන් වුනා.
රොහාන්ට සමු දීලා මන් එළියට එද්දි නයෝමි මන් දිහා හිනා වෙවි බලා ගෙන හිටියා.මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුනා කියලා එදා හැමෝම දැනගත්තා.
-------- නැවතත්---------
Saturday, May 23, 2015
ඒකත් සැපකි...
මගේ විලේ උන්නු ගෙම්බො
ගෙම්බියො ටික යාලු කරන්
ඒ මදිවට විලේ තියෙන
නෙලුම් කොළත් අයිති කරන්
එහා විලෙන්වත් හොයලා
අරන් වරෙන් හනික කෙනෙක්
කින්ඩි දානකොට යාලුවො
දෙන්න හිතෙනො පයින් දෙකක්
හිතේ අමාරුවෙන් ඉද්දි
ඇහැ ගැටුනා මරු බඩුවක්
සෝබන බින්දුවක් ඉතිරි
බ්ලැක් ලේබල් බෝතලයක්
රටක් වටින ඒ බින්දුව
දාගත්තා දිවෙන් අරන්
සුර ලෝකය පෙනි පෙනි රෑ
නැටුවා ඉතින් සුරා මතින්
දිලිසි දිලිසි රන් පාටට
එනු දුටුවා ඈත ඉදන්
ගෙබි කුමරගේ කතාවෙ එන
රන් බෝලය වගේ එකක්
මගෙ ඉරණම විසදන්නට
කුමාරියක් ඔය පස්සෙන්
ෂුවර් එකට එනවා ඔන්න
මහ පාරට පැන්නා මන්
පැන්න ගමන් වෙරි හිදුනා
ඇග තැලුවා රබර් කදක්
ඒත් ඉතින් සැපක් දැනුනා
ස්කූටියේ කුමාරියක්...
Thursday, May 7, 2015
****වළාකුලු බැම්ම **** (11)
රොහාන්ට ඒ වෙලාවේ මොනවා හිතුනද මම දන්නෑ.මොකද මන් එයාගේ මූණ දිහා බැලුවෙ නෑ.මට එහෙම බලන්න තරම් හයියක් තිබ්බේ නෑ.රොහාන් කිසිම දෙයක් ඇහුවේ නෑ.එයා මට ඔහේ අඩන්න දීලා කිසිම කතාවක් බහක් නැතුව වාහනේ ඩ්‍රයිව් කලා.මන් බහින තැන හරියටම දන්නෙ නැති නිසා රොහාන් බොරැල්ල පහු කරලා 174 පාරේ රේල් ගේට් එක ලග කාර් එක නතර කලා.
"සුලෝචනා ඔයා බහින තැන මන් දන්නෑනේ ළමයෝ?" මුලු ලෝකයක් ඉස්සරහා අසරණ උන පොඩි ළමයෙක්ගෙන් අහනවා වගේ රොහාන් මගෙන් ඒක ඇහුවේ.
"ගෝතමි පාර ළගින් මන් බහින්නම්"
"එතන් ඉදන් තව යන්න ඕනද?"
"ඔව් ටිකක්.ඒ ටික මට යන්න පුලුවන්"
"නෑ නෑ අපි යමුකො"
රොහාන් ආයෙම කාර් එක ස්ටාර්ට් කලා.
"රොහාන් ඔයා මට අනුකම්පා කරන්නෙ නෑ නේද?"
"ඒ මොකටද ඒ?"
"මොකට වුනත් මන් කැමති නෑ කාගෙන්වත් අනුකම්පාවක් ලබන්න.ඒකයි.නිශානි,මගේ යාලුවගෙන් ඇරෙන්න මගේ ජීවිතේ මන් ලබපු තරමක් ලැබුවේ අනුකම්පාවක් විතරයි.තවත් මට ඒ අනුකම්පාව ඕන නෑ කාගෙන්වත් "
"ඉතින් හරි ළමයෝ.මන් දැන් ඔයාට එහෙම දෙයක් කිව්වද?"
"නෑ ඔයා මුලින් කතා කරපු විදිහෙන් මට එහෙම එකක් හිතුනා"
"ඒක එහෙම නෙමේ කිව්වොත් මන් ඔයාට බොරු කිව්වා වෙනවා.ඒ ඔයා අඩ අඩ හිටපු නිසා සුලෝචනා.ඒතනින් එහාට ඔයා ගැනවත් අක්ක ගැනවත් හිතලා නෙමේ"
"හ්ම්ම්...ඔතන ඉස්සරහා පාර ළගින් නවත්තන්න. මන් යන්නම් රොහාන්"
"නෑ නෑ යමු යමු.මෙතන ඉදන් බත්තරමුල්ල මහ දුරක් නෙමේනේ මට යතෑකි."
එදා රෑ රොහාන් මාව ගෙදරටම ගෙනත් ඇරලුවා.
"මේකද ඔයාගේ පැලස් එක?"
"නෑ රොහාන් මේ නිශානිගේ ගෙදර" මන් හිනාවෙල එහෙම කියලා කාර් එකේ දොර අරින්න හදද්දි රොහාන් ආයෙම කතා කලා.
"එතකොට ඔයාගේ ගෙදර?"
"මට ගෙයක් නෑ රොහාන්.මට තියෙන එකම පිහිට නිශානියි එයාගේ අම්මයි තාත්තයි විතරයි....මන් යන්නම් රොහාන්"
මන් ගෙදර දිහා බලාගෙන එහෙම කියලා රොහාන්ගේ මූණ දිහා බැලුවා.ඒ ඇස් මන් දිහා මොකද්දෝ මන්දා අමුතු බැල්මකින් බලාගෙන හිටියා.ඒ බල්මේ අනුකම්පාවක් ගෑවිලා තිබ්බෙ නෑ කියන්න මට බෑ.ඒත් ඒක මහ අමුතු බැල්මක්.මන් ඉක්මනට දොර ඇරලා කාර් එකෙන් එළියට ආවා.ඒත් එක්කම රොහානුත් කාර් එකෙන් එළියට ආව.
"සුලෝචනා අහන්න"
"මොකද්ද?"
"ඔයාගෙ පැත්තෙන් බලද්දි මන් දන්නෑ මන් ඉක්මන් වැඩිද නැද්ද කියලා.ඒත් මන් හිතන්නේ මේ තමයි හොදම වෙලාව."
රොහාන්ගේ වෙනසක් මට තේරුනා.ඒ වෙනසට හේතුව මොකද්ද කියලාත් මට තේරුනා ටික දවසක ඉදලා.ඒ හින්දම රොහාන් අහන්න හරි කියන්න හරි යන දේ මට හිතාගන්න බැරි උනා කියලා කියන්න බෑ.ඔව් මන් දැනගෙන හිටියා.ඒත් කවදාවත් මන් ඒකට දෙන උත්තරයක් ගැන හිතුවෙ නෑ.ඇත්තටම ඒ උත්තරේ ගැන මට හිතන්න දේකුත් තිබ්බේ නෑ.රොහාන් කවුද මන් කවුද..ඒ මොනවා උනත් ඒ වෙලාවේ මගේ පපුව ගැහෙන සද්දේ මටම ඇහෙන තරම් උනා..රොහාන් කාර් එකේ බොනට් එක උඩ ඇගිල්ලක් අතුල්ලගෙන එදිහාම බලාගෙන මන් හිටපු පැත්තට ආවා.මගේ ළගට ඇවිත් මගේ මූණ දිහා බලාගෙනම මගේ අත එයාගේ අත් දෙකෙන්ම අල්ලගත්තා.
"රොහාන්??"
"සුලෝ.." ඔව් මට මතකයි එදා රෑ තමා රොහාන් මට මුලින්ම එහෙම කතා කලේ.
"සුලෝ... දන්නවද ඔයාව දැකපු පළවෙනි දවසෙම මට ඔයා ගැන හිතුන දේ?"
"අනේ රොහාන්"
"ෂ්..... මට එදා හිතුනා අනේ ඔයා මගේ වෙනවනම් කියලා.දන්නවද ඔයාගේ ඇස් දෙක එදා මට මහා ලොකූ කතාවක් කිව්වා.ඒත් මට බය හිතුනා ඔයා ඒ වෙනකොටත් වෙන කෙනෙක් වෙලා ඉවරද දන්නෑ කියලා.ඔයා
දන්නෑනේ ඉතින් ඒක හොයාගන්න මට ගොඩ දවසක් ගියා."
"රොහාන් ඔයා මන් ගැන දන්නේ නෑ"
"මට දැනට මුකුත් දැනගන්න ඕන නෑ සුලෝ.ඔයා කැමති වෙලාවක හිමින් සැරේ ඔයාට ඕනනම් විතරක් මට කියන්න.ඒක් මට ප්‍රශ්නයක් නෙමේ"
"ඒත් රොහාන්"
"සුලෝ මේ අහන්න මන් ඔයාට ආදරෙයි.ගොඩාක් ආදරෙයි.ඔයාව මන් දැකපු මොහොතෙ ඉදන් මන් ඔයාට ආදරෙයි."
"අනේ රොහාන් ඇයි මේ.ඔයාට මාව ගැලපෙන්නෙ නෑ රොහාන්.ඔයා මන් ගැන හොයනවා බලනවා කියලා මට නොතේරුනා නෙමේ ඒත් මන් නොතේරුනා වගේ හිටියා රොහාන්,ඒ මොකද කාත් කවුරුවත් නැතුව ඔහේ අසරණ වෙච්ච කෙල්ලෙක් මන්.නිශානි හිටියෙ නැත්තන් අද මන් ජීවත් වෙලා ඉන්න එකකුත් නැතිව ඇති."
"හරි සුලෝ දැන් ඔයා යන්න.හදිස්සි නෑ මට හොදට හිතලා කියන්න.අද දැකපු දේවල් ගැන වැඩිය හිතන්නත් යන්නෙපා.ඒත් එකක් හිත කියන දේ කරන්න.මොකද මන් දන්නවා ඔය හිතේ මට පොඩිම හරි ඉඩක් තියෙනවා කියලා.මන් යන්නම් සුලො"
රොහාන් ඒ වෙනකන්ම මගේ අත අතෑරියෙ නෑ.අත අතෑරලා යන්න ලොකු ලෝබ කමක් තිබ්බා කියලා මට දැනුනා.පළවෙනි වතාවට මටත් ජීවිතේ කවදාවත් දැනුනෙ නැති හැගීමක් දැනෙන්න ගත්තා.ඒ හැගීම ඇතුලේ රොහාන් ගැන දලුලන්න හදන ආදරයකුත් තිබ්බා.රොහාන් කාර් එකට නගින්න කලින් ආයෙම පාරක් මන් දිහා බැලුවා.කාර් එක නොපෙනී යනකන්ම මන් බලාගෙන හිටියේ කොහෙදො මන්දා ඉදන් හිත අස්සට රින්ගපු ලොකු දුකකුත් එක්ක.
------------නැවතත්--------
Saturday, May 2, 2015
****වළාකුලු බැම්ම **** (10)
"ගුඩ් මොර්නින් සර්"
"ආ ගුඩ් මොර්නින්... කට්ටිය ඔය ඉඩ තියෙන තැන් වලින් ඉද ගන්නකෝ..මිස්ටර් බස්නායක ඔයා ගිහින් ඒ රෙපෝට්ස් ටික අද හවස් වෙද්දි රෙඩි කරලා තියන්න එහෙනම්.මට දැන් මෙයාලට ටිකක් කතා කරන්න ඕන"
රොහාන් තේනුවර.අපේ අලුත් මැනේජර්.පෙනුමින් කෙලිලොල් බවක් පේන්න තිබ්බත් හරිම නීට් එකට ඇදගෙන හිටියා.මට මතකයි ලා නිල් පාට ෂර්ට් එකකුයි කලු කලිසමකුයි ඇදගෙන හිටියේ. ආ තව කලු පාටම ටයි එකකුත් දාලා හිටියා.ඒ රූම් එකට යන්න කලින් මට මතකයි යාලුවෙක් කිව්වා 'පොර හරියට සයිෆ් අලි ඛාන් වගේ ' කියලා.ඇත්තටම ඒ කියපු දේ ඔව් කියලා එයාව දැක්ක ගමන් මටත් හිතුනා.අපි ඔක්කොම පහළොස් දෙනෙක් විතර හිටියා.අලුත් සර්ට වහ වැටුනු කෙල්ලො දෙතුන් දෙනෙක් ඉස්සරහටම ගිහින් ඉද ගත්තා.මන් ඉතින් ඒ අයට ඉඩ දීලා පිටිපස්සෙ තිබ්බ විසිටර්ස්ලගේ චෙයාර් එකේ ඉදගත්තා.මිස්ටර් බස්නායක ගියාට පස්සේ අපේ මැනේජර් අපි හැමෝ දිහාම එක හුස්මටම බලාගෙන ගිහින් එයාගේ ටේබල් එකේ කොනකින් වාඩි උනා.ඒ වාඩි වෙන ගමන් එයා හොරෙන් වගේ මන් දිහා බැලුවා.ඒ බැල්ම මන් විතරක් නෙමේ මාත් එක්ක ඒ චෙයාර් එකේ ඉදගෙන හිටපු මනෝජුයි සදුනුයි දෙන්නම දැක්කා.ඒ මොනවා උනත් හේතුව මොකක් උනත් ඒ බැල්ම මගේ හිතේ තදින්ම ඇදුනා.
"හරි ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ මාව.මන් රොහාන්.,රොහාන් තේනුවර.ඔයාලගේ අලුත් මැනේජර්.ඇත්තටම මැනේජර් කෙනෙක් විදියට මේ තමයි මගේ ෆස්ට් අපොයින්ට්මන්ට් එක.ලාස්ට් යියර් එකේ තමයි මන් මගේ මැනේජ්මෙන්ට් ට්‍රේනී එක්සෑම් එක ලිව්වේ.ඉතින් as a manager this is my first experience.so what i want you guys to co-op with me.actually I don't want to be your big boss.I just want to be friendly with you in every aspects හරිද?මටත් මේ ෆීල්ඩ් එකේ තව ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා.ඉතින් ඔයාලගෙන් උනත් ඔපීනියන්ස් ගන්න මන් කැමති ඕනම දේකට.මොකද මේ සෙට් අප් එක ගැන ඔයාලා මට වඩා දන්නවනේ මෙච්චර කාලයක් මෙතන ඉදලා.so let's start from the beginning.ඒත් එක්කම i strictly want to tell you this thing that I care about the discipline a lot හරිද? no cheating no gossiping no betraying no blaming.we should work as a team....."
අපේ අලුත් මනේජර් ලොකූ කතාවක් කලා.කොච්චර වෙලාවක් ගියත් එයා කතා කරන එක අහන් ඉන්න එක මට විතරක් නෙමේ අපි කාටවත් එපා වෙලා තිබ්බේ නෑ.'තව කතා කලානම් අහන් ඉන්න තිබ්බ' කියලා රූම් එකෙන් එලියට ආවට පස්සේ නයෝමි කිව්වා.ඒ කතාව කරනකම් ම එයා මන් දිහා බැලුවෙ නෑ.ඒත් ඒකෙ විශේෂයක් මට දැනුනේ නෑ.ඊට පස්සේ අපි ශේක් හෑන්ඩ් කලා.
"wish you all the best sir"
"thank you..may I know your name please?"
"සුලෝචනා"
"සුලෝචනා විතරද?"
"සුලෝචනා වීරසිරි"
"හ්ම්.. නයිස්.. "
අපේ දෙබස අහගෙන හිටපු යාලුවො ගොඩ දෙනෙක් අපිට විහිලු කලා.ඒත් ඒවා ගැන වැඩිය හිතන්න ඕන කමක් මට තිබ්බේ නෑ.වෙනදා වගේම මන් මගේ පාඩුවේ ඔහේ වැඩ කරගෙන ගියා.අලුත් සර්ත් අපිත් එක්ක හොදට කතා බහ කරලා හිටියා.ඒත් මාත් එක්ක ටිකක් වඩි පුර කතාවට එනවා කියලා මට නොතේරුනෙමත් නෑ.
ඒ කාලේ ගොඩාක් හෙමින් ලස්සනට ගලාගෙන ගියා.යාලුවොත් එක්ක ගෙවන ජීවිතේ පුදුමාකාර සැනසීමක් තිබ්බා.වනාත මුල්ලේ ගෙවපු ජීවිතේ ගැන මට අමතකම වෙලා තිබ්බා.නිශානි එයාගේ කැම්පස් එකේ වැඩ වලට හිර වෙලා හිටියා.අසයින්මන්ට්,ප්‍රසන්ටේෂන්,ටියුට්,ලෙක්චර්ස් කිය කියා හැමදාම යුනිවසිටි සිස්ටම් එකට බැන බැන හිටියා.ඒත් එයා ආසාවෙන් ඒ වැඩ ටික කරගෙන ගියා.කැම්පස් එකේ දෙවනි අවුරුද්ද පටන් ගෙන මාසයක් විතර ගියාම නිශානි එන්ගේජ් උනා එයාගේ කසින් එක්ක.ඒ වැඩ වලට උදව් වෙන්න ඕන හින්දා මන් දවස් තුනක්ම නිවාඩු දැම්මා.වැඩට ගිය දවසේ ඉදලා මන් මුලින්ම නිවාඩු ගත්තේ ඒකට.නිශානිනම් ගෙදර නැවතුනේ එන්ගේජ්මන්ට් එක දවසේ විතරයි.ඒත් මායි නිශානිගේ අම්මයි තාත්තයි අපි තුන් දෙනා හැමදේම හොදටම කලා.
කොහොම හරි එන්ගේජ්මන්ට් එකට පස්සේ දවසේ අපි ඩෙකරේෂන්ස් බාර දීපු ශොප් එකට බලන්ස් එක පේ කරන්න මන් ගියා.ඒක තිබ්බේ බම්බලපිටියේ.ගෙදර අස් පස් කරන වැඩ ටික කරලා මන් එහෙට යද්දි හවස් උනා.ඒවෙලාවේ ට්‍රැෆික් එකත් වැඩි හින්දා මන් එහෙ ගිහින් බිල් එක ගෙවලා ඉවර වෙනකොට හතහාමාර විතර වෙලා තිබ්බා.ඒ වැඩ ඉවර වෙලා ශොප් එක ඉස්සරහම තිබ්බ බස් හෝල්ට් එකට වෙලා බස් එකක් එනකන් ඉද්දි මගේ ඉස්සරහින් දැකලා පුරුදු කාර් එකක් නැවැත්තුවා.මන් හිටපු පැත්තේ ෂටර් එක පහත් කරලා කෙනෙක් මට කතා කලා.
"සුලෝචනා නගින්න"
ඒ අපේ සර්.
"නෑ සර් කමක් නෑ.දැන් බස් එකක් එයි."
"බස් ඉතින් ඕන තරම් එනවනෑ ළමයෝ.කෝ නගින්න ඉතින් මෙතන වඩි වෙලා නවත්තන් ඉන්න බෑ"
මට ඒ ආරාධනාව මග අරින්න මහා ලොකු හේතුවක් තිබ්බෙත් නැති නිසා මන් නැග්ගා.
"කොහෙද මේ රෑ?දැන් දවස් තුනක්ම ආවෙත් නෑ"
"මගේ යාලුවාගේ එන්ගේජ්මන්ට් එක තිබ්බා සර්.ඒකයි"
"අම්මෝ එන්ගේජ්මන්ට් එකට මෙහෙමනම් වෙඩින් එකට මාසයක්ම නිවාඩු දායි නේ මෙයා"
"එයා මගේ හොදම යාලුවා සර්.හරියට මගේම නන්ගි කෙනෙක් වගේ"
"සුලෝචනා අද දවල් ඉදලා මන් මුකුත් කාලා නෑ.අපි මොනවා හරි කාලා යමුද?"
"සර් දැන්"
"ඔව් ළමයො දැන් තමයි බඩගිනි මට"
එක පාරටම ඒ කරපු යෝජනාවට කොහොම ප්‍රතිචාර දක්වන්නද කියලා මට හිතාගන්න බැරි උනා.ඒත් සර් බඩගිනි කිව්වේ ඇත්තටමනම් ඒ යෝජනාව අහක දාන එක හරි නෑ කියලත් හිතුනා.ඒත් එක්කම 'එහෙනම් සර් කන්න මන් මෙතනින් බස් එකක් ගන්නම්' කියන්නත් හිතුනා.එහෙම හිතුනට ඒක කියාගන්න තරම් හයියක් තිබ්බේ නෑ..ඒ කොහොම උනත් මන් උත්තරයක් දෙන්නත් කලින්ම සර් රෙස්ටුරන්ට් එකක් ළග කාර් එක නතර කලත් එක්ක.
පැය භාගයක් විතර අපි එතන ඉදලා ආයෙම ආවා.සර් ගේ විස්තර ගොඩාක් මට කිව්වා.තව ආයෙම සර්ට සර් කියන්න එපාලු.රොහාන් කියන්නලු.මන් ගොඩාක් වෙලාවට කලේ අහන් හිටපු එක විතරයි.මගේ ගැනත් එක එක ඒවා ඇහුවා.ඒත් මන් කොහොම හරි මග ඇරියා.කටක් ඇරලා කියන්න පුලුවන් අතීතයක් මට නෑ කියලා දන්නේ මායි නිශානිලාගේ ගෙදර අයයි විතරනේ.
ආයෙම එන අතරේ ට්‍රැෆික් එකට හුග වෙලාවක් කාර් එක නවත්තන් ඉන්න උනා.එහෙම නවත්තපු එක තැනකදි අවුරුදු ගානකින් නොදැකපු කෙනෙක්ව මන් දැක්කා.ඒ මගේ අක්කා.එයා හිටියේ පාරෙන් එහා පැත්තේ තව කවුද පිරිමි කෙනෙක් එක්ක මොනවද මන්දා කියව කියව.හොදට දන්න කියන කෙනෙක් එක්ක වගේ කතා කර කර හිටියේ.ටිකක් වෙලා කතා කර කර ඉදලා අක්කා එතනම තිබ්බ කලු පාට බෙන්ස් එකට නැග්ගා.අනේ දයියනේ අක්ක තාමත් මේ ජරා රස්සවම කරනවද?මට ඇඩෙන්න වගේ උනා.ඒත් මගේ ජීවිතේන් මන් අක්කව ඈත් කරලා ගොඩාක් කල්.ආයෙම මන් එයා වෙනුවෙන් අඩන්නේ නෑ කියලා මන් එවෙලෙත් මගේ හිත පොරොන්දු කරගත්තා.පපුව ඇතුලේ හිර වෙලා තිබ්බ හැගීම් ලොකුම ලොකු සුසුමකින් පිට කරලා මන් ශීට් එකට හේත්තු වෙලා අනිත් පැත්ත බලාගත්තා. මන් ඉස්සීගෙන පුදුමෙන් වගේ බලාගෙන හිටපු නිසා සර්ත් සද්ද නැතුවම එතන වුන හැමදේම බලාගෙන ඉදලා.
"ඇයි සුලෝචනා පුදුමෙන් වගේ.ඕවා ඉතින් මේ පැත්තේ කොහොමත් තියෙනවානේ"
"හ්ම්ම්"
"සුලෝචනා මොකද හිතන්නේ ඒ වගේ තැන් වලදි කවුද වැරදි?"
"මන් දන්නෑ සර්"
"සර් නෙමේ රොහාන්..මන් කිව්වනේ ඔයාට"
"සොරි රොහාන්.මන් දන්නෑ.කවුරු වැරදි උනත් හරි උනත් ඒ දේ වැරදි"
"මන්නම් හිතන්නේ ඔතන සම්පූර්ණ වැරැද්ද ගෑණු අය."
"ඒ වුනාට එයාල කවුරුත් ආසාවෙන් ඕවා පටන්ගත්තා කියන්න බෑ රොහාන්.වැරදි ඒ ගෑණුන්ගේ අසරණකම්
වලදි බොරු මවලා ඕවට ඇදලා ගන්න හිතක් පපුවක් නැති මිනිස්සු"
මන් ආපු ආවේගෙන් එහෙම්මම කියාගෙන ගියා.
"සුලෝචනා ඇයි මේ නර්වස් වෙලා.කාල්ම් ඩවුන්.ඇයි මේ කොහෙවත් යන ගෑණු ගැන හිතලා ඔයා අප්සට්
යන්නේ."
"කොහෙවත් යන ගෑනියෙක් නෙමෙයි සර් එයා මගේ අක්කා"
මට ඉකිගැහුනා.
------------නැවතත්----------
Friday, May 1, 2015
****වළාකුලු බැම්ම **** (09)
"මෙහෙණින් වහන්ස බර කල්පනාවක වගේ?"
මිහිදන් කරන්න හදන අතීතෙක එක් ඉසව්වක නතර වෙලා හිටපු මන් පියවි සිහියට ආවෙ ගුණවතී උපාසක අම්මා එහෙම ඇහුවට පස්සේ.අවුරුදු දහයකට පෙර අතීතයේ වෙච්ච හැම දෙයක්ම පටිගත කරලා තිබ්බා වගේ මගේ හිතේ ඇදෙන්න ගත්තා.මෙහෙණියක වෙලා පාරමිතා පුරන්න හිතාගත්තත් අදටත් ඒ මතකය නිසා මේ හිතට දුක කලකිරීම බය දැනෙනවා.ඒත් අද ආයෙම ඒ වැලලුනු ගිනි ගොඩ ඇවිලෙන්න කලින් මෙ බෝ සෙවණ මට පුදුමාකාර සැනසීමක් ගෙනාවා.ඒත් දැන් මේ හිත මට මුල ඉදන්ම හදාගන්න වෙනවා.හැමදේම අත ඇරලා මන් මහණ වුනේ මට තවදුරටත් ඒ ජීවිතේට මුහුණ දීගන්න තරම් ශක්තියක් ඉතිරි වෙලා තිබ්බ නැති නිසා.ඒත් අපේ අක්කට රොහාන්ට මගේ පැටියට උන දේවල් එක්ක මන් මෙහෙම පැත්තකට වෙලා මගේ ජීවිතේ විතරක් හදාගන්න එක වැරදි කියන හැගීමත් මගේ හිතට වද දෙන සිතුවිලි අතරේ තාමත් තියෙනවා.ඒත් මැරෙන්න තරම් ප්‍රශ්න එද්දි මට මෙහෙම හරි තීරණයක් ගන්න පුලුවන් වෙච්ච එක ගැන මටම පුදුමයි.සමහරවිට ඒ හයිය මට එන්න ඇත්තේ රොහාන්ගේ ආදරේ හින්දා.මන් දන්නවා මන් මැරුනොත් රොහාන්ට ඒ දුක දරාගන්න බැරි වෙයි.ඉතින් ඒ හිතට එච්චර දුකක් දෙන්නේ කොහොමද මන්.අදට උනත් රොහාන් හිත හදාගෙන ඉන්නේ කොහේ හරි තැනක මන් හොදින් ඉන්නවා කියන විශ්වාසෙන්.
"ආ උපාසක අම්මා තාමත් මෙතනද?"
ඇස් අගට මෝදු වෙච්ච කදුලක් අතින් පිහදන ගමන් මෙන් ගුණවතී උපාසක අම්මගෙන එහෙම ඇහුවේ ගොඩාක් වෙලා ගිහින් කියලා හිතුන නිසා.ඒත් ගතවෙලා තිබ්බේ විනාඩි කිහිපයක් විතරයි.
"ඇයි මෙහෙණින් වහන්ස මන් මේ කාතාව අහන්න බලන් උන්නේ..ඒත් මට දැන් හිතෙනවා මොනවා උනත් ඒ කතාව එච්චර සරල නැතුව ඇති කියලා"
මන් දිහා ආදරණීය බැල්මක් හෙලපු ගුණවතී අම්ම එහෙම කිව්වා.සමහර විට මගේ නිහඩ බව උපාසක අම්මට ගොඩාක් දේවල් තේරුම් කරන්න ඇති.
"ඒවා අනවශ්‍ය කතා උපාසක අම්මේ.ජීවිතේ මිනිස්සුන්ට මුණ ගැහෙන වර්තමානෙම අතීතයක් වෙලා ගිහාම ආයෙම ඒ ගැන තැවෙන එක තේරුමක් නෑ.ඒ අතීතෙන් ගන්න පුලුවන් හොද දෙයක් තියෙනවනම් අන්න ඒ දේ අරගෙන වර්තමානයේ හොදින් ජීවත් වෙන එකයි කරන්න ඕන."
"ඒක හරි මෙහෙණින් වහන්ස.මාත් අපේ ළමයින්ට ප්‍රශ්නයක් ආවම ඕකමයි කියන්නේ.නිකන් වැලපි වැලපි ඉන්නෙ නැතුව කරන්න තියෙන දේවල් වලට මුහුන දෙන්න කියලා.කොහෙද ඒව අහන්නෑනේ දැන් ඉන්න ළමයි.පවුල පිටින්ම රට ගියෙත් මෙහෙ ඉදන් ප්‍රශ්න විසදන්න බෑ කියලනේ ඔය."
ගුණවතී උපාසක අම්මා ගොඩාක් දේවල් කියාගෙන ගියා.ඒත් එක්කම මන් ගැන දැන ගන්න තිබ්බ ඕන කමත් එහෙම්මම අමතක වෙලා ගියා.
"දැන් ගොඩාක් රෑ වෙලානේ උපාසක අම්මේ.අම්මා දැන් යන්න එහෙනම් තව රෑ වෙන්න කලින්"
"ඔව් ගෙදරත් කවුරුත් නෑනේ මන් ගොහින් එන්නම් එහෙනම්"
මිනිස්සු කියන කරන දේවල් කොච්චර ඉක්මනට වෙනස් වෙනවද.මට යන්තම් හිනාවකුත් ගියා.
"හා එහෙනම් කලුවරේ යන්න බෑනේ ටෝර්ච් එකක් දෙන්නද උපාසක අම්මට?"
"තිබ්බොත් හොදයි නේදා?රෑ ජාමේ සතා සර්පයෙක් එහෙම පෑගුනොත්..කම්මැලි කමට ආවට මෙච්චර රෑ වෙයි කියලා හිතුවේ නෑනේ"
"හා එහෙනම් ඉන්නකෝ මන් ගෙනත් දෙන්න"
ගුණවතී උපාසක අම්මා ආවේ කීයට හරි කමක් නෑ කතාව අහල යනවා කියලා.ඒත් දැන් රෑ වුන එක ලොකු ප්‍රශ්නයක් වෙලා.අපි හැමෝම පෘතගජනේ මිනිස්සුනේ.මන් මගේ කුටියට ගියා ටෝර්ච් එක ගේන්න.
**************
අතීතය වර්තමාණය ගැන ඇත්තටම හිතෙන දේවල් කිව්වට ඒ ඇත්ත තුළ ජීවත් වීම ගුණවතී උපාසක අම්මගේ දරුවොන්ට වගේ මටත් තාම අමාරුයි.ඒත් ඒ අයට වගේ නෙමේ මේ බුද්ධ සාසනය ඇතුලේ බුදු හාමුදුරුවන්ගේ යතාවදී තථාකාරි ගුණය ආදර්ශයට ගැනීම මා විසින් කළ යුත්තක්.ඉතින් මේ උත්සහාය ඒ වෙනුවෙන්ම තමයි.
ලොකු මෙහෙණින් වහන්සේගේ අභිධර්ම පාඩම තියෙන්නේ හැමදාම රෑ 8ට.ඒ පැයෙන් පස්සෙ හැකි උපරිම කාලයක් භාවනා කරලා නින්දට යන එක තමයි සාමන්‍ය පිළිවෙත.අදත් අභිධර්ම පාඩම ඉවර වෙලා ම්හෙණින් වහන්සේලා ඔක්කොම තම තමන්ට වෙන් වුන කුටි වලට වඩින්නට උනා.මාත් මගේ කුටියට ගිහින් භාවනා කරන්න පටන් ගත්තා.
ඇස් දෙක පියාගෙන එක ආශ්වාසෙකින් පෙනහැලි පුරවාගෙන ආයෙම හෙමින් ඒ හුස්ම ප්‍රාශ්වාස කලා.දෙපාරක් තුන් පාරක් එහෙම කරද්දි මුලු හිතම හිරිවට්ටගෙන එක පාරටම හුරු පුරුදු හුස්මක මතකයක් මුලු හිතම වෙලා ගත්තා.
"රොහාන්"
මගේ හිත කියනවා ඇහුනා.මාස හයක් තිස්සේ මේ වගේ හැගීම් එක්ක භාවනාව පුරුදු කරන්න ගොඩාක් මහන්සි වෙන්න උනා මට.ඒත් යම් ප්‍රගතියක් තිබ්බා මගේ හිතේ.ඒත් අද.සමහර විට හවස ගුණවතී අම්මා එක්ක ආපු වෙලාවේ කියපුවා හිතුන ඒවා හින්දා වෙන්න ඇති.
ඒ හැගීම අමතක කරලා ආයෙම පාරක් භාවනාවට හිත යෙදෙව්වත් දිගටම එකම අරමුණක ඉන්න බෑ කියලා හිතුනා.ඒ හින්දා මන් ඇදට ගියා.නිදාගන්න ඕන උනත් ඒ මතකය නින්ද අහලකටවත් ගෙනාවෙ නෑ.
**************
මායි නිශානියි ඒලෙවල් හොදටම පාස් උනා.කම්පස් යන්න ආසාවක් තිබ්බත් මන් ඒ අදහස අත ඇරියා.නිශානිට ඕන උනා අපි දෙන්නම එකට කැම්පස් යන්නත්.ඒත් නිශානි කියපු හැමදේටම කමැති උන මම ඒ දේටනම් කොහොමවත් කැමති උනේ නෑ.නිශානි ගේ අම්මටයි තාත්ටයි ගොඩාක් සතුටුයි නිශානි කැම්පස් සෙලෙක්ට් උන එකට.එයාලා ඒකට ස්තූති කලේ මට.ඒලෙවල් කරද්දි මන් නැවතිලා හිටියේ නිශානි එක්ක එයාලගේ ගෙදර.මන් කැම්පස් යන්න බෑ කිව්වම අන්කල් මට ප්‍රයිවට් බෑන්ක් එකක ජොබ් එකක් අරන් දුන්නා.මන් ඒ ජොබ් එකට ගියා.නිශානි කැම්පස් ගියා.නිශානිලගේ ගෙදර මගේ ගෙදර උනා.එයාගෙ අම්මයි තාත්තයි මට එයාලගෙම ළමයෙක්ට වගේ සැලකුවා.හිනාව සතුට කියන දේවල් මගේ ජීවිතේට ඇතුලු වෙන්න ගත්තා.දුක කියන දේ ඈතින් ඈතට යද්දි මට ජීවිතේට ආදරේ කරන්න හිතුනා.
ඒවගෙම තමයි එක දවසකින් පස්සෙ මට ජීවිතේට ආදරේ නොකර බැරි උනා.එදා තමයි අපේ බැන්කුවට අලුතින් මැනේජර් කෙනෙක් ආවේ.
"අපෝ යන්තන් ඇති නැත්තන් මන් හිතුවේ මේ පාරත් කවුරු හරි වයසක ඩයල් එකක් ඒවි කියලා"
"ඒකන්ම් ඇත්ත පොර හැන්ඩියා"
"සිරාවට හෙන දතක්ද කොහෙද"
"වෙන්නැති බන් පේන්නැද්ද මූණෙන්ම"
අපෙ බෑන්ක් එකේ යාලුවෝ ටික අලුත් මැනේජර් ගැන කියවන්න ගත්තා.මට ඔහොම කියවන එක පුරුදු නැති හින්දා මන් පැත්තකට වෙලා එයාලා කියන ඒවට හිනාවෙවී හිටියා.
"මේ සුලෝචනා ඔයා දැක්කද අලුත් ඩයල් එකව?"
"නෑ තාම දැක්කේ නෑ"
එදා මන් බෑන්ක් එකට යනකොට ටිකක් පරක්කු උනා.නිශානිලගේ රැග් පීරියඩ් එක නිසා එයාලට කොන්ඩ දෙකක් ගොතාගෙන එන්න කියලා තිබ්බා.ඉතින් ලේයර් කරපු කොන්ඩේ කෑලි එකතු කර කර ගොතල දෙන්න ගිහින් මට පරක්කු උනා.ඒ හින්දා අලුත් මැනේජර්ව මන් දැක්කේ නෑ.
අපේ අය මැනේජර් ගැන කියව කියව ඉද්දි අපේ සෙක්ශන් එකේ හෙඩ් ආවා.
"අන්න මිස්ටර් රොහාන් ඔයාල ඔක්කොටම කතා කරනවා.ඇතුලට යන්න"
Friday, April 24, 2015
****වළාකුලු බැම්ම **** (08)
මගේ ජීවිතේ පුදුමාකාර විදිහට උඩු යටි කුරු වෙමින් තිබුනා.හීන මවාගෙන විභාගෙ කරගන්න තිබ්බ උනන්දුව සැඩ පහරකට අහු වෙලා ගියා.ආයේ ඉස්කෝලෙ යනවා තියා ඒ ගැන හිතන්නවත් මන් කැමති උනේ නෑ.මන් වෙනුවෙන් කියලා අක්කා කරන හැම දෙයක්ම හරි නෑ කියලා දැනගත්තම හොදින් හරි නරකින් හරි මට ඕන උනේ ඒ දේවල් වලට නැවතීමක් තියන්න.අම්මා බලාගත්ත අත බලාගෙන හිටියා.එක අතකට අම්මාටත් කරන්න දෙයක් තියෙන්නැතුව ඇති.අක්කා පොඩි කාලේ ඉදන්ම එයාට ඕන දේ කලේ කියලා හැමෝටම වඩා දන්නේ අම්මානේ.ඉතින් අක්කා කරන හැමදේම දිහා බලාගෙන ඉන්න ඇති.මන් අක්කා එක්ක කතා කලේ නෑ ඊට පස්සේ.එයාටත් මා එක්ක කතා කරන්න වුවමනාවක් තිබ්බෙත් නෑ.'ආයෙම මන් ඒ රස්සවට යන්නෑ නන්ගි.උඹ කොහොම හරි ඉගෙන ගනින් මන් වෙනදා වගේ ඇදුමක් මහල උඹට වියදම් කරන්නම්' කියලා අක්කා මට ඇවිත් කියනකන් මන් බලාගෙන හිටියා.ඒත් එහෙම දේවල් වෙන්නේ ෆිල්ම් වල විතරයි කියලා හිතුනම හැමදේම අතෑරලා ඔලුව හැරුනු අතේ යන්නත් හිතුනා.කාටමහරි මේ දුක කියන්න ඕන උනා.ඒත් කාටද?නිශානිට මේ දේවල් කිව්වොත් මට ඒ යාලුකමවත් නැති වෙයි කියලා මට ගොඩාක් බය හිතුනා.ඒ හින්දා මන් කිසිම දෙයක් එයාට කිව්වෙ නෑ.
ආයෙම ඉස්කෝලෙ යන්න ඕනකමක් තිබ්බෙ නැති නිසා මන් රස්සා දෙක තුනකටම ඇප්ලයි කලා.ඒත් සුමනේ අයියා අදුරන කෙනෙක් වනාතමුල්ල කිට්ටුව තිබ්බ ටියුෂන් පන්ති කරන තැනක ඇසිස්ටන්ට් අකවුන්ටන්ට් විදිහට මට එන්න කියලා තිබ්බා.එතන හොදයි කියලා සුමනේ අයියම තමා ඒ රස්සාව අල්ලලා දෙන්න ගොඩාක් මහන්සි උනේ.අන්තිමට මන් ඒ රස්සවට යන්න තීරණය කලා.අක්කගෙන් මන් ඇහුවෙත් නෑ.අම්මට රස්සාවට යන්න කලින් දවසේ කිව්වා මෙහෙම යනවා කියලා එච්චරයි.ඉස්සර අක්කා ගැන මට තරහක් නොහිතුනත් ඒක වෙනස් වුනා.අක්කා එහෙම දෙයකට ගියේ මට උගන්නන්නනම් ඒත් මන් ඒ දේ හින්දම ඉගෙන ගන්න එක අත අරිනවනම් ඇයි අක්කාට බැරි ඒ ජරා රස්සාව අත අරින්න.අඩුම තරමින් අක්කට මන් ඉස්කෝලෙ ගමන නවත්තපු එක ගැන දොස් කියන්නවත් තිබ්බා.ඒත් එයා එහෙම කලේ නෑ.එයාට ඒවෙනකොට මන් කරන කිසි දෙයක් ගැන කිසිම ගානක් තිබ්බේ නෑ.සුමනේ අයියත් එක්ක මන් ඒ ගැන කිය කිය අඩද්දි අයියා කිව්වේ 'ඕවා ඔහොම තමයි බන් සල්ලි අතේ පයේ ගෑවෙනකොට ඔහොම වෙනවා' කියලා.මට එදා ඇත්තටම අක්කා ගැන ලොකු පිළිකුලක් දැනුනා..
අපේ අලුත් වාරෙ ඉස්කෝලෙ පටන් ගන්න තිබ්බ දවසෙ මන් මගේ අලුත් ජොබ් එකට ගියා.සතියක්ම එක දිගට මන් එතන ජොබ් එක කරගෙන හිටියා.ඒත් දවසක් මන් වැඩ ඇරිලා ගෙදර යද්දි නිශානි අපේ ගෙදර ඇවිත් හිටියා.කවදාවත් අපේ ගෙදර ඇවිත් තිබ්බේ නැති නිසා එයාව දැක්කම මන් පුදුම උනා.ඒවගේම බය උනා.දුකත් දැනුනා.ඕලෙවල් වලින් මන් පාස් උන සිද්දිය හින්දා වනාතමුල්ලට ඇවිත් මගෙ නම කියලා ඇහුවොත් මාව නොදන්න කෙනෙක් හිටියෙ නෑ.ඒහින්දම නිශානි අපේ ගෙදර හොයාගත්ත හැටි අහන්න මට ඕන උනේ නෑ.
මුලින් මුලින් බොරුවක් ගොතාගන්න හැදුවත් නිශානි ඉස්සරහා මට එහෙම බොරුවක් කියන්න බැරි උනා.නිශානි මන් ගැන මොනවා හිතයිද කියන එක පැත්තකින් තියලා මන් නිශානිට වෙච්ච හැමදේම මුල ඉදන් අගටම කිව්වා.මන් ඇඩුවා.තරහෙන් පිපිරුනා.බොරුවට හිනා වුනා.ආයෙම ඇඩුවා.ඒ හැමදේම නිශානි හරිම උනන්දුවෙන් අහගෙන හිටියා.ඒත් එක තැනකදි එයා මට හොදටම බැන්නා.ඒ ආයෙත් ඉස්කෝලෙ එන්නෙ නෑ කියලා මන් කිව්වම.ඔක්කොම වියදම් එයා බලාගන්නම් කිව්වා.නිශානි එයාගෙ අම්මලට කියන්නම් කිව්වා.ඒත් මට ඒකට හිත හදාගන්න බැරි උනා.මන් නිශානිට මගේ අන්තිම තීරණය කිව්වා.ඒ ආයෙම ඉස්කෝලෙ යන්නෙ නෑ කියලා.ඒත් නිශානි ඒකට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.
"එක්සෑම් එකට තව මාස 6යි සූ.එතනින් පස්සෙ ඔයාට පුලුවන් ඔය ජොබ් එක කරගෙන ඉන්න.පණ්ඩිත වැඩ කරන්නෙ නැතුව ඉස්කෝලෙ එන්න"
"කොහොමද නිශානි මන් හිත හදාගෙන එන්නෙ.මේ නරකාදියෙම මාවත් එරිලා වගේ මට දැනෙන්නේ"
"මෙහෙමයි සූ., ඔයා මෙ හැමදේම අතරමග නවත්තලා දාල පැත්තකට වෙන්නේ අක්කාගෙ වැඩ හින්දනම් ඔයා ටිකක් හිතන්න.කොච්චර තිත්ත උනත් අක්කා මේ තත්වෙට වැටෙන්න ඇත්තෙ ඔයා හින්දා.ඔයාට උගන්නන්න එයාට ලොකූ වුවමනාවක් තිබ්බනේ.එයාට වෙන කරන්න දෙයක් නැති පාර මෙහෙම කරා වෙන්න ඇති.ඒ හින්දා ඒ අක්කගේ ජීවිතෙ දැන් පෙනි පෙනි විනාස වෙද්දි ඔයා ඔහොම වැඩ කලොත් කවදහරි අක්කටම එයා ගැන කලකිරෙන දවසක අක්කගෙ හිත හැදෙන්නවත් ඔයා හොදට ඉන්න ඕන.ඒක තේරුම් ගන්න.අක්ක ගැන හිතන්න එපා දැන් ඔයා.ඒක ඔයාට වදයක් නම් අක්කා කෙනෙක් නොහිටිය ගානට ඔයා ඉන්න."
නිශානි මගේ හිත හදන්න ගොඩාක් උත්සහා කලා.ඔව් ඇත්ත එයා කිව්වේ සම්පූර්ණ ඇත්ත.ඒත් මන් කොහොමද දැන් ඉස්සරහට යන්නේ.හැමදේම පැටලිලා වගේ දැනුනා.
නිශානි එදා මාත් එක්ක ගොඩාක් වෙලා කතා කර කර හිටියා.එයා එදා අපේ ගෙදරින් ගියේ ඊළගට එන සදුදා ඉදලා මට ඉස්කෝලෙ එන්නමයි කියලා බල කරලා.එයා යද්දි මට සල්ලිත් දීලා ගියා.නිශානි ගියාට පස්සේ මන් එයා කියපු හැම දේම මුල ඉදලා ආයෙම හිතන්න ගත්තා.ආයෙම ඉස්කෝලෙ යන්න හිතුනත් මන් ඒ ගැන සුමනේ අයියගෙනුත් ඇහුවා.සුමනේ අයියා මන් කියන ඕන දේකට මට උදව් කරන නිසා එයා කිව්වේ 'උඹ හිතලා බලලා හොද දෙයක් කරපන්' කියලා.
මේ ජීවිතේ අයිති මට විතරක්නම් මට ඕන ඕන දෙවල් කරන්න තිබ්බා.ඒත් මන් නිසා වෙන අයගේ ජීවිත අවුල් වෙනවනම් ඒ අයව මට වෙනස් කරන්නත් බැරිනම් මන් වෙනස වෙන්න ඕන.
මන් සදුදා ඉස්කෝලේ ගියා.
-------නැවතත්----------
Monday, April 20, 2015
****වළාකුලු බැම්ම **** (07)
මට ඕන උනේ හැමදේම සුමනේ අයියගෙන් අහගන්න.ඒ හින්දම මන් කෙලින්ම සුමනේ අයියගෙන් අක්කා ගැන ඇහුවා.තැන් තැන් වල තමන්ගෙම අක්කා ගැන විස්තර අහන එක හරි නැති උනත් හැමදෙයක්ම හොද හැටි තේරුම් ගන්න පුලුවන් වයසක හිටපු මට අක්කා ඉන්නේ වැරදි පාරක කියන එක තේරිලා තිබ්බා.සුමනේ අයියා එදා ඉදන්ම අපි ගැන දන්න හින්දා ඒ දේ ගැන එයාගෙන් අහන එක මට එච්චර ගානක් උනෙත් නෑ.
"අහපන් අහපන් ඕන එකක්"
"මට දැන ගන්න ඕන අපේ අක්කා ගැන"
"අහ් ලොක්කි ගැනද?" එයා ඒක කිව්වෙ හරිම සමච්චලේට.
"ලොක්කි ගැන දැන් මොනා කියන්නද බන්.ඕවා උඹ දැනගත්තා කියලා දැන් වැඩක් වෙන්නෑ බන්"
"මට මේක ලොකු ප්‍රශ්නයක් අයියේ.අක්කා දැන් වෙනදාට වඩා මට සල්ලිත් දෙනවා.ඒත් ගෙදර කිසි පිළිවෙලක් නෑ.කතා කරන්න හදද්දි ඒකත් මග අරිනවා.අම්මාත් එහෙමයි."
"වෙන්න ඇති බන්.එක අතකට ඒකි උඹ එක්ක මොනවා කතා කරන්නද?මොකද ඒකි එක එක දවසට එක එක මිනිස්සු එක්ක යනවා කියලා උඹට කියන්නද?"
"මොනවා....???"
මගේ මුලු ඇගම හිරි වැටීගෙන ගියා.තව අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි තරමටම කකුල් දෙක වාරු නැති උනා.සුමනේ අයියා මගේ කරවටින් අතක් දාලා මාව අල්ලගත්තා වගේ මතකයි.කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටිය මට ඕන උනේ කෑ ගහලා අඩන්න.,අක්කා ඉන්න තැනකට දුවලා ගිහින් ඇයි මෙහෙම කරන්නේ කියලා අහන්න.
"දැන් ඉතින් උඹ ඇඩුවා කියලා මොනා කරන්නද බන්.ඕක අදක ඊයෙක පටන් ගත්ත එකක් නෙමේ නේ.දැන්ඒකිට ඕන උනත් දැන් ඕක අත අරින්න බැරුව ඇත්තේ"
"අනේ ඇයි අයියේ අක්කා එහෙම දෙයක් කරගත්තේ?"
"මන් දන්නෑ බන්..ඒත් අර ලයනල් කාරයෙක්ව අල්ලගෙන බිස්නස් එකක් පටන්ගත්තනේ.ඌ අක්කට ලොකු පොල්ලක් තිබ්බා.අන්න ඒ දවස් ඉදලා ඒකි හෙන හිතේ අමාරුවෙන් හිටියේ.දෙතුන් පාරක්ම මගෙනුත් සල්ලි ඉල්ලගත්තා උඹට යවන්නවත් අතේ සල්ලි නෑ කියලා.මන් මාස දෙක තුනක් විතර උඹට යවන්න කියලා සල්ලි දුන්නා.ඊටපස්සේ දවසක් මටම මතක්වෙලා උඹට යවන්නෝන නේද කියලා සල්ලි අරන් උඹලාගේ ගෙදර ගියා.එදා ගෙදර වෙන කවුද මිනිහෙක් හිටියා.මේ වනත මුල්ලේ ඉතින් මන් නොදන්න උන් නෑනේ ඉතින් ඒකත් මන් දන්න එකෙක්.මිනිහට බම්බලපිටියේ ලොකු ක්ලබ් එකක් තියෙනවා.උඹට කියන්න ඕන නෑනේ පොඩ්ඩියේ එකේ ඕන ඒවයි එපා එවයි හැම දේම වෙනවා.ඉතින් මිනිහව දකිද්දිම මට තේරුනා මොකක් හරි දෙයක් වෙන්න යනව කියලා."
සුමනේ අයියේ කිසිම ගානක් නැතුව ඔහේ කියව ගෙන ගියා.මාත් කිසිම හැලහොල්මනක් නැතුව අහගෙන හිටියා.අහන් ඉන්න අමාරු උනත් මට ඕන උනේ අගක් මුලක් ඇතිව මොකද්ද උනේ කියලා දැන ගන්න.හිමින් සැරේ ඇවිද ඇවිද අපි කඩේ ළගටම ඇවිත් තිබුනා.අම්මා කඩේ ඇන්ටිත් එක්ක කියව කියව ඉන්නවා මන් දැක්කා.ඒත් මට අම්ම ළගට යන්න ඕන උනේ නෑ.කඩේට යන පාරේ කඩේට කලින් හම්බුන අතුරු පාරකට මන් එක පාරටම සුමනේ අයියගේ අතින් ඇදගෙන හැරුනා අම්මා අපිව දකින්න කලින්.
"මොකද පොඩ්ඩියේ?"
එකපාරටම කලබල උන සුමනේ අයියා ඇහුවේ එයාගේ ඉනේ තියෙන සුපුරුදු පිස්තෝලෙට අත ගෙනියන ගමන්.
"නෑ නෑ අම්ම දකී කියලා.අම්මා හිටියා කඩේ"
"ආ මන් හිතුවා වෙන මොකක් හරි කේස් එකක් කියලා"
මන් ඒ පාර අයිනේ තිබ්බ තාප්පෙට හේත්තු උනා.හතරවටිම්න කලුවර වැටීගෙන ආවත් මට ගෙදර යන්න ඕන උනේම නෑ.
"ඉතින් අක්කට මොකද්ද ඒ මිනිහත් එක්ක තිබ්බ ගනුදෙනුව?"
"හිටපන්කො ඉතින් කියනකන්.එදා කොහොමහරි ලොක්කි මගෙන් සල්ලි ගත්තෙත් නෑ.පස්සෙ දවසක මට අර මිනිහව හම්බුනා.උඹ වැරදියට හිතන්නෙපා පොඩ්ඩියේ එදා උඹලගේ ගෙදර ගිය වෙලාවේ මට යමක් තේරුන නිසා මන් ඉතින් එදා උගෙන් ඇහුවා අලුත් බඩුවක් හම්බුනා නේද කියලා.ඌ ඉතින් මට මුල ඉදන්ම විස්තර කරන්න ගත්තා.ඒව උඹ දැන ගන්න ඕන නෑ.දැන් ඉතින් ඒකිට ගොඩයනවා බොරු."
"එතකොට අයියේ අක්කා මේ හැමදේම කලේ මට උගන්නන්නද?"
"මේ උඹ ඕවා හිතන්නැතුව ඉදපන්.ඒ එකිගේ වෙලාව."සුමනේ අයියා එහෙම කිව්වේ කතාව මග අරින්න කියලා මට හිතුනා.'දෙයියනේ එහෙනම් මේ හැමදේම උනේ මන් හින්දද?මගේ අක්ක මෙහෙම නරකාදියකට වැටුනෙ මන් හින්දද?මේ හැමදේම මගේ පව්කාරකම හින්දද?'
මගේ ඔලුව පුපුරන්න වගේ උනා.තවත් ඒ කතාව අහගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.
"සුමනේ අයියේ මන් යනවා"
එකපාරටම මට ඕන උනා තනිවෙන්න.තනිවෙලා හැමදේම හිතන්න.සුමනේ අයියා මාත් එක්ක එන්න හැදුවා.මන් එපා කියපු නිසාම ටික දුරක් ඇවිත් හැරිලා ගියා.ගෙදර ගිහින් මන් කෙලින්ම ගියේ මගේ ඇදට.හිරකරගෙන හිටපු හැම දුකක්ම යන්තමට හරි තුනී කරගන්න හිතාගෙන මන් ඇඩුවා.හොදටම ඇඩුවා.අම්මා ඇවිත් සැරින් සැරේ බලලා යනවා මන් දැක්කා.ඒත් ඇයි කියලවත් ඇහුවේ නෑ.එක අතකට එහෙම අහපු නැති එකත් හොදයි.
පැයක් දෙකක් විතර අඩලා අඩලා මන් තීරණේ කලා අක්කා එක්ක කොහොම හරි කතා කරන්න.ඒකට මුලු රෑම උනත් නැගිටලා ඉන්නවා කියලා හිතාගත්තා.
ඇත්තටම මට අක්කා ගැන තරහක් හිතුනෙ නෑ.මොකද මට අක්කා ගැන තරහා හිතන්න බෑ.ඉස්සර අක්කයි මායි අම්මයි අතට හම්බවෙන සතෙන් ජීවත් උනා.ඒත් දැන් මන් නිසා එහෙම ඉන්න බෑ.මට වියදම වැඩි.ඉතින් අක්කා ඔහොම දේකට අකමැත්තෙන් උනත් යන්න ඇත්තේ මන් හින්දා කියලා මට තදේටම හිතුනා.ඉතින් මන් කොහොමද අක්කා ගැන අහිතක් හිතන්නේ.ලෝකෙට අක්ක වැරදි උනත් එයා ජීවිතේ තමන්ගේ නන්ගි වෙනුවෙන් බිල්ලට දුන්නා කියලා කවුද හිතන්නේ.හැමෝම අක්කට බනීවි.ඒත් ඇත්තටම වැරැද්ද කලේ මම නේද?මන් ගොඩාක් දේවල් හිතුවා.ගොඩාක් කල්පනා කලා.අන්තිමේදි මන් හිතාගත්තා මේ විදිහට හම්බකරන සල්ලි වලින් ආයෙම මන් ඉගෙන ගන්නෙ නෑ කියලා.අක්කා ජීවිතේ වරද්ද ගත්තා තමයි .ඒත් ඉස්සරහටත් ඒ වැරැද්දම කරන්න මට ඉඩ දෙන්න බෑ.ඔව් අක්කා ඕක අත අරිනකම් මන් ආයෙම ඉස්කෝලේ යන්නේ නෑ.මන් හිතුවා.
එදා රෑ 2ට විතර අක්කා ආවා.මන් ඇහැරිලා හිටියේ.අක්කම දොර ඇර ගෙන ඇතුලට ආවා.මාව දැකලා බයත් උනා.
"පොඩ්ඩියේ මොකෝ මේ ඇහැරගෙන?"කිසිම වෙනසක් නැතුව අක්කා කතා කලා.
"ඇයි පරක්කු?"
"වැඩ තිබ්බනේ.මේ දවස්වල මොකද්ද ලොකු ඔර්ඩර් එකක් හම්බෙලා නේ"
"ගොඩාක් ලොකු එකක් වෙන්නැති"
"පොඩ්ඩි මොකද මේ?"
"ඇයි ?"
මට ඕන උනේ මන් ඉන්නේ තරහින් කියලා පෙන්නන්න.ඒ වගේම මන් හැමදේම දන්නවා කියලා අගවන්න.
"මොකද ඔය හරහට කතා කරන්නේ?"
"හැමදේම වෙලා තියෙන හැටියට කෙලින් කතා කරන්න බෑ දැන්"
"ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ?"
"ඒක මට වඩා හොදට දන්නේ ඔයා.මිනිස්සු තැන් තැන් වල කියන කතා මට වඩා දන්නේ ඔයා.අතට පයට සල්ලි එන්නෙ කොහොමද කියලත් හොදට දන්නේ ඔයා."
"මොකද්ද මොකද්ද ඒ කියපු කතාව?"
"ඇහුන දේ තමා කිව්වේ.කිසිම දෙයක් නොදැන්නවා වගේ හිටියට හිතන්නෙප ඒක් එහෙමයි කියලා.හැමදේම මන් දන්නවා.මට අක්කේ වෙන කියන්න දෙයක් නෑ.මන් කියන්නෙ අමෙච්චරයි ඔයා ඉස්සරහටත් ඉන්න හදන්නෙ ඔහොම්මමනම් ඔය ජරා සල්ලි වලින් ඉගෙන ගන්න මට ඕන නෑ.එච්චරයි.ආයේ මට මුකුත් කියන්න එපා."
අක්කට කිසිම දෙයක් කියන්න ඉඩ දෙන්නෙ නැතුව මන් හැමදේම කිව්වා.අක්කට මොනවා හිතුනද මොනවා දැනුනද කියන්න මන් දන්නෑ.ඒත් එහෙම කියන්නැතුව අක්කා එක්ක දුක බෙදාගන්න මට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ.
---------නැවතත්-------
Subscribe to:
Posts (Atom)


















